අභිරහසක් වන විලියම් ෂේක්ස්පියර්
බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! වාර්තාකරුගෙන්
විලියම් ෂේක්ස්පියර් ඉතිහාසයේ වූ ප්‍රමුඛතම නාට්‍ය රචකයා සේ විරුදාවලිය ලබනවා. ඔහු “මේ දක්වා සිටි ශ්‍රේෂ්ඨතම නාට්‍යකරුවා සේ සලකනු ලබයි. වෙනත් කිසිම නාට්‍ය රචකයෙකුගේ ඒවාට වඩා ඔහුගේ නාට්‍ය . . . අද රටවල් වැඩි ප්‍රමාණයක වැඩි වාර ගණනක් රඟ දක්වයි” කියා ද නියූ එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා සඳහන් කරයි. ඒවා භාෂා 70කට වැඩි ප්‍රමාණයකින්ද පරිවර්තනය කොට තිබෙනවා.
ඔහු රචනා කළායයි කියන නිර්මාණයන් සම්භාරය ගත් කල ද ව’ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ පවසයි: “කිසිම ෂේක්ස්පියරියානු ප්‍රවීණයෙක්, ෂේක්ස්පියර් විසින් නාට්‍ය හා කවි රචනා කළ බවට සැක කරන්නේ නැහැ.” කොහොම වුණත් සමහර අය මේ සම්බන්ධයෙන් එකඟ වන්නේ නැහැ. ඇයි?
වර්ෂ 1564දී ස්ට්‍රැට්ෆඩ් අ’පොන් ඒවොන්හි උපත ලද ෂේක්ස්පියර් වසර 52කට පසු 1616දී එම ප්‍රදේශයේ මියගියා. වසර ගණනාවක් පුරා කරන ලද ඉවසිලිමත් ගවේෂණවලින් පසු, ඔහු සම්බන්ධයෙන් අසංඛ්‍යාත ගණනක් පොත් පත් නිපදවා තිබෙනවා; මේ සියල්ල කළේ, විලියම් ෂේක්ස්පියර් රචනා කළායයි කියවෙන සාහිත්‍යමය කෘති, ඇත්තෙන්ම ලියන ලද්දේ ඔහු විසින්දැයි යන කුහුල දනවන මූලික ප්රශ්නය නිරාකරණය කිරීමට දැරූ උත්සාහයක් වශයෙනි.
තිබෙන මූලික ගැටලු
ෂේක්ස්පියර්ගේ නාට්‍යවලින් ඔහුට තිබූ ලෞකික අද්දැකීම් සම්භාරය නිරූපණය කරයි. උදාහරණයක් හැටියට, ඔහු නීතිය සම්බන්ධයෙන් මනා අවබෝධයකින් යුත් පුද්ගලයෙක් වූ අතර, නීතිමය භාෂාව හා පූර්වාදර්ශ දක්ෂ අන්දමකින් යොදාගත්තා. එමෙන්ම ෂේක්ස්පියර්ගේ වෛද්‍යමය දැනුම ගැඹුරටම විහිදී ගිය එකක් බව 1860දී, ෂේක්ස්පියර්ගේ වෛද්‍යමය දැනුම (ඉංග්‍රීසියෙන්) නම් ග්‍රන්ථය තුළ ශ්‍රීමත් ජොන් බක්නිල් ඇඟෙව්වා. දඩයම් කිරීම, දඩබිමේ කුරුලුගොයින් පුහුණු කිරීම හා වෙනත් ක්‍රීඩා ගැන මෙන්ම රාජකීය ගතිපැවතුම් පිළිබඳ රීති ගත් කල ඔහුට තිබූ අවබෝධය සම්බන්ධයෙන්ද එම දෙයම පැවසිය හැකියි. ඉතිහාසඥ ජොන් මිචල් පවසන පරිදි ෂේක්ස්පියර් “ඇසූ පිරූ තැන් ඇති එකම ලේඛකයා” වුණා.
ෂේක්ස්පියරියානු නාට්‍යවල නැව් මුහුදුබත්වීම් පස් වතාවක් පමණ සඳහන් වන අතර, නාවික යෙදුම් යොදාගෙන ඇති ආකාරයෙන් අඟවන්නේ ඔහු අද්දැකීම් ලත් නාවිකයෙක් වූ බවයි. ෂේක්ස්පියර් රටින් එපිට ගමන් කර තිබුණාද? නාවික සේවයට ඔහුව බල කරනු ලැබුවාද? වර්ෂ 1588 ස්පාඤ්ඤ නාවික යාත්‍රා සමූහයට අත් වූ පරාජයට ඔහු සහභාගි වුණාද? මෙයින් එකක් හෝ ෂේක්ස්පියර්ගේ කර්තෘත්වය සහතික කරන්න ඉඩ තිබුණද එය තහවුරු කරන එක් සාක්ෂියක්වත් සොයාගත නොහැකියි. හමුදාමය කාරණා මෙන්ම පාබළ හමුදා යොදාගන්නා භාෂාව හැසිරවූ ආකාරය සම්බන්ධයෙන්ද තත්වය එසේමයි.
ඔහුගේ නිර්මාණවල බයිබල් උපුටා දැක්වීම්වලට ලැබෙන්නේ ප්රමුඛ තැනක්. ඔහුට ඒවා ඔහුගේ මව විසින් උගන්වනු ලැබුවායයි සිතන්න පුළුවන් වුණත්, ඇයට ලියන්න කියන්න පුළුවනැයි පවසන සාක්ෂි නැහැ. එමනිසා බයිබලය පිළිබඳ ඔහු සතු දැනුම, ෂේක්ස්පියර්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ ප්‍රශ්නයට අපව ගෙනයනවා.
දැන උගත් පුද්ගලයෙක්ද?
විලියම්ගේ පියා වූ ජොන්, අත්වැසුම් හා ලොම් රෙදි වෙළඳාම් කළ කෙනෙක් වූ අතර, බොහෝවිට මස් මරන්නෙක්ද වුණා විය හැකියි. ඔහුට අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව නොතිබුණත් ගරුකටයුතු පුරවැසියෙක් වුණා. ස්ට්‍රැට්ෆඩ් ද්විතීයික පාසැලේ ශිෂ්‍ය ලැයිස්තුවක් නොමැති වුණත්, යෞවන විලියම් පාසැලට ගිය බව අධිකාරීන් විශ්වාස කරනවා. වසර ගණනාවකට පසු, “ලතින් භාෂාව සම්බන්ධයෙන් මඳ දැනුමක් ඇති, ග්‍රීක් භාෂාවේ වඩාත් සීමිත වූ” කෙනෙකු හැටියට විලියම්ගේ මිත්‍රයා වූ නාට්‍ය රචක බෙන් ජොන්සන් ඔහු ගැන පැවසූ අතර, එයින් විලියම්ගේ අධ්‍යාපනය මූලික එකක් බව ඇඟවිය හැකියි.
ඒ වුණත්, නාට්‍ය ලිවූ රචකයා රෝම හා ග්‍රීක සම්භාව්‍ය නිර්මාණ හා සාහිත්‍ය පිළිබඳව මෙන්ම බොහෝදුරට ප්‍රංශයේ, ඉතාලියේ හා ස්පාඤ්ඤයේ එවකට පැවති භාෂා සම්බන්ධයෙන් හසළ දැනුමකින් යුක්ත වුණා. එමෙන්ම ඔහුට පුළුල්ව විහිදී ගිය වාග් මාලාවක්ද තිබුණා. අදදින මනා අධ්‍යාපනයක් ලැබූ කෙනෙක් වුවද තම සංවාදයන්වල වචන 4,000කට වඩා පාවිච්චි කරන්නේ කලාතුරකිනි. දහහත්වන සියවසේ කවියෙක් වූ ජොන් මිල්ටන් තම නිර්මාණවල වචන 8,000ක පමණ ප්‍රමාණයක් යොදාගත්තා. නමුත් විලියම් ෂේක්ස්පියර් වචන 21,000කට නොඅඩු වාග් මාලවක් යොදාගත් බව එක් අධිකාරියක් සඳහන් කරනවා!
ග්රන්ථ හා අත්පිටපත්
ග්රන්ථ හෝ අත්පිටපත් පිළිබඳ කිසිම සඳහනක් නොකරමින්, තම පිටු තුනකින් යුක්ත වූ අන්තිම කැමති පත්‍රයේ ෂේක්ස්පියර් සතු සියලු සම්පත් ලැයිස්තුගත කොට තිබුණා. එම ග්රන්ථ හා අත්පිටපත් ඔහුගේ වැඩිමල් දියණිය වන සුසෑනාට තබා ගියාද? එසේ කළා නම්, නිසැකවම ඒවා ඇගේ පැවතෙන්නන් අතරේ තබා යනු ඇති. මෙම අභිරහසින් කුතුහලයට පත් 18වන සියවසේ විසූ එක් පූජකවරයෙක්, ස්ට්‍රැට්ෆඩ් අ’පොන් ඒවොන්හි කිලෝමීටර් 80ක වටප්‍රමාණයකින් යුක්ත ප්‍රදේශයක සෑම පෞද්ගලික පුස්තකාලයම මෙම පොත් තිබේදැයි සොයා බැලූ නමුත්, ෂේක්ස්පියර්ට අයිතිව තිබූ එකම තනි පිටපතක්වත් ඔහුට සොයාගැනීමට නොහැකි වුණා.
අත්පිටපත් ගත් කල ඊටත් වඩා විශාල වූ ගැටලුවකට මඟ පාදනවා. එනම් ෂේක්ස්පියර් විසින් කරන ලද එකම මුල් පිටපතක්වත් සොයාගත නොහැකි වීමයි. ෂේක්ස්පියර්ගේ මරණයෙන් අවුරුදු හතකට පසු 1623දී, නාට්‍ය තිස්හයක් මුල් ග්රන්ථ සංස්කරණයෙහි ප්‍රකාශයට පත් කළා. ඔහුගේ ජීවිත කාලය තුළ වංචාසහගත ලෙස අප්‍රමාණ පිටපත් ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ නමුදු, ඉතා කූට නුවණකින් හෙබි ව්‍යාපාරිකයෙක් වූ ෂේක්ස්පියර් ඒවා ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමට කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.
ලන්ඩන් නුවරට සහ එතැනින් කීර්තියට
විවිධ පළාත්වලට ගමන් කළ නළු නිළියන්, 1වන එලිසබත්ගේ සමයේ පොදු දසුනක් වූ අතර, සමහරක් අය 1587දී ස්ට්‍රැට්ෆඩ් අ’පොන් ඒවොන්ද බලන්න ගියා. ෂේක්ස්පියර්ද ඔවුන් සමඟ ගියා නම්, එම වසරේ වසන්තය වන විට ලන්ඩන් නුවරෙහි ඔහු සිටින්න ඉඩ තිබුණා. ඔහු රාජ පුරුෂයන් හැටියට පසු කලෙක හැඳින්වූ, චේම්බලින් සාමිගේ පුරුෂයන් නම් ලත් ලන්ඩන්හි පෙරමුණේ සිටි නෘත්‍ය කලා ආයතනයේ සාමාජිකයෙක් බවට පත් වූ වග අප දන්නවා. ඔහු අගනුවරට ගිය දා සිට ඔහුගේ වාසනාව වෙනස් මුහුණුවරක් ගත්තා. කාලයත් සමඟ, ඔහු ලන්ඩන් හා ස්ට්‍රැට්ෆඩ් අ’පොන් ඒවොන් යන පළාත්වලින් ඉඩකඩම් මිල දී ගත්තා. එහෙත් අතිවැදගත් “හෝඩුවාවක් නැති අවුරුදු” වන 1583 සිට 1592 යන කාලවල් අතර ඔහු ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිම වාර්තාවක් නැහැ.
වර්ෂ 1599දී සදර්ක්හි ග්ලෝබ් නෘත්‍ය ශාලාව සාදනු ලැබුවා. ඊට කලින්, ෂේක්ස්පියර්ගේ නම දැරූ නාට්‍ය ලන්ඩනයේ ප්‍රචලිතව තිබුණත්, ඒවායේ කර්තෘ හැටියට ඔහු කෙදිනක හෝ ප්‍රසිද්ධියට පත් වුණේ නැහැ. ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබිහි, ගරු බුහුමන් සහිතව භුමදානය කළ බෙන් ජොන්සන් හා ෆ්රාන්සස් බ්යූමොන් වැනි නාට්‍ය රචකයන් වෙනුවෙන් ගෞරවනීය අවමංගල්‍ය කටයුත්තක් පැවතියත් ඔහුගේ මරණයේදී එවැනි දෙයක් සිදු කෙරුණේ නැහැ.
සුදුස්සන්
සැබෑ කර්තෘ නැත්නම් කර්තෘවරුන්ගේ නම් සැඟවීමේ අටියෙන් ෂේක්ස්පියර් යන නම යොදාගැනුණාද? සුදුස්සන් විය හැකි අය 60දෙනෙක්ව පමණ මිනිසුන් විසින් යෝජනා කොට තිබෙනවා. මේ අතරට නාට්‍ය රචක ක්‍රිස්ටොෆර් මාලෝa හා වෙනත් අපේක්ෂා නොකළ නාම වන කාදිනල් වොල්සි, ශ්‍රීමත් වොල්ට රැලේ හා 1වන එළිසබෙත් රැජින පවා අයත් වෙනවා. වැඩිම අවධානයක් හිමි විය යුතු වන්නේ කාට කියාද චින්තකයන්ට හැඟෙන්නේ?
පළවන සුදුස්සා වන්නේ කේම්බ්‍රිජ් සරසවියේ ඉගෙනුම ලත් ෆ්‍රැන්සිස් බේකන්. ෂේක්ස්පියර්ට වඩා අවුරුදු තුනක් වැඩිමල් වූ ඔහු, ප්රමුඛ පෙළේ නීතිඥයෙකු මෙන්ම රාජ සභාවේ නිලධාරියෙකුද වූ අතර, බොහෝ සාහිත්‍යමය නිර්මාණ සම්බන්ධයෙන් හිමිකම් කිව්වා. ෂේක්ස්පියර්ගේ නිර්මාණ බේකන් විසින් කළායයි පළමුවෙන්ම ඉදිරිපත් කළේ 1769දී වුවත්, එය අවුරුදු 80ක පමණ කාලයක් පුරා ගණනකට ගත්තේ නැහැ. හේතුව ගැන වැඩි දුරට හොයා බැලීම සඳහා 1885දී බේකන් සමිතිය පිහිටෙවූ අතර, ප්‍රකාශය සනාථ කිරීමට කරුණු බොහොමයක් ඉදිරිපත් කොට තිබෙනවා. උදාහරණයක් හැටියට, බේකන් ජීවත් වූයේ ලන්ඩනයෙන් කිලෝමීටර් 30ක් පමණ ඈතින් පිහිටි ශාන්ත ඇල්බන්ස් අසල වූ අතර, එම නගරය ෂේක්ස්පියර්ගේ කෘතීන්වල 15 වතාවක් පමණ සඳහන්ව ඇති නමුත්, ෂේක්ස්පියර්ගේ ගම්පළාත වන ස්ට්‍රැට්ෆඩ් අ’පොන් ඒවොන් ගැන කිසිම සඳහනක් නැහැ.
රට්ලන්ඩ්හි පස්වන අර්ල් තනතුර හෙබවූ රොජ මැනස් හා ඩ’බිහි හයවන අර්ල් තනතුර හෙබවූ විලියම් ස්ටැන්ලි යන දෙදෙනාටම සහය දක්වන අයත් ඉන්නවා. ඔවුන් හොඳින් අධ්‍යාපනය ලැබූ අය වූ අතර, උසාවි ජීවිතය සම්බන්ධයෙන් මනා අද්දැකීමක් තිබුණා. නමුත් ඇයි ඔවුන්ගෙන් එක්කෙනෙක් හෝ තම නිර්මාණ සැඟෙව්වේ? මහාචාර්ය පී. එස්. පොරෝෆ්ෂීකොෆ්, රට්ලන්ඩ් ෂේක්ස්පියර් විය යුතු බවට වාද කරමින් 1939දී මෙසේ පැවසුවා: “ඔහුගේ පළමු නිර්මාණ නිර්නාමිකව ලියවුණු අතර අනික් ඒවා ආරූඪ නාමයක් යොදාගනිමින් ලිව්වා. මෙයට හේතුව වූයේ රඟහල්වලට ලිවීම එකල වංශාධිපතියෙක් සඳහා සුදුසු දෙයක්ව නොතිබූ නිසයි.”
ෂේක්ස්පියර්ගේ නාට්‍ය, එකිනෙකා තම තමාගේ නිර්මාණ එක් කරමින් ලේඛකයන් බහුතරයකගේ එකතුවෙන් බිහි වූවක් බව සමහරුන් යෝජනා කරනවා. අනික් අතට, දක්ෂ නළුවෙක් වූ ෂේක්ස්පියර් වෙනත් අය සඳහා නාට්‍ය සකස් කරමින් ඒවා සූදානම් කළාද? ඔහු අත්පිටපත් සකස් කරද්දී ‘එක වගන්තියක්වත් මැකුවේ’ නැති බව කියවෙනවා. එසේනම් ඔහුට ඉදිරිපත් කෙරුණු නාට්‍ය පිටපත්, සුළු වශයෙන් වෙනස් කරමින් සකස් කළා නම් මෙය ඇත්තක් විය හැකියි.
ෂේක්ස්පියර්යයි සමහරුන් අනුමාන කිරීමට තිබෙන ප්රබලතම හේතුව කුමක්ද? ද ව’ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා දක්වන ආකාරයට “ස්ට්‍රැට්ෆඩ් අ’පොන් ඒවොන්වලින් එන නළුවෙක් මේවා ලියන්ට ඇතියි කියා විශ්වාස කරන්න මිනිසුන් අකමැති වුණා. වේදිකා නාට්‍ය ලිවූ බහුශ්‍රැතයාගේ රුවට ෂේක්ස්පියර්ගේ සාමාන්‍ය ගම්බද පසුබිම ඔවුන්ට ගැළපුණේ නැහැ.” කර්තෘවරුන්යයි යෝජනා කර ඇති අන් සෑම කෙනෙක්ම “වංශාධිපති හෝ ඉහළ පැළැන්තියට අයිති වූ අය බව” එහි තවදුරටත් සඳහන් වෙනවා. ඒ හේතුවෙන් ෂේක්ස්පියර් කර්තෘයයි අනුමාන කරන සෑම කෙනෙක්ම විශ්වාස කරන්නේ “හොඳින් අධ්‍යාපනය ලද, සමාජයේ උසස් තැනක් හෙබවූ අයෙකුට පමණයි මෙම නාට්‍ය ලිවීමට හැකි වන්නේ” කියායි. නමුත් මෙම ලිපියේ කලින් සඳහන් කළ ආකාරයට, ෂේක්ස්පියර් සෑම දෙයක්ම රචනා කළායයි ෂේක්ස්පියරියානු අධිකාරීන් රැසක් විශ්වාස කරයි.
ඉතා ළඟකදී මෙම මතභේදය විසඳෙයිද? පෙනෙන ප්‍රකාරයට නම් නැහැ. ෂේක්ස්පියර්ගේ හෝඩුවාවක්වත් නොමැති අවුරුදු පැහැදිලි කිරීමට, අත්පිටපත් හෝ දත්ත ස්වරූපයෙන් අලුත් සාක්ෂි හොයාගනු ලැබුවොත් මිස, නැත්නම් “මෙම අග්‍ර ගණයේ සුපිරි බහුශ්‍රැතයා” පුදුමාකාර අභිරහසක් ලෙසම පවතීවි.
[පාදසටහන]
a මුල් ෂේක්ස්පියරියානු නාට්‍යවලට ක්‍රිස්ටොෆර් මාලෝගේ බලපෑම පෙනෙන්න තිබුණත්, ඔහුට වයස 29ක්ව තිබියදී 1593දී ඔහු මියගියා. තානායමකදී හටගත් අරගලයක් හේතුවෙන් සිදු වුණායයි වාර්තා වෙන ඔහුගේ මරණය බොරුවක් බවත්, අනතුරුව ඔහු ඉතාලියට ගොස් තම කෘතීන් ඉදිරියට ගෙනගිය බවටත් සමහරුන් අදහස් දක්වා තිබෙනවා. ඔහුගේ අවමංගල්‍ය හෝ භූමදානය ගැන කිසිදු වාර්තාවක් නැහැ.
[30වන පිටුවේ කොටුව]
සාක්ෂරතාව හා නම
දැනට සොයාගත හැකි ලියවිලි හතරක ෂේක්ස්පියර් තම අත්සන හය වතාවක් සටහන් කර ඇති බවට බොහෝදුරට කිව හැකියි. ඔහුගේ නම අඩ වශයෙනුයි කියවිය හැක්කේ. තවද එහි අක්ෂර වින්‍යාසය එක සමාන නොවේ. ෂේක්ස්පියර් වෙනුවෙන් නීතිඥවරුන් අත්සන් තබන්න ඇතියි කියා සමහරක් අධිකාරීන් යෝජනා කර තිබෙන අතර, මෙයින් විලියම් ෂේක්ස්පියර් ලියන්න කියන්න බැරි පුද්ගලයෙක්ද යන ඉතා සංවේදී වූ ප්රශ්නය පැනනඟී. ඔහු විසින් ලියන ලද එකම අත්පිටපතක්වත් නොපවතියි. ඔහුගේ දියණිය වන සුසෑනාට තම නම අත්සනක් වශයෙන් යෙදිය හැකි වූ නමුත්, ඊට වඩා වැඩි දෙයක් කරන්න ඇයට පුළුවන් බවට තියෙන සාක්ෂි නැහැ. ෂේක්ස්පියර්ට සමීපව සිටි ඔහුගේ අනික් දියණිය වන ජූඩිත්, සලකුණක් ආශ්රයෙනුයි අත්සන් කළේ. ඇය ලියන්න කියන්න බැරි තත්වයකයි සිටියේ. එහෙයින් සාහිත්‍යයේ මෙම අමිල ප්‍රයෝජන තම දරුවන්ට අත් කර දීමට ෂේක්ස්පියර් අසමත් වුණේ මන්ද යන්න සැමටම ප්‍රහේලිකාවක් පවතී.
[29වන පිටුවේ පින්තූර]
ඔහුගේ හැඩරුව ස්ථිරයෙන්ම කිව නොහැකි වුණත්, ෂේක්ස්පියර්ව දක්වන මුල් සිත්තම්
[හිමිකම් විස්තර]
Encyclopædia Britannica/11th Edition (1911)
Culver Pictures