මියයන කොරල් පර—මනුෂ්‍යයන් වගකිව යුතුද?
වර්ෂ 1992හි කොරල් පර පිළිබඳව පැවැත්වූ අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් වාර්තා කළේ, ලෝකයේ ජීවමාන පරවලින් සියයට 5ක සිට 10ක අභාවයට ජනයා ඍජුව හෝ වක්‍රාකාරව වගකිව යුතු බවත්, ඊළඟ අවුරුදු 20 සිට 40 දක්වා කාලය තුළදී, තවත් සියයට 60ක් අභාවයට පත් විය හැකි බවත්ය. ඕස්ට්‍රේලියානු මූදු විද්‍යා ආයතනයේ ක්ලයිව් විල්කින්සන් පවසන පරිදි, යම් දුරකට හොඳ තත්වයක පවතින්නේ, පිටිසර ප්‍රදේශවල තිබෙන පර පමණි. හානියට ලක් වූ “පරවලට, ආසියාවේ ජපානය, තායිවානය, පිලිපීනය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව හා ඉන්දියාව; අප්‍රිකාවේ කෙන්යාව, ටැන්සානියාව, මොසැම්බික් හා මැඩගස්කර්; එමෙන්ම අමෙරිකා මහද්වීපවල ඩොමිනිකන් සමූහාණ්ඩුව, හේටි, කියුබාව, ජැමෙයිකාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ සහ ෆ්ලොරිඩාව” ඇතුළත් බව USA ටුඩේ යන පුවත්පත ප්‍රකාශ කළේය. “පිරිහීමට විවිධ හේතු තිබුණත්, වෙරළාසන්නව අධික ජනගහනයක් සිටීම හා වෙරළාසන්නව අධික ලෙස සංවර්ධන ව්‍යාපෘතීන් තිබීම බොහෝ රටවල පොදු සාධක වේ.”
පිහිටි ප්‍රදේශ අනුව, සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 25 හා 29ක් අතර මූදු ජල උෂ්ණත්වයක කොරල් පර සුලබව වැඩේ. එහෙත් හොඳින් වැඩෙන කොරල් සඳහා අවශ්‍ය වන ඉතා පටු උෂ්ණත්ව පරාසය, මාරාන්තික උෂ්ණත්වයට ඉතා ආසන්නය. ගිම්හානයේ සාමාන්‍ය උෂ්ණත්ව සීමාවට වඩා අංශකයක් හෝ දෙකක් වැඩිවීම මාරාන්තික විය හැක. ප්‍රදේශයන්ට සීමා වී පවතින කොරල් සුදු වී යෑමත්, ඉන් අනතුරුව එහි අභාවය සඳහාත් විවිධ හේතු හඳුනාගත හැකි වුවත්, ලෝක ව්‍යාප්තව උෂ්ණත්වය වැඩිවීම ලොවටම බලපාන පොදු හේතුවක් විය හැකි බවට විද්‍යාඥයන් බොහෝදෙනෙක් සැක කරති. මෙම නිගමනය සම්බන්ධයෙන් සයන්ටිෆික් අමෙරිකන් සඟරාව මෙම වාර්තාව ඉදිරිපත් කළේය: “1987දී කොරල් සුදු වී යෑම හා සම්බන්ධව ලැබුණු වාර්තා හා ලෝක ව්‍යාප්තව උෂ්ණත්වය වැඩිවීම පිළිබඳ ඇති වූ වැඩි වෙමින් පැවති සැලකිල්ල එකම අවස්ථාවේදී සියල්ලන්ගේම අවධානයට ලක් විය. එමනිසා, ලොව පුරා සමුද්‍රවල උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවට පළමුවන ඉඟිය කොරල් පරවලින් සැපයූ බව විද්‍යාඥයන් සමහරෙකු මෙන්ම වෙනත් නිරීක්ෂකයන් නිගමනය කිරීම පුදුමයක් නොවේ. යම් ප්‍රදේශයක මුහුදු ජලයේ උෂ්ණත්වය වැඩිවීමෙන් සුදු වී යෑම ඇති වන බව පෙනුණත්, මෙම අංගලක්ෂණය මේ අවස්ථාවේදී ලෝක ව්‍යාප්තව උෂ්ණත්වය වැඩිවීම හා සම්බන්ධ කිරීමට තරම් ස්ථිර සාක්ෂි තවමත් නොමැත.”
යූ.එස්.නියූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් මෙසේ පැවසීය: “මෑතකදී ඇති වූ සුදු වී යෑම්, අසාමාන්‍ය ලෙස උණුසුම් වූ සාගර නිසා සිදු වූ බවට තිබූ මතය, කැරිබියන් මුහුද ආශ්‍රිතව කර තිබෙන මෑත අධ්‍යයනවලින් තහවුරු වී තිබේ.” සමස්ත ලෝක කොරල් පර සංගමයේ මූලිකත්වය ගෙන කටයුතු කරන ටොමස් ජේ. ගොරෝ, පරවල අසරණ තත්වය, කුඩා වන ඇමසන් වර්ෂා වනාන්තරය හා දුක්මුසුව සැසඳීය. ඔහු මෙසේ පැවසීය: “තව අවුරුදු පනහකින් වර්ෂා වනාන්තරවලින් සමහරක් ඉතිරි වෙලා තියේවි; හැබැයි, දැන් කොරල් පර මැරෙන වේගය ගත්තහම, ඊට වඩා අඩු කාලයකින් ඔක්කොම විනාශ වෙලා යාවි.”
ලෝක ව්‍යාප්ත විනාශය—හේතු බොහොමයක්
මධ්‍යම අමෙරිකාවේ පැසිෆික් වෙරළ ආශ්‍රිතව, 1983දී කොරල්වලින් සියයට 95ක් දක්වා ප්‍රමාණයක් මියගියේය. ඒ කාලයේදී, මධ්‍යම හා බටහිර පැසිෆික් ප්‍රදේශයේ ඒ හා සමාන නමුත් එතරම් විනාශකාරි නොවූ සුදු වී යෑමක් ඇති විය. ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය හා පැසිෆික් හා ඉන්දියන් සාගරවල යම් ප්‍රදේශ ප්‍රබල සුදු වී යෑම්වලින් පහර ලැබීය. තායිලන්තය, ඉන්දුනීසියාව හා ගැලපගෝස් දූපත්වලත් හානි සිදු වූ බවට වාර්තා විය. ඉන් අනතුරුව, බහමාස් දූපත්, කොලොම්බියාව, ජැමෙයිකාව හා පුවටෝ රිකෝහි මෙන්ම අ.එ.ජ. දකුණුදිග ටෙක්සස් හා ෆ්ලොරිඩාවේ පුළුල්ව පැතිරුණු සුදු වී යෑමක් ඇති විය.
පර විනාශයට ලක්වීම සම්බන්ධයෙන්, ලෝක ව්‍යාප්තව ඒකාකාර විලාසයක් ඉස්මතු වෙමින් පැවතිණ. නැචුරල් හිස්ට්‍රි මෙම නිරීක්ෂණය කළේය: “පර ආශ්‍රිතව ගොඩනැඟී ඇති පරිසර පද්ධති අධ්‍යයනයට ලක් කර ඇති සාපේක්ෂ වශයෙන් කෙටි කාලය තුළදී, මෑතකදී දැක තිබෙන පරිමාණයට සුදු වී යෑම කිසිදාක දැක නැත. මියාමි සරසවියේ ජීව විද්‍යාඥ පීටර් ග්ලින්, දරුණු ලෙස සුදු වී යෑමට ලක් වූ නැඟෙනහිර පැසිෆික් ප්‍රදේශයේ අවුරුදු 400ක් පැරණි කොරල් පරීක්ෂාවට ලක් කර ඇති අතර, අතීතයේ ඒ හා සමාන ආපදා සිදු වූ බවට සාක්ෂි ලැබී නැත. දරුණු ලෙස සුදු වී යෑමෙන් ඇඟවෙන්නේ 1980ගණන්වල පොදුවේ සිදු වූ උෂ්ණත්වය ඉහළ යෑම ඇතැම්විට කොරල් පරවලට උග්‍ර ලෙස බලපාන්ට ඇති බවය; එමෙන්ම ගිම්හල් ඵලය ඊටත් වඩා උණුසුම් උෂ්ණත්වයන්ට මඟ පාදයි නම්, දැන් සුදු වී යෑම අනාගතයේදී පරවලට සිදු විය හැකි දේ පිළිබඳව පෙරනිමිත්තක් විය හැක. ලෝක ව්‍යාප්තව උෂ්ණත්වය වැඩිවීම මෙන්ම පරිසරයේ බිඳවැටීම දිගටම පවතින අතරම, එය තව තවත් දරුණු වන බවට සැකයක් නැති අතර, ලෝක ව්‍යාප්තව පර සුදු වී යෑමේ චක්රයන් තව තවත් වැඩිවීමට තුඩු දෙනු ඇත. මෙය කනගාටුවට කරුණකි.”
තවත් හේතුවක් විය හැකි දෙයකට යූ.එස්.නියූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් යොමු දැක්වීය: “එමෙන්ම හානිකර පාරජම්බූල විකිරණයෙන් ජීවමාන සතුන්ව ආරක්ෂා කරන ඕසෝන් ස්තරයේ තුනීවීම, මෑතකදී පරවල අභාවයට යම් දුරකට වගකිව හැක.”
ලොවේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් වෙසෙන වෙරළාසන්න ප්‍රදේශවල, මනුෂ්‍යයන් වගකීමේ හැඟීමකින් තොරව ක්‍රියා කිරීම හේතුවෙන්, කොරල් පරවලට ඉමහත් හානි පමුණුවා ඇත. රටවල් 93ක පරවලින් සෑහෙන කොටසක් ජනයා හානියට හෝ විනාශයට ලක් කර තිබූ බව, ජගත් සංරක්ෂණ සංගමය හා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන කළ අධ්‍යයනයකින් හෙළි විය. සංවර්ධනය වෙමින් පවතින බොහෝ ප්‍රදේශ, ශෝධනය නොකළ කැළි කසළ කෙළින්ම සාගරයට එක් කරමින්, එය දූෂණයට ලක් කරයි.
කරදියෙහි වැඩෙමින් අපද්‍රව්‍ය ඉවතලන කඩොල්, දැව හා ඉන්ධන සඳහා කපාදමනු ලැබේ. ඉදි කිරීමේ ද්‍රව්‍ය සඳහා, පර කඩා බිඳ කණිණු ලැබේ. ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ, සිමෙන්ති සඳහා පරවල සම්පූර්ණ කොටස් ඉවත් කොට අඹරා පාවිච්චියට ගෙන තිබේ. ලොකු මෙන්ම කුඩා නැව්, පර මතට නැංගුරුම් හෙළීමෙන්, එසේ නැතහොත් එමතට ගොඩ වැදීමෙන්, ඒවා සුනුවිසුනු කරන්නේය.
ෆ්ලොරිඩාවේ ජොන් පෙන්කැම්ප් ජාතික කොරල් පර උද්‍යානයේ සිදු වන දේ නැෂනල් ජියෝග්රැෆික් සඟරාව විස්තර කළේය: “ඔවුන්ගේ බෝට්ටු, ජලය හා එතුළ තිබෙන සියල්ල පැට්රෝලියම් නිෂ්පාදන හා කැළි කසළවලින් දූෂණය කරයි. නිසි ලෙස බෝට්ටු නොපදවන අය පරවල හැපෙති. ප්ලාස්ටික් කෝප්පවලින්, ඇලුමිනියම් ටින්වලින්, වීදුරු, ප්ලාස්ටික් බෑග්, බෝතල් හා සැතපුම් ගණනාවකටම විහිදෙන දැල්වලින් ඔවුහු මුහුද කසළ ගොඩක් බවට පත් කරති. මෙම සුන්බුන් නැති වී යන්නේ නැත; ඒවා මුළුමනින්ම පාහේ විනාශ කළ නොහැකි තරම්ය.”
[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Australian International Public Relations අනුග්රහයෙනි
[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Bahamas Ministry of Tourism අනුග්රහයෙනි