ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 5/8 3-5 පි.
  • වර්ෂා වනාන්තර වැනසීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වර්ෂා වනාන්තර වැනසීම
  • 1998 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “කතරක් මැද වැවෙන ගස්”
  • ඉඩම්, දැව සහ මස් පාන්
  • වනය ආරක්ෂා කිරීමට මොනවාද කරමින් සිටින්නේ?
  • වර්ෂා වනාන්තරයෙන් ඇති ප්‍රයෝජන
    1998 පිබිදෙව්!
  • වර්ෂා වනාන්තර—ඒවා විනාශ නොකර ප්‍රයෝජනයට ගත හැකිද?
    2003 පිබිදෙව්!
  • අපේ වර්ෂා වනාන්තර නොනැසී පවතීවිද?
    1998 පිබිදෙව්!
  • වර්ෂා වනාන්තර—ඒවා බේරාගත හැකිද?
    2003 පිබිදෙව්!
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 5/8 3-5 පි.

වර්ෂා වනාන්තර වැනසීම

එකමත් එක කාලෙක, පුළුල් හරිත තීරයක් අපේ පෘථිවි ග්‍රහයා වටා ගෙතී තිබුණා. එය නානාවිධ වෘක්ෂලතාදියෙන් සකස් වී තිබුණු අතර, මතුපිට ගලා බසින පළල් ගංගාවලින් සැරසී තිබුණා.

දැවැන්ත ස්වාභාවික හරිතාගාරයකට සමාන වූ එය, සුන්දරත්වයේ මෙන්ම විවිධත්වයකින් ගහන වූ විෂයක් වුණා. මෙලොවේ සත්ව, පක්ෂි සහ කෘමි විශේෂයන්ගෙන් අඩක්ම විසුවේ එතැනයි. එය පෘථිවියේ වඩාත්ම සරු ප්‍රදේශය වුවත්, එය ඉතා සියුමැලි, කිසි කෙනෙකුට අදහාගන්න බැරි තරම් සියුමැලි වුණා.

නිවර්තන වර්ෂා වනාන්තරය ලෙස අප දැන් හඳුනන මෙය, ඉතා දැවැන්ත විනාශ කළ නොහැකි යමක් සේ දිස් වුණා. නමුත් එය සැබෑවක් වුණේ නැහැ. වර්ෂා වනාන්තර පළමුවෙන්ම නැති වී යන්න පටන්ගත්තේ කැරිබියන් දූපත්වලිනුයි. ඩෝඩෝ පක්ෂියා වඳ වී යෑමට අවුරුදු දහයකට පෙර 1671 තරම් අතීත කාලයකදී, උක් වගාව බාබඩොස්හි වනාන්තර ගිලගත්තා.a එම ප්‍රදේශයේ වෙනත් දූපතුත් එවන් ඉරණමකට ගොදුරු වූ අතර, එය 20වන සියවසේදී වේගවත් වී ඇති සමස්ත ලෝක ප්‍රවණතාවක පෙරනිමිත්තක් වුණා.

සියවසකට පමණ පෙර සියයට 12 හා සැසඳුවොත්, අදදින නිවර්තන වර්ෂා වනාන්තර පොළෝ තලයේ සියයට 5ක් පමණයි ආවරණය කරන්නේ. එමෙන්ම වසරක් වසරක් පාසා එංගලන්තය තරම් විශාල වනාන්තර ප්‍රදේශයක්, එසේ නැතහොත් වර්ග කිලෝමීටර් 1,30,000ක් කපා දමනු හෝ පුලුස්සනු ලබනවා. මෙවන් වැනසීමක් මෙතරම් වේගයකින් සිදු වන නිසා, ඩෝඩෝට අත් වූ ඉරණම වර්ෂා වනාන්තරයටත් එහි වෙසෙන ජීවීන්ටත් අත්වීමේ තර්ජනය එල්ල වී තිබෙනවා. “වනාන්තරය යම් වසරක් වෙද්දී අතුරුදහන් වී යයි කියා පැවසීම දුෂ්කරයි. නමුත් තත්වය වෙනස් වන්නේ නැත්නම්, වනාන්තරය ඇත්තටම අතුරුදහන් වී යාවි” යනුවෙන් බ්‍රසීලයේ වර්ෂා වනාන්තර පර්යේෂක ෆිලිප් ෆ’න්සයිඩ් අනතුරු අඟවයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඩයනා ජීන් ස්කීමෝ මෙසේ වාර්තා කළා: “මේ අවුරුද්දේ බ්‍රසීලයේ සිදු වන පිලිස්සීම් ඉන්දුනීසියාවේ සිදු වූ එකටත් වඩා විශාල බව මෑත සති තුළදී එකතු කරගත් දත්තවලින් පෙනී යනවා. ඉන්දුනීසියාවේ නම් ප්‍රධාන නගරවල් දුම් වලාපටලවලින් වැසී ගියා. තවත් ඒවා වෙනත් රටවලටත් පැතිර ගියා. චන්ද්‍රිකාවලින් ලැබිල තිබෙන දත්තවලට අනුව, පසුගිය අවුරුද්දේ ඇමසන් ප්‍රදේශයේ පිලිස්සීම් සියයට 28කින් වැඩි වෙලා තියෙනවා. ලබාගත හැකි අලුත්ම තොරතුරු අනුව, ඒ කියන්නේ 1994ට තිබෙන වන නාශන සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ, 1991 පටන් සියයට 34ක වැඩිවීමක් දකින්න පුළුවන් බවයි.”

“කතරක් මැද වැවෙන ගස්”

සියවසකට පමණ කලින් මුළුමනින්ම පාහේ සතුටුදායක තත්වයක තිබුණු වර්ෂා වනාන්තර මෙතරම් විගස වනසනු ලබන්නේ ඇයි? පොළෝ තලයේ මතුපිටින් සියයට 20ක් ආවරණය කරන සෞම්‍ය කලාපීය වනාන්තර පසුගිය අවුරුදු 50 තුළ සැලකිය යුතු ලෙස අඩු වී නැහැ. වර්ෂා වනාන්තර මෙතරම් පහසුවෙන් ගොදුරු වීමට හේතු වන්නේ කුමක්ද? පිළිතුර ගැබ්ව ඇත්තේ ඒවායේ අද්විතීය ස්වභාවය තුළයි.

වර්ෂා වනාන්තර “කතරක් මැද වැවෙන ගස්” හැටියට උචිත ලෙස විස්තර කර ඇති බව ආනල්ඩ් නියූමන් ට්‍රොපිකල් රේන්ෆොරස්ට් (නිවර්තන වර්ෂා වනාන්තරය) යන තම පොතෙහි කියයි. ඇමසන් ද්‍රෝණියෙහි සහ බෝනියෝවේ ඇතැම් පෙදෙස්වල “දැවැන්ත වනාන්තර පවා පුදුමසහගත ලෙසින් රඳා පවතින්නේ තනි සුදු වැල්ල මත බව” ඔහු පැහැදිලි කරයි. වර්ෂා වනාන්තර බොහොමයක් වැල්ල මත නොවැඩුණත්, සැමෙකක්ම පාහේ රඳා පවතින්නේ ඉතා නිසරු මෙන්ම ඉතා අල්ප වූ උඩපස් ප්‍රමාණයක් මතයි. සෞම්‍ය කලාපීය වනාන්තරයක උඩපස මීටර් දෙකක ගැඹුරක් දක්වා විහිදුණත්, වර්ෂා වනාන්තරයක එය සෙන්ටිමීටර් පහක් ඉක්මවා යන්නේ කලාතුරකිනුයි. මිහිපිට වඩාත් සරුවට වැඩෙන වෘක්ෂලතාදිය එතරම් දුර්වල පරිසරයක හොඳින් වැඩිය හැක්කේ කෙසේද?

මෙම අභිරහසට විසඳුම විද්‍යාඥයන් 1960 ගණන් සහ 1970 ගණන්වලදී සොයාගත්තා. වනාන්තරය ඇත්තටම එමතම යැපෙන බව ඔවුන් සොයාගත්තා. ශාකවලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලින් වැඩි හරියක් වනබිම ආවරණය කරන අතු සහ කොළවලින් සෑදෙන කසළවලින් ලැබෙන අතර, නිරන්තර උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවට ස්තුතිවන්න, වේයන්, දිලීර සහ වෙනත් ජීවීන් මගින් ඒවා ශීඝ්‍ර ලෙස වියෝජනය කරනු ලබනවා. කිසිම දෙයක් අපතේ යන්නේ නැහැ; සෑම දෙයක්ම නැවත පාවිච්චියට ගනු ලබනවා. වනාන්තර ආවරණයෙන් සිදු වන උත්ස්වේදනය සහ වාෂ්පීකරණය තුළින්, වර්ෂා වනාන්තරය ලබන වර්ෂාපතනයෙන් සියයට 75ක්ම නැවත පාවිච්චියට ගත හැකියි. පසුව, මෙම ක්‍රියාවලියෙන් සෑදෙන වලාකුළු, යළිත් වනාන්තරයට ජලය සපයයි.

එනමුත් මෙම පුදුමසහගත පද්ධතියට සැලකිය යුතු දුර්වලකමක් තිබෙනවා. එය අධික ලෙස හානියට ලක් වුණොත්, ප්‍රකෘතිමත් තත්වයට එන්න එයට බැහැ. කුඩා වර්ෂා වනාන්තර ප්‍රදේශයක් එළිපෙහෙළි කළොත්, අවුරුදු කිහිපයක් ඇතුළත එය ප්‍රකෘතිමත් තත්වයට පැමිණේවි; එනමුත් විශාල ප්‍රදේශයක් සමතලා කළොත්, එය නැවත කිසිදාක යථා තත්වයට නොපැමිණෙන්න ඉඩ කඩ තිබෙනවා. තද වර්ෂාව පෝෂ්‍ය පදාර්ථ සෝදාහරින අතර, දැඩි හිරු රශ්මිය මගින් ඉතා තුනී උඩපස් තට්ටුව කරවී යනවා. අන්තිමේදී ගොරෝසු තණකොළවලට පමණයි හටගත හැක්කේ.

ඉඩම්, දැව සහ මස් පාන්

කෘෂිකාර්මික ඉඩම්වල හිඟයකින් පෙළෙන සංවර්ධනය වෙමින් පවතින රටවලට, විශාල ප්‍රාථමික වනාන්තර තීර සූරා කෑම සඳහා උචිත වූ බව පෙනීගියා. දුප්පත්, ඉඩම් නොතිබූ ගැමියන්ට වනාන්තරයේ කොටස් එළිපෙහෙළි කොට තමුන් සතු කරගැනීම සඳහා දිරිගැන්වීම “පහසු” විසඳුමක් වුණා. එය යම්දුරකට යුරෝපීය සංක්‍රමණිකයන් අමෙරිකාවේ බටහිර ප්‍රදේශයේ පදිංචි වූ ආකාරය හා සමානයි. කෙසේවෙතත්, ප්‍රතිඵල වනාන්තරවලට මෙන්ම ගොවීන්ට හානිකර වුණා.

ඕනෑම දෙයක් සරු වර්ෂා වනාන්තරයේ වැවෙන බවට හැඟීම එයින් ලැබිය හැකියි. එනමුත්, ගස් කපා දැමුවායින් පසු, නිමක් නැති සරුබවේ මායාව අතුරුදහන් වී යනවා. වනාන්තරයෙන් තම පවුල මෑතකදී සතු කරගෙන තිබෙන කුඩා ඉඩම් කැබැල්ලක් වගා කරන අප්‍රිකානු කාන්තාවක් වන වික්ටෝරියා ප්‍රශ්නය මෙලෙස පැහැදිලි කරයි.

“මට රටකජු, මඤ්ඤොක්කා සහ කෙසෙල් ගස් ටිකක් වවාගන්න පුළුවන් විදිහට, මගේ මාමණ්ඩි මේ ළඟදී වනාන්තරයේ මේ කෑල්ල එළිපෙහෙළි කරලා පුච්චලා තියෙනවා. මේ අවුරුද්දේ මට ඉතා හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන් වේවි. ඒත් අවුරුදු දෙක තුනකට පස්සේ, පස නිසරු වේවි. එතකොට තවත් කෑල්ලක් එළිපෙහෙළි කරන්න වේවි. ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ. ඒත් අපට ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය ඒකයි.”

වික්ටෝරියා සහ ඇගේ පවුල මෙන් හේන් ගොවිතැන් කරන ගොවීන් අඩුම තරමින් දශලක්ෂ 200ක් සිටිනවා! එමෙන්ම වර්ෂා වනාන්තරවලට අවුරුදු පතා අත් වන විනාශයෙන් සියයට 60ක් සඳහා ඔවුන් වගකිව යුතුයි. වඩාත් පහසු ගොවිතැන් ක්‍රමයක් අනුගමනය කිරීමට මෙම සංචාරක ගොවීන් වැඩි මනාපයක් දැක්වූවත්, ඔවුන්ට වෙන තේරීමක් නැහැ. නොනැසී ජීවත් වීමේ දෛනික තර්ජනයට මුහුණ දෙන ඔවුන්ට, වර්ෂා වනාන්තරය සුරැකීම යන්න තමුන්ට අත් කරගත නොහැකි සැපසම්පතක් සේ පෙනී යනවා.

ගොවීන් වැඩිදෙනෙකු ගොවිතැන් කිරීම සඳහා වනාන්තරයේ ගස් කපා දැමුවත්, තවත් සමහරු තණ කවන බිම් සඳහා එය එළිපෙහෙළි කරනවා. මධ්‍යම සහ දකුණු අමෙරිකානු වර්ෂා වනාන්තරවල, වන නාශනයට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ගව පාලනයයි. මෙම ගවයන්ගෙන් ලැබෙන මස් සාමාන්‍යයෙන් උතුරු අමෙරිකාව බලා ගමන් කරයි. කඩිනම් ආහාර ජාලවල මස් පාන් සඳහා, මිල අඩු මස්වලට විශාල ඉල්ලුමක් එහි තිබෙනවා.

කෙසේවෙතත් සුළු පරිමාණ ගොවීන් මෙන්, ගව පාලනයෙහි නියැලෙන්නන්ද එකම ගැටලුව අද්දකිනවා. වර්ෂා වනාන්තරයක අළුවලින් හටගන්නා තණබිම්වලට, අවුරුදු පහකට වැඩිය ගවයන්ට තණකොළ සැපයිය නොහැකි තරම්. වර්ෂා වනාන්තර මස් පාන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම ඇතැම්විට කිහිපදෙනෙකුට ලාභදායී වුණත්, එය ආහාර නිෂ්පාදනය සඳහා මිනිසා මෙතෙක් ප්‍රබන්ධ කර ඇති වඩාත්ම නාස්තිකාර ක්‍රමවලින් එකක් සේ නම් කළ යුතුයි.b

වර්ෂා වනාන්තරයට තවත් ප්‍රධාන තර්ජනයක් දැව සඳහා ගස් කැපීමෙන් එල්ල වෙනවා. ගස් කැපීමෙන් අනිවාර්යයෙන්ම වර්ෂා වනාන්තර විනාශ වන බව අදහස් වෙනවා නොවෙයි. ඇතැම් සමාගම් වනය ප්‍රකෘතිමත් තත්වයට අප්‍රමාදව පත් වන ආකාරයකින් වෙළඳාමට සුදුසු විශේෂයන් කිහිපයක් නෙළාගන්නවා. එනමුත් වාර්ෂිකව දැව සමාගම් ගස් කපන වර්ග කිලෝමීටර් 45,000ක් දක්වා විහිදෙන වනයෙන් තුනෙන් දෙකක්ම කොතරම් අධික ලෙස ගස් කැපීමට ලක් වෙනවාද කිවහොත්, හානියක් නොවන්නේ වනයේ ගස්වලින් පහෙන් එකකට පමණයි.

“පාලනයකින් තොරව ගස් කපා දැමීමෙන් ලස්සන වනයක් සුනුවිසුනු වී යනවා දැකීම මාව තැතිගන්වනවා” යයි උද්භිද විද්‍යාඥ මන්වෙල් ෆීඩාල්ගෝ ශෝකයෙන් කියයි. “එළිපෙහෙළි කළ ප්‍රදේශයේ වෙනත් ශාක සහ ගස් හටගන්න බව සැබෑවක් වුණාට, නව වර්ධනය ද්විතීයික වනයක්; තිබෙන ගස් වර්ග සංඛ්‍යාව ගත්තොත්, එය මුල් එකට වඩා සෑහෙන අඩුයි. මුල් වනය ප්‍රකෘතිමත් තත්වයට එන්න නම් සියවස් නැතහොත් අවුරුදු දහස් ගණන් පවා ගත වේවි.”

ගස් කපා දමන සමාගම් වනයේ විනාශය වෙනත් ක්‍රම මගිනුත් වේගවත් කරවනවා. ගව පාලනයෙහි නියැලෙන්නන් සහ සංචාරක ගොවීන් ප්‍රධාන ලෙස වනය ආක්‍රමණය කරන්නේ ගස් කපා දමන අය තනා තිබෙන පාරවල් ඇසුරෙන්. ඇතැම් අවස්ථාවලදී ගස් කපා දමන අය තබා යන සුන්බුන් ලැව් ගිනිවලට හේතු වන අතර, ඒ හේතුවෙන් ගස් කපාදමන්නන් කපා දමා ඇති ප්‍රමාණයට වඩා විශාල, වන ප්‍රදේශයක් විනාශ වෙයි. බෝනියෝවේ, 1983දී සිදු වූ මෙවැනි එකම එක ගින්නකින් හෙක්ටෙයාර් දශලක්ෂයක් පිලිස්සී ගියා.

වනය ආරක්ෂා කිරීමට මොනවාද කරමින් සිටින්නේ?

මෙවන් තර්ජන හමුවේ, ඉතිරි වී තිබෙන වනාන්තර සංරක්ෂණය කිරීමට ප්‍රයත්න දරනු ලබනවා. එනමුත් මෙය යෝධ කාර්යයක්. ජාතික උද්‍යාන පිහිටුවීම මගින් අතරින් පතර වර්ෂා වනාන්තර පෙදෙස් ආරක්ෂා කළ හැකි වුවත්, දඩයම් කිරීම, ගස් කපා දැමීම මෙන්ම හේන් ගොවිතැන උද්‍යාන බොහොමයක් ඇතුළත තවමත් සිදු වෙනවා. උද්‍යාන පරිපාලනය සඳහා මුදල් වැය කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට මුදල් ඇත්තේ ටිකයි.

ගස් කැපීමේ හිමිකම් විකිණීමට, මුදල් හිඟයකින් පෙළෙන ආණ්ඩු අන්තර්ජාතික සමාගම්වල රැහැනට පහසුවෙන් හසු වෙනවා. ඇතැම්විට එම සම්පත විදේශීය ණය පියවීමට තිබෙන ජාතික වත්කම් ස්වල්පයෙන් එකක්. තවද වර්ෂා වනාන්තරයේ අභ්‍යන්තරය තුළට තව තවත් යනවා මිසක සංචාරක ගොවීන් දශලක්ෂ ගණනාවකට යන්න වෙනත් තැනක් නැහැ.

මෙතරම් ගැටලුවලින් පීඩිත වූ ලොවක, වර්ෂා වනාන්තර සංරක්ෂණය කිරීම එතරම් වැදගත්ද? ඒවා නැති වී ගියොත්, අපට අහිමි විය හැක්කේ කුමක්ද?

[පාදසටහන්වල]

a ඩෝඩෝ යනු 1681දී වඳ වූ විශාල, බරින් වැඩි පියාසර කළ නොහැකි පක්ෂියෙක්.

b පුළුල්ව පැතිරුණු විරෝධතා හමුවේ, ඇතැම් කඩිනම් ආහාර ජාලවල් නිවර්තන රටවලින් මිල අඩු මස් ආනයනය කිරීම නවතා තිබෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න