භීතිකාවන්ගෙන් හිරිහැරයට පත්ව
“භීතිකාවන් බොහෝවිට සරදමට ලක් වන විෂයක් බවට පත් වී තිබෙනවා. නමුත් ඒවා කොහොමටවත් ‘හිනා වෙන්න’ දේවල් නෙවෙයි.”—කාන්සාවේ අක්‍රමිකතා සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක අධ්‍යක්ෂිකා, ජෙරලින් රොස්
යම් දෙයකට, සිද්ධියකට හෝ හැඟීමකට ඇති අසාමාන්‍ය, අධික බිය, “භීතිකාව” යන වචනයෙන් යොමු දැක්වෙනවා. නමුත් මේ තත්වය සලකුණු කරන සන්ත්රාසය හා තනිකම, නිර්වචනයකින් පමණක් විස්තර කළ නොහැකියි. දශක දෙකකට වඩා භීතිකාවලට ප්‍රතිකාර කර තිබෙන රෙඇන් ඩූමාන්ට් මෙසේ සඳහන් කරනවා: “භීතිකා ඇති ජනයා බොහෝ අවස්ථාවල් මඟහරින නිසා ඔවුන් නිවසටම මුලුගැන්වෙනවා; නැත්නම් ඔවුන් නොකඩවා, නිරතුරුවම පවතින කාන්සාවකින් ජීවත් වෙන්න පුළුවන්; එසේත් නැත්නම්, ඔවුන් තම කාන්සාව නැති කරගන්නේ මත්පැන්වලිනුයි; එය තවත් ගැටලු ඇති කළ හැකියි.”
කාන්සාවේ අක්‍රමිකතා ලෙසින් හැඳින්වෙන රෝග කාණ්ඩයක් අතරෙහිලා භීතිකාවන් වර්ග කරනවා.a එක්සත් ජනපදයේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 12ක්, තම ජීවිතයේ යම් අවස්ථාවකදී භීතිකාවක් සම්බන්ධයෙන් කටයුතු කරයි කියා තක්සේරු කර තිබෙනවා. මොවුන්ගෙන් බොහෝදෙනෙක් වසර ගණනක් නිහඬව වේදනා විඳිනු ඇත. “අභාග්‍යයකට, භීතිකාවලින් පෙළෙන පුද්ගලයන්ගෙන් හතරෙන් තුනකට විතර කිසිම උපකාරයක් ලැබෙන්නේ නැහැ” කියා අමෙරිකාවේ කාන්සා අක්‍රමිකතා සංගමය වාර්තා කරනවා. “භීතිකාවලින් පෙළෙන බොහෝදෙනෙක්, ලජ්ජාව නිසා උපකාරය පැතීමට පසුබට වෙනවා. තමන්ට තිබෙන්නේ මොකක්ද, උපකාරය සොයන්නේ කොතැනින්ද කියන එක සම්බන්ධයෙන් වෙනත් අයට නොතේරෙන අතර, සමහරු ප්‍රතිකාරය ගැනීම ගැනත් භය වෙනවා.”
ප්‍රසිද්ධ භීතිකාවන් සිය ගණන් තිබෙන නමුත්, ප්‍රවීණයන් සාමාන්‍යයෙන්ම ඒවා කාණ්ඩ තුනක් අනුව වර්ග කරනවා. කෘමීන්, සත්වයන්, ගුවනින් යෑම හා ඉඩ කඩ ඇහුරුණු තැනක සිටීම වැනි, දෙයක් හෝ තත්වයක් වටා සුළු භීතිකාවන් කේන්ද්‍රගත වෙනවා. අංගණභීතිකාව බොහෝවිට හටගන්නේ සන්ත්රාසයෙන් පහර ලැබීමත් සමඟමයි. සන්ත්රාසයෙන් පහර ලබයි කියා බිය වෙන තැනැත්තා හෝ තැනැත්තිය කලින් පහර ලැබූ සියලු ස්ථාන හා තත්වයන් මඟහරින තරමටම බිය වෙනවා. සභාවක් ඉදිරියේ කතා කිරීම වැනි ප්‍රසිද්ධ පසුබිම්වලදී ලජ්ජාවට පත්වීමේ බියක් මගින් සමාජ භීතිකා දැක්විය හැකියි.
මේවාවලින් එකක් වන සමාජ භීතිකා සලකා බලන්න. ද වොෂින්ටෝනියන් මෙසේ සඳහන් කරයි: “සර්පයන්ට බියවීම හෝ ගුවනින් යෑම වැනි සරල භීතිකා සියල්ලම එකතු කළත්, සමාජ භීතිකා තරම් ඒවා හානිදායක වෙන්නේ නැහැ.” මේක ඇත්තෙන්ම සත්‍යයක්ද? එය එසේනම්, ඇයි? අපි බලමු.
[පාදසටහන]
a වෙනත් කාන්සාවේ අක්රමිකතාවලට සන්ත්‍රාස අක්රමිකතාව, ග්රස්තීය බලකුරු අක්රමිකතාව, පශ්චත් ක්ෂති ක්ලමථ අක්රමිකතාව හා සාමාන්‍ය කාන්සාවේ අක්රමිකතාව ඇතුළත් වෙයි. වැඩි විස්තර සඳහා, පිබිදෙව්! 1996 මැයි 8, “බලකුරු හැසිරීම—එය ඔබේ ජීවිතය පාලනය කරයිද?” හා 1996 ජූනි 8, “සන්ත්‍රාස ප්රහාරයන් සමඟ සාර්ථකව කටයුතු කිරීම” (ඉංග්‍රීසි) බලන්න.