ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 12/8 20-21 පි.
  • කොරල්—අනතුරෙහි හා මියයමින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කොරල්—අනතුරෙහි හා මියයමින්
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ජීවයෙන් තොර සුදු වූ සැකිලි
  • කොරල් පර බේරාගැනීමට කළ හැක්කේ කුමක්ද?
    1996 පිබිදෙව්!
  • මියයන කොරල් පර—මනුෂ්‍යයන් වගකිව යුතුද?
    1996 පිබිදෙව්!
  • බෙලීස් බාධක පරය වටිනා සම්පතක්
    2007 පිබිදෙව්!
  • වර්ණවත් කොරල් පර ලෝකය
    1997 පිබිදෙව්!
තව තොරතුරු
1996 පිබිදෙව්!
g96 12/8 20-21 පි.

කොරල්—අනතුරෙහි හා මියයමින්

නිවර්තන කලාපයෙහි තරම් සාගරය වෙනත් කිසිම තැනක පැහැදිලි නැත. එය පළිඟුවක්, නිල්වන් පළිඟුවක් මෙන් පැහැදිලිය. මීටර් 15කට පහළින් පිහිටි සුදු වාලුකා පතුල, ඇස් දෙකට පෙනෙන්නේ ඉතා ළඟින්, අතේ දුරින් පිහිටා ඇති දෙයක් වගෙයි. මුහුදු සපත්තු හා මුහුදු කණ්ණාඩි පැළඳගන්න. උණුසුම් ජලයට ඔබ බසින විට, ඔබේ හුස්ම ගැනීමේ බටය සකස් කරගනිද්දී, මොහොතකට ඔබේ දෘෂ්ටිය දිය බුබුළුවලින් වැසී යයි. දැන් ඔබේ නෙත් පහළට යොමු කරන්න. අර බලන්න! කොරල් හපමින්, මුහුදු වාලුකා පත්ලෙහි කොටසක් බවට පත් වන කුඩා කොරල් කැබලි මුවෙන් ඉවත් කරන විශාල රතු හා නිල්වන් ගිරා මාළුවා දෙස බලන්න. හිටිහැටියේම, දේදුන්නක් වැනි රතු, කහ, නිල්, තැඹිලි හා දම් වැනි වර්ණවලින් යුත් නිවර්තන කලාපීය මසුන් සමූහයක් මොහොතකින් ඔබව පසු කර යයි. දකින දකින සෑම දෙයක්ම පණැතිව එහා මෙහා ගමන් කරයි. එය කියා නිම කළ නොහැකි අද්දැකීමකි.

කොරල් වනාන්තරය කියන්නේ මෙයයි. පහත පිහිටි මුහුදු වාලුකා පත්ලේ සිට ජීවමාන අඬු දහස් ගණනක් විහිදුවමින් එය ඉහළට විහිදී යයි. ටිකක් ඉදිරියෙන් මීටර් 6ක් උසැති, ඒ තරමටම පළලැති විශිෂ්ට ගෝන අංතට්ටු වැනි කොරල් පිහිටා තිබේ. ගෝන අංතට්ටු තරම් විශාල නොවූ, මුව අංතට්ටු කොරල් ඊට මීටර් 23ක් දුරින් පිහිටා තිබෙන අතර, ඒවායෙහි වඩාත් සිහින් වූ අතු වනාන්තරයක් මෙන් ප්‍රදේශය පුරා විහිදී ගොස් ඇත. මෙම කොරල්වලට දී තිබෙන නම් ඉතා උචිතයි. ඇත්තෙන්ම ඒවා හරියටම සතුන්ගේ අංතට්ටුවලට සමානයි! ඒවායෙහි අතුවල මත්ස්‍යයෝ හා වෙනත් මූදු ජීවීහු ආහාර හා රැකවරණය ලබත්.

වරෙක, ශාකවලින් නිර්මාණය වූ යමක් සේ සලකනු ලැබුවත්, කොරල් යනු බුහුබාවන් යනුවෙන් හඳුන්වනු ලබන සත්ව විශේෂයන් එකතු වීමෙන් සෑදෙන හුනුගල් නිර්මාණයක් බව දැන් දන්නා කරුණකි. බුහුබාවන් බොහොමයක් ඉතා කුඩාය; ඇත්තෙන්ම විෂ්කම්භයෙන් සෙන්ටිමීටර් 2.5කටත් වඩා අඩුය. මෘදු-සිරුරකින් යුත් කොරල් බුහුබාවා සෙවල සහිත පටක යොදාගනිමින් අසල්වැසි බුහුබාවෙකු හා සම්බන්ධ වෙයි. බුහුබාවන් දිවා කාලයෙහි කොරල් සැකිල්ල තුළට රිංගන නිසා, කොරල් ගලක ස්වරූපය ගනී. එහෙත් රාත්‍රියේදී සම්පූර්ණ වෙනසක් ඇති වේ. පරයට මෘදු, පාසි හා සමාන ගතියක් දෙමින්, ඒවායෙහි අඬු පිටතට විහිදී මෘදු ලෙස වැනේ. බුහුබාවන් හවුලේ වාසය කරන හිරිගල් “ගස” ඔවුන්ගේ සමූහ සැකිල්ලය; එය එකට බැඳී පවතින්නේ, මුහුදු ජලයෙන් උරාගන්නා කැල්සියම් කාබනේට් මගිනි.

සෑම කොරල් සමූහයක්ම එයට විශේෂ වූ සැකිලි හැඩයක් තනයි. ලොව පුරා, පුදුම දනවන හැඩවලින්, ප්‍රමාණවලින් හා වර්ණවලින් යුත් කොරල් වර්ග 350කට වැඩිය තිබේ. ගස්, කුලුනු, මේස හා කුඩ කොරල් යනුවෙන් ඒවාට දී තිබෙන පොදු නම් ගොඩබිමෙහි තිබෙන විවිධ දේවල්ද, එසේත් නැතහොත් කාර්නේෂන්, සලාද කොළ, ස්ට්‍රෝබෙරි හෝ බිම්මල් කොරල් වැනි නම්වලින් ශාකද ඔබට සිහිගන්වයි. අර විශාල මොළ කොරලය දැක්කාද? එයට එම නම ලැබුණේ කෙසේද කියා තේරුම්ගැනීම කෙතරම් පහසුද!

ජලයෙන් යට පිහිටි මෙම කැලෑව අණ්වීක්ෂීය ශාක හා ජීවීන්ගේ සිට, මඩුවන්, මෝරුන්, විශාල මෝරේ ආඳන් හා කැස්බෑවන් දක්වා ජීවීන්ගෙන් පිරී පවතී. මෙන්න ඔබ සමහරවිට අසා නැති මසුන් කිහිපයක්: දීප්තිමත් කහවන් කවට මත්ස්‍යයා, දම්වන් බෝ ග්‍රෙගරි මත්ස්‍යයා, කළු-සුදු මූරිෂ් අයිඩල්ස්, තැඹිලි පාට හොරණෑ මත්ස්‍යයා, තද නිල්වන් සර්ජන් මාළුවා, නීල හැම්ලට් මත්ස්‍යයන් හෝ දුඹුරු හා ළා දුඹුරු සිංහ-මත්ස්‍යයා. කරණවෑමි ඉස්සා, පින්තාරු කළ පොකිරිස්සන් හා රතු උකුසු මාළුවත් මෙම ලැයිස්තුවට ඇතුල් කරමුද? වර්ණයට, ප්‍රමාණයට හා හැඩයට සීමාවක් නැති තරම්ය. ඉන් සමහරක් ඉතා අලංකාරය; සමහරක් අශෝභනය; එනමුත් සියල්ල සිත්ඇදගන්නාසුලුය. බලන්න; අර කුලුනු කොරලය පිටුපස බූවල්ලෙක් සැඟවී සිටී! ඌ විවෘත කිරීමට සමත් වූ මට්ටියෙකු බුදිමින් සිටී. ගොඩබිමෙහි තිබෙන කැලෑවක මෙන්, මෙම මූදු ලෝකයේ ව්‍යූහය දෙස බලන කල, ජීවීන්ගේ පුදුමාකාර ප්‍රභේදයන් ගෙතී පවතී; සියල්ල රඳා පවතින්නේ එහි විවිධත්වය මතයි. කොරල්වල ප්‍රජනක චක්‍රය මෙන්ම, සාගර ප්‍රවාහයන් යොදාගනිමින් වෙනත් තැන්වලට ගමන් කොට, අලුත් පර බිහි කිරීමට උන්ට තිබෙන හැකියාව 1991 ජූනි 8 එවේක්! සඟරාවේ විස්තර කර තිබිණ.

මිහිපිට තිබෙන විශාලතම ජෛව ව්‍යූහයන් කොරල් පර වේ. ඕස්ට්‍රේලියාවේ ඊශානදිග වෙරළට ළඟින් පිහිටි ඉන් එකකි මහා බාධක පරය; එය කිලෝමීටර් 2,010ක් පමණ දුරකට විහිදී යන අතර, එංගලන්තය හා ස්කොට්ලන්තය යන දේශ දෙකම තරම් විශාල වේ. කොරල් ව්‍යූහයක් ටොන් කිහිපයක් තරම් බර විය හැකි අතර, සාගර පතුලේ සිට මීටර් 9ක් ඉක්මවන උසකින් විහිදී යා හැක. මීටර් 60ක් දක්වා ගැඹුරට විහිදෙන නිවර්තන කලාපීය නොගැඹුරු ජලයේ කොරල් පර වැඩේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන අංග ලක්ෂණ ඒවාට තිබෙන බැවින්, කොරල් කැබැල්ලක් පරීක්ෂා කර බැලීමෙන්, එම කොරලය වැඩුණු සාගරය හා නිශ්චිත ස්ථානය පවා කීමට විශේෂඥයන්ට හැක. කොරල් පර වැඩීමට අවශ්‍ය පරිසරය ජලයේ පෝෂ්‍ය පදාර්ථ අඩු එකකි; කොරල්වලට ආසන්නව සාගරය අසාමාන්‍ය ආකාරයකින් පැහැදිලිව තිබීමට හේතුව මින් සනාථ වේ. කොරල්වලට අවශ්‍ය පෝෂණය, බුහුබාවාගේ විනිවිද පෙනෙන සිරුරේ ජීවත් වන ඇල්ගී (විද්‍යාත්මක නම, සූසැන්තලේ) මගින්ද, කොරල් අඬුවලට අසු වන අණ්වීක්ෂීය සතුන් මගින්ද සැපයේ. බොහෝදුරට සරණක් නැති එළිමහන් සාගරයක, මූදු විශේෂයන් දහස් ගණනකට නිවහනක් වන කොරල් පරයක් බිහිවීම අවසාන ප්‍රතිඵලය වේ.

මූදු පරිසර පද්ධති සියල්ල අතුරින්, ජෛවීය අතින් වඩාත් ඵලදායී වන්නෙත් කොරල් පරයන්ය. යූ.එස්.නියූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් එය මෙලෙස විස්තර කළේය: “නිවර්තන කලාපීය වර්ෂා වනාන්තරවලට මුහුදේ සම වන්නේ, නානාවිධ ජීවීන්ගෙන් පිරී පවතින පරයන්ය. ඉන් සමහරක්: රැළි සහිත මූදු අවාන් හා මූදු කසයන්, පිහාටු බඳු ක්‍රිනොයිඩෙයාවෝ, නියොන් වර්ණ ගැන්වූ මසුන්, ඉස්පන්ජි, ඉස්සන්, පොකිරිස්සන් හා පසැඟිල්ලන් මෙන්ම බියගන්වනසුලු මෝරුන් හා යෝධ මෝරේ ආඳන් වේ. ජීවත් වන පරිසරය සම්බන්ධයෙන් මේ ජීවීන් සියල්ලන්ම කොරල්වල අඛණ්ඩ වර්ධනය මත රඳා සිටී.” ප්‍රබල මුහුදු රැළි හා වෙරළ අතර බාධකයක් සැපයීමෙන් හා නිවර්තන කලාපීය දූපත් දහස් ගණනකට අත්තිවාරම සැපයීමෙන් ගොඩබිමෙහි ජීවීන්ටද කොරල් පර රුකුලක් වේ.

හොඳ තත්වයේ තිබෙන කොරල්, දුඹුරු, කොළ, රතු, නිල් හෝ කහ වර්ණයන්ගෙන් යුක්තය; මෙය රඳා පවතින්නේ, විනිවිද පෙනෙන කොරල්-බුහුබාවා ධාරකයා තුළ වෙසෙන ඇල්ගී වර්ගය මතය. මෙම අණ්වීක්ෂීය ඇල්ගී ශාක, සිය සත්ව සහජීවකයන් තුළින් විනිවිද ගමන් කරන හිරුරැස් භාවිත කරමින්, තම පෝෂණය සඳහා කාබන්ඩයොක්සයිඩ් ඇතුළුව බුහුබාවන්ගේ අපද්‍රව්‍ය උරාගනියි. ප්‍රභාසංශ්ලේෂණය තුළින්, මෙම ඇල්ගී, කොරල් පටක සඳහා පිළිවෙළින් ඔක්සිජන්, ආහාර සහ ශක්තිය සපයයි. ඇල්ගී සමඟ තිබෙන මෙම සහජීවනය හේතුවෙන්, කොරල්වලට වඩාත් ශීඝ්‍රයෙන් වර්ධනය විය හැකි අතර, පෝෂ්‍ය පදාර්ථවලින් ඌන, නිවර්තන කලාපීය ජලයේ නොනැසී පැවතිය හැක. දෙපාර්ශ්වයම ශාක හා සත්ව ලෝකයෙන් උපරිම ප්‍රයෝජන නෙළාගනිත්. මොනතරම් විශිෂ්ට මෙන්ම ඥානවන්ත නිර්මාණයක්ද!

ජීවයෙන් තොර සුදු වූ සැකිලි

පහළ මෙතරම් සජීවී තත්වයක් තිබීමත් පුදුමයක්ද! ඒත්, අර මොකද්ද? ජීවයෙන් තොර සුදු වූ සැකිලි. අතු කැඩී ගොස් දිරාපත් වෙමින් පවතී. සමහරක් දැනටමත් කැඩී බිඳී ගොස් ඇත. කොරල් වනාන්තරයේ මෙම කොටස මියගොස් ඇත; එසේ නැතහොත් මියයමින් පවතී. මසුන් නැත. ඉස්සන් නැත. පොකිරිස්සන් නැත. කිසි දෙයක් නැත. එය ජලයෙන් යට පිහිටි කාන්තාරයකි. ඔබ දර්ශනය දෙස පුදුමයෙන් බලන්නෙහිය. මොනතරම් කම්පිත කරවන්නක්ද! ඔබේ රසවත් අද්දැකීම නිරස වේ. ඔබ නැවත බෝට්ටුවට නඟින විටත්, කනස්සල්ල ඇති කරන ප්‍රශ්න ඔබේ සිතේ පවතී. මෙම විනාශයට හේතු වූයේ කුමක්ද? හදිසි අනතුරක්? වසංගතයක්? ස්වාභාවික හේතු? ඔබට උත්තර අවශ්‍යමයි.

හිරිගල්වලට රළු පෙනුමක් තිබුණත්, ඒවා ඉතා සියුමැලිය. ඒවාට හානි කිරීමට මනුෂ්‍යයන්ගේ ස්පර්ශ කිරීමකට පුළුවන් බැවින්, සිහිනුවණින් කටයුතු කරන කිමිදුම්කරුවන් අත පත ගෑමෙන් වැළකී සිටින අතර, බෝට්ටුවල පරෙස්සමින් ගමන් කරන අය එමතට නැංගුරුම් හෙළීමෙන් වැළකෙති. රසායනික දූෂණය, තෙල් හැළීම්, කැළි කසළ, ලී කඳන් ජලයෙහි පරිවහනය කිරීම, ගොවිපොළවලින් නිකුත් වන අපද්‍රව්‍ය, වැලි ගොඩදැමීම, මණ්ඩි බැසීම හා මිරිදිය මිශ්‍රවීම කොරල්වලට හානි සිදු කරන තවත් දේවල්ය. බෝට්ටුවල නෞතලය වැදීමෙන් මහත් විනාශයක් සිදු වේ. එමෙන්ම උෂ්ණත්වය අන්තයටම වෙනස් වේ නම්, කොරල් හානියට හා විනාශයට පත් විය හැක. යම් පීඩාකාරි තත්වයක් පැනනඟින විට, කොරල් එතුළ තිබෙන ඇල්ගී ඝන වලාකුළු වශයෙන් ඉවත් කරන අතර, මත්ස්‍යයෝ එම ඇල්ගී විගස අනුභව කරත්. පීඩාකාරි තත්වයන් සති හෝ මාස ගණන් පවතී නම්, සුදු වී යෑමක් සිදු වී කොරලය මියයයි. ඇරත්, කොරල් මියයන විට, පරය ආශ්‍රිත පරිසරය මියයයි. ජෛව ව්‍යූහය කැඩී බිඳී ගොස් අතුරුදහන් වී යයි.

නිවර්තන කලාපීය සාගර සියල්ලකම සුදු වී යෑම පුළුල්ව පැතිර ගොස් ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ලොව පුරා මූදු විද්‍යා ප්‍රජාව තැතිගෙන සිටී. විශාල පරිමාණයකින් සුදු වී යෑමක් ඇති වන විට, සිදු වන හානිය මැකිය නොහැකි තරම්ය. මෑත වර්ෂවලදී ලොව පුරා නිවර්තන කලාපීය මුහුදුවල සිදු වී ඇති දෙයින්, කොරල් සුදු වී යෑම හා එහි අවසාන ප්‍රතිඵලය වන කොරල් අභාවය කොතරම් දුරට පැතිර තිබෙනවාද යන්න, වේදනා ගෙන දෙන ආකාරයකින් ලෝකයේ සියලුදෙනාගේම අවධානයට ලක් වී තිබේ. සෑහෙන කාලයක් තිස්සේ, විටින් විට, යම් යම් ප්‍රදේශවලට සීමා වූ කොරල් සුදු වී යෑමක් සිදු වී තිබුණත්, වර්තමානයේ එය පැතිර ගොස් ඇති අන්දම දෙස බැලුවොත්, එය පෙර නොදුටුවිරූ අන්දමකින් දරුණුව හා ලෝක ව්‍යාප්තව පැතිර ගොස් ඇත. පර ආශ්‍රිතව පවතින පරිසරයේ බිඳවැටීමට හේතු වෙමින්, පොළොව පුරා පවතින ජීවමාන කොරල් විශේෂයන් වැඩිහරියකට යම් කිසිවක් ප්‍රහාර එල්ල කරමින් සිට ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න