ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 2/8 22-23 පි.
  • චන්ද්‍රයාගේ කඳු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • චන්ද්‍රයාගේ කඳු
  • 1998 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • චමත්කාරජනක දසුනක්
  • ‘කඳුවලට වඩා ඔබ කොපමණ තේජාන්විතද?’
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කඳු මැවිල්ලේ ශ්‍රේෂ්ඨ කෘතීන්
    1995 පිබිදෙව්!
  • කඳුවල සෙවණැලි අතරේ සැඟව ගිය ගමන
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වඳ වී යන ශාක හා සතුන්ට පිළිසරණක්
    2009 පිබිදෙව්!
1998 පිබිදෙව්!
g98 2/8 22-23 පි.

චන්ද්‍රයාගේ කඳු

කෙන්යාවේ පිබිදෙව්! වාර්තාකරුගෙන්

එය ශතවර්ෂ ගණනාවක් පුරා දිව ගිය කට කතාවක්: නයිල් ගංගාවේ සැබෑ උල්පත වන, හිමෙන් වැසී ගිය කඳු, මධ්‍යම අප්‍රිකාවේ යම් තැනක පිහිටා තිබුණා. නමුත් අප්‍රිකාවේ සමකය ආසන්නව හිම තිබෙනවාය කියන මතය විශ්වාස කළ නොහැක්කක් වුණා. එහෙත්, දෙවන ශතවර්ෂයේ මුලදී, ග්‍රීක භූගෝල ශාස්ත්‍රඥයෙකු වන ටොලමි මෙම කඳුවල පැවැත්ම ගැන අදහස් දක්වා තිබුණු අතර, ඒවාට ලූනයි මොන්ටෙස්—චන්ද්‍රයාගේ කඳු කියා නම් දමා තිබෙනවා.a

ශතවර්ෂ ගණනාවක් පුරා, මෙම කඳුවල පිහිටීම සොයාගැනීමට දරා ඇති උත්සාහයන් ව්‍යර්ථ වී ගියා. එහෙත් 1800 ගණන්වල අගභාගයේ එක් දවසක, වෛද්‍ය ඩේවිඩ් ලිවිංස්ටන්ව නැති වී සොයාගැනීම සම්බන්ධයෙන් ප්‍රචලිත වූ ගවේෂක හෙන්රි ස්ටැන්ලි අහඹු සිදුවීමක් අද්දැක්කා. හිමෙන් වැසී ගිය කඳු මුදුන් පන්තියක් දැකබලා ගැනීමේ මහඟු ප්‍රස්තාවක් විවෘත කරමින්, මීට පෙර අවස්ථාවලදී ගවේෂකයන්ගෙන් කඳු සැඟවූ වලා පටලය මඳකට තුනී වී ගියා. ඔහු චන්ද්‍රයාගේ කඳු සොයාගෙන තිබුණා. නමුත් ඔහු එවකට ප්‍රාදේශීය පදිංචිකරුවන් විසින් පාවිච්චි කළ නමින් ඒවා ඇමතුවා: එනම් “වැසිසාදන්නා” යන අරුත ඇති රුවෙන්ශෝරි.

නයිල් ගංගාවට ජලය සැපයීමේදී රුවෙන්ශෝරි මගින් ඉටු වන්නේ ඉතාමත් සුළු කාර්යයක් බවට අදදින පොදුවේ පිළිගැනෙනවා. ඒ වුණත්, ඒවාට තවමත් ව්‍යවහාරේ පැවසෙන්නේ චන්ද්‍රයාගේ කඳු කියායි. තවද දේශ ගවේෂණ රාශිය මධ්‍යයේ වුණත්, මෙම ගරුබිය දනවන කඳුවැටිය තුළ තවමත් අභිරහසක හැඟීමක් අන්තර්ගත වෙනවා. සමකයට මඳක් උතුරින් පිහිටා ඇති රුවෙන්ශෝරි, දිගින් කිලෝමීටර් 130ක් හා පළලින් කිලෝමීටර් 50ක් දක්වා විහිදෙමින් උගන්ඩාව හා කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර ස්වාභාවික දේශ සීමාවක් හැටියට කටයුතු කරනවා.

ගිනි කන්දකින් මූලාරම්භ වී ඇති නැඟෙනහිර අප්‍රිකාවේ කඳු බොහොමයකට වඩා වෙනස්ව, අතිප්‍රබල භූගෝලීය පීඩනයන් මගින් අවුරුදු දහස්ගණනකට කලින් ඉහළට තල්ලු කර ඇති භූමි පෘෂ්ඨයේම අතිවිශාල කුට්ටියකි, රුවෙන්ශෝරි කඳුවැටිය. රුවෙන්ශෝරි මීටර් 5,109ක උසකට ළඟා වූවත්, නරඹන්නන්ට එය නොදැකිය හැකි තරම්. බොහෝ අවස්ථාවලදී කඳුවැටිය මීදුමෙන් හා වලාකුළුවලින් වැසී පවතිනවා.

නමෙන් ඇඟවෙන පරිදි, රුවෙන්ශෝරි වැස්සේ හා හිමේ බහුලත්වයක් භුක්ති විඳින අතර, “වියළි” සමය “තෙත්” සමයට වඩා මඳක් පමණක් වියළිව පවතී. එහෙයින් ඇවිදීම අන්තරාදායක වෙන්න පුළුවන්; සමහර ප්‍රදේශවල මඩ ඉණ දක්වා උසයි! ධාරානිපාත වැසි මගින් කුඩා විශිෂ්ට විල් කිහිපයක් හෑරී ඇති අතර, කඳු බෑවුම් වසාගෙන ඇති අසාමාන්‍ය ලෙස ඝනව වැඩී තිබෙන වන ලැහැබ්වලටත් මේවා තෙතමනය සපයයි. ඇත්තෙන්ම කියනවා නම්, සමහරක් පුදුමාකාර පැළෑටි රාශියකට රුවෙන්ශෝරි නිවහන වන අතර, සමහරක් ඒවා අතිදැවැන්ත ප්‍රමාණවලට වර්ධනය වෙනවා.

උදාහරණයක් හැටියට, රෝමවලින් ගහන වූ යෝධ ඇඟිලිවලට සමාන වූ ල’බීලියා යනුවෙන් හැඳින්වෙන ගස්, වෙනත් පැතිවල සාමාන්‍යයෙන් දිගින් සෙන්ටිමීටර් 30කට වඩා අඩු වන නමුත්, රුවෙන්ශෝරිවල ඒවා මීටර් 6ක් දක්වා විශාල විය හැක. සෙනේෂියෝස් ශාඛ වර්ගය හරියට අතු ගණනාවකට බෙදීයෑමට පටන්ගන්නා කරුවක් මත තිබෙන විශාල ගෝවා ගෙඩි වගෙයි. පාසිවලින් වැසී ඇති මීටර් 12ක් උස පඳුරු තියෙනවා. නානාවිධ වර්ණවලින් හා සුගන්ධයන්ගෙන් යුත් මල් දර්ශනයේ සුන්දරත්වයට හැම අතින්ම දායක වේ. රුවෙන්ශෝරිවල විවිධාකාර මෙන්ම අලංකාර කුරුලු ගහනයක්ද ඇති අතර උන්ගෙන් සමහරක් මේ කඳු ප්‍රදේශයට පමණක් අද්විතීය වෙනවා. පහත් බෑවුම්වල ඇතුන්, චිම්පන්සියන්, බුෂ්බක් වර්ගයේ මුව විශේෂ, දිවියන් හා කොලබස් වර්ගයේ වඳුරන් ජීවත් වෙනවා.

චමත්කාරජනක දසුනක්

කඳු මාර්ගය දිගේ යන අය නිවර්තන වැසි වනාන්තර තුළින් මෙන්ම බූජූකූ ගංගාව හරහාද කීපවිටක් යයි. තවද ඔවුන් මීටර් 3,000ක උසකට ළඟා වූ විට, ඔවුන්ට මහා රිෆ්ට් නිම්නය තුළට එබිකම් කළ හැකි අතර, ඇත්තෙන්ම එය විස්මයජනක දසුනකි!

තවත් ඉහළට යන විට පහත් බීගෝ මඩ වගුරු හමු වන අතර, එය තණ පඳුරු හා උස් පඳුරුවලින් යුක්ත ප්‍රදේශයකි. මෙම ස්ථානවල බොහෝ අවස්ථාවලදී මඩ දණහිසට තරම් උසය. මීටර් 4,000ක් පමණ උසක ඇති බූජූකූ නිම්නයේ ඇති ඉහළ බීගෝ මඩ වගුරට හා බූජූකූ විලට කරන දුෂ්කර නැඟීම, බේකර්, ලූවීජි ඩී සාවෝයා, ස්ටැන්ලි, ස්පීක් යන කඳුවල චමත්කාරජනක දසුනක් සපයන අතර මේවා කඳුවැටියේ උසම මුදුන්ද වෙනවා.

තවත් ඉහළින් ඇත්තේ එලෙනා ග්ලැසියරයයි. ග්ලැසියරය නැඟීමට කෙනෙකු විසින් උල් කටු සහිත සපත්තු පැළඳිය යුතු අතර, ලණුවක් මෙන්ම කඳු නැඟීමේදී ආධාර වන අයිස් පොරොවක්ද යොදාගත යුතුයි. රුවෙන්ශෝරි කඳු පන්තියේ උසම මුදුන වන ස්ටැන්ලි කන්දේ මාගරීටා මුදුනට යන ස්ටැන්ලි තලාව හරහා ඊළඟට ඇවිදින්න සිදු වෙනවා. හාත්පස පෙනෙන එම උස් පිහිටීමේ සිට කඳු මුදුන්, තැනිතලා, කැලෑ, දිය ඔයවල් හා විල්වලට එබිකම් කර බලද්දී දක්නට ලැබෙන දසුන ඇත්තෙන්ම ගරුබිය උපදවන්නක්.

එහෙත් මෙම කඳුවැටිය කොයි අතකින්වත් සම්පූර්ණ ලෙස ගවේෂණය කර නැහැ. රුවෙන්ශෝරි තම රහස් හෙළි කරන්න පටන්ගත්තා පමණයි. කඳු වැටියේ භූගෝලීය ස්වභාවය, සත්ව ජීවිතය හා ශාක ජීවිතය ගැන බොහෝ දෑ තවම නොදනියි. ඒ හේතුවෙන් රුවෙන්ශෝරි තවමත් අභිරහස්වලින් වෙළී ඇති අතර එම රහස් සර්වබලැති මැවුම්කරු පමණක් පූර්ණ වශයෙන් දන්නා ඒවා වේ. ඔව්, ‘කඳු ශිඛර අයිති තැනැත්තා’ ඇත්තෙන්ම ඔහුයි.—ගීතාවලිය 95:4.

[පාදසටහන]

a ඒමීල් ලූට්විඛ් විසින් රචිත ද නයිල් (නයිල් ගංගාව) අනුව, දේශීය පදිංචිකරුවන්ට නොහැකි වුණා කඳුවල ඇති හිම ගැන පැහැදිලි කරන්න. ඒ හේතුවෙන් ඔවුන් විශ්වාස කළා “කඳු මගින් චන්ද්‍රාලෝකය කඳු මතට ඇදගෙන ඇති බව.”

[23වන පිටුවේ පින්තූර]

1. ඝන වලාකුළු පටලය සාමාන්‍යයෙන් රුවෙන්ශෝරි වසාගනියි

2. “වැසිසාදන්නාගේ” ධාරානිපාත වර්ෂාව පාසිවලින් වැසී ගිය බෑවුම් තෙතමනය කරයි

3. අඩි පාර දිගේ, මල් හා සුගන්ධයන් බොහෝයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න