සර්පයන් ගැන පොදු මිථ්‍යාවන්
ඉන්දියාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
ගැහැනු ළමයා හිසේ ගසා සිටි පිච්ච මල් සුවඳට වශී වී, බලන්න හිරිකිත සෙවල ගතියෙන් යුත් නාගයෙක් ඇය දෙසට ඇදෙයි. උගේ දිග කඳ මුහුදු රැල්ලක් මෙන් රැලි ගැසෙයි. උගේ නළලෙන් දිදුලන මැණිකක් මෙන් දීප්තියක් ඇය දකියි. ඌ උගේ මෝහනය කරන බැල්ම හෙළා ඇයව ගලක් මෙන් වෙන්න සලස්වයි. හදිස්සියේම, ඉහළට එසවෙමින්, ඇය වෙතට දමා ගසමින්, ඌ උගේ දළ ඇගේ අතෙහි ගිල්වයි.
සැබෑවක්ද? මිථ්‍යාවක්ද? ඉහත සඳහන් මුළු කතාන්තරයම බොරුවක්. එය තනා තිබෙන්නේ පොදුවේ පවතින වැරදි සංකල්ප පදනම් කරගෙනයි. මිථ්‍යාවන් කිහිපයක් සලකා බලන්න.
1. පිච්ච, සඳුන් සහ වෙනත් සුවඳ වර්ග සර්පයන්ව ඇදගනියි. බොරු. සුවඳ, කෘමීන්ව ඇදගනියි. කෘමීන්, ගෙම්බන්ව ඇදගන්නා අතර, ගෙම්බන්, සර්පයන්ගේ ආහාරයේ කොටසක් නිසා, සර්පයන්ව ඇදගනියි.
2. සර්පයන් තම කඳ සිරස් අතට රැලි ගසමින් ගමන් කරයි. බොරු. මෙම පෙනුම දෙන්නේ සර්පයන් විශාල ගල් මතින් ගමන් කරද්දීයි. නාගයා සහ රළු බොරලු බිම්වල සැරිසරන වෙනත් සර්පයන්ගේ සාමාන්‍ය ගමන් විලාසය වන්නේ, එක් ඍජු රේඛාවක් දිගේ පොළොවට සමාන්තරව නොහොත් තිරස් අතටයි. උන් උන්ගේ ඉදිරිපස කොටසෙන් ඉදිරියට ඇදෙමින්, පිටුපස කොටස ඇදගෙන යනවා හෝ භූමියේ තිබෙන ඕනෑම තල්ලුවක් ලබාගත හැකි යමක ආධාරයෙන් ඉංග්‍රීසි එස් (S) අකුරේ හැඩයට දෙපැත්තට සහ ඉදිරියට තල්ලු වෙයි.
3. සමහර සර්පයන්ගේ හිසේ අනර්ඝ ගලක් තිබේ. බොරු. මිථ්‍යාවක්. එමෙන්ම, පුරාණ ඉන්දියාවේ සිටි ශ්‍රේෂ්ඨ මිනිසුන්ව නාගයන් විසින් රැක්කා යන මතයද මිථ්‍යාවක්.
4. නාගයන් උන්ගේ ගොදුරු මෝහනය කරයි. බොරු. භය වූ විට සාමාන්‍යයෙන් සර්පයන් ඍජු ලෙස එක එල්ලයේ බලා සිටියි. ඉතින්, සර්පයෙක් හා මුහුණට මුහුණලා සිටින විට, මිනිසුන්ට ඇති වන හැඟීම වන්නේ, එක එල්ලයේ සිටින මෝහනය කරන ආකාරයේ බැල්මකි. කෙසේවෙතත්, මෙය ගොදුරු ඇල්ලීමට පාවිච්චි කරන ක්‍රමයක් නොවෙයි.
5. නාගයන් තම ගොදුර වෙත පනී. බොරු. නාගයා තම ගොදුර ආක්‍රමණය කිරීම සඳහා උගේ ඉදිරිපස කඳ කොටස වීසි කර ගැසුවත්, භූමිය තද කර අල්ලාගෙන සිටීමට කඳෙන් වැඩි හරියක් භූමිය මත රඳවා තබාගනියි. වැඩිම වුණොත්, කඳෙන් තුනෙන් පංගුවක් ඔසවා, ආක්‍රමණය කිරීමට පහර දෙයි.
6. නාගයන් ඇතුළු සර්පයන්ගේ හම සෙවල ගතියෙන් යුතු අතර, සෑමවිටම සීතලය. බොරු. එකපිට එක ඇති හැව නිසා සර්පයන්ගේ හම වියළි මෙන්ම සිනිඳු හම් ගතියක් ගනියි. සර්පයන් චලතාපී ජීවීන් වන අතර, උන්ගේ ශරීර උෂ්ණත්වය බාහිර උෂ්ණත්වයට අනුව වෙනස් වෙයි.
7. නාගයන් බිහිරිය. බොරු. බොහෝදෙනෙක් අතර පවතින වැරදි මතයකි. සර්පයන්ට ඇසෙන්නේ, භූමියේ සිදු වන කම්පන උන්ගේ කඳ හරහා යෑමෙන් පමණය කියා ඔවුන් සිතනවා. බයිබලයේ ගීතාවලිය 58:4, 5 [NW], නාගයන් බිහිරි නැති බව නිවැරදි ලෙස අඟවයි. ගුවන් තරංග හරහා ගෙනෙන ශබ්ද නාගයන්ට ඇසිය හැකි බවත් නයි නටවන්නාගේ සංගීතයට උන් ප්‍රතිචාරය දක්වන බවත් මෑතකදී කළ පර්යේෂණ පෙන්වා තිබේ.—1993 ඔක්තෝබර් 8 පිබිදෙව්! 24වන පිටුවත් බලන්න.
[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඉහළ සර්පයා: Animals/Jim Harter/Dover Publications, Inc.