බොහෝදෙනෙක් ණයෙන් මිරිකී සිටීමට හේතු
මයිකල් සහ රීනා තම මධුසමය ගත කළ ස්ථානයට නැවත ගොස් තමන්ගේ පළමු විවාහ සංවත්සරය පැවැත්වූහ. නමුත් විවාහයේ දෙවන වසර ඇරඹෙත්ම, ඔවුන්හට අප්‍රසන්න යථාර්ථයකට මුහුණ දීමට සිදු විණ. ඔවුන් මොනතරම් දේවල් පිරිමසා ගත්තත්, ඔවුන්ගේ සියලුම බිල්පත් ගෙවා දමන්ට ඔවුන්ට හැකි වූයේ නැත.
තවත් යුවළක් ගැන සලකා බලන්න. රොබට්, රොන්ඩා හා විවාහ වන විට, ඔහුට ගෙවීමට තිබුණේ පුංචි ශිෂ්‍ය ණයක් පමණි; එමෙන්ම රොන්ඩාටද ගෙවීමට තිබුණේ, කාර් රථයේ වාරිකයන් පමණි. “අපි දෙන්නම පූර්ණ කාලීනව වැඩ කළා. දෙන්නා එකතු වෙලා මසෙකට එ.ජ. ඩොලර් 2,950ක් උපයගත්තා. ඒත් අපි හිතුව විදිහට කිසි දෙයක් කරගන්න පුළුවන් වුණේ නැහැ” යයි රොබට් පවසයි. “අපි මුකුත් ලොකු දෙයක් මිල දී ගත්තේවත්, මෝඩ විදිහට වියදම් කළේවත් නැහැ. අපේ සල්ලිවලට මොනවා වෙනවද කියලා මට නං තේරුම්ගන්න බැරි වුණා” යයි කියන්නේ රොන්ඩායි.
රොබට් සහ රොන්ඩා අලසයෝ නොවූහ. මයිකල් සහ රීනාද එසේ නොවූහ. ඔවුන්ගේ ගැටලුව වූයේ කුමක්ද? ක්‍රෙඩිට් කාඩ්පත් ණයයි. විවාහයේ පළමු වසරේදීම මයිකල්ගේ සහ රීනාගේ ක්‍රෙඩිට් කාඩ්පත් නිසා ඩොලර් 14,000ක ණයක් ගෙවීමට තිබිණ. විවාහයෙන් දෙවසරකට පසු, රොබට් සහ රොන්ඩාගේ කාඩ් මත ඩොලර් 6,000ක ණයක් සටහන් වී තිබිණ.
ඇන්තනි, මැදිවියේ පවුල්කාරයෙකි; ඔහු පවා ඔහුගේ ජීවිතයේ ආර්ථික අරගලයට මුහුණ දුන් කෙනෙකි. කෙසේවෙතත්, ඔහුගේ ගැටලුව, ක්‍රෙඩිට් කාඩ්පත්වලට සම්බන්ධ එකක් නොවීය. වර්ෂ 1993දී ඔහු සේවය කරමින් සිටි කොම්පැනිය සුළු පරිමාණයෙන් කිරීමට තීරණය වීමෙන්, අවුරුද්දකට ඩොලර් 48,000ක් ලැබූ ඔහුගේ කළමනාකාර තනතුර ඔහුට අහිමි වී ගියේය. ඉන්පසුව, සිව්දෙනෙකුගෙන් යුත් ඔහුගේ පවුලට සැපයීම ඔහුට විශාල අභියෝගයක් විය. ඒ හා සමානව, නිව් යෝර්ක් නුවර පදිංචි තනිමව්පියෙකු වන ජැනට්ටද තම වාර්ෂික ආදායම වන ඩොලර් 11,000න් වියදම් සරි කරගැනීමට හැකි වූයේ යන්තමිනි.
සුදුසු සේ මුදල් පාලනය කිරීම මගින්, බොහෝ මූල්‍යමය ගැටලුවලට සහනයක් ලබාගත හැකි වග සැබෑ වුවත්, සැබෑ කාරණය නම්, අප ජීවත් වන්නේ, “තමන්ගේ සිත්වල නිෂ්ඵලකමින්” හැසිර, තමන්ට පාඩු උපදවාගන්නාවූ කාලපරිච්ඡේදයක යන්නයි. (එපීස 4:17) ග්‍රේස් ඩබ්. වයින්ස්ටයින්, තම ද ලයිෆ්ටයිම් බුක් ඔෆ් මනි මැනෙජ්මන්ට් (මුදල් පාලනය පිළිබඳ යාවජීව අත්පොත) යන පොතෙහි නිරීක්ෂණය කරන්නේ මෙසේය: “මූල්‍යමය ක්‍රම සහ විධි පිළිබඳ බොහෝ නීති වෙනස් වී ඇත; කලින් කිව නොහැකි ආර්ථිකය නිසාත්, වියදම් කිරීම හා ඉතිරි කිරීම කෙරෙහි තිබෙන අලුත් ආකල්ප නිසාත්, ජීවන රටාවන් වෙනස් වෙමින් පවතින නිසාත්, එය කනපිට හැරී ඇත.” අප ජීවත් වන මෙම වෙනස්වනසුලු ලෝකය තුළ පවුල් සහ පෞද්ගලික අයවැය පාලනය කිරීමේ වැඩි වන දුෂ්කරතාවක් මනුෂ්‍යයන් විසින් වඩවඩා අද්දැක තිබේ.
මයිකල් සහ රීනා, රොබට් සහ රොන්ඩා, ඇන්තනි සහ ජැනට් යන අයට ඔවුන්ගේ අයවැය සාර්ථකව හසුරුවන්ට හැකියාව ලැබීම සන්තෝෂයට කරුණකි. ඔවුන්ට උපකාර වූයේ කුමක්දැයි සලකා බැලීමට කලින්, බොහෝදෙනෙකුගේ මූල්‍යමය විපත් සඳහා හේතුකාරකය වූ මුදල් පහසුවෙන් වියදම් කිරීමට දායක වුණේ කුමක්ද කියා කිට්ටුවෙන් පරීක්ෂා කර බලමු—ඔව්, ඒ තමයි ක්‍රෙඩිට් කාඩ්පත්.