“තත්පරයටම සිදු වන ස්වර සංයෝගයක්”
දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
මිනිස් කතාව මවිතාකාර දෙයක්. පපුවේ, උගුරේ, හක්කේ, දිවේ සහ තොල්වල ඇති පේශීන් 100ක් විතර ගණන් කරන්න බැරි තරම් විවිධාකාර ශබ්ද නිපදවීම සඳහා එකට වැඩ කරනවා. සෑම පේශියක්ම සියදහස් ගණන් තන්තුවලින් පිරී තියෙනවා. මලල ක්‍රීඩකයෙකුගේ කකුල්වල ඇති පේශීන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පේශි තන්තුවලට වඩා මේ පේශි තන්තු, මොළයේ ඇති සෛල බොහොමයක් මගින් පාලනය කෙරෙනවා. කෙණ්ඩා ප්‍රදේශයේ ඇති මස් ගොබය සතු සෑම තන්තු 2,000ක්ම ක්‍රියාත්මක කිරීමට එක ස්නායු සෛලයක් සෑහෙයි. ඊට වෙනස්ව, කතා පෙට්ටිය නැත්නම් ස්වරාලය පාලනය කරන ස්නායු සෛල සමහරවිට දෙකක් හෝ තුනක් වැනි පේශි තන්තු කිහිපයකට සම්බන්ධ වී තියෙනවා.
ඔබ පාවිච්චි කරන සෑම වචනයකටම හෝ කෙටි වාක්‍ය ඛණ්ඩයකටම, ඊටම ආවේණික වූ පේශි චලන රටාවක් තියෙනවා. “ඔයාගේ සැප සනීප කොහොමද?” වැනි වාක්‍යයක් නැවත නැවත කියන්න අවශ්‍ය සෑම තොරතුරක්ම ඔබේ මොළයේ කතා ප්‍රදේශයේ ගබඩා වී තියෙනවා. නැවත නැවත කිව යුතු සෑම වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් සඳහාම, ඔබේ මොළය අද්විතීය, නොනැමෙනසුලු පියවරෙන් පියවරට සිදු කෙරෙන පේශි වැඩසටහනක් පාවිච්චි කරනවා කියා මෙයින් අදහස් කරනවාද? නැහැ. කතා කිරීමේ බලය ඊට වඩා බොහෝ ගරුබිය දනවනවා. උදාහරණයක් හැටියට, ඔබටම අද්විතීය වූ ආකාරයට වචන උච්චාරණය කිරීම දුෂ්කර කරවන තුවාලයක් මුඛයේ තියෙනවායයි සිතන්න. නොදැනුවත්වම කථික පේශිවල චලනයට මොළය හුරු වන අතර, එය ඔබ සාමාන්‍යයෙන් කතා කරන ආකාරයට ඉතා සමීප වචන ශබ්ද කරන්න ඔබට හැකි කරවනවා. මෙය තවත් මවිතාකාර සත්‍යයකට යොමු කරවනවා.
“කොහොමද” වැනි සරල වාචික ඇමතුමකට බොහෝ අර්ථ ඉදිරිපත් කරන්න පුළුවන්. කටහඬේ ස්වරය කතා කරන්නා සතුටින්ද, කලබලෙන්ද, එපා වෙලාද, හදිසියකින්ද, තරහෙන්ද, දුකෙන්ද නැත්නම් භයෙන්ද කියා පෙන්වන අතර, එවැනි චිත්තවේගීය තත්වයන්වල විවිධ මට්ටම් එය හෙළි කරාවි. ඔව්, චලන මට්ටම හා බොහෝ විවිධාකාර පේශීන්වල තත්පරයටම කාලය මැනීම මත ප්‍රකාශයක අර්ථය වෙනස් වෙන්න පුළුවන්.
ස්ටටරිං ප්රිවෙන්ට’ඩ් (ගොතගැසීම මඟහැරීම) යන ඔහුගේ පොතේ වෛද්‍ය විලියම් එච්. ප’කින්ස් පැහැදිලි කරන්නේ, “තත්පරයකට ශබ්ද 14ක් පහසුවෙන් පිට කරන්න අපිට පුළුවන්. එය සිදු වන්නේ, අපගේ දිව, තොල්, හක්ක හෝ කතා කිරීමේ ක්‍රමයට අදාළ ඕනෑම කොටසක් වෙන් වෙන්ව ක්‍රියා කිරීම අපිට පාලනය කරන්න පුළුවන් වෙනවාට වඩා දෙගුණයක් වේගයෙන්. නමුත් මේ සියල්ලක්ම කතාව සඳහා එකට යොදන විට එය නිපුණ යතුරු ලියන්නෙකුගේ හෝ පියානෝ වාදකයෙකුගේ වැඩයට සමානයි. ඒවායේ චලනයන් එක පිට එක එක්කාසු වන්නේ තත්පරයටම සිදු වන ස්වර සංයෝගයක් විදිහටයි”.
සමහර කුරුල්ලන්ට යම් සීමිත ප්‍රමාණයකට මිනිස් කතා ශබ්ද අනුකරණය කරන්න පුළුවන්. නමුත් මිනිසා කරන ආකාරයටම කතාව නිපදවිය හැකි දත්ත කැවූ මොළයක් කිසිම සතෙකුට නැහැ. පැහැදිලිව ශබ්ද ඇති කරන්න වානරයන්ට ඉගැන්වීමට දැරූ විද්‍යාඥයන්ගේ ප්රයත්නය අසාර්ථක වී තිබීම පුදුමයක් නෙවෙයි. ස්නසා ජෛවඥ රොනල්ඩ් නෙට්ස්ල්ට අනුව, කතා කරන්න අවශ්‍ය නිපුණත්වය, “අසාමාන්‍ය හැකියාවක් ඇති පුද්ගලයෙක් සම්පූර්ණයෙන්ම ‘මතකයෙන්’ පියානෝව වැයීම” හා සමාන කරන්න පුළුවන්.” එහෙමත් නැත්නම්, ශබ්ද සංග්‍රාහක ලූට්විච් ක’ලෙර් නිගමනය කළේ මෙහෙමයි: “මිනිස් කතාව රහසක්; එය දිව්‍ය ත්‍යාගයක්, ප්රාතිහාර්යයක්.”