කොරල් පර බේරාගැනීමට කළ හැක්කේ කුමක්ද?
ලොව පුරාම උෂ්ණත්වය වැඩි වන බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල් කාර්මික අතින් දියුණු වීමට වෑයම් කරද්දී එම වැඩිවීම තවත් දරුණු වන බවත්, ලොව වටා සිටින විද්‍යාඥයන් බොහෝදෙනෙක් විශ්වාස කරති. ශක්තිය සඳහා ගල් අඟුරු, තෙල් හා දර වැනි ඉන්ධන දැවීමෙන් හා කැලෑ එළි පෙහෙළි කිරීමේදී ගිනි තැබීමෙන් ලොව පුරා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් (CO2) මෙට්‍රික් ටොන් බිලියන තුනක් පමණ වාර්ෂිකව එකතු වේ. ඇතැම් විද්‍යාඥයන් පවසන පරිදි, ඉන්ධන දහනයෙන් පිට වන වායූන් හේතුවෙන් ඇති වන ගිම්හල් ඵලය නිසා, ඊළඟ සියවසේ මැද වන විට, වායුගෝලීය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 3 සිට 8 දක්වා ඉහළ නැඟීමේ තර්ජනය පවතී. උෂ්ණත්වය මෙසේ ඉහළ යෑම හේතුවෙන්, කොරල් හා පර ආශ්‍රිතව ජීවත් වන ජීවීන්ට මාරාන්තික ප්‍රතිඵල අත්වනු ඇත.
එහෙත් කොරල් පරවල අභාවය, මිහිපිට ජීවීන්ටත් අහිතකර ලෙස බලපානු ඇත. නැචුරල් හිස්ට්‍රි සඟරාව මෙසේ නිරීක්ෂණය කළේය: “කෙසේවෙතත්, ගිම්හල් ඵලය ආශ්රිත තත්වයේදී කොරල් පරවලටත් අතිවැදගත් කාර්යභාරයක් හිමි වන අතර, ගිම්හල් වායූන් අඩු කිරීමට නිවර්තන කලාපීය වර්ෂා වනාන්තර තරම්ම වැදගත් කාර්යයක් ඊට තිබිය හැක. තම සැකිලි සඳහා උන් කැල්සියම් කාබනේට් තැන්පත් කරද්දී, කොරල් මගින් සාගරවලින් CO2 විශාල පරිමාවක් ඉවත් කෙරේ. සූසැන්තලේ [කොරල්වල වෙසෙන සහජීවක ඇල්ගී] නැතුව, කොරල් මගින් පරිවෘත්තියට ලක් කරනු ලබන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය බෙහෙවින් අඩු කරනු ලැබේ. ඇත්තෙන්ම, ජලය යට පිහිටි මෙම පරිසර පද්ධතිය හානියට ලක් කිරීම, එහි අභාවය ශීඝ්‍ර කරන ක්‍රියාවලියම තවත් වේගවත් කළ හැකිවීම පුදුමයට හේතුවකි.”
දහනයෙන් පිට වන වෙනත් වායූන් ගිම්හල් ඵලය වැඩිවීමට දායක වන බවට සමහර විද්‍යාඥයෝ විශ්වාස කරති. නයිට්‍රස් ඔක්සයිඩ් ඉන් එකකි; ක්ලෝරෝෆ්ලෝරෝකාබන් (CFC) තවෙකකි. ඇත්තෙන්ම තාපය රඳවාගැනීමේ හැකියාව අතින් CO2 අණුවකට වඩා, සෑම CFC අණුවකටම 20,000 වාරයකට වැඩි කාර්යක්ෂමතාවක් තිබේ. එමෙන්ම, මිහිපිට ජීවීන්ව හානිකර පාරජම්බූල කිරණවලින් ආරක්ෂා කරන ඕසෝන් ස්තරය තුනීවීමට ප්‍රධාන හේතුව වශයෙන් CFC වගකිව යුතු බවත් පවසා තිබේ. උත්තරාර්ධගෝලයේ හා දක්ෂිණාර්ධගෝලයේ ඕසෝන් කෙතරම් තුනී වී ඇද්ද කිවහොත් එහි සිදුරු තිබේ. මෙය කොරල් සඳහා තවත් අසුබ පුවතකි. එවිටමත් උණුසුම් ජලයෙන් පීඩාවට ලක් වූ කුඩා කොරල් පර, පාරජම්බූල කිරණවලට ටිකක් වැඩියෙන් නිරාවරණය කිරීමෙන් පැවැත්වූ පරීක්ෂණවලදී, සුදු වී යෑම තවත් උග්‍ර විය. සයන්ටිෆික් අමෙරිකන් සඟරාව මෙම දුක්මුසු නිරීක්ෂණය කළේය: “ක්ලෝරෝෆ්ලෝරෝකාබන් නිකුත් වීම්, අදම නතර කරනු ලැබුවත්, අපරිවර්තී ගෝලයේ තිබෙන ඕසෝන් විනාශ කරන රසායනික ප්‍රතික්‍රියා, යටත් පිරිසෙයින් තවත් සියවසක් දක්වා පවතිනු ඇත. හේතුව සරලය: එම සංයෝග, වායුගෝලයේ ඒ තරම් කාලයකට පවතින අතර, නිකුත් වීම් නතර වීමෙන් බොහෝ කාලයකට පසුව පවා, එම සංයෝග තැන්පත් වී තිබෙන පරිවර්තී ගෝලයේ සිට, අපරිවර්තී ගෝලය දක්වා දිගටම පැතිරෙනු ඇත.”
පෞද්ගලික මට්ටමෙන්, සාගර හෝ වෙරළබඩ පෙදෙස් අපද්‍රව්‍ය හා දූෂ්යකාරකවලින් දූෂණය නොකිරීමෙන් පුද්ගලයන්ට වගකීමේ හැඟීමකින් ක්‍රියා කළ හැක. ඔබ පරයක් බලන්න යනවා නම්, කොරල් නොඇල්ලීමට හා එමත සිටගෙන නොසිටීමට වූ උපදෙස්වලට අනුකූල වන්න. කොරල් සිහිවටන ගන්නවත්, මිල දී ගන්නවත් එපා. නිවර්තන කලාපීය පර ආසන්නව බෝට්ටුවෙන් ගමන් කරනවා නම්, වැලි සහිත මුහුදු පතුල්වල හෝ මූදු බලධාරීන් විසින් සපයා තිබෙන පාවෙන බෝට්ටු නැංගුරුම් දමන ස්ථානවල නැංගුරුම් හෙළන්න. අධික වේගයකින් ගමන් නොකරන්න; ඔබේ බෝට්ටුවේ අවර පෙත්තෙන්, පතුල කලතන්න එපා. සාගරයට කැළි කසළ එකතු නොකරන්න; ඒවා බාරගන්නා නැව්පොළවල් සොයා යන්න. ලුවී කී ජාතික මූදු අභය භූමියේ (අ.එ.ජ. ෆ්ලොරිඩාව), කළමනාකාර බිල් කෝසි මෙම අදහස ඉදිරිපත් කළේය: “සමහරවිට අසමබරතාවයට හේතු වන ගැටලුව ඇති කරන්නේ මනුෂ්‍යයායි. ඒ සම්බන්ධයෙන් අපට ලෝකය පුරාම අවබෝධයෙන් කටයුතු කරන්න සිදු වෙනවා. ප්‍රධාන පරිසර පද්ධතියක් අහිමි කරගැනීමේ තර්ජනය සම්බන්ධයෙන් මහජන අවබෝධය දිගටම වැඩි කරන්න අපි කටයුතු කරනවා නම්, සමහරවිට තත්වය වෙනස් කරන්න අපට පුළුවන් වේවි.”
ප්‍රාදේශීය මට්ටමකින්, කොරල් පර ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කරනු ලබන අතර, ඒවා ක්‍රියාත්මක වේ. ෆ්ලොරිඩා ජනපදයෙහි පර හානියට ලක් කරන නැව්වල අයිතිකරුවන්ට එරෙහිව එම අධිකාරීන් විසින් නඩු දමනු ලැබේ. ගොඩ වැදුණු අවස්ථාවේදී කොරල් අක්කර කිහිපයක්ම විනාශ කළ බඩු නැවක අයිතිකරුවන්ට ඩොලර් මිලියන හයක දඩයක් ගෙවීමට සිදු විය. මූදු පරිසරය ප්‍රකෘති තත්වයට ගෙන ඒම සඳහා එම මුදලින් කොටසක් යොදාගන්නා ලදි. දැනට, ජීව විද්‍යාඥයෝ විශේෂ මැලියම් වර්ගයක් උපයෝගි කරගනිමින්, 1994දී නැවකින් හානියට ලක් කළ කොරල් නැවත සම්බන්ධ කිරීමට තැත් කරති. තවත් සමාගමක බඩු නැවක් ෆ්ලොරිඩාවේ පරයකට සිදු කළ හානි නිසා, එයට විරුද්ධවත් ඩොලර් මිලියන 3.2ක දඩයක් පනවන ලදි. වෙනත් රටවල්ද ඒ හා සමාන තහංචි ක්‍රියාත්මක කරමින් සිටී. කැරිබියන් මුහුදු කේමන් දූපත් වැනි කිමිදීම සඳහා ජනප්‍රිය ස්ථාන, කිමිදීමට අවසර ඇති සීමිත තැන්වලින් සමන්විතය. ඕස්ට්‍රේලියාවේ මහා බාධක පර මූදු උද්‍යානය බිහි කරනු ලැබුවේ, එහි කාරණා කටයුතු පාලනය කිරීම සඳහාය. එහෙත් සියලුදෙනාම දැක ඇති පරිදි, කිමිදුම්කරුවන් වැඩි වන තරමට, පරවලට සිදු වන හානියද වැඩි වේ.
සියලුම ජාතීන් සටනට හවුල් වේවිද?
ලෝක ව්‍යාප්ත පරිමාණයකින්, එක් ජාතියකට හෝ ජාතීන් කිහිපයකින් සෑදුණු කණ්ඩායමකට පවා විසඳුම අත් කර දිය නොහැකි දෙයක් බව, තැතිගත් විද්‍යාඥයෝ හා නායකයෝ නිගමනය කරති. චක්රාකාරව ගමන් කරන වාත හා ජල ප්‍රවාහ මගින් දූෂණය ලොව පුරා ගෙනයනු ලබන අතර, මෙය පරවලට බෙහෙවින් බලපායි. එක් එක් ජාතියක අධීක්ෂණය සීමා වන්නේ එහි දේශභූමිය සමුද්රතීරයට පමණි. ගැඹුරු මුහුදේ ඉවතලන අපද්‍රව්‍ය, අවසානයේදී වෙරළවල්වල තැන්පත් වේ. එක්සත් සමස්ත ලෝක ප්රයත්නයක් හා විසඳුමක් අවශ්‍යය.
පෘථිවියේ ගරුබිය දනවන කොරල් සම්පත බේරාගැනීමට, ලොවේ ජීවත් වන අවංක, දැන උගත් ජනයාගෙන් බොහෝදෙනෙකු දිගටම මහත් ආයාසයක් දරන බවට සැකයක් නැත. පෘථිවියේ පරිසරය ගැන අවබෝධයෙන් හා සැලකිලිමත්ව කටයුතු කරන ලෝක ආණ්ඩුවක් පැහැදිලිව හා අතිශයින් අවශ්‍යය. මැවුම්කරුවාම සමස්ත ලෝක පරිසරය බේරාගැනීමට ඉදිරිපත් වීම සන්තෝෂයට කරුණකි. දෙවියන්වහන්සේ පළමු මනුෂ්‍යයන් සෑදූ විට, මෙසේ පැවසූසේක: “ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද [සියලුම මූදු ජීවීන් කෙරෙහිද] . . . ආණ්ඩුකෙරෙත්[වා].” (උත්පත්ති 1:26) දෙවියන්වහන්සේ මූදු ජීවීන් හානියට ලක් කළේවත්, ඉන් අයුතු ප්‍රයෝජන ලබාගත්තේවත් නැති නිසා, මනුෂ්‍යවර්ගයාට උන්වහන්සේ දුන් නියෝගයේ අදහස, මනුෂ්‍යයා සමස්ත ලෝක පරිසරයම බලාකියා ගත යුතු වීම වන්ට ඇත. බයිබලය මෙසේ පුරෝකථනය කරයි: “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද [දෙවියන්වහන්සේගේ ස්වර්ගික රාජ්‍යය] අලුත් පොළොවක්ද උන්වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු.” (2 පේතෘස් 3:13) නුදුරු අනාගතයේදී, එම ස්වර්ගික ආණ්ඩුව සමුද්‍රයන් ඇතුළුව මෙම දූෂිත වූ පොළොව සම්පූර්ණයෙන්ම පවිත්‍ර කරනු ඇත. එවිට, දේවරාජ්‍යයේ පුරවැසියෝ, අලංකාරවත් සමුද්‍රයන් හා එහි වෙසෙන මූදු ජීවීන් බලාකියා ගනිමින්, ඉන් පූර්ණ ආස්වාදයක් ලබනු නියතය.
[24වන පිටුවේ පින්තූර]
පසුබිම: ෆීජි අසල පැසිෆික් සාගරයේ අලංකාර කොරල් පරයක්
අමතර පින්තූරු: 1. ජලයේ සිටම ගත්, කවට මාළුවෙකුගේ ඡායාරූපයක්, 2. මේසයකට සමාන කොරල්, 3. කොරල් මත පිරිසිදු කිරීමෙහි නිරත වන ඉස්සෙක්
[හිමිකම් විස්තර]
18වන පිටුවේ පසුබිම: Fiji Visitors Bureau