ආඝාතය—ඊට හේතු
“සිරුරේ ඇති ඉතා සියුමැලිම ඉන්ද්‍රිය මොළයයි.” මෙසේ පවසන්නේ කැනඩාවේ, ලන්ඩන්හි බටහිර ඔන්ටේරියෝ විශ්වවිද්‍යාලයේ ස්නසාවේදී වෛද්‍ය ව්ල’ඩීමිර් හාචින්ස්කි. සිරුරේ මුළු බරින් 2%ක් පමණක් වුණත්, අපේ සියලුම සිතුවිලි, චලන සහ දැනීම් නිපදවීම සඳහා නොකඩවාම අදහස් හුවමාරුවේ යෙදෙන බිලියන දහයකට වැඩි ස්නායු සෛල මොළයේ අඩංගු වෙනවා. ශක්තිය සඳහා අවශ්‍ය ඔක්සිජන් සහ ග්ලූකෝස් මත යැපෙන මොළයට, සංකීර්ණ ධමනි පද්ධතියක් හරහා නිරන්තරව රුධිරය සැපයෙනවා.
කෙසේවෙතත්, මොළයේ යම් සීමිත කොටසක් ඔක්සිජන් ලබා දීමෙන් තත්පර කිහිපයකට හෝ මුදාහැරියොත්, සියුමැලි නියුරෝන ක්‍රියාකාරිත්වයන්ට හානි සිදු වෙනවා. මෙය විනාඩි කිහිපයකට වඩා පැවතුණොත්, එහි ප්‍රතිඵලයක් හැටියට මොළයට හානි වන අතර, මොළයේ සෛල සහ ඒවා මගින් පාලනය කරන සෛලද මැරීයෑමට පටන්ගන්නවා. මෙම තත්වය මූලිකව ධමනි හිරවීමෙන් සිදු වන ඔක්සිජන් ඌනතාවක් වන ඉස්කීමියාව ලෙස හඳුන්වනවා. ඔක්සිජන් නොලැබීම තවදුරටත් මොළයේ සිවියට හානිකර වන අතර, එකිනෙකට බැඳී ඇති මාරාන්තික රසායනික ප්‍රතික්‍රියා වැලකට අත වනනවා. ප්‍රතිඵලය ආඝාතයක්. ලේ නහර පිපිරී, මොළයට අධික සේ ලේ ගලා, නහර සම්බන්ධ වන මාර්ග හිර වී ආඝාතයක් ඇති විය හැකියි. මේ හේතුවෙන් පේශීවලට රසායනික සහ විද්‍යුත් ගලනය බිඳී යන අතර, මොළයේ සිවියට හානිවීම සිදු වෙනවා.
එහි බලපෑම්
එක ආඝාතයක් තව ආඝාතයකට වෙනස් වන අතර, පුද්ගලයන්ට අසීමිත ආකාරයෙන් බලපෑම් කිරීමට ඊට හැකියි. කිසිම කෙනෙකු ආඝාතයකින් සිදු විය හැකි සියලුම විපාක අද්දකින්නේ නැති වුණත්, එහි බලපෑම් සුළුවෙන් සහ යාන්තමින් පෙනෙන තත්වයේ සිට ඉතා දරුණු, වේදනාකාරි දසුන් දක්වා වෙනස් විය හැකියි. ආඝාතය සිදු වී ඇත්තේ මොළයේ කොයි ප්‍රදේශයේද යන්න මත සිරුරේ ක්‍රියාකාරිත්ව දුබල වී ඇත්තේ කිනම් පැත්තද කියා නිශ්චය කරනවා.
පොදු පීඩාවක් වන්නේ, අත්පාවල දුර්වලතාව හෝ අංශභාගයයි. සාමාන්‍යයෙන්, මෙය සිරුරේ එක් පැත්තකට සීමා වී ඇති අතර, එය සිදු වන්නේ, මොළයේ ආඝාතය සිදු වන පැත්තට විරුද්ධ පැත්තෙයි. මෙලෙස, මොළයේ දකුණ හානිවීමේ ප්‍රතිඵලයක් හැටියට සිරුරේ වම් පැත්තත්, මොළයේ වම හානිවීම සිරුරේ දකුණු පැත්ත අංශභාගී වීමටත් හේතු වෙයි. සමහර පුද්ගලයන්ගේ අත්පා නැවත ක්‍රියා කෙරුවත්, ඔවුන්ගේ පේශීන් කොතරම් සෙලවෙනවාද කිව්වොත්, තමන්ගේ අත්පා එහාට මෙහාට යන්නාක් මෙන් දැනෙනවා. එවිට ගොදුරු වූ තැනැත්තා තම සමබරතාව රැකගැනීමට උත්සාහ කරන ආධුනික හිම සරණයේ යෙදෙන්නෙකු වගෙයි. නියූ යෝක් විශ්වවිද්‍යාල වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ඩේවිඩ් ලෙවින් මෙසේ පවසනවා: “ඔවුන්ගේ අත්පා සෙලවෙනවාද එහෙමත් නැත්නම් ඒවා නිදැල්ලේ වැනෙනවාද කියා දැනෙන සංවේදනය ඔවුන්ට නැහැ.”
මින් බේරී සිටින්නන්ගෙන් 15%කට වැඩි ප්‍රමාණයක් හදිසි ආබාධය අද්දකින අතර, එහි ප්‍රතිඵලයක් හැටියට චලනයේ පාලනය කළ නොහැකි කෙටි අවස්ථා සහ පොදුවේ සිහි මද කාලපරිච්ඡේදයන් තිබෙනවා. වේදනාව දැනීම මෙන්ම සංවේදනය වෙනස් වීමද සාමාන්‍යයි. තමන්ගේ අත්පාවල නිරන්තරව හිරිගතිය තිබූ ආඝාතයෙන් බේරුණු කෙනෙක් මෙසේ පවසනවා: “සමහර දවස්වල රෑට මගේ කකුලට මොකක් හරි වදිනවා වගේ දැනෙනවා; මම ඇහැරෙන්නේ විදුලි සැර වදිනවා වගේ දැනෙන හින්දයි.”
ද්විත්ව දෘෂ්ටිය සහ ආහාර ගිලීමේ ගැටලු ආඝාතයේ ප්‍රතිඵලවලට අයත් වීමට ඉඩ තිබෙනවා. මුඛයේ සහ උගුරේ සංවේදන ස්ථාන හානි වී තිබෙනවා නම්, තවදුරටත් ආඝාතයෙන් පහර ලබන්නා නින්දාවට ලක් වන්නේ කටෙන් කෙළ පෙරීම නිසයි. පෙනීම, ඇසීම, ගඳ සුවඳ දැනීම, රස සහ ස්පර්ශයෙහි බාධා ඇති කරමින්, පංච ඉන්ද්‍රීන්ගෙන් ඕනෑම එකක් බලපෑමට ලක් කළ හැකියි.
අදහස් හුවමාරු කිරීමේ ගැටලු
අඳුරු මාවතක් ඔස්සේ ගමන් කරන ඔබ පිටුපසින්, නන්නාඳුනන මිනිසුන් දෙදෙනෙක් හඹා එනවායයි සිතන්න. යාන්තමට හැරී බලද්දී, ඔවුන් ඔබ වෙත වේගයෙන් එමින් සිටින බව දකිනවා. උපකාරය ඉල්ලා කෑගසන්න ඔබ තැත් කළත්, කිසිම ශබ්දයක් පිට වන්නේ නැහැ! එවැනි තත්වයකදී ඔබට දැනෙන තදබල කනස්සල්ල සිතාගන්න පුළුවන්ද? ඔවුන්ගේ කතා කිරීමේ හැකියාව නැති වී ගිය විට, ආඝාතයට ගොදුරුවූවන් බොහෝදෙනෙක් අද්දකින්නේ හරියටම එම තත්වයමයි.
සිතුවිලි, හැඟීම්, අපේක්ෂාවන් සහ බියට පත්වීම් ගැන අදහස් හුවමාරු කරගැනීමට නොහැකි වීම—එනම් කෙළින්ම මිතුරන්ගෙන් සහ පවුලෙන් තනි වී සිටීම—ආඝාතයේ ඉතාමත්ම විනාශකාරි ප්‍රතිවිපාකයයි. ආඝාතයෙන් බේරුණු කෙනෙක් එය විස්තර කරන්නේ මේ විදිහටයි: “මම මා ගැන කියන්න උත්සාහ කළ හැමවිටම කිසිම දෙයක් එළියට ආවේ නැහැ. නිහඬව ඉන්න මට බල කර තිබුණා වගේම, කටවචනයෙන් නැත්නම් ලිවීමෙන් කරන කිසිම දෙයක් මට තේරුම්ගන්න බැරි වුණා. වචන ඇහෙද්දී . . . මගේ වටේට ඉන්න අය නිකම් වෙන භාෂාවක් කතා කරනවා වගෙයි මට දැනුණේ. ඒ දේවල් අවබෝධ කරගන්නවත් භාෂාව තේරුම්ගන්නවත් මට බැරි වුණා.”
කෙසේවෙතත්, චාල්ස් ඔහුට කී සෑම දෙයක්ම තේරුම්ගත්තා. නමුත්, උත්තරයක් තැනීම ගැන ඔහු මෙසේ ලියනවා: “මට කියන්න ඕනෙ වුණු දේවල් මම හදාගන්නවා, ඒත් ඒවා එළියට දාන්නෙ කැඩි කැඩි. ඒ අවස්ථාවේදී මාව ඇතුලෙන් හිර වෙලා වගේ හැඟීමක් මට දැනුණා.” ස්ට්‍රෝක්: ඇන් ඕන’ස් මැනුවල් (ආඝාතය: එහි අයිතිකරුගේ අත්පොත) නම් ඔහුගේ පොතේ ආතර් ජෝසෆ්ස් මෙසේ පැහැදිලි කරනවා: “කතා කරන විට පේශීන් සියයකට වඩා පාලනය සහ සම්බන්ධීකරණය කරන අතර, මේ සෑම පේශියක්ම පාලනය වන්නේ සාමාන්‍ය වශයෙන් සියයකට වඩා වැඩි චාලක නියුරෝන සංඛ්‍යාවක් මගින්. . . . කතා කිරීමට ගත කරන සෑම තත්පරයක් සඳහාම පුදුමාකාර නියුරෝන පේශීන් 1,40,000කට වඩා වැඩි සිදුවීම් ගණනාවක් අවශ්‍ය කරනවා. මොළයේ මේ පේශීන් පාලනය කරන්නාවූ කොටසකට හානියක් සිදුවීමෙන්, වියවුල් කතාව ප්‍රතිඵලයක් වීම පුදුමයක්ද?”
ආඝාතයක් මගින් කතා කිරීම හා සම්බන්ධ පෙදෙස්වල අද්භූතාකාර ප්‍රතිඵල ඇති කරවයි. උදාහරණයක් හැටියට, කතා කිරීමට බැරි කෙනෙකුට සින්දු කියන්න හැකි වෙන්න පුළුවන්. අනිත් අය පෙලඹීම මත වචන කියනවා වෙන්න පුළුවන් වුවත්, අවශ්‍ය විට කතා කරන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. නැත්නම් නොනවත්වාම කතා කරන්න ඉඩ තිබෙනවා. අනිත් අය වචන හෝ වාක්‍යඛණ්ඩ නැවත නැවතත් කියාගෙන කියාගෙන යන අතර, නැහැ කියන්න අදහස් කරන වෙලාවට ඔව් කියාත්, එහි අනිත් පැත්තත් කරනවා. සමහර අය තමන් පාවිච්චි කරන්න අවශ්‍ය කරන වචනය දන්නවා වුණත්, මුඛය, තොල සහ දිවට ඒවා කියන්න මොළය ඉඩ දෙන්නේ නැහැ. එහෙම නැත්නම්, පේශීන්ගේ දුර්වලකම් නිසා ඔවුන් කතා කිරීමේ අපැහැදිලිකම අද්දකින්න ඉඩ තිබෙනවා. සමහර අය වේගවත් වචන ප්‍රහාරයක් එල්ල කර නතර කරන්න ඉඩ තිබෙනවා.
මොළයේ වෙනත් ආඝාතයන්හි හානි විය හැක්කේ, මොළයේ අනිකුත් චිත්තවේගීය ශබ්ද කිරීම් පාලනය කරන කොටසේ හානිවීම්ය. ප්‍රතිඵලය වන්නේ, ශක්තියෙන් තොර ශබ්දයක් පිට කරන කතාවයි. එහෙම නැත්නම්, අනිත් අයගේ චිත්තවේගීය ශබ්ද කිරීම් වටහාගැනීමේ දුර්වලතා තිබීමත් සිදු විය හැකියි. මෙවැනි අදහස් හුවමාරු කිරීමේ බාධා සහ ඉහත විස්තර කළ ඒවා, ස්වාමිපුරුෂයා සහ භාර්යාව වැනි පවුල් සාමාජිකයන්ව දෙකඩ කළ හැකියි. ජෝජ් මෙසේ පැහැදිලි කරනවා: “ආඝාතය මුහුණේ සහ අංග චලනවලට බලපාන නිසා, ඇත්තෙන්ම මුළු පෞද්ගලිකත්වයටම බලපාන නිසා, එකපාරටම අපි එකිනෙකාට කලින් වගේ එකඟත්වයකින් දේවල් කරන්න බැරි වුණා. මට සම්පූර්ණයෙන්ම වෙනස් භාර්යාවක් ඉන්නවා වගෙයි පෙනුණේ; ඒ වගේම තවත් කෙනෙක්ව ආයෙ මුල ඉඳලම හඳුනාගන්න සිද්ධ වුණා.”
චිත්තවේගීය සහ පෞද්ගලිකත්ව වෙනස්කම්
නිතර වෙනස් වන නොගැළපෙන මානසික ස්වභාවයන්, හදිසි කඳුළු සැලීම් සහ සිනහව, අසාමාන්‍ය සැකයේ හැඟීම් සහ කෙනෙකුව යටපත් කරන දුක යනාදිය, ආඝාතයෙන් බේරුණු අයට සහ ඔවුන්ගේ පවුල්වල අයට කටයුතු කිරීමට තිබෙන ව්‍යාකූල කරවන චිත්තවේගීය සහ පෞද්ගලිකත්ව බාධාවන්හි කොටසක්.
ආඝාතයට ගොදුරු වූ ගිල්බට් නැමැත්තෙක් මෙසේ සඳහන් කරනවා: “සමහර වෙලාවට පුංචි පුංචි දේවලට පවා ඇඬීමෙන් හෝ සිනහ වීමෙන් මම ඉක්මනින් චිත්තවේගීයව කලබලයට පත් වෙනවා. ඉඳල හිටලා මම හිනහා වුණාම කවුරුහරි මගෙන් අහනවා, ‘ඇයි ඔයා හිනා වෙන්නේ’ කියලා, එතකොට මට ඒ ගැන ඒ අයට කියන්න පුළුවන්කමකුත් නැහැ.” මෙය සමබරතාවේ සහ යාන්තම් කොරගැසීමේ ගැටලු සමඟ මුසුව තිබූ නිසා ගිල්බට් මෙසේ කියන්න ඉක්මන් වුණා: “මම වෙනත් කෙනෙකුගේ සිරුරක් තුළයි ඉන්නේ, ආඝාතයට කලින් හිටිය මම නෙවෙයි දැන් ඉන්නේ කියල මට හිතෙනවා.”
මනස සහ සිරුර වෙනස් වන හානි සමඟ ජීවත් වුණත්, දැඩි චිත්තවේගීය වෙනස් වීමක හැඟීමකින් වැඩිදෙනෙක් බේරෙන්නේ නැහැ. වික්කලය සහ කොටසක් අංශභාග කළ ආඝාතයක් තිබූ හිරෝයූකි මෙහෙම කියනවා: “කාලයක් ගිහිල්ලත් මාව සුව වුණේ නැහැ. කලින් වගේ මගේ වැඩ දිගටම කරගන්න පුළුවන් වෙන්නේ නැහැයි කියල දැනගත්තාම, මට බලාපොරොත්තු සුන් වූ බවක් හැඟුණා. මගේ චිත්තවේගයන් පිපිරුණා කියල හිතාගෙන, මම මිනිසුන්ටත් දේවල්වලටත් බනින්න පටන්ගත්තා. මම මිනිහෙක් වගේ වැඩ කෙරුවේ නැහැ.”
භය සහ කනස්සල්ල ආඝාතයට ගොදුරුවූවන්ට පොදුයි. එලන් මෙසේ ප්‍රකාශ කරනවා: “අනාගතයේ ඇති වෙන්න පුළුවන් ආඝාතයක් ගැන අනතුරක් මගේ ඔළුවේ වැඩ කරද්දී, මට කිසිම ආරක්ෂාවක් නැහැ වගේ හැඟීමක් ඇති වුණා. නිෂේධාත්මකව හිතන්න මම ඉඩහැරියොත් මට ඇත්තටම භයක් දැනෙනවා.” රෝන් ඔහු කටයුතු කරන කාංසාව ගැන මේ විදිහට පැහැදිලි කරනවා: “සමහර කාලවලදී හරි නිගමනවලට එළඹෙන්න හරිම අමාරු වුණා. පුංචි ගැටලු දෙක තුනක් එකම වෙලාවේ විසඳාගන්න එක මට වදයක් වුණා. මට ඉක්මනින්ම දේවල් අමතක වුණු අතර, සමහර වෙලාවට, මිනිත්තු කිහිපයකට කලින් ගත්තු තීරණ මතක නැති වෙනවා. ප්‍රතිඵලයක් හැටියට, මම භයානක අත්වැරදි කරන අතර, ඒක මටත් අනිත් අයටත් ලැජ්ජාවක් වුණා. තව අවුරුදු කිහිපයකින් මට මොනවා වෙයිද? මට උගත් විදිහට කතා කරන්න හරි කාර් එකක් එළවන්න හරි බැරි වෙයිද? මම මගේ භාර්යාවට බරක් වෙයිද?”
පවුල් සාමාජිකයනුත් ගොදුරු බවට පත් වෙයි
එසේනම්, විනාශකාරි විපාකවලින් හිර විය යුත්තේ ආඝාතයට ගොදුරු වන අය පමණක් නොවන බව පෙනෙනවා. ඔවුන්ගේ පවුල් පවා එසේ වෙනවා. සමහර අවස්ථාවල කලින් අර්ථවත් ලෙස ක්‍රියා කළ, දේවල් හොඳින් කරගත හැකි අයව සිටි පුද්ගලයන් හදිසියේම ඔවුන්ගේ ඇස් පනාපිටම දුර්වල වී අනිත් අය මත රඳා සිටින ළදරුවෙකුගේ තත්වයක් දක්වා පහත බසිනවා දැකීමේ දරුණු කම්පනය සමඟ ඔවුන් කටයුතු කළ යුතුයි. පවුලේ සාමාජිකයන්ට නුපුරුදු කාර්යයන් භාරගැනීමට සිදු වෙන නිසා, සබඳතා පලුදුවීමට ඉඩ තිබෙනවා.
මෙහි දුඃඛිත බලපෑම් ගැන හාරූකො මෙහෙම විස්තර කරනවා: “මගේ පුරුෂයාට වැදගත් වන හැම දෙයක් ගැනම වගේ මතකය නැති වෙලා ගියා. ඔහු පවත්වාගෙන ගිය සමාගම වහන්න සිද්ධ වුණා විතරක් නෙවෙයි, අපේ ගෙයයි දේපළයි අපිට නැති වුණා. මගේ පුරුෂයා එක්ක නිදහසේ කතා කරන්න නැත්නම් උපදෙස් සඳහා ඔහු වෙත හැරෙන්න බැරිවීම මට තදින් දැනුණා. දවාලයි රාත්‍රියයි වරද්දාගෙන, එයා එයාට මූත්‍රා යනවට රෑට අඳින ඇඳුම අයින් කරනවා. කාලයක් යනකොට එයාගෙ තත්වය මේ වගේ පහත වැටෙන බව දැනගෙන හිටියත්, එයාගේ සැබෑ තත්වය පිළිගන්න අපිට තවමත් අමාරුයි. අපේ තත්වය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළුණා; ඒ කියන්නේ දැන් මමයි මගේ දුවයි මගේ පුරුෂයාගේ භාරකරුවන් බවට පත් වෙලා.”
“ආඝාතයෙන් පෙළෙන කෙනෙකුව රැකබලා ගැනීම—ඔබ කොපමණ ආදරය කෙරුවත්—සමහර වෙලාවට ඔබව අපහසුතාවට පත් කරවනවා” කියා ස්ට්‍රෝක්ස්: වට් ෆැමිලීස් ෂුඩ් නෝ යන්නෙහි (ආඝාත: පවුලේ අය දැනගත යුතු දේවල්), ඉලේන් ෆැන්ට්ල් ෂිම්බ’ග් නිරීක්ෂණය කරනවා. “පීඩනය සහ වගකීම අඩු වෙන්නේ නැහැ.” සමහර අවස්ථාවලදී සමහර පවුල් සාමාජිකයන් සපයන්නාවූ උසස් මට්ටමේ සාත්තුව සාත්තුකරන්නාගේ සෞඛ්‍යය, චිත්තවේගයන් සහ ආත්මිකත්වය කෙරෙහි හානිකර ලෙස බලපාන්න යනවා. තම මවගේ ආඝාතය ඇගේ ජීවිතයට දරුණු බලපෑමක් වුණා කියා මරියා පැහැදිලි කරනවා: “මම හැමදාම එයාව බලන්න යනවා, ආත්මිකව එයාව ගොඩනඟනවා, එයත් එක්ක ඉඳගෙන කියවනවා, යාච්ඤා කරනවා, ඒ වගේම ඇති වෙනකම් එයාව ඉඹිනවා වගේම ආදරය කරනවා. සමහර දවස්වලට මම ගෙදර එන්නේ—වමනේ කරන තරමටම—චිත්තවේගීයව වෙහෙසට පත් වෙලයි.”
බොහෝ සාත්තුකරන්නන්ට කටයුතු කිරීමට අමාරුම දෙය නම්, හැසිරීම් රටාවේ වෙනස්කමයි. ස්නසා මනෝවේදී රොනල්ඩ් කැල්වාන්‍යෝ, පිබිදෙව්! සඟරාවට මෙහෙම කිව්වා: “ඔබට මොළයේ පිහිටි සිවියේ සංකීර්ණ ක්‍රියාකාරිත්වය කෙරෙහි තදින් බලපාන රෝගයක් තියෙනවා නම්, පුද්ගලයෙක් හිතන්නේ, ඔහුගේ ජීවිතය සහ චිත්තවේගයන්ගේ ප්‍රතික්‍රියා හසුරුවන්නේ ඊට එකඟවයි—අපි කටයුතු කරන්නේ සැබෑ පුද්ගලයෙක් සමඟයි, ඉතින් සමහර අවස්ථාවල මානසික ආබාධ ඇත්තෙන්ම පවුල නමැති ලෝකයම ඉතා පුදුමාකාර අන්දමින් වෙනස් කරන්න යනවා.” යොෂිකෝ මෙහෙම කියනවා: “මගේ පුරුෂයා ඔහුගේ ලෙඩෙන් පසුව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. පුංචි දේවලටත් ඉක්මනින්ම කේන්ති ගියා. ඒ වෙලාවට මට ඇත්තටම කාලකණ්ණිකමක් හැඟුණා.”
පෞද්ගලිකත්වය වෙනස් වීම පවුලට පිටින් සිටින අය බොහෝවිට හඳුනාගන්නේ නැති වෙන්න පුළුවන්. එහෙයින්, සමහර සාත්තුකරන්නන් තනි වී, තනියම බර කරගහනවා. මිඩෝරි මෙහෙම පැහැදිලි කරනවා: “ආඝාතය මගේ පුරුෂයාව මානසිකවත් චිත්තවේගීයවත් දුබල කරල තියෙනවා. දිරිගැන්වීම සඳහා එයාට ලොකු අවශ්‍යතාවක් තිබුණත්, කිසි කෙනෙකුට එයා ඒක කියන්නේ නැතුව තනියම විඳෝනවා. ඉතින් එයාගේ චිත්තවේගයන් හදන එක මටම භාර වෙලා තියෙනවා. දවස්පතාම මගේ පුරුෂයාගේ මානසික ස්වභාවයන් බැලීම මට අපහසු දෙයක් වගේම, සමහර වෙලාවට මාව භයට පවා පත් කරවනවා.”
ආඝාතයෙන් බේරුණු බොහෝදෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල අය, ආඝාතයක් මගින් ජීවිතයෙහි ඇති කරන වෙනස සමඟ කටයුතු කර තිබෙන්නේ කෙසේද? ආඝාතයේ විකල කරන්නාවූ බලපෑම්වලින් දුක් විඳින අයට සහය වීමට අප එක් එක්කෙනාට හැකි වන්නේ කිනම් ආකාරවලින්ද? අපේ ඊළඟ ලිපිය පැහැදිලි කරනවා.
[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]
අනතුරු සංඥා
• හදිසි දුර්වලකම, හිරිය හෝ මුහුණේ, අතේ හෝ පාදයේ අංශභාගය, විශේෂයෙන්ම සිරුරේ එක පැත්තක
• හදිසි අපැහැදිලි හෝ අඳුරු පෙනීම, විශේෂයෙන්ම එක ඇසක; ද්විත්ව දෘෂ්ටියේ අංගයක්
• කතා කිරීමේ හෝ සරල වාක්‍යයක් පවා තේරුම්ගැනීමේ දුෂ්කරතාව
• තෝන්තුව ඇතිවීම හෝ සමබරතාව හෝ සම්බන්ධීකරණය නැතිවීම, විශේෂයෙන්ම වෙනත් රෝග ලක්ෂණ සමඟ සම්බන්ධව තියෙද්දී
පොදුවේ නොපවතින රෝග ලක්ෂණ
• හදිසි, කිසිම හේතුවක් නැති තදබල හිසේරුදාව—බොහෝවිට “සිදු වෙච්ච දරුණුම හිසේ කැක්කුම” ලෙස හඳුන්වනවා
• හදිසි ඔක්කාරය සහ උණ—පහර දීමේ වේගය නිසා වෛරස් රෝගයකින් වෙන් කර හඳුනාගැනෙනවා (දවස් ගණනාවකට වඩා මිනිත්තු හෝ පැය කිහිපයක්)
• කෙටි වේලාවකට පියවි සිහිය නොතිබීම හෝ සාවධානීභාවය නැති වී යන කාලපරිච්ඡේදයන් (ක්ලාන්ත වීම, ව්‍යාකූලත්වය, වලිප්පුව, මූර්ඡාව)
රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා
රෝග ලක්ෂණ මතු වූ විට, රෝගියාට “රෝහලේ හදිසි වාට්ටුවට හැකි ඉක්මනින් යන්න” කියා වෛද්‍ය ඩේවිඩ් ලෙවින් උදක්ම ඉල්ලා සිටිනවා. “ආඝාතයක මුල් පැය කිහිපයේදී ප්‍රතිකාර කළොත්, හානි අඩු කරගන්න පුළුවන් බවට සාක්ෂි තියෙනවා.”
සමහර අවස්ථාවල රෝග ලක්ෂණ ඉතා කෙටි වේලාවකට මතු වී, පසුව නැති වී යනවා. මෙම අංගයන් ටීඅයිඒ, හෝ හදිසි ඉස්කීමීය පහර දීම ලෙස හඳුන්වනවා. ඒවා බරපතළ ආඝාතයේ අවදානමක් ඇඟවිය හැකි නිසාත්, ඒ සමඟම සම්පූර්ණ ආඝාතයක් ඇති විය හැකි නිසාත් ඒවා නොසලකා හරින්න එපා. අනාගතයේ ඇති විය හැකි ආඝාතයක අවදානම අඩු කිරීම සඳහා උපකාර කිරීමට සහ ඒවා ඇතිවීමේ හේතුවට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයෙකුට හැකියි.
අමෙරිකා එක්සත් ජනපදයේ, කොලරාඩෝ, එන්ග්ල්වුඩ්හි ජාතික ආඝාත සංගමය සැපයූ මාර්ගදර්ශකවලින් මදක් වෙනස් කර දක්වා තිබෙනවා.