දෙවි සූදුකාරයෙක්ද, මැවුම්කාරයෙක්ද?
“ගුප්ත තර්ක මදිවට, ඕනෑම ආකාරයේ අධ්‍යාත්මික තර්කයකට වුවත්, විද්වතුන් බොහෝදෙනෙකු හිතෙන හිතෙන විදිහට විරුද්ධ වන බවට කිසිම සැකයක් නැහැ. දෙවි කෙනෙක් ඉන්න හෝ යම් අපුද්ගල නිර්මාණාත්මක මූලධර්මයක් පවා ඇතැම්විට තියෙන්න පුළුවන් කියන අදහසට ඔවුන් අවමන්සහගතව ප්‍රතිචාරය දක්වනවා . . . පෞද්ගලිකව මට ඔවුන්ට තියෙන එවැනි අවමන්සහගත හැඟීම නැහැ.” මෙහෙම ප්‍රකාශ කළේ ද මයින්ඩ් ඔෆ් ගෝඩ් (දෙවිගේ මනස) යන තම පොතේ, දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සරසවියේ ගණිත භෞතික විද්‍යාවේ මහාචාර්ය පෝල් ඩේවීස්.
ඩේවීස් තවදුරටත් මෙහෙම කියනවා: “සංකීර්ණත්වය සහ ප්‍රභේද බිහි වෙන්න විශ්වයේ නීති සැලකිය යුතු අන්දමකින් වාසිදායකයි කියලා පරෙස්සමින් කරලා තියෙන අධ්‍යයනවලින් යෝජනා කෙරෙනවා. ජීවීන් ගත්තොත්, ඒවායේ පැවැත්ම එකපාරටම වගේ අහම්බෙන් සිදු වන වාසිදායක සිද්ධීන් කිහිපයක් මත රඳා පවතින බව පේනවා; සමහර විද්වතුන් සහ දර්ශනවාදීන් එහෙම වෙලා තියෙන එක ඇත්තෙන්ම පුදුමසහගතයි කියලා ප්‍රසිද්ධියේ පිළිගෙන තියෙනවා.”
ඔහු තවදුරටත් මෙහෙම කියනවා: “විද්‍යාත්මක ගවේෂණය නොදන්නා දේ තුළට යන ගමනක්. . . . ඒත් ඒ සියල්ල තුළ බුද්ධිගෝචර මෙන්ම පිළිවෙළක් ඇති සුපුරුදු සම්බන්ධයක් තියෙනවා. මෙම විශ්ව පිළිවෙළ නිශ්චිත ගණිත නීති මගින් උසුලනු ලබන බව අපිට දකින්න පුළුවන් වේවි; මෙම නීති සියුම් එකඟතාවකින් යුත් ඒකත්වයක් බිහි කරන්න එකිනෙක හා බැඳෙනවා. මෙම නීතිවලට ශෝභමාන සරලකමක් තියෙනවා.”
ඩේවීස් මෙහෙම කියමින් අවසන් කරනවා: “විශ්වය තේරුම්ගැනීමට යතුර සපයන බුද්ධිගෝචරබවේ ගිනි පුපුර දරන්නේ හෝමො සපියන්ස්ම විතරක් කියන එක ලොකු ප්‍රහේලිකාවක්. . . . විශ්වයේ අපේ පැවැත්ම, නිකම්ම දෛවයේ විකාරයක් කියලාවත්, ඉතිහාසයේ අත්වැරැද්දක් කියලාවත්, මහා විශ්ව නාට්‍යයේ අනියම් ලෙස ඇති වුණු අක්‍රමිකතාවක් කියලාවත් මට කොහොමටවත් විශ්වාස කරන්න බැහැ. අපේ සම්බන්ධය සමීප වැඩියි. . . . අපි මෙහෙ ඉන්න එක ඇත්තටම අදහස් කරපු දෙයක්.” කොහොම වුණත්, නිර්මාතෘවරයෙක්, එනම් දෙවිකෙනෙක් ඉන්නවා කියන නිගමනයට ඩේවීස් එළඹෙන්නේ නැහැ. නමුත් ඔබ එළඹෙන්නේ මොන නිගමනයටද? මනුෂ්‍යවර්ගයා මෙහෙ ඉන්න එක අදහස් කරනු ලැබූවක්ද? ඒක ඇත්තක් නම්, අපි මෙහෙ ඉන්න එක අදහස් කළේ කවුද?
‘ප්රහේලිකාවට’ යතුරු
ඩේවීස් “ලොකු ප්‍රහේලිකාවක්” හැටියට හඳුන්වන දේ තේරුම්ගන්න ප්‍රේරිත පාවුල් බයිබලයෙහි ඉඟියක් ඉදිරිපත් කරනවා. දෙවි තමන්වම එළිදරව් කරලා තියෙන්නේ කොහොමද කියලා පාවුල් පෙන්නුම් කරනවා: “මක්නිසාද [දෙවි] ගැන දැනගන්ට පුළුවන් දේ ඔවුන් [“සත්‍යය යටපත් කරන මනුෂ්‍යයන්”] තුළ ප්‍රකාශව තිබේ; කුමක්හෙයින්ද [දෙවි] එය ඔවුන්ට ප්‍රකාශක[ළේය]. මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් [දෙවිගේ] අදෘශ්‍යමාන දේ [ගුණාංග, NW] වන [ඔහුගේ] සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලිලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.” (රෝම 1:18-20)a ඔව්, ජීව ස්වරූපවල නිමක් නැති ප්‍රභේද, ඒවායේ පුදුම දනවන සංකීර්ණත්වය හා ඒවායේ විශිෂ්ට නිර්මාණය, මිනිසා මෙතෙක් දැනගෙන ඉඳලා තියෙන කිසිම දෙයකට වඩා අතිශයින් උත්කෘෂ්ට වූ අතිශ්‍රේෂ්ඨ බලයක්, බුද්ධියක් හෝ මනසක් තියෙන බව හඳුනාගන්න නිහතමානී, භක්තිමත් පුද්ගලයෙකුට මඟ පෑදිය යුතුයි.—ගීතාවලිය 8:3, 4.
දෙවිව ප්‍රතික්ෂේප කරන අය සම්බන්ධයෙන් පාවුල් තවදුරටත් පැවසූ වදන් යමෙක්ට මොහොතකට නතර වෙලා හිතන්න හේතුවක් වෙනවා: “සිය ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩූ ඔවුන් අඥානයන් වී ඇත. . . . ඔවුන් [දෙවිගේ] සත්‍යය වෙනුවට මිථ්‍යාවක් වැළඳ ගෙන, [මැවුම්කාරයා] වෙනුවට මැවිල්ලට වැඳුම්පිඳුම් හා ගැතිකම් කළ නිසා ය. [ඔහුට] සදහට ම ප්‍රශංසා වේ වා! ආමෙන්.” (රෝම 1:22, 25, න.අ.) “ස්වභාවධර්මයාට” වැඳුම් පිඳුම් කරලා, දෙවිව ප්‍රතික්ෂේප කරන අය යෙහෝවාගේ දෘෂ්ටිකෝණයෙන් ප්‍රඥාවන්ත නොවන බවට සැකයක් නැහැ. එකිනෙක හා ගැටෙන පරිණාමවාදී මතයන්ගෙන් යුත් මඩ ගොහොරුවේ එරී සිටින ඔවුන්, මැවුම්කරුවාවත්, ඔහුගේ මැවිල්ලේ සියුම් සංකීර්ණත්වය සහ නිර්මාණයත් හඳුනාගන්න අපොහොසත් වී සිටිනවා.
“අද්භූතාකාර අහඹු සිදුවීම් වැල”
පාවුල් මෙහෙමත් ලිව්වා: “ඇදහිල්ල නැතුව [දෙවිව] ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද [දෙවි] වෙතට ළඟාවෙන්නා විසින් [ඔහු] විද්‍යමාන බවත්, [ඔහු] සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.” (හෙබ්‍රෙව් 11:6) ඉක්මන් විශ්වාස මත නොව ඒකාන්ත දැනුම මත පදනම් ඇදහිල්ල, අපි ඉන්නේ ඇයි කියන එක තේරුම්ගන්න අපට මඟ පෙන්වන්න පුළුවන්. (කොලොස්සි 1:9, 10, 12ආ) ජීවය පවතින්නේ “හරියට අපි ඩොලර් දශලක්ෂයක් වටිනා ලොතරැයියක් පිට පිටම වාර දශලක්ෂයක් දින්නා වගෙයි” කියලා විශ්වාස කරන්න විද්වතුන් අපිව පොලඹවන කොට, ඇත්තටම ඉක්මන් විශ්වාසයක් තමයි ඒකට ඇතුළත් වෙලා තියෙන්නේ.
ජීවයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයන් දෙකක් වන කාබන් සහ ඔක්සිජන් හැදෙන්න මඟ පෑදූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවන්, මෙම මූලද්‍රව්‍යයන්ගෙන් එකිනෙකට සාපේක්ෂව සමබර ප්‍රමාණයක් නිපදෙව්වේ අහම්බෙන් අත් වුණ වාසනාවක් නිසා බව, බ්‍රිතාන්‍ය විද්වතෙක් වන ෆ්‍රෙඩ් හොයිල් අනුමාන වශයෙන් සිතාගත්තා. “වාසනාවකට වගේ” මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන් කාබන් ඇති වුණා.—දි ඉන්ටෙලිජන්ට් යූනිව’ස්; ද මයින්ඩ් ඔෆ් ගෝඩ් (බුද්ධිමත් විශ්වය; දෙවිගේ මනස).
ඔහු තවත් උදාහරණයකුත් දෙනවා: “ප්‍රෝටෝනයේ සහ ඉලෙක්ට්‍රෝනයේ සමස්ත ස්කන්ධය, නියුට්‍රෝනයේ ස්කන්ධයට වඩා ටිකක් අඩු වෙන්නේ නැතුව, ටිකක් වැඩි වුණොත්, එහි බලපෑම විනාශකාරි වෙනවා. . . . මුළු විශ්වය පුරාම හයිඩ්රජන් පරමාණු බිඳ වැටී, නියුට්‍රෝන සහ නියුට්රිනෝ හැදෙයි. සූර්යයාට එහි න්‍යෂ්ටික ඉන්ධන අහිමි වන හින්දා, දීප්තියෙන් අඩු වී කඩා වැටේවි.” විශ්වයේ අනිත් තරු බිලියන ගණනටත් සිද්ධ වෙන්නේ ඒ දේමයි.
හොයිල්ගේ නිගමනය: “ජෛව නොවන ස්වභාවධර්මයේ පෙනෙන විදිහට වෙලා තියෙන අහඹු සිදුවීම්වල . . . ලැයිස්තුව, විශාලයි විශිෂ්ටයි; මේවා නැතුව කාබන් මත පදනම් ජීවින්, ඒ කියන්නේ මිනිස් ජීවයට පවතින්න බැහැ.” ඔහු මෙහෙම කියනවා: “[ජීවයට අත්‍යවශ්‍ය] වන එවැනි ගුණයන්, ස්වාභාවික ලෝකයේ සැකැස්ම තුළ දිවයන්නේ හරියටම වාසිදායක අහඹු සිදුවීම් වැලක් වගෙයි. ඒත් ජීවයට අත්‍යවශ්‍ය මේ වගේ අරුම පුදුම හදිසි සිදුවීම් කොච්චර සංඛ්‍යාවක් තියෙනවාද කිව්වොත්, ඒවාට හේතුව මොකක්ද කියලා දක්වන්න යම් පැහැදිලි කිරීමක් ඕනෙ බව පේනවා.”—ඇල අකුරු අපේය.
ඔහු මෙහෙමත් කිව්වා: “අහම්බෙන් වගේ සිද්ධ වෙලා තියෙනවා කියලා පේන මේ සකස්වීම් ඇත්තටම හදිස්සියේ සිදු වුණාද නැද්ද කියන එක, ඒ කියන්නේ ජීවය හදිස්සියේ ඇති වුණාද නැද්ද කියන එක තීරණය කිරීමයි ගැටලුව. එහෙම ප්‍රශ්නයක් අහන්න කිසිම විද්වතෙක් කැමති නැහැ; කොහොම වුණත් එහෙම අහන්න සිදු වෙනවා. එවැනි සකස්වීම් හිතාමතා යම් බුද්ධිමත් මැදිහත් වීමකින් සිදු වූවා විය හැකිද?”
පෝල් ඩේවීස් මෙහෙම ලියනවා: “මේ ‘අද්භූතාකාර අහඹු සිදුවීම් වැලට’ හොයිල්ගේ සිත කොතරම් ඇදී ගියාද කිව්වොත්, හරියටම ‘න්‍යෂ්ටික භෞතික විද්‍යාවේ නීති, තරු තුළ නිපදවන ප්‍රතිවිපාක සඳහා හිතා මතාම නිර්මාණය කරලා’ තියෙනවා වගේ කියලා අදහස් දක්වන්න ඔහු පෙලඹුණා.” මෙම “අද්භූතාකාර [වාසිදායක] අහඹු සිදුවීම් වැලට” වගකියන්නේ කවුද, නැත්නම් මොකක්ද? නිමක් නැති තරමටම, මනා ලෙස නිර්මාණය වෙලා තියෙන ශාක සහ සත්ව ප්‍රභේද දශලක්ෂ ගණනකින් ගහනව පවතින තිතක් මෙන් පෙනෙන මේ පෘථිවි ග්‍රහයා නිපදෙව්වේ කවුද, නැත්නම් මොකක්ද?
බයිබලයේ උත්තරය
ගීතිකාකාරයා ගෞරවාන්විතව අවුරුදු තුන්දාහකට විතර ඉස්සෙල්ලා මෙහෙම ලිව්වා: “අහෝ යෙහෝවා, ඔබේ ක්‍රියා මොනතරම්ද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සාදා ඇත. පොළොව ඔබේ නිපැයුම්වලින් පිරී පවතී. බලන්න, මෙතරම් විශාල වූ මේ මහා මුහුදේ, එහා මෙහා යන ලොකු කුඩා ජීවමාන සතුන් අසංඛ්‍යාත ගණන් සිටී.”—ගීතාවලිය 104:24, 25, NW.
ප්‍රේරිත යොහන් මෙහෙම කිව්වා: ‘යෙහෝවා අපගේ දෙවි, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැත්තාය. මක්නිසාද ඔබ සියලු දේ මැව්වේය, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේය.’ (එළිදරව් 4:11) ජීවය කියන්නේ අන්ධ අහඹුවක, ජීව ස්වරූපයන් දශලක්ෂ ගණනක් වෙනුවෙන් ජය අත් කරගන්න පුළුවන් වුණ විශ්ව ලොතරැයියක ප්‍රතිඵලය නෙවෙයි.
සරල සත්‍යය මේකයි: දෙවි ‘සියලු දේ මැව්වේය, ඔහුගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේය.’ යේසුස් ක්‍රිස්තුස්ම ඵරිසිවරුන්ට මෙහෙම කිව්වා: “පටන්ගැන්මේ සිට ඔවුන් මැවූ [තැනැත්තා] පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද වශයෙන් ඔවුන් මැවූ බව . . . නුඹලා කියෙවුවේ නැද්ද?” යේසු මැවුම්කරුව දැනහඳුනා ගෙන සිටියා! යෙහෝවාගේ ප්‍රධාන කර්මාන්තකාරයා වශයෙන්, මැවීම සිදු වෙද්දී ඔහු ඔහුත් සමඟ ඉඳලා තිබුණා.—මතෙව් 19:4, 5; හිතෝපදේශ 8:22-31.
කොහොම වුණත්, මැවුම්කරු ගැන තියෙන මෙම මූලික සත්‍යය අවබෝධ කරගෙන පිළිගන්න, ඇදහිල්ල සහ නිහතමානීකම ඕනෙ වෙනවා. මේ ඇදහිල්ල අන්ධ වූ ඉක්මන් විශ්වාසයක් නෙවෙයි. එය ප්රත්යක්ෂ, දෘශ්‍යමාන සාක්ෂි මත පදනම් වෙලා තියෙනවා. ඔව්, “ලෝකය මැවූ තැන් පටන් [දෙවිගේ] අදෘශ්‍යමාන දේ [ගුණාංග, NW] . . . මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලිලෙස පෙනීයන්නේය.”—රෝම 1:20.
දැනට අපිට තියෙන සීමිත විද්‍යාත්මක දැනුමෙන්, දෙවි මැව්වේ කොහොමද කියලා පැහැදිලි කරන්න අපිට බැහැ. එමනිසා, දැනට ජීවයේ මූලාරම්භය ගැන හැම දෙයක්ම දැනගන්න හෝ තේරුම්ගන්න අපිට බැරි බව අපි ඒත්තුගත යුතුයි. අපි යෙහෝවාගේ මේ වදන් කියවන කොට, අපිට මෙය සිහිගැන්වෙනවා: “මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේ . . . අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.”—යෙසායා 55:8, 9.
තේරීම ඔබෙයි: සාර්ථක වුණායයි කියන ස්ථිර නැති සිදුවීම් ඇතුළත් අන්ධ මෙන්ම වාසනාව මත රඳා සිටින පරිණාමය කෙරෙහි ඉක්මන් විශ්වාසයක් තැබීම, නැතහොත් අරමුණුකරන්නා-මැවුම්කරු-නිර්මාතෘ වන යෙහෝවා දෙවි කෙරෙහි ඇදහිල්ල. දේවානුභාවයෙන් කතා කළ අනාගතවක්තෘ මෙහෙම කිව්ව එක හරි: “පොළොවේ සීමාවල මැවුම්කාර වූ යෙහෝවා අනන්ත කාලයටම දෙවි වන්නේය. ඔහු ක්ලාන්ත වන්නේවත්, වෙහෙස වන්නේවත් නැත. ඔහුගේ අවබෝධය සොයා විමසා බලන්න බැරිය.”—යෙසායා 40:28, NW.
ඉතින්, ඔබ මොකක්ද විශ්වාස කරන්න යන්නේ? ඔබ ගන්නා තීරණය ඔබේ අනාගත ජීවිත අපේක්ෂාවලට ලොකු වෙනසක් කරාවි. පරිණාමය සැබෑවක් වුණොත්, පරිණාමයට “ප්‍රාණය” හඳුන්වා දෙන්න තැත් කරන, නොයෙක් අවුල් වියවුල් සහිත කතෝලික දේවධර්ම ශාස්ත්රයේ ව්‍යාජ තර්ක මැද වුණත්, මරණයෙන් අදහස් වෙන්න යන්නේ සම්පූර්ණ අභාවයක්.b මරණයේ වළක්වන්න බැරි පහර මෘදු කරන්න, මනුෂ්‍යයාට අමරණීය ප්‍රාණයක් නැහැ.—උත්පත්ති 2:7; එසකියෙල් 18:4, 20.
බයිබලය සත්‍යයයි කියලත්, ජීවමාන දෙවි මැවුම්කරු කියලත් අපි පිළිගන්නවා නම්, සදාකාල ජීවනයට නැවත නැඟිටුවීමේ පොරොන්දුව තියෙනවා; ඒ ජීවිතය, සමබරතාවේ සහ සමඟියේ මුල් තත්වයට නැවත පිහිටෙවූ පොළොවක් මත ලබන පරිපූර්ණ ජීවිතයක්. (යොහන් 5:28, 29) ඔබ ඔබේ ඇදහිල්ල තියන්න යන්නේ මොකක් මතද? ඩාවින්ගේ පරිණාමවාදය නමැති ඇදහිය නොහැකි අවදානම මතද? නැතහොත් අරමුණක් ඇතුව ක්‍රියා කරලා තියෙන, දිගටම එහෙම කරන මැවුම්කරු මතද?c
[පාදසටහන්වල]
a දෙවි “ලෝකය මැවූ තැන් සිට, ඇසට නොපෙනෙන [ඔහුගේ] දිව්‍ය ලක්ෂණ වන [ඔහුගේ] සදාතන බලමහිමයත් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි [ඔහුගේ] මැවිලිවලින් ප්‍රකාශ කර ඇත.”—රෝම 1:20, නව අනුවාදය.
b 1997 මැයි 8 පිබිදෙව්!හි (ඉංග්‍රීසියෙන්) 28වන පිටුවේ “ලෝකය දෙස බැලීම,” “පාප් පරිණාමය යළි තහවුරු කරයි” බලන්න.
c මේ කාරණය ගැන සවිස්තර සාකච්ඡාවකට, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ජීවය—මෙහාට පැමිණියේ කොහොමද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? (ඉංග්‍රීසියෙන්) යන පොත බලන්න.
[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
පොළොව මත අපේ පැවැත්ම “හරියට අපි ඩොලර් දශලක්ෂයක් වටිනා ලොතරැයියක් පිට පිටම වාර දශලක්ෂයක් දින්නා වගෙයි” කියලා පරිණාමවාදීන් කියනවා
[15වන පිටුවේ කොටුව⁄පින්තූරය]
නිමක් නැති ප්‍රභේද සහ නිර්මාණ
කෘමීන් “හැම අවුරුද්දකම විද්වතුන් අලුත් කෘමී විශේෂයන් 7,000ක ඉඳන් 10,000ක් දක්වා හොයාගන්නවා” කියලා ද ව’ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා කියනවා. ඒත්, “තවමත් හොයාගෙන නැති විශේෂයන් දශලක්ෂයක ඉඳන් දශලක්ෂ 10ක් දක්වා ප්‍රමාණයක් සිටින්න පුළුවන්.” ගාඩියන් වීක්ලි යන පුවත්පතේ, කැත්රින් වින්සන්ට් රචනා කළ ලිපියක් ප්‍රංශ ල මොන්ඩ් පුවත්පතෙන් උපුටා දක්වද්දී, ලේඛනගත කර තියෙන විශේෂයන් ගැන කතා කරද්දී, ඒ සංඛ්‍යාව “සැබෑ සංඛ්‍යාව හා සැසඳුවොත්, ඉතා කුඩා සංඛ්‍යාවක්” බව සඳහන් කරනවා . . . එහි සැබෑ සංඛ්‍යාව “දශලක්ෂ 5ක ඉඳන් අදහන්න බැරි 50ක් දක්වා ඕනෙම ගණනක් වෙන්න පුළුවන්.”
පටන්ගැනීමක් හැටියට මී මැස්සන්, කුහුඹුවන්, බඹරු, සමනලයෝ, කැරපොත්තෝ, ඉබි කුරුමිණියෝ, කළාමැදිරියෝ, වේයන්, සලබයෝ, ගෙමැස්සෝ, කූරෝ, මදුරුවෝ, කාවෝ, තණකොළ පෙත්තෝ, උකුණෝ, පළඟැටියෝ, මැක්කෝ ආදියෙන් විතරක් ගහන කෘමී ලෝකය ගැන සිතා බලන්න! ලැයිස්තුවට නිමක් නැහැ වගෙයි පේන්නේ.
කුරුල්ලෝ ග්‍රෑම් 14කට වඩා අඩුවෙන් බරැති කුරුල්ලෙක් ගැන මොනවද කියන්න තියෙන්නේ? “ඇලස්කාවේ රුක් ඉමේ ඉඳන් දකුණු අමෙරිකාවේ වැසි වනාන්තර දක්වා ගස්වලින් ආවරණය වූ කඳු මුදුන් උඩින්ද, ඉතා උස් නගරබද ගොඩනැඟිලි වටා මෙන්ම අත්ලන්තික් සාගරයේ සහ මෙක්සිකෝ බොක්කේ සෑහෙන දුරට විහිදිලා තියෙන විශාල මුහුදු තිර පසු කරලා ඌ අවුරුද්දකට කිලෝමීටර් 16,000කට වැඩිය සංක්‍රමණය කරන ආකාරය සිහියට නඟන්න.” මොකාද මේ විශ්වාස කරන්න බැරි කුරුල්ලා? “ඒ, උතුරු අමෙරිකාවේ ගොඩබිම් කුරුල්ලන් අතුරින් ගමන් කිරීමේ කුසලතාව අතින් කිසිවෙක්ට නොදෙවනි ඩයිනමෝවක් හා සමාන කළු ගලවාට රැවියායි [ඩෙන්ඩ්රොයිකා ස්ට්රියාටා].” (බුක් ඔෆ් නෝත් අ’මෙරිකන් බ’ඩ්ස් [උතුරු අමෙරිකානු කුරුල්ලන් පිළිබඳ පොත]) නැවතත් අපි මෙහෙම අහනවා: හදිස්සියේම හරිගිය ස්වභාවධර්මයා තුළ සිදු වුණ අක්‍රමිකතා දසදහස් ගණනකින්ද මෙහෙම සිදු වුණේ? එහෙම නැත්නං එය බුද්ධිමත් නිර්මාණයේ අරුමයක්ද?
ගී කීමේ පරාසයට නිමක් නැහැ වගේ පේන කුරුල්ලන් මේ උදාහරණවලට එකතු කරන්න පුළුවන්: රෑ කොවුලා උගේ ප්‍රිය උපදවන ගීවලට මුළු යුරෝපය පුරා සහ අප්‍රිකාවේ සහ ආසියාවේ තැන් තැන්වල නම් දරලා තියෙනවා; “දක්ෂ විදිහට අනුකරණය කරන්නෙක් සහ උගේ ගීතයට කටපාඩම් කරපු කොටස් ඇතුළත් කරන” උතුරු අමෙරිකාවේ උතුරුකර කවට කුරුල්ලා; “පුදුමාකාර ලෙස දක්ෂ අනුකරණය කිරීමේ හැකියාවක් ඇතුව, ඉස්තරම් ගණයේ ගීතයක් ගයන” ඕස්ට්‍රේලියාවේ විශිෂ්ට වීණා කුරුල්ලා.—බ’ඩ්ස් ඔෆ් ද ව’ල්ඩ් (ලොවේ කුරුල්ලෝ).
ඊට අමතරව, බොහෝ කුරුල්ලන්ගේ වර්ණ හා පියාපත් මෙන්ම පිහාටුවල නිර්මාණයේ පරිපූර්ණත්වය දකින කොට, අන්දුන්කුන්දුන් වෙනවා. බිම හෝ වේවා, කඳු ප්‍රපාතවල හෝ ගස් උඩ හෝ වේවා, ගෙතීමෙහි සහ කූඩු සෑදීමෙහි උන් සතු කුසලතාත් මෙයට එකතු කරන්න පුළුවන්. එවැනි සහජ බුද්ධියක් නිහතමානී මනසක් විමතියට පත් කළ යුතුමයි. උන් බිහි වුණේ කොහොමද? අහම්බෙන්ද නැත්නම් නිර්මාණයකින්ද?
මිනිස් මොළය “මොළයේ උපාගම ට්‍රිලියන දහයක සිට ට්‍රිලියන සීයක් දක්වා තියෙන්න පුළුවන්; ඒ වගේම ඒ හැම එකක්ම, පැමිණෙන සංඥා විද්‍යුත් ආවේග වශයෙන් සටහන් කරගන්නා කුඩා කැල්කියුලේටරයක් වගේ ක්‍රියාත්මක වෙනවා.” (මොළය) අපි මොළය කිසි ගණනකට නොගෙන සිටින්න නැඹුරු වෙන්න පුළුවන්; ඒත් ඒක කපාලයේ පිහිටා ආරක්ෂා කර තියෙන සියුම් සංකීර්ණත්වයකින් යුත් විශ්වයක්. මනුෂ්‍යයන්ට කල්පනා කරන්න, තර්ක කරන්න, භාෂා දහස් ගණනක් කතා කරන්න ඉඩ දෙන මේ අවයවය අපිට ලැබුණේ කොහොමද? වාසිදායක අවදානම් දශලක්ෂයක් තුළින්ද? නැත්නං බුද්ධිමත් නිර්මාණයකින්ද?
[16, 17වන පිටුවේ රූප සටහන]
බාහිර මොළයෙහි සරල රූප සටහනක්
සංවේදක බාහිකය
මුළු ශරීරයෙන්ම එන සංවේදක ආවේග විශ්ලේෂණය කරයි
අපරකපාල ඛණ්ඩිකාව
දෘෂ්ටි සංඥා සකසයි
අනුමස්තිෂ්කය
තුලනය සහ සමායෝජනය පාලනය කරයි
ප්රාග්චාලක බාහිකය
පේශි සමායෝජනය පාලනය කරයි
චලන බාහිකය
සචේතනික චලනය පාලනය කරන්න උපකාර කරයි
ලලාට ඛණ්ඩිකාව
තර්ක කිරීම, චිත්තවේගයන්, කතාව හා චලනය පාලනය කිරීමට උපකාරවත් වේ
ශංඛක ඛණ්ඩිකාව
ශබ්දය සකසයි; ඉගෙනගැනීමේ, මතකයේ, භාෂාවේ, චිත්තවේගයන්වල පැති පාලනය කරයි
[16වන පිටුවේ රූප සටහන]
අක්සන අග්රස්ථ
නියුරෝසම්ප්රේෂක
අනුශාඛිකාව
උපාගමය
[16, 17වන පිටුවේ රූප සටහන]
නියුරෝනය
අනුශාඛිකා
අක්සනය
අනුශාඛිකා
උපාගමය
නියුරෝනය
අක්සනය
“මොළයේ උපාගම ට්‍රිලියන දහයක සිට ට්‍රිලියන සීයක් දක්වා තියෙන්න පුළුවන්; ඒ වගේම ඒ හැම එකක්ම, පැමිණෙන සංඥා විද්‍යුත් ආවේග වශයෙන් සටහන් කරගන්නා කුඩා කැල්කියුලේටරයක් වගේ ක්‍රියාත්මක වෙනවා.”—මොළය
[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
හඳ සහ ග්‍රහයෝ: NASA photo