වර්ෂා වනාන්තරයෙන් ඇති ප්‍රයෝජන
වර්ෂ 1844දී, තාපසාරාමයක තිබූ කුණු කූඩයකින් පුරාණ ලියවිල්ලක කොළ 129ක් ග්‍රීක් විශාරද කෝන්ස්ටාන්ටීන් වොන් ටිෂන්ඩෝර්ෆ්ගේ දෙනෙත හා ගැටුණා. එම අමිල කොළ තොගය ගෙනයෑමට ටිෂන්ඩෝර්ෆ් සමත් වූ අතර, ඒවා දැන් ලෝකයේ වඩාත් ප්‍රචලිත වූ බයිබල් අත්පිටපත්වලින් එකක් වන කෝඩෙක් සයිනිඉටිකස්හි කොටසක් වී තිබෙනවා.
එම වස්තුව කල් ඇතුව බේරාගනු ලැබුවා. සැබෑ වටිනාකම නිතරම පාහේ නොසලකා හරිනු ලබන වර්ෂා වනාන්තර එතරම් භාග්‍යයක් අද්දකින්නේ කලාතුරකිනුයි. වසරක් වසරක් පාසා වියළි ඍතුවේදී, සත්ව පාලනයෙහි නියැලෙන්නන් සහ සංචාරක ගොවීන් පත්තු කරන ගිනි මැලවල් දහස් ගණනින් නිවර්තන අහස් කුස ආලෝකවත් වෙනවා. ඇමසන් වනාන්තරයේ එවන් මහා ලැව්ගින්නක් සියැසින් දුටු, දැනට එ.ජ. උප-ජනාධිපතිව සිටින ඇල් ගෝර් මෙසේ පැවසුවා: “සිදු වන විනාශය අදහගන්නම බැහැ. ඒක මුළු මහත් ඉතිහාසයේ විශාලතම ඛේදවාචකයක්.”
වටිනා බවට අප දන්නා යමක් අපි පුලුස්සන්නේ කලාතුරකිනුයි. වර්ෂා වනාන්තර හා සම්බන්ධ ඛේදවාචකය වන්නේ, එහි වටිනාකම තේරුම්ගන්න කලිනුත්, ඒවා ක්‍රියාත්මක වන ආකාරය අවබෝධ කරන්න කලිනුත්, ඒවායෙහි තිබෙන්නේ කුමක්ද කියා දැනගන්න කලිනුත් ඒවා විනාශයට ලක්වීමයි. වර්ෂා වනාන්තරයක් පිලිස්සීම කියන්නේ හරියට නිවසකට උෂ්ණත්වය සපයන්න, පුස්තකාලයක පොත්වල අඩංගු දේ පරීක්ෂා කර බලන්නේ නැතුව එය පුලුස්සනවා වගෙයි.
මෑත වර්ෂවලදී, මෙම ‘පොත්වලින්’ සමහරක් එනම්, වර්ෂා වනාන්තරවල ගැබ්ව තිබෙන විශාල තොරතුරු සම්භාරය අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන් පටන්ගෙන තිබෙනවා. එම අධ්‍යයනය චිත්තාකර්ෂණීය එකක්.
අසමසම වනාන්තරයක්
“මෙම ඉන්දිය කොදෙව්වල තිබෙන ගස්වල සංඛ්‍යාව ඇදහිය නොහැකි තරම්” යනුවෙන් 1526දී ස්පාඤ්ඤ වංශකථා වාර්තාකරු ගෝන්සාලෝ ෆෙර්නාන්ඩෙස් ඕවීඒඩෝ විමතියෙන් කියා සිටියා. සියවස් පහකට පසුවත් ඔහුගේ ඇගයීමේ නිවැරදි බව වෙනස් වී නැහැ. “වර්ෂා වනාන්තරය යනු මිහිපිට වඩාත් විවිධත්වයකින්, සංකීර්ණත්වයකින් යුක්ත මෙන්ම අපහට අඩුම අවබෝධයක් ඇති පරිසර පද්ධතිය” යනුවෙන් සින්තියා රස් රැම්සී නම් ලේඛිකාව ලියයි.
නිවර්තන ජීවවිද්‍යාඥ සීමෝර් සෝම’ මෙසේ කියා සිටී: “ඉතා අධික ආර්ද්‍රතාවකින් යුත් නිවර්තන වනාන්තරවල ව්‍යූහය කුමක්ද යන්න ගැනත්, ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැනත් අපට ඇත්තේ ඉතා අල්ප දැනුමක් බවට කාරණය අප කිසිදාක අමතක නොකළ යුතුයි. ඇරත් ඒවායෙහි තිබෙන විශේෂයනුත් අමතක නොකළ යුතුයි. විශේෂයන් එතරම් විශාල සංඛ්‍යාවක් තිබෙන නිසාත්, ඒවායෙහි අන්තර් සම්බන්ධතා එතරම් සංකීර්ණ නිසාත්, පර්යේෂකයන්ගේ කාර්යය බිය උපදවන එකක් වෙයි.”
සෞම්‍ය කලාපීය වනාන්තරයක හැම හෙක්ටයාරයකටම ඇතැම්විට ගස් විශේෂ අතළොස්සක් පමණයි ඇත්තේ. අනික් අතට, වර්ෂා වනාන්තරයක හෙක්ටයාර භාගයක් ගත්තොත්, හැම හෙක්ටයාරයකටම මුළු ගස් සංඛ්‍යාව 300කට පමණක් සීමා වුණත්, විවිධ විශේෂයන් 80කට වැඩිය එහි තිබිය හැකියි. එවන් විවිධත්වයක් වර්ගීකරණය කිරීම වෙහෙස කරවන මෙන්ම අමාරු කාර්යයක් වන බැවින්, හෙක්ටයාරයක් තරමේ මිසක වඩා විශාල වර්ෂා වනාන්තර බිම් කැබලි විග්රහ කර නැති තරම්. කෙසේවෙතත්, එසේ විග්රහ කර ඇති ඒවාවලින් පුදුම දනවන ප්‍රතිඵල නෙළාගෙන තිබෙනවා.
නානාවිධ ගස් වර්ග තිබෙන නිසා, වනයේ ජීවීන් රැසකට අසංඛ්‍යාත ලැගුම් ස්ථාන බිහි වෙයි. ඇත්තටම කිසි කෙනෙකු හිතුවටත් වඩා ලැගුම් ස්ථාන රැසක් තිබෙනවා. සාමාන්‍ය නොඉඳුල් වර්ෂා වනාන්තරයක වර්ග කිලෝමීටර් 10ක් ගත්තොත්, එය ක්ෂීරපායී සතුන් විශේෂ 125කගේ, උරගයන් විශේෂ 100කගේ, පක්ෂීන් විශේෂ 400කට සහ සමනලයන් විශේෂ 150කගේ නිවහන විය හැකි බව එ.ජ. ජාතික විද්‍යා ශාස්ත්‍රාලය පවසයි. මුළු උතුරු අමෙරිකාවම ඒ හා සැසඳුවොත්, එහි සිටින්නේ නැතහොත් එය බැහැදැකීමට පැමිණෙන්නේ පක්ෂි විශේෂ 1,000කට අඩුවෙනුයි.
ඇතැම් ශාක සහ සත්ව විශේෂයන් වර්ෂා වනාන්තරයේ පුළුල් පෙදෙසක් පුරා සොයාගත හැකි වුවත්, වෙනත් ඒවා එකම එක කඳු පෙළකට සීමා වී තිබෙනවා. ඒවා පහසුවෙන් ගොදුරු විය හැකි තත්වයක පවතින්නේ එනිසයි. අවුරුදු කිහිපයකට කලින්, ගස් කපන්නන් ඉක්වදෝරයේ කඳු වැටියක ගස් කපා හෙළි කළායින් පසු, එම ප්‍රදේශයටම ආවේණික වූ ශාක විශේෂයන් 90ක්ම වඳ වී ගොස් තිබුණා.
එවන් ඛේදවාචකයන් හමුවේ, නිවර්තන වනාන්තර පිළිබඳ එක්සත් ජනපද අන්තර් නියෝජ්‍ය ආයතනයේ විශේෂ කාර්ය බලකාය මෙසේ අනතුරු අඟවයි: “ඊළඟ සියවසේ මුල් භාගය වන විට බෙහෙවින් අවතක්සේරු කර ඇති, ඇතැම්විට නැවත ලබාගත නොහැකි මෙම සම්පත් සම්පූර්ණ විනාශයකින් ආරක්ෂා කරගැනීමට නම්, මෙම ගැටලුවට එරෙහිව ජාතීන් සමූහයම ඉක්මනින්ම කඩිනම් එක්සත් ප්‍රහාරයක් එල්ල කළ යුතුයි.”
එනමුත් මෙවන් ප්‍රශ්න ඉස්මතු විය හැකියි: මෙම ස්වාභාවික සම්පත් එතරම්ම අනර්ඝද? වර්ෂා වනාන්තරයේ අභාවය අපේ ජීවිතයට බෙහෙවින් බලපාවිද?
ආහාර, පිරිසිදු වාතාශ්‍රය සහ ඖෂධ
ඉරිඟු පොරි දීසියක්, ඇතැම්විට තැම්බූ බිත්තරයක් සහ උණු කෝපි එකක් සමඟින් ඔබ ඔබේ දිනය ආරම්භ කරනවාද? ඔබ එසේ කරනවා නම්, නිවර්තන වනාන්තරවලින් ඔබ වක්‍රාකාරව ප්‍රයෝජන නෙළාගනිමිනුයි සිටින්නේ. ඉරිඟු, කෝපි ඇට, බිත්තරය දැමූ කිකිළිය, එවගේම කිරි නිපදවූ එළදෙන පවා, නිවර්තන වනාන්තරයේ සත්වවර්ගයාගෙන් සහ වෘක්ෂලතාදියෙන් ජීවය ලැබුවා. ඉරිඟු දකුණු අමෙරිකාවෙන්ද, කෝපි ඉතියෝපියාවෙන්ද පැමිණෙන අතර, හීලෑ කිකිළියන් ආසියාතික වලි කුකුළාගෙන් බෝ කර තිබෙනවා. එමෙන්ම කිරි හරක් ගිනිකොනදිග ආසියාවේ තර්ජනයට ලක් බැන්ටෙං වල් ගොනාගෙන් පැවතවිත් තිබෙනවා. “අප අනුභව කරන දෙයින් සියයට 80ක්ම නිවර්තන කලාපයෙන් පැමිණ තිබෙනවා” යයි නිවර්තන වර්ෂා වනාන්තරය යන පොත පැහැදිලි කරයි.
තම ආහාර සැපයුමේ මූලාරම්භයට පිටුපාන්න මිනිසාට කොහෙත්ම නොහැකියි. ඕනෑවට වඩා එකම වර්ගයේ ශාක සහ සතුන් එකට බෝ කිරීම තුළින් බෝග මෙන්ම පශු සම්පත දුර්වල වෙනවා. මෙම ශාක හෝ සතුන් ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්රවේණි විවිධත්වය සැපයීමට විශේෂයන් මහත් සම්භාරයකින් යුත් වර්ෂා වනාන්තරයට පුළුවන්. උදාහරණයක් හැටියට, මෙක්සිකෝවේ උද්භිද විද්‍යාඥ රාෆාඑල් ගූස්මාන්, නූතන ඉරිඟුවලට නෑකම් කියන අලුත් තණකොළ විශේෂයක් සොයාගත්තා. මෙම තණකොළ වර්ගය (සියා ඩිප්ලෝපෙරෙනිස්), ඉරිඟු වගාව ඉමහත් සේ හානි කරන ප්‍රධාන රෝග සතෙන් පහකටම ඔරොත්තු දෙන නිසා, ඔහුගේ සොයාගැනීම ගොවීන්ගේ මහත් උනන්දුවට හේතු වුණා. රෝගවලට ඔරොත්තු දෙන ඉරිඟු විශේෂයක් නිපදවීමට මෙම අලුත් විශේෂය යොදාගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.
මෙක්සිකානු ආණ්ඩුව 1987දී මෙම වල් ඉරිඟු වර්ගය සොයාගත හැකි කඳු පංතිය ආරක්ෂා කළා. එනමුත්, වනාන්තරය එතරම් විනාශයකට ලක් වන නිසා, මේ හා සමාන වටිනා විශේෂයන් ඒවා සොයාගැනීමටත් කලින් පවා නැති වී යනවාට සැකයක් නැහැ. ගිනිකොනදිග ආසියාවේ වනාන්තරවල, හීලෑ රැළවල් වර්ග ශක්තිමත් කළ හැකි වල් හරක් විශේෂයන් කිහිපයක් සිටිනවා. එනමුත් මෙම විශේෂයන්ගේ වාස භූමිය විනාශ කරනු ලබන නිසා ඒවා සියල්ල වඳවීමේ සමීපයට පැමිණ තිබෙනවා.
පිරිසිදු වාතාශ්‍රය අප අනුභව කරන ආහාර තරම් වැදගත්කමක් උසුලයි. වනයක් ඔස්සේ සනීපදායක ගමනක පහස විඳින ඕනෑම කෙනෙකු දන්නා පරිදි, වැය වූ ඔක්සිජන් වායුගෝලයට ලබා දීමේ අනර්ඝ කාර්යය ගස් මගින් සිදු කෙරේ. එනමුත් ඒවා පුලුස්සනු ලබන විට, කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් ලෙස කාබන් මුදාහරිනු ලැබෙයි. මෙම වායූන් දෙකම ගැටලුවලට හේතු වෙනවා.
මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය දැනටමත් දෙගුණ වී ඇති බව ඇතැම් අය තක්සේරු කරනවා. කාර්මික දූෂණය ප්‍රධාන වශයෙන් වගකිව යුතු බවට කල්පනා කරනු ලැබුවත්, කාබන් ඩයොක්සයිඩ් පිටවීම් සියල්ලෙන් සියයට 35කටත් වැඩි ප්‍රමාණයක් සඳහා වනාන්තර පිලිස්සීම වගකිව යුතු බවට පැවසේ. කාබන් ඩයොක්සයිඩ් වරක් වායුගෝලයට එකතු වූ විට, ගිම්හල් ඵලය නමැති තත්වය උද්ගත වෙනවා. බොහෝ විද්‍යාඥයන් පුරෝකථනය කරන දේට අනුව, මෙය බැරෑරුම් සමස්ත ලෝක රත්වීමකට හේතු වේවි.
කාබන් මොනොක්සයිඩ් ඊටත් වඩා අන්තයි. එය, නගරබද ප්‍රදේශවලට මහත් හිසරදයක් වන දුම් මිශ්‍ර මීදුමෙහි දක්නට ලැබෙන ප්‍රධාන විෂකර ද්‍රව්‍යයක් වෙනවා. එනමුත්, “එ.ජ. නගරබද ප්‍රදේශයන් තරමට ඇමසන් කැලෑ මතුපිට කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණයක්” සොයාගැනීමෙන් පර්යේෂක ජේම්ස් ග්රීන්බ’ග් පුදුම වුණා. ඇමසන් වනාන්තර වග විභාගයකින් තොරව මෙලෙස පිලිස්සීම, එම ගස් මගින් පවිත්‍ර වීමට අදහස් කළ වායුගෝලයම අපවිත්‍ර කර තිබුණා!
ආහාර සහ පිරිසිදු වාතාශ්රයේ මූලාශ්‍රයක් වනවාට අමතරව, වර්ෂා වනාන්තරය සැබෑ ඖෂධාගාරයක් විය හැකියි. වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධවලින් හතරෙන් එකක්ම නිවර්තන වනාන්තරවල වැඩෙන ශාකවලින් ගෙන තිබෙනවා. ඇන්ඩීස් කඳුකරයේ අධික වර්ෂාපතනයක් වාර්තා වන වර්ෂා වනාන්තරවලින් මැලේරියාවට එරෙහිව යොදාගන්නා ක්විනීන් පැමිණෙනවා; ඇමසන් ප්‍රදේශයෙන්, ශල්‍යකර්මවලදී පේශී බුරුල් කරවන ඖෂධයක් වශයෙන් පාවිච්චි කරන කුරාරේ පැමිණෙනවා; එමෙන්ම මැඩගස්කරයෙන් පැමිණෙන රෝස මිනීමලෙහි ක්ෂාරාභයන් ලියුකේමියා රෝගීන් බොහෝදෙනෙකුගේ බේරී ජීවත් වීමේ අනුපාතය පුදුමසහගතව ඉහළ නංවනවා. මෙවන් සිත්ගන්නා ප්‍රතිඵල හමුවේ පවා, ඖෂධීය ලක්ෂණයන් තිබේද යන්න පරීක්ෂණයට ලක් කර තිබෙන්නේ නිවර්තන ශාක සියල්ලෙන් සියයට 7ක් පමණයි. ඒ මදිවට කාලය ඉකුත් වෙමින් පවතී. “තෙතමනයකින් යුත් නිවර්තන වනාන්තර පුළුල් ලෙස තුරන් කරනු ලැබීම, පිළිකා විරෝධී ව්‍යාපාරයට බලවත් පහරක් විය හැකි” බව එක්සත් ජනපද පිළිකා ආයතනය අනතුරු අඟවයි.
වර්ෂා වනාන්තර නැති වී යන තෙක් ඒවායෙහි වැදගත්කම බොහෝදුරට අගය කරනු නොලැබුවත්, ඒවායින් සිදු වන තවත් වැදගත් කාර්යයන් තිබෙනවා. වර්ෂාපතනය සහ උෂ්ණත්ව පාලනය මෙන්ම පස සේදී යෑමෙන් ආරක්ෂාව සැපයීම මේවා අතර වෙනවා. “ලොවේ නිවර්තන කලාපවල සම්පත අපේ වර්තමාන අවබෝධය බොහෝ සෙයින් ඉක්මවා යයි” යනුවෙන් දි එමරල්ඩ් රෙල්ම්: අ’ත්ස් ප්‍රෙෂස් රේන් ෆොරස්ට්ස් (හරිත රාජධානිය: පෘථිවියේ අනගි වර්ෂා වනාන්තර) යන පොත වාර්තා කරයි. “එනමුත් දැන් පවා එහි වටිනාකම අමිල එකක් බව අපි දන්නවා.”
“අපි සංරක්ෂණය කරන්න යන්නේ අපි ප්‍රිය කරන දේ විතරයි”
අපට මෙතරම් සඵල අන්දමකින් සැපයිය හැකි සම්පත් විනාශ කිරීම අනුවණකමේ හිණි පෙත්තටම නැඟීමක් වනවාට නිසැකයි. අවුරුදු 3,000කට ඉහතදී, සතුරු නගරයකට එරෙහිව සටන් කළ විට, පලතුරු ගස් සංරක්ෂණය කිරීමට දෙවි ඉශ්රායෙල්වරුන්ට උපදෙස් දුන්නා. ඔහු ඔවුන්ට දුන් හේතුව සරලයි: “නුඹට ඒවායෙන් කන්ට පුළුවන.” ඇරත්, “නුඹ විසින් වටලනු ලබන පිණිස කෙතේ වෘක්ෂය මනුෂ්‍යයෙක්ද?” (ද්විතීය කථාව 20:19, 20) හිරිහැරයට ලක් වූ වර්ෂා වනාන්තරය ගැන කිව හැක්කෙත් ඒ ටිකමයි.
පලතුරු ගස් මෙන්, වර්ෂා වනාන්තර කපා දැමුවායින් පසු තිබෙන වටිනාකමට වඩා, නොකපා වැඩෙන්න හරින විට වටිනාකම වැඩි බව පැහැදිලියි. එනමුත් මෙම නූතන ලෝකයේ, කෙටි කාලීන ප්‍රයෝජන බොහෝවිට දිගුකාලීන වටිනාකම අභිභවා යනවා. කෙසේවෙතත්, ආකල්ප වෙනස් කිරීමට අධ්‍යාපනයට පුළුවන. සෙනෙගාල්හි පරිසර විද්‍යාඥ බාබා ඩීයූම් මෙම කාරණය ගෙනහැර දක්වයි: “අන්තිමේදී අපි සංරක්ෂණය කරන්න යන්නේ අපි ප්‍රිය කරන දේ විතරයි; අපි ප්‍රිය කරන්නෙත් අපිට තේරුම්ගන්න පුළුවන් දෙයක් විතරයි; ඒ තියා අපි තේරුම්ගන්නෙත් අපිට උගන්වන දෙයක් විතරයි.”
ටිෂන්ඩෝර්ෆ් සීනයි කාන්තාරයේ තිබුණු එම පුරාණ කොළ සොරකම් කළේ ඔහු පුරාණ අත්පිටපත්වලට ප්‍රිය කළ නිසා හා ඒවා සංරක්ෂණය කිරීමට ඔහුට වුවමනා වූ නිසයි. වෙලාවට වර්ෂා වනාන්තර බේරාගැනීමට තුඩු දෙන පරිද්දෙන් ප්‍රමාණවත් ජනකායක් ඒවා ප්‍රිය කිරීමට ඉගෙනගනීවිද?
[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
වර්ෂා වනාන්තරයක් පිලිස්සීම කියන්නේ හරියට නිවසකට උෂ්ණත්වය සපයන්න, පුස්තකාලයක පොත්වල අඩංගු දේ පරීක්ෂා කර බලන්නේ නැතුව එය පුලුස්සනවා වගෙයි
[8, 9 යන පිටුවේ කොටුව⁄පින්තූර]
වනයේ සත්වයන් සංරක්ෂණය කිරීම
හසූස් එලා අවුරුදු 15කට පමණ අප්‍රිකානු වර්ෂා වනාන්තරයේ ගෝරිල්ලන් සහ වෙනත් සතුන් දඩයම් කළා. එනමුත් දැන් ඔහු එසේ දඩයම් කරන්නේ නැහැ. ඔහු සමක ගිනියාවේ පහත් බිම් ගෝරිල්ලන් 750ක් ආරක්ෂා කිරීම සඳහා වෙන් කර ඇති අභය භූමියක උද්‍යාන මඟ පෙන්වන්නෙක්ව සිටී.
හෙසූස් මෙසේ පැහැදිලි කරයි: “දඩයම් කරන්නේ නැති කොට වර්ෂා වනාන්තරයෙන් මම වැඩි ආස්වාදයක් ලබනවා. මම වනයට හොඳින් හුරු වෙලා තිබෙන නිසාත් මට අවශ්‍ය හැම දෙයක්ම එයින් සැපයෙන නිසාත් ඒක හරියටම මගේ ගම වගෙයි. අපේ දරු සම්පත සඳහා මේ වනාන්තර සංරක්ෂණය කිරීමට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරන්න ඕනෙ.”
වනාන්තරය වෙනුවෙන් තමාට තිබෙන ආදරය අනුන් සමඟ මෙතරම් උත්සුකව බෙදාගන්නා හෙසූස් වාසනාවන්තයෙක්. ගෝරිල්ලන් දඩයම් කිරීමෙන් උපයාගත් මුදලට වඩා වැඩි මුදලක් උන්ව ආරක්ෂා කිරීමෙන් ඔහු දැන් උපයයි. මෙවැනි සතුන් වනයේ දැකීමේ භාග්‍යය අද්දැකීමට සංචාරකයන් මුදල් ගෙවීමට සතුටින් සිටින නිසා, දේශීය ජනයාට ආදායමක් සැපයීමටත්, සත්වයන් රාශියක් යන්තම් හරි දැකගැනීමෙන් බැහැදකින්නන්ට නොමැකෙන මතක සටහන් ලබා දීමටත් උද්‍යානවලට පුළුවන්. එනමුත්, මෙම චිත්තාකර්ෂණීය ජීව ජාලය සංරක්ෂණය කිරීමට නම්, “ඉතාම යෝග්‍ය දේ ගත්තොත්, සම්පූර්ණ දියබෙත්මවල්a ඇතුළත් පුළුල් සංරක්ෂණ භූමි” අවශ්‍ය වන බව නිවර්තන වර්ෂා වනාන්තරය යන පොත පැහැදිලි කරයි.
ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට, උද්‍යාන එතරම් විශාල විය යුත්තේ ඇයි? ක්‍රියාත්මක විය හැකි ජගුවරා ගහනයකට (බෝ කරන වැඩිහිටි සතුන් 300ක් පමණ) වර්ග කිලෝමීටර් 7,500ක් පමණ අවශ්‍ය බව ඩයිව’සිටි ඇන්ඩ් ද ට්‍රොපිකල් රේන් ෆොරස්ට් (විවිධත්වය සමඟ නිවර්තන වර්ෂා වනාන්තරය) යන තම පොතෙහි ජොන් ට’බෝර්ග් ගණනය කරයි. “මෙම මිනුම් දණ්ඩ ගත්තොත්, ජගුවරුන් සඳහා ප්‍රමාණවත් ඉඩ කඩ ඇත්තේ මිහිපිට උද්‍යාන කිහිපයක පමණයි” කියා ඔහු නිගමනය කරයි. කොටීන්ට ඊටත් වඩා ඉඩ කඩ අවශ්‍ය විය හැකියි. බෝ වන කොටි සමූහයකට (සතුන් 400ක්) වර්ග කිලෝමීටර් 40,000ක් තරම් විශාල ප්‍රදේශයක් අවශ්‍ය විය හැකියි.
වෙනත් සතුන් දඩයම් කරන මෙවැනි සතුන් සඳහා විශාල සංරක්ෂණ උද්‍යාන වෙන් කිරීමෙන්, විශාල වර්ෂා වනාන්තර ප්‍රදේශ ආරක්ෂා කළ හැකියි. අමතර වාසියක් වශයෙන්, සත්ව ප්‍රජාවේ සමස්ත සෞඛ්‍ය තත්වය පවත්වාගැනීමටත් මෙම සතුන් අතිවැදගත් වැඩකොටසක් දරනවා.
[පාදසටහන]
a දියබෙත්මක් කියන්නේ, ගංගාවක්, ගංගා පද්ධතියක් හෝ වෙනත් ජල කඳකට ජලය බැස යන ප්‍රදේශයක්.
[8, 9 යන පිටුවේ කොටුව⁄පින්තූර]
ලොකු කුඩා සතුන්
1. වර්ෂා වනාන්තරවල තණකොළපෙත්තන් බොහොමයක් දීප්තිමත් වර්ණවලින් සැරසී සිටිනවා. වෙනත් කෘමීන්ට කොතරම් බලපෑමෙන් යුක්ත වෙස්මාරුවක් තිබෙනවාද කිවහොත්, උන්ව දැකගැනීම අමාරුයි
2. වර්ෂා වනාන්තරයේදී දෙනතට වඩාත් පහසුවෙන් හසු වන්නෙත් වඩාත් සියුමැලි වන්නෙත් සමනලයෝයි
3. අත්තෙන් අත්තට පැන පැන යන වඳුරු රංචුවක්, වනයේ ඉමහත් ආස්වාදයකට තුඩු දෙන දසුනක්
4. ජගුවරා අමෙරිකානු වර්ෂා වනාන්තරවල අවිවාදයෙන්ම නම් කළ හැකි රජ වුවත්, වනයේ එකෙකුව කොහොම හරි දකින්න ලැබෙන්නේ ස්වභාවවාදීන් අතළොස්සකට පමණයි
5. සියුමැලි ඕකිඩ් මල් පොකුරු නිවර්තන කඳුකරය අතුරන අධික තෙතමනයෙන් යුත් වර්ෂා වනාන්තර සරසයි
6. අදදින වනයේ ඉතිරිව සිටින්නේ කොටීන් 5,000කටත් වඩා අඩුවෙනුයි
7. යෝග්‍ය ලෙස නම් කර ඇති නිවර්තන අමෙරිකාවේ රයිනොසිරස් කුරුමිණියාට බියගන්වන අං තිබුණත්, ඌ අහිංසකයි
8. ගෝරිල්ලෝ ආරක්ෂා කරනු ලබන සත්ව විශේෂයක් වුවත්, උන්ගේ මස් අප්‍රිකානු වෙළඳපොළවල තවමත් සොයාගත හැකියි. මෙම අහිංසක යෝධයා ශාක භක්ෂකයෙකු වන අතර, පවුල් කණ්ඩායම් වශයෙන් වනය සිසාරා ගමන් කරනවා
9. ඔසිලොට්ලා උන්ගේ විශිෂ්ට සම් සඳහා උන්ව වඳවීමේ තර්ජනයට ලක් වන තරම් දඩයම් කරනු ලැබුවා
10. වනයේ වඩාත්ම ඝෝෂාකාරි මෙන්ම සමාජශීලීම පක්ෂීන් අතර ගිරවුන් සිටිනවා
11. උගේ විශාල ඇස්වලින් පැහැදිලි වන පරිදි, ගලාගෝ කෑම සොයා යන්නේ රාත්රියේදී
[හිමිකම් විස්තර]
Foto: Zoo de Baños
Foto: Zoo de la Casa de Campo, Madrid
[හිමිකම් විස්තර]
Foto: Zoo de Baños
[7වන පිටුවේ පින්තූර]
වර්ෂා වනාන්තර (1) කොකෝවා, (2) ලියුකේමියාවට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රයෝජනදායක රෝස මිනීමල සහ (3) තාල වෘක්ෂ තෙල් නිපදවයි. (4) වන නාශනය විනාශකාරි නායයෑම්වලට මඟ පාදයි