අපරාධ අවසන් කරන ආණ්ඩුවක් අවසානයේදී
බයිබලය පුරෝකථනය කළේ, අපගේ දවසේදී, “මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටු කරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව” සිටිනු ඇත කියාය. (2 තිමෝති 3:2, 3) එවැනි මනුෂ්‍යයෝ අපරාධ සිදු කරති.
අපරාධ සිදු කරන්නේ මිනිසුන් නිසා, ඔවුන් යහපත් වන තරමටම අපරාධ අඩු වෙයි. එහෙත්, යහපත් බවට හැරීම මිනිසුන්ට කවරදාකවත් පහසු දෙයක් වී නොමැත. අදදින එය කවරදාකටත් වඩා දුෂ්කරය; බයිබල් කාලනිර්ණය මත පදනම් දිනයක් වන 1914 සිට, දේවල පිළිවෙළේ “අන්තිම දවස්වල” අපි ජීවත් වෙමින් සිටින්නෙමු. බයිබලය පුරෝකථනය කළ පරිදි, මෙම කාලපරිච්ඡේදයේ ප්‍රධාන අංගලක්ෂණය “කටයුතු කිරීමට දුෂ්කර කාලවල්” [NW] වේ. මෙවැනි දුෂ්කර කාලයක් ඇති කර ඇත්තේ, ‘තමන්ට ඇත්තේ ස්වල්ප කාලයක් බව දැන මහත් උදහසින් ක්‍රියා කරන’ මහා අපරාධකාරයා වන සාතන් නමැති යක්ෂයා විසිනි.—2 තිමෝති 3:1; එළිදරව් 12:12
අදදින අපරාධවල ඉහළ නැඟීම ඉන් පැහැදිලි වේ. තමාවත් තමාගේ පිළිවෙළත් ඉතා ඉක්මනින් විනාශ වන බව සාතන් දනී. තිබෙන සුළු කාලයේදී, 2 තිමෝති 3වන පරිච්ඡේදයේ සඳහන් නරක ගුණාංග මිනිසුන්ගේ සිතෙහි තැන්පත් කරන්ට ඔහු හැකි සෑම වෑයමක්ම දරයි. තවදුරටත්, ආණ්ඩුවකට අපරාධ අවසන් කරන්ට නම්, එය සාතන්ගේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය යුතු අතර, ඉහත සඳහන් කළ ආකාරයට ක්‍රියා නොකිරීම සඳහා ජීවිත වෙනස් කරගන්ට මිනිසුන්ට උපකාර කිරීමත් අවශ්‍යයි. එහෙත්, එම අධිමානුෂික කටයුත්ත ඉෂ්ට කිරීමට සමර්ථ ආණ්ඩුවක් තිබේද?
කිසිම මිනිස් ආණ්ඩුවක් මෙය කිරීමෙහි සමර්ථ නොවේ. යුක්රේන්හි, නීති ගුරුවරයෙක් වූ ජේ. වාස්කෝවිච්, “සියලුම පොදු සංවිධාන සහ ජනපද, එක්සත් සහ සම්බන්ධීකරණය කිරීමට සමත් පොදු මණ්ඩලයක” අවශ්‍යතාව යෝජනා කරයි. තවද අපරාධ පිළිබඳ ලෝක සම්මේලනයකදී පිලිපීන ජනාධිපති ෆිඩෙල් රාමෝස් මෙසේ ප්‍රකාශ කළේය: “නවීකරණය, අපේ ලොව කුඩා කර ඇති බැවින්, අපරාධ, දේශ සීමා මායිම් හරහා යෑමට සමත්ව ඇති අතර, එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්ව ඇත. ඒ අනුව පිළිතුරද ජාත්‍යන්තර එකක් විය යුතුය.”
“ලෝක ව්‍යාප්ත ඛේදවාචකයක්”
එක්සත් ජාතීන් ජාත්‍යන්තර (අන්තර්ජාතික) මණ්ඩලයකි. එය ආරම්භ වූ දා සිට අපරාධ සමඟ සටන් කිරීමට වෑයම් කර ඇත. එහෙත් ජාතික ආණ්ඩුවලට වඩා වෙනස්, වෙනත් විසඳුම් එයටද ලැබී නැත. දි යුනයිටඩ් නේෂන්ස් ඇන්ඩ් ක්‍රයිම් ප්‍රිවෙන්ෂන් නම් පොත සඳහන් කරන්නේ මෙසේය: “රට තුළ සිදු වන අපරාධ බොහෝ ජාතීන්ට පාලනය කළ නොහැකි අතර, ලොව පුරා ජාතීන්ට ජාත්‍යන්තර අපරාධ පාලනය කළ නොහැකි තරම්ය. . . . සංවිධානය වූ අපරාධ කල්ලි මගින් සිදු කරන අපරාධ බියගන්වන ආකාරයකින් වැඩි වී ඇති අතර, ශාරීරික සැහැසියාව, භයගැන්වීම හා ප්‍රසිද්ධ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා විශේෂයෙන්ම බරපතළ වූ ප්‍රතිඵල හැටියට ගත හැක. ත්‍රස්තවාදය, අහිංසක ගොදුරු දසදහස් ගණනක් ඩැහැගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම ලෝක ව්‍යාප්ත ඛේදවාචකයක් බවට පත්ව ඇත.”
එක්සත් ජනපදයේ හතරවන ජනාධිපති වන ජේම්ස් මැඩිසන් වරක් කීවේ: “මනුෂ්‍යයන් විසින් මනුෂ්‍යයන්ව පාලනය කිරීමට ආණ්ඩුවක් සකස් කිරීමේදී, මහත්ම දුෂ්කරතාව මෙයයි: පළමුව ආණ්ඩුවට ආණ්ඩු කරනු ලබන්නන්ව පාලනය කිරීමට හැකියාව දිය යුතුය; ඊළඟට තමාව පාලනය කිරීමට එය බැඳී සිටිය යුතුය” කියාය. (දේශනාකාරයා 8:9, සසඳන්න.) එබැවින් හොඳම විසඳුම වන්නේ, “මනුෂ්‍යයන් විසින් මනුෂ්‍යයන්ව පාලනය කිරීමට” තිබෙන ආණ්ඩු වෙනුවට දෙවියන්වහන්සේ විසින් ආණ්ඩු කරන ක්‍රමයක් පිහිටුවීමයි. එහෙත්, එවැනි පිළියමක් යථාර්ථානුරූපීද?
අපරාධ අවසන් කරන ආණ්ඩුව
දේවරාජ්‍යය පිළිබඳව බයිබලය කියන දේ ගැන සැබෑ ක්‍රිස්තියානීහු විශ්වාස කරති.a එය සැබෑ ආණ්ඩුවකි. ස්වර්ගයේ තිබෙන බැවින් එය අදෘශ්‍යමාන වුවත් පොළොව මත එහි ක්රියාකාරිත්වයන් දෘශ්‍යමානය. (මතෙව් 6:9, 10) එය සෑදී තිබෙන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ 1,44,000දෙනෙකුගෙනි; එනම්, “සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනගගෙන්ද ජාතීන්ගෙන්ද . . . පොළොවෙහි [පොළොව කෙරෙහි, NW] රජකම්” කිරීම සඳහාය. බයිබලය පුරෝකථනය කරන ලෙස, මෙම බලවත් රාජ්‍යය “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” සමන්විත “මහත් සමූහයක්” කෙරෙහි අධිපතිකම් කරන්නේය. (එළිදරව් 5:9, 10; 7:9) මෙලෙස, පාලකයනුත් පාලිතයනුත් ජාත්‍යන්තර පසුබිමකින් මෙන්ම, සියලු ජාතීන්ගෙන් යුත්, දිව්‍ය අනුමැතිය ඇති, ඇත්තෙන්ම එක්සත් සෙනඟකි.
දේවරාජ්‍යය පිළිගැනීම, තමුන් අතර අපරාධ සම්බන්ධ ප්‍රශ්න වැඩි වශයෙන් ජයගැනීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට හැකි කරවා ඇත. කෙසේද? බයිබල් ප්රතිපත්තිවල ඇති ප්‍රඥාව අගය කිරීමට ඉගෙනගැනීමෙනුත්, ඒවා තම ජීවිතවලට අදාළ කරගැනීමෙනුත්, විශ්වයේ ප්‍රබලම බලය වන දෙවියන්වහන්සේගේ ආත්මය සහ එහි ඵලය වන ප්‍රේමය මගින් පොලඹවනු ලැබීමට, තමන්වම ඉඩහැරීමෙනුත්ය. දේවවචනය සඳහන් කරන්නේ: ‘ප්‍රේමය නමැති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න’ කියාය. (කොලොස්සි 3:14) දේවරාජ්‍යය අපරාධ අවසන් කරන්ට දැනටමත් අඩිතාලම් දමා ඇත්තේ කෙසේද කියා නිරූපණය කිරීම සඳහා, දේශයන් 230කට වැඩි ප්‍රමාණයක යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, මෙම ප්‍රේමය සහ එක්සත්කම විදහාපාති.
ජර්මනියේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් 1,45,958කගේ සහභාගිත්වයෙන්, 1994දී කළ සමීක්ෂණයක ප්‍රතිඵලවලින් මෙය නිදර්ශනය කළ හැකිය. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වීම අරභයා බරපතළ දෝෂවලින් ගොඩ එන්ට සිදු වූ බව පිළිගත්තෝය. ඔවුන් එසේ කිරීමට පෙලඹුණේ, ඔවුන්ගේ බයිබල් අධ්‍යයනය මාර්ගයෙනි. උදාහරණයක් වශයෙන්, 30,060දෙනෙක් දුම්කොළවලට හෝ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමෙන් ගොඩ ආහ; 1,437දෙනෙක් සූදුව අතහැර දැමූහ; 4,362දෙනෙක් සාහසික හෝ සාපරාධී හැසිරීමෙන් ඉවත් වූහ; 11,149දෙනෙක් ඊර්ෂ්‍යාව හෝ වෛරය වැනි ගතිලක්ෂණවලින් ගොඩ ආහ; 12,820දෙනෙක් පීඩිත වූ පවුල් ජීවිතයකට නැවත සාමයක් ලබා දුන්හ.
මෙම සොයාගැනීම් සම්බන්ධ වූයේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරයන් සිටින එක රටක වුවත්, එය ලොව වටා සාක්ෂිකරුවන්ව ආදර්ශනය කරයි. උදාහරණයක් ලෙස යුක්රේනියානු තරුණයෙක් වන යූරිව ගන්න. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්ට ඉගෙනගන්නා විට ඔහු පික් පොකට්කරුවෙකි. සෙනඟ, ඔහුගේ “රැකියාව” පහසු කරවන බව දැනසිටි බැවින්, ඔහු මොස්කව්වලට පවා ගමන් කළේය.
එක්දහස් නවසිය අනූතුනේදී, යූරි නැවතත් මොස්කව්හි මහත් සෙනඟක් අතර සිටියි. එහෙත් ජූලි 23වන සිකුරාදා, ලොකොමටීෆ් ක්‍රීඩාංගනයේ රැස්වී සිටි 23,000දෙනාගෙන් කිසිවෙකු ඔහුට භයවීමට අවශ්‍ය වූයේ නැත්තේ, ඔහු දැන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකුව සිටි නිසාය. ඇත්තවශයෙන්ම, යූරි සිටියේ වේදිකාවේ, ජාත්‍යන්තර සබයකට ඉදිරිපත් කරන වැඩසටහනකට සහභාගි වෙමිනි. ඔහු හොඳ අතට වෙනස් වී, බයිබලයේ නියෝගයට අවනත වී සිටියි: “සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා.”—එපීස 4:28.
යූරි මෙන් වූ තව බොහෝදෙනෙකු, අපරාධ ඇතුළත් තම ජීවන රටාව අත්හැර, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ නව ලෝකය තුළ ජීවත්වීම සඳහා සුදුසුකම් ලබා තිබේ. මෙය හිටපු බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකු වන, ශ්‍රීමත් පීටර් ඉම්බර්ට් කී දෙයෙහි සත්‍යතාව කාවද්දවයි: “සෑම කෙනෙක්ම වෑයම් දැරීමට සූදානම් නම්, අපරාධය එක රැයකින් පාලනය කරන්න පුළුවන්.” දේවරාජ්‍යය තුළින් ඉදිරිපත් කරන බයිබල් අධ්‍යාපනික වැඩසටහන අවංක හදවත් ඇති මනුෂ්‍යයන්ට “වෑයම් දැරීමට” පෙලඹවීම සපයයි.
අපරාධයෙන් තොර ලොවක්
ඕනෑම ආකාරයක අපරාධයක්, අන්‍යයන් කෙරෙහි ප්‍රේමයේ හීනතාවක් පිළිබිඹු කරයි. ක්‍රිස්තියානීන් අනුගමනය කරන්නේ, මෙසේ කී යේසුස්වහන්සේගේ ආදර්ශයයි: “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව.” එමෙන්ම “නුඹට මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේමකරව.”—මතෙව් 22:37-39.
මෙම ආඥා දෙකට කීකරු වීමට ඉගැන්වීම මගින් අපරාධ අවසන් කිරීම සඳහා කැප වූ එකම ආණ්ඩුව, දේවරාජ්‍යයයි. අදදින, මිලියන පහකට වැඩි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සංඛ්‍යාවක් මෙම උපදෙස්වලින් ප්‍රයෝජන ලබත්. ඔවුහු සාපරාධී නැඹුරුවාවන් තම හදවත් තුළ මුල්බැස ගැනීමට ඉඩ නොදී, අපරාධයෙන් තොර ලොවක් සඳහා ඕනෑම පෞද්ගලික වෑයමක් දරන්ට සූදානම්ව සිටින්ට අධිෂ්ඨාන කරගෙන සිටිති. ඔවුන්ගේ ජීවිත තුළ දෙවියන්වහන්සේ ඉෂ්ට කර තිබෙන දේ, තම ස්වර්ගීය ආණ්ඩුව පාලනය කරන විට තමන්වහන්සේ කරන්ට යන දෙයෙහි කලින් රස විඳීමක් වනවා පමණි. පොලිස් නිලධාරීන්, විනිශ්චයකාරයන්, නීතිඥයන් සහ බන්ධනාගාර අවශ්‍ය නොවන ලොවක් ගැන සිතන්න!
ලෝක ව්‍යාප්ත පරිමාණයකින් මෙය අත් කරගැනීමට දෙවියන්වහන්සේ විසින්ම ඉතිහාසය පුරා ප්රබලතම ආණ්ඩුමය විප්ලවය ගෙන ඒම මීට ඇතුළත්ය. දානියෙල් 2:44, 45 කියන්නේ: “ඒ [අදදින පවතින] රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ [ස්වර්ගික] රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය; . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය” කියාය. ඔහුගේ නපුරු බලපෑම් අවසන් කිරීමෙන්, දෙවියන්වහන්සේ සාතන්වද පොඩි කර දමනසේක.—රෝම 16:20.
මිනිස් ආණ්ඩු වෙනුවට දෙවියන්වහන්සේගේ ස්වර්ගීය ආණ්ඩුව පත් වූ විට, මනුෂ්‍යයා විසින් එකිනෙකාට ඉහළින් යළි කිසිදා පාලනය නොකරනු ඇත. ස්වර්ගීය රජවරු—දේවදූතයන්ටත් වඩා උසස් රජවරු—ධර්මිෂ්ඨකමේ මාර්ගවල මිනිස්වර්ගයාට උපදෙස් දෙනු ඇත. එවිට රහසින් මිනිමැරීම්, විෂ වායු ආක්‍රමණ හෝ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර තවත් නැත! අපරාධ බෝ කරන සමාජ අසාධාරණයන් නැත! ඇති නැති අය අතර පරතරයක් තවත් නැත!
නයිජීරියාවේ ඕබෙෆෙමි ආවොලොවො විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන එස්. ඒ. අලූකො නිරීක්ෂණය කළේ: “බඩගින්න නිසා දුප්පතුන්ට රාත්රියේදී නිදන්ට බැරිය; ඔවුන් ඇහැරගෙන නිසා පොහොසතුන්ට නිදාගන්ට බැරිය” යනුවෙනි. එහෙත්, එම රාජ්‍යය—දේවරාජ්‍යය—අවසානයේදී අපරාධ අවසන් කර ඇති බව දැනගත් විට, සියල්ලන්ටම හොඳින් නිදාගත හැකි වනු ඇත.
[පාදසටහන]
a දේවරාජ්‍යය යනු කුමක්ද සහ විශ්වාසවන්ත මිනිස්වර්ගයාට එය ප්‍රයෝජන ගෙන දෙන්නේ කෙසේද යන්න ගැන වැඩි විස්තර සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන පොත කරුණාකර කියවන්න.
[10වන පිටුවේ පින්තූරය]
කලින් හොරෙක් සහ ඔහුගේ ගොදුර, දැන් ක්‍රිස්තියානි සහෝදරයන් ලෙස එක්සත්ව