අපේ වර්ෂා වනාන්තර නොනැසී පවතීවිද?
මෙම සියවසේ මුලදී උතුරු අමෙරිකාවේ මඟී පරෙවියා වඳ වී ගියා. ඇතැම්විට මෙතෙක් වඩාත් බහුලව සිටි පක්ෂියා ඌ කියා පැවසිය හැකියි. සියවස් දෙකකට කලින් උන් සංඛ්‍යාවෙන් බිලියන පහක් සහ දහයක් අතර වූ බව පක්ෂි විද්‍යාඥයන් ගණනය කරනවා!
කෙසේවෙතත්, අවුරුදු සියයක් ඇතුළත, ශුන්‍ය විය නොහැකියයි පෙනුණු මිල අඩු පක්ෂි මස් සැපයුමක් අතුරුදහන් වී ගියා. එය “[සත්ව විශේෂයක] එතෙක් මෙතෙක් සිදු වූ වඩාත් පුදුමාකාර අභාවය” හැටියට විස්තර කර තිබෙනවා. මඟී පරෙවියා වෙනුවෙන් අ.එ.ජ. විස්කොන්සින්හි වයලූසිං ප්‍රාන්ත උද්‍යානයේ ඉදි කර ඇති ස්මාරකයේ මෙසේ කියවේ: “මෙම විශේෂය වඳ වී ගියේ මිනිසාගේ තෘෂ්ණාව සහ නොසැලකිලිමත්කම හේතුවෙනි.”
පොළෝ තලයේ වඩාත් බහුලව සිටින සතුන් පවා මිනිසාගේ ප්රහාරයන්ට පහසුවෙන් ගොදුරු විය හැකි බව මඟී පරෙවියාට අත් වූ ඉරණමෙන් අපට සිහිගැන්වේ. තෘෂ්ණාව සහ නොසැලකිලිමත්කම තවමත් පැතිර පවතී. ඇරත් අදදින අවදානමෙහි හෙළා තිබෙන්නේ එක විශේෂයක් පමණක් නොව, නමුත් මුළු පරිසර පද්ධතියක්මයි. වර්ෂා වනාන්තර පහව ගියොත්, ඒවායෙහි වැසියන්, එනම් පෘථිවි ග්‍රහයාට තිබෙන විශේෂයන් සියල්ලෙන් අඩක් පමණ, ඒත් සමඟම පහව යාවි. එවන් ව්‍යසනයක් “මිනිසා මෙතෙක් සිදු කර ඇති දැවැන්තම ජෛව විපත්තිය” වන බව විද්‍යාඥයන් කියයි.
සියවසකට කලින් පරිසරය ගැන තිබුණු දැනුමට වඩා වැඩි දැනුමක් අප සතු බව ඇත්තයි. එනමුත් එවන් තීක්ෂ්ණ බුද්ධියක්, නොනැවතී සිදු වන විනාශ රැල්ල මැඩපැවැත්වීමට හේතු වී නැහැ. “අපි අමිල යමක් විනාශ කරමිනුයි ඉන්නේ. ඒ විතරක් නෙමෙයි වැඩි කාලයකුත් ඉතුරු වෙලා නැහැයි” උද්භිද විද්‍යාඥ මන්වෙල් ෆීඩාල්ගෝ ශෝකයෙන් කියයි. “අවුරුදු කිහිපයකින්, විනාශ නොවී තියෙන්න යන එකම වනාන්තර, ගස් කපන්නන්ට ළඟා වෙන්න අමාරු කඳු බෑවුම්වල පිහිටා තිබෙන ඒවා වේවි කියන එක මගේ විශ්වාසයයි.”
වර්ෂා වනාන්තර ප්‍රකෘතිමත් තත්වයට ගෙන ඒම එතරම්ම දුෂ්කර නිසා ස්වභාවවේදීන් බියෙන් සිටිනවා. හරිත රාජධානිය: පෘථිවියේ අනගි වර්ෂා වනාන්තර යන පොත “වර්ෂා වනාන්තර විනාශය වෙනුවෙන් සිදු කරන මන්දගාමී, මිල අධික, අන්තිමට කළ හැකි ප්‍රතිචාරයක්” වශයෙන් වනසංස්කරණය අවංකවම විස්තර කරයි. සියල්ල හොඳින් ගියොත්, නැවත රුක් රෝපණය කිරීමකට සම්බන්ධ වන්නේ නිවර්තන ගස් විශේෂ කිහිපයක් පමණයි. වල් බිහිවීම හේතුවෙන් ඒවා මරණයට පත්වීමෙන් වළකාලීමට එම පැළවලට නිරන්තර අවධානයක් අවශ්‍ය වේවි.
වනාන්තරයකට කලින් තිබූ ඓශ්වර්යය නැවත කවදා හෝ ලැබේවිද යන්න පදනම් වනු ඇත්තේ එය ප්‍රාථමික වර්ෂා වනාන්තරයකට කොතරම් ළඟින් නැවත පැළ කරනු ලැබුවාද නැද්ද යන්න මතයි. නැවත වනාන්තරයක් වීමට පැළ කළ ප්‍රදේශයක්, විශේෂයන් දසදහස් ගණනින් පිරුණු සැබෑ වර්ෂා වනාන්තරයක් බවට පත් වන්නේ එවන් ප්‍රදේශයකට ළංව පිහිටුණොත් පමණයි. ඒ වුණත්, ඒ ක්‍රියාවලියට සියවස් ගණනාවක් ගත වේවි. අවුරුදු දහසකට කලින් මායා ශිෂ්ටාචාරයේ බිඳ වැටීමෙන් පසු අත්හැර ගිය ඇතැම් ප්‍රදේශ තවමත් සම්පූර්ණයෙන්ම ප්‍රකෘතිමත් තත්වයට පැමිණ නැහැ.
‘නව අන්තර්ජාතිකවාදයක්ද?’
හැකි තරම් විශේෂයන් සංඛ්‍යාවක් සුරැකීමේ අදහසින්, පවතින වර්ෂා වනාන්තරවලින් සියයට 10ක් අනාගත පරපුර වෙනුවෙන් වෙන් කර තැබීමට වොෂිංටන් ඩී.සී.හි ස්මිත්සෝනියන් ආයතනයේ එක් විද්‍යාඥයෙක් යෝජනා කළා. දැනට සියයට 8ක් පමණ ආරක්ෂා කරනු ලැබුවත්, මෙම අභය භූමීන් හෝ ජාතික උද්‍යාන, උද්‍යාන වන්නේ නමට පමණයි. මන්ද ඒවා ආරක්ෂා කිරීමට අරමුදල්වත් කාර්ය මණ්ඩලවත් නැති නිසයි. පැහැදිලිවම, යම් දෙයක් කළ යුතුයි.
වර්ෂා වනාන්තර සංරක්ෂණය වෙනුවෙන් කතා කරන්නෙකු වන පීට’ රේවන් මෙසේ පැහැදිලි කරයි: “වර්ෂා වනාන්තර බේරීමට දරන ප්රයත්නයේදී, නව අන්තර්ජාතිකවාදයක් අවශ්‍ය වෙනවා; ඒ කියන්නේ පොළොවෙහි ඉරණම සම්බන්ධයෙන් හැම තැනකම ඉන්න ජනයා හවුලේ කාර්යභාරයක් දරන බවට තේරුම්ගැනීමක්. ලොව පුරාම දුගීකම සහ කුසගින්න අඩු කිරීමට මාර්ග සොයාගත යුතුයි. ජාතීන් අතර අලුත් ගිවිසුම් පැහැදිලිව ඉදිරිපත් කළ යුතුයි.”
ඔහුගේ නිර්දේශය බොහෝදෙනෙකුට සාධාරණ බව පෙනී යනවා. මනුෂ්‍යවර්ගයා හමුවට පැමිණ ඇති වෙනත් බොහෝ තත්වයන් මෙන්, වර්ෂා වනාන්තර බේරාගැනීමටත් සමස්ත ලෝක විසඳුමක් අවශ්‍යයි. ගැටලුව වන්නේ, ලෝක ව්‍යාප්ත විපත්තියක් සිදු වෙන්න කලිනුත්, සිදු කරන හානිය පිරිමැසිය නොහැකි තත්වයකට පත් වෙන්න කලිනුත් ‘ජාතීන් අතර ගිවිසුම්’ ඇති කරගැනීමයි. පීට’ රේවන් අඟවන පරිදි, වර්ෂා වනාන්තරවල විනාශය, කුසගින්න සහ දුගීකම වැනි සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ හැසිරවිය නොහැකි වෙනත් ගැටලුවලට කිට්ටුවෙන් සම්බන්ධව පවතිනවා.
මෙතෙක් දුරට, මෙවැනි ගැටලු හැසිරවීමට අන්තර්ජාතික මට්ටමින් දරා ඇති වෑයම්වලින් සීමිත සාර්ථකත්වයක් පමණයි ලැබී තිබෙන්නේ. ඇතැම් පුද්ගලයන් මෙසේ අසයි: පොදු යහපත උදෙසා ජාතීන් තම පටු මෙන්ම පරස්පරවිරෝධී ජාතික අභිප්රායන් අභිභවා නැඟී ඒවිද? නැතහොත් “නව අන්තර්ජාතිකවාදයක්” උදෙසා වූ සෙවිල්ල නිකම්ම සිහිනයක්ද?
ඒකාන්ත වීම සඳහා ඉතිහාසයෙන් පදනමක් ලැබෙන බවක් නොපෙනේ. කෙසේවෙතත්, බොහෝවිට එක සාධකයක් නොසලකා හරිනු ලබනවා: එනම් වර්ෂා වනාන්තරයේ මැවුම්කරුවාගේ දෘෂ්ටිකෝණයයි. හාවඩ් සරසවියේ විශාරද එඩ්වඩ් ඕ. විල්සන් මෙසේ පැහැදිලි කරයි: “අප මැවිල්ලේ කොටසක් විනාශ කරමින් සිටින බව මතකයේ තබාගත යුතුයි. ඒ තුළින් අපට දානය කරනු ලැබූ දේ හැම අනාගත පරපුරකටම අපි අහිමි කරවනවා.”
මනුෂ්‍යවර්ගයාට තම හස්ත කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පොළොවේ මැවුම්කරුවා ඉඩ දේවිද? එලෙස සිතාගැනීම අපහසුයි.a දෙවි “පොළොව විනාශකරන්නවුන් විනාශ[කරන]” බව බයිබලය පුරෝකථනය කරයි. (එළිදරව් 11:18) දෙවි තම විසඳුම ක්‍රියාත්මක කරන්න යන්නේ කෙසේද? රාජ්‍යයක්—ජාතික බෙදීම් අභිභවා යන ස්වර්ගික රාජ්‍යයක්—පිහිටුවීමට ඔහු පොරොන්දු වන අතර, එය ‘කිසිකලක නැති නොවන,’ පොළොවේ සියලුම ගැටලු විසඳන ආණ්ඩුවක්.—දානියෙල් 2:44, 45.
දෙවිගේ රාජ්‍යය මනුෂ්‍යයා පොළොවට කර තිබෙන දූෂණය අවසානයකට ගෙනෙනවා පමණක් නොව, නමුත් පොළොවේ ස්වාභාවික සුන්දරත්වය ප්‍රකෘතිමත් තත්වයකට ගෙන ඒමේ කටයුත්තත් අධීක්ෂණය කරාවි. මුළු පොළොවම අන්තිමේදී සමස්ත ලෝක උද්‍යානයක් බවට පත් වේවි. ඒ හරියටම අපේ මැවුම්කාරයා මුලදී අදහස් කළා වගෙයි. (උත්පත්ති 1:28; 2:15; ලූක් 23:42, 43) හැමතැනකම වෙසෙන ජනයාට ‘යෙහෝවා විසින් උගන්වනු ලබන’ අතර, වර්ෂා වනාන්තරය ඇතුළුව ඔහුගේ හැම මැවිල්ලකටම ප්‍රිය කරන්නත් ඒවා අගය කරන්නත් ඔවුන් ඉගෙනගනීවි.—යෙසායා 54:13.
එම ආශීර්වාද ලත් තත්වය විස්තර කරමින්, ගීතිකාකාරයා මෙසේ ලිව්වා: ‘වනයෙහි සියලු ගස් යෙහෝවා ඉදිරියෙහි ප්‍රීතියෙන් ගී කියාවා. මක්නිසාද ඔහු එන්නේය; පොළොව විනිශ්චය කරන පිණිස එන්නේය. ඔහු ධර්මිෂ්ඨකමින් පොළොවද, ස්වකීය සැබෑකමින් මනුෂ්යවර්ගයන්ද විනිශ්චය කරන්නේය.’—ගීතාවලිය 96:12, 13.
වර්ෂා වනාන්තරයේ අනාගතය මනුෂ්‍යයාගේ සැලකිල්ල හෝ තෘෂ්ණාව මත රඳා පවතින්නේ නැති එක සන්තෝෂයට හේතුවක්. මැවුම්කාරයාම අපේ නිවර්තන වනාන්තර බේරාගැනීමට මැදිහත් වේ යන්න ගැන නිසැක වීමට බයිබලය අපට හේතු දෙනවා. දෙවිගේ පොරොන්දු වූ නව ලොවේදී, වර්ෂා වනාන්තරවල නියම ඓශ්වර්යය මතු පරම්පරාවලට දැකගන්න පුළුවන් වේවි.—එළිදරව් 21:1-4.
[පාදසටහන]
a “මාංසමයවූ පණ ඇති සියල්ලන්” නැව තුළට ඇතුල් කරන්න කියා නෝවාට ආඥා ලැබූ බැවින්, තර්ජනයට ලක් වූ විශේෂයන් හැකි තරම් සංඛ්‍යාවක් බේරාගැනීම ඉලක්ක කරගන්නා සංරක්ෂකයන් තම සිද්ධාන්තය “නෝවා මූලධර්මය” හැටියට විස්තර කිරීම සිත්ගන්නක්. (උත්පත්ති 6:19) “ස්වභාවධර්මයා තුළ [යම් විශේෂයක්] බොහෝ කලක් තුළ පැවත ඇත්නම්, දිගටම පැවතීම සඳහා එයට පැහැර හැරිය නොහැකි අයිතියක් ඇති බවට විශ්වාස කෙරේ” යයි ජීව විද්‍යාඥ ඩේවිඩ් ඒරන්ෆෙල්ඩ් තර්ක කරයි.