ආඝාතය!
බටහිර කාර්මිකකරණය කරන ලද ලෝකයේ මරණයට සහ දරුණු අක්‍රියතාව සඳහා ඉදිරිපෙළේ හේතුවක් වන්නේ, ආඝාතයයි. “ආඝාතය” කියන වචනය “මොළය ආක්‍රමණය” කරන අනපේක්ෂිතභාවයට යොමු දක්වනවා. එක මොහොතක ඔබට සුවදායි බවක් හැඟිය හැකි අතර, ඊළඟ මොහොතේදී අකුණු පහරක් වැදුණාක් මෙන් හැඟිය හැකියි—ප්‍රබල ආඝාතයක් ඔබේ ජීවිතය බලාපොරොත්තු නොවූවිරූ අන්දමකින් සහ අසාමාන්‍ය ලෙස වෙනස් කළ හැකියි. ඔබව කුරිරු ලෙස කොර, අබ්බගාත කරමින්, කතා කිරීමට නොහැකි තත්වයට පත් කිරීමට ඉඩ තිබෙනවා. ඔබේ චිත්තවේගයන් මහත් විනාශයකට පත් කිරීමට ඉඩ ඇති අතර, ඔබේ පෞද්ගලිකත්වය සහ කල්පනා ශක්තිය වෙනස් කර, ඔබත් ඔබේ පවුලත් කලින් අද්දැක තිබූ සාමාන්‍ය ජීවිතය යළි ලබාගැනීමට තොරක් නැති පොරබැදීමකට ඇදදමා තිබෙනවා.
එලන් මෝගන්ව සලකා බලන්න.a බදාදා එලන් සෞඛ්‍යසම්පන්න, ක්‍රියාශීලි 64-හැවිරිදි තැනැත්තියක්. බ්‍රහස්පතින්දා, ඇගේ පුරුෂයා සමඟ කඩසාප්පුවට යන අතර, එලන්ට හදිසියේම ඇගේ කතා කිරීමේ හැකියාව නැති වූ අතර, ඇගේ මුහුණ විරූපී වුණා. ඇගේ සිරුර දුර්වල වී බේබදු මිනිහෙක් වගේ එහාට මෙහාට වැනෙන්න පටන්ගත්තා. එලන් ප්‍රබල ආඝාතයකින් පෙළෙන්න පටන්ගෙන තිබුණා.
ආඝාතයෙන් පසුව, නෑම හෝ ඇඳුම් ඇඳීම වැනි සුළු දෙයක්වත් කරගන්න බැරි වන තරමටම එලන් ආබාධිත වුණා. ලියන්න හෝ මැහුම් ගෙතුම් කරන්න හෝ බැරිකම හේතුවෙන්, දරාගත නොහැකි වැලපීමට සහ කෙනෙකුව යටපත් කර දමන තෙහෙට්ටුවට ඇය දරුණු ලෙස ගොදුරු වුණා. මේ කාලය පුරා එලන්ගේ සිතීමේ ක්‍රියාවලිය නැතුව ගියේ නැති වුණත්, සමහරවිට අනිත් අය ඇයව නිවට කෙනෙක් ලෙස සලකාවි යන ලජ්ජාසහගත හැඟීම් පැනනැග්ගා. පසුව, එලන් මෙසේ විස්තර කරනවා: “ආඝාතයේ මේ හදිසි වෙනස බලපාන්නේ කොහොමද කියල තේරුම්ගන්නෙත් ටිකදෙනයි. මේක පුද්ගලයෙක් හැටියට මගේ ජීවිතයේ අවසානයම තමයි කියල මට හිතුණා.”
ආඝාතයට හේතු වන්නේ කුමක්ද? ආඝාතයෙන් පහර ලබන සියලුදෙනාටම එය බලපාන්නේ එකම විදිහටද? ඉන් බේරුණු අය මේ රෝගය සමඟ සාර්ථකව කටයුතු කර තිබෙන්නේ කෙසේද? ආඝාතයෙන් බේරුණු අය සිටින පවුල් සාර්ථක ලෙස කටයුතු කරන්නේ කෙසේද? උපකාර කිරීමට අප සියලුදෙනාටම කළ හැක්කේ කුමක්ද? එවැනි ප්‍රශ්න පිබිදෙව්! සඟරාව පරීක්ෂා කරන අතර, ආඝාතයෙන් පහර ලබා බේරී සිටින්නන් සහ මෙම පොරබැදීමේ හවුල් වන ඔවුන්ගේ පවුල්වල අයව ඔබේ අවධානයට ගෙන එනවා.
[පාදසටහන]
a අසනීප අය සහ ඔවුන්ගේ පවුල් ගැන සැලකීමක් වශයෙන් සමහර නම් වෙනස් කර තිබේ.