බයිබලයේ දෘෂ්ටිකෝණය
මරියා “දේවමෑණියෝද”?
“අහෝ දේවමෑණියනි; ඔබගේ අනුකම්පාව යටතේ වූ රැකවරණය තුළ අපි සරණ සොයමු, අපගේ ඕනෑකම්වලදී කන්නලව් ප්‍රතික්ෂේප නොකළ මැනව, අහෝ ආශීර්වාදලත් ඔබ පමණක් විනාශයෙන් අප ගළවාගත මැනව.”
එවන් යාච්ඤාවක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මව වන මරියාට කැපවූ මිලියන ගණන් පුරුෂයන්ගේ සහ ස්ත්‍රීන්ගේ හැඟීම් කැටි කොට දක්වයි. ඔවුන්ගේ දෘෂ්ටිය අනුව, ඈ ඔවුන් උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ මැදිහත් වන සහ ඔවුන් කෙරෙහි වූ උන්වහන්සේගේ විනිශ්චයන් යම් ප්‍රමාණයකට අඩු කිරීමට හැකි කරුණාවන්ත මවකගේ ප්‍රතිරූපයකි.
කෙසේවෙතත්, සැබවින්ම මරියා “දේවමෑණියෝද”?
දෙවියන්වහන්සේගෙන් “විපුල ප්‍රසාදලත්”—මරියා
කිසිදු සැකයකින් තොරව මරියා “විපුල ප්‍රසාදලත්”—එමෙන්ම, මෙතෙක් ජීවත් වූ කිසිම කාන්තාවකට වඩා, වැඩියෙන් අනුග්‍රහය ලත් තැනැත්තියක් වූවාය. (ලූක් 1:28, නව අනුවාදය) ගාබ්‍රියෙල් දේවදූතයා ඈට පෙනී සිට ඈ කෙතරම් වරප්‍රසාද ලත් තැනැත්තියක් වන්ට යනවාද කියා පැහැදිලි කළේය. “මේ බලන්න,” කියා හේ පැවසීය. “ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න. උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක; පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක.” මෙම ආශ්චර්යවත් සිද්ධිය සිදුවිය හැක්කේ කෙසේද? ගාබ්‍රියෙල් තවදුරටත් මෙසේ පැවසීය: “ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළවන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක.”—ලූක් 1:31, 32, 35, නව අනුවාදය
“‘මම ස්වාමීන් වහන්සේගේ දාසිය වෙමි,’ මරියා පැවසුවාය, ‘ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේවා.’” (ලූක් 1:38, න.අ.) මෙලෙස මරියා බැහැපත්ව මෙම දිව්‍ය මඟ පෙන්වීමට එකඟ වී යේසුස්වහන්සේව ප්‍රසූත කළාය.
කෙසේවෙතත්, ඊළඟට පැමිණි ශතවර්ෂ කිහිපය අතරතුර, ඇගේ බැතිමත්හු ඇගේ යටහත් පහත් “ස්වාමීන්වහන්සේගේ දාසිය” නමැති තත්වයේ සිට, ස්වර්ගයේ අතිවිශාල බලපෑමක් ඇති “රැජින මවගේ” තත්වයට ඇයව උසස් කළෝය. පොදු යුගයේ 431 එපීසයේ රාජ මන්ත්‍රණ සභාවේදී පල්ලි නායකයෝ ඇයව “දේවමෑණියෝ” ලෙස නිල වශයෙන් ප්‍රකාශ කළෝය. මෙම විපර්යාසයට ඉවහල් වූයේ කුමක්ද? දෙවන ජුවාම් පාවුලු පාප්වරයා එක් සාධකයක් පැහැදිලි කරයි: “දේවමෑණියන්ට වූ සැබෑ භක්තිය . . . වඩාත් ගැඹුරු ලෙස ශුද්ධ වූ ත්‍රිත්වයේ අභිරහස තුළ මුල්බැස තිබේ.”—ක්‍රොසිං ද ත්‍රෙෂ්හෝල්ඩ් ඔෆ් හෝප්.
එබැවින්, “දේවමෑණියෝ” ලෙස මරියා පිළිගැනීම ත්‍රිත්වය විශ්වාස කිරීම මත රඳා පවතී. කෙසේවෙතත්, ත්‍රිත්වය බයිබල් ඉගැන්වීමක්ද?a ප්‍රේරිත පේතෘස් බයිබලයේ ලීවේ කුමක්දැයි කරුණාකර පරීක්ෂා කර බලන්න. “ව්‍යාජ ගුරුවරු . . . විනාශ දායක භේද උපදවමින් . . . ප්‍රයෝගකාර වචනවලින් ඔබෙන් නොනිසි ලාභ ලබාගන්නෝය” යනුවෙන් ඔහු අනතුරු ඇඟවුවේය. (2 පේතෘස් 2:1, 3 ඇත්ත ඇති තැන) එවන් එක් දූෂිත ඉගැන්වීමක් වන්නේ ත්‍රිත්වයයි. වරෙක එය පිළිගනු ලැබූ විට, මරියා “දේවමෑණියෝ” යන අදහස (ග්‍රීක්: තෙයොටොකොස්, තේරුම “දේව උත්පාදකවරිය”) සෑහෙන තර්කානුකූල විය. ද වර්ජින් යන ඔහුගේ පොතේ, ජෙෆ්‍රි ඈෂ් ප්‍රකාශ කරන පරිදි, ත්‍රිත්වවාදීන් තර්ක කරන ආකාරයට “ත්‍රිත්වයේ දෙවන පුද්ගලයා වන ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේ නම්,” “එවිට උන්වහන්සේගේ මනුෂ්‍ය විදහාපෙන්වීමේදී උන්වහන්සේගේ මව දේවමෑණියන්” විය යුතුය.
නව කැටිකිසම් ඔෆ් කැතලික් චර්ච් ප්‍රකාශ කරන්නාක් මෙන්, යේසුස්වහන්සේ “සර්වසම්පූර්ණ දෙවියන්වහන්සේ වනසේක් නම්”, එවිට මරියාව නිවැරදිවම “දේවමෑණියෝ” ලෙස ආමන්ත්‍රණය කළ හැක. එසේ වුවත්, අදදින ත්‍රිත්වවාදී රෙපරමාදුවන්ට මෙන්—මෙම ඉගැන්වීම පළමුව යෝජනා කරනු ලැබූ විට, එය බොහෝ මුල් ක්‍රිස්තියානීන්ටද පිළිගැනීමට දුෂ්කර වූ බව පැවසිය යුතුමය. එය හඳුන්වනු ලැබ තිබෙන්නේ “භක්ති විරුද්ධාභාසය ලෙසය, ‘උන්වහන්සේව දරන්ට ස්වර්ගයේ ඉඩ මදි වුවත් උන්වහන්සේව ඇගේ ගර්භාශය තුළ දරාගත හැකි විය.’” (ද වර්ජින් )—1 රාජාවලිය 8:27 සසඳන්න.
එහෙත් සැබවින්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “සර්වසම්පූර්ණ දෙවියන්වහන්සේද”? නැත, උන්වහන්සේ කිසිදාක එම කාරණයට පක්ෂව කතා කළේ නැත. ඒ වෙනුවට, උන්වහන්සේ සිය පියාණන් යටතේ සිය තත්වය සෑමවිටම ඒත්තුගත්සේක.—බලන්න මතෙව් 26:39; මාර්ක් 13:32; යොහන් 14:28; 1 කොරින්ති 15:27, 28.
‘සිහි බුද්ධිය ඇති ජීවීන් යෝග්‍ය ආකාරයකින් නමස්කාර කළ යුතුය’
කෙසේවෙතත්, ක්‍රිස්තියානීන්ට ඔවුන්ගේ විමර්ශනය ශක්තිය උපයෝගි කරන්ට බයිබලය දිරිගන්වයි. අභිරහසක් ලෙස වෙස්ගැන්වූ යමක් කෙරෙහි අන්ධ ඇදහිල්ලක් තබාගැනීමට අපගෙන් ඉල්ලන්නේ නැත. ඇරත් ‘සිහි බුද්ධිය ඇති ජීවීන් යෝග්‍ය ආකාරයකින් නමස්කාර කළ යුතු’ යයි ප්‍රේරිත පාවුල් පවසයි.—රෝම 12:1, ජෙරුසලම් බයිබල්.
“අපට කිසිදාක ඒ පිළිබඳව සිතන්ට දිරිගන්වා තිබුණේ නැහැ,” යනුවෙන් කතෝලිකයෙක් ලෙස ඇති දැඩි කරනු ලැබූ ඈන් පවසන්නීය. “එය අපි කිසිදාක ප්‍රශ්න කළේ නැහැ. අපි නිකම් විශ්වාස කළේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ බව, එමනිසා මරියා ‘දේවමෑණියෝ බව’—පුදුමසහගත දෙය එයයි!” “දිව්‍ය එකමුතුකමේ” සෑම සාමාජිකයෙක්ම “මුළුමනින්ම දෙවිකෙනෙක්” බව කැටිකිසම් ඔෆ් ද කැතලික් චර්ච් පවසන බව මතක තබාගන්න. වෙන් වූ දෙවිවරුන් තිදෙනෙකු නොමැති බව එය ප්‍රකාශ කරයි. එසේනම්, මරියාගේ ගර්භාශයේ සෛල නොකඩවා බෙදෙන විට, දිගින් අඟල් කාලකට සීමා වූ මූලිකව ඇස් හා කන් පමණක් තිබුණාවූ කලලයක් දක්වා ඇගේ ගැබ්ගැනීමේ පළමු මාසය තුළ වර්ධනය වූ කලලය තුළ “සර්වසම්පූර්ණ දෙවියන්වහන්සේ” සිටි බව අප විශ්වාස කළ යුතුද?
ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට ඇගේ දරුවා “මහෝත්තමයාණන්ගේ පුත්‍රයා” සහ “දෙවියන්වහන්සේගේ පුත්‍රයා,” වන බව මිස, “පුත්‍ර වූ දෙවියන්වහන්සේ” යයි නොපැවසූ බව මතක තබාගන්න. ඇරත්, යේසුස්වහන්සේ සර්වබලධාරී දෙවියන්වහන්සේ නම්, ත්‍රිත්වවාදීන් අදදින පාවිච්චි කරන්නාවූ “පුත්‍ර වූ දෙවියන්වහන්සේ” යන එම වචනයම ගාබ්‍රියෙල් දේවදූතයා පාවිච්චි නොකළේ මන්ද? බයිබලයේ එම ඉගැන්වීම දක්නට නොලැබෙන බැවින්, ගාබ්‍රියෙල් එම වචනය පාවිච්චි කළේ නැත.
සැබවින්ම, දෙවියන්වහන්සේගේ ක්‍රියා සම්බන්ධයෙන් වූ අපගේ තේරුම්ගැනීමෙන් අපි සීමිත වෙමු. එහෙත් සර්වබලධාරී දෙවියන්වහන්සේට, මරියා උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස්වහන්සේගේ මව බවට පත් වන තාක් කල්, උන්වහන්සේගේ වර්ධනය ස්වකීය ක්‍රියාකාරි බලය නැතහොත් ශුද්ධාත්මය මගින් ආරක්ෂා කිරීමට බලය තිබුණ බව විශ්වාස කිරීමට ශුද්ධ ලියවිලි පිළිබඳ නිසි තේරුම්ගැනීම අපට උපකාර කරයි.
එසේය, ක්‍රිස්තුස්වහන්සේ බවට පත් වූ පුද්ගලයාගේ මව වීමට මරියා ඉමහත් සේ ආශීර්වාද ලැබුවාය. මරියාගේ නිහතමානීකම පිළිබඳ වාර්තාව ඇතුළුව—බයිබලයේ පැහැදිලි ඉගැන්වීම, “දේවමෑණියෝ” යන පදවි නාමය ඇයට නොදිය යුතු බව තහවුරු කරන බවට පිළිගැනීම ඇයට දක්වන අගෞරවයක් නොවේ.
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශයට පත් ෂුඩ් යූ බිලීව් ඉන් ද ට්‍රිනිටි? යන්න බලන්න.
[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Museo del Prado, Madrid