වගකීම් නොමැති අයිතිවාසිකම්?
“ලෝකයේ නිදහස, යුක්තිය හා සාමය සඳහා පදනම වන්නේ, මනුෂ්‍ය පවුලේ සියලුම සාමාජිකයන්ට සහජයෙන්ම හිමි වන ගෞරවය හා සමාන මෙන්ම අහිමි කළ නොහැකි අයිතිවාසිකම් හඳුනාගැනීමයි.” මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ පෙරවදන එසේ පවසන අතර, එහි 50වන සංවත්සරය 1998 දෙසැම්බර් මස පවත්වනු ලැබුවා. එහෙත් මෑතකදී, සියලු මහද්වීපයන් නියෝජනය කරන කලින් ජනාධිපතිවරුන් හා අගමැතිවරුන් හැටියට සේවය කළ 24දෙනෙකු යෝජනා කළේ, එම ප්‍රකාශයට යමක් එකතු කළ යුතු බවයි. එනම් එක්සත් ජාතීන් විසින් මානව වගකීම් පිළිබඳ විශ්ව ප්‍රකාශයක් සකස් කළ යුතු බවයි. එවැනි ව්‍යාපෘතියක අවශ්‍යතාව බොහෝදෙනෙකුට හැඟෙන්නේ මන්ද?
“අයිතිවාසිකම් හා වගකීම් දම්වැලක පුරුක් වගෙයි. නමුත් කනගාටුවට කරුණක් වන්නේ, අඩ සියවසක් ගෙවී යෑමෙන් පසු, එම කාරණය අමතක වී ගොස් තිබෙන්නක් මෙන්ම අප්‍රිය උපදවන දෙයක් බවට පත්ව තිබීමයි. බොහෝදෙනෙකු තම අයිතිවාසිකම් ඉල්ලා සිටින නමුත් ඒ හා සබැඳි වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාව අමතක කොට ඇත” කියා මානව හිමිකම් පිළිබඳ යුරෝපීය කොමිසමේ මහාචාර්ය ෂාන්-ක්ලෝඩ් ස්වායේ පැහැදිලි කරයි. තවද වගකීම් මෙසේ පැහැරහැරීමේ ප්‍රතිවිපාක බොහෝදෙනෙකුට දැනී ඇත. “යම් අනාගතික සැලැස්මක් සඳහා දැඩි ආශාවක්, විශේෂයෙන්ම යෞවනයන් අතරේ දැකගත හැකියි. තවද එය අද ලෝකය යටපත් කරමින් තිබෙන තණ්හාව, ආත්මාර්ථකාමිත්වය හා සහයෝගීතාවේ ඌනතාව වැනි බලපෑම් සමඟ කටයුතු කිරීමටත් ඒවා මැඩපැවැත්වීමටත් හැකියාව ඇති පිළිගත් පරමාදර්ශයන් සඳහා අවශ්‍යතාවක්ද පෙන්නුම් කරයි. . . . ජගත් ආචාර ධර්මයන් සඳහා ඇති අවශ්‍යතාව සම්බන්ධයෙන් උත්සන්න වෙමින් පවතින මෙම වාදයෙන් ස්ථිර කරන්නේ යම් අඩුවක් පවතිනවාය යන කාරණයයි” කියා පැරීසියේ දිනපතා පළ වන ඉන්ටනැෂනල් හෙරල්ඩ් ට්රිබ්යූන් පවසයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට, “විශ්ව ආචාර ධර්මීය ව්‍යාපෘතියක්” ලෙස එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හඳුන්වන සැලැස්මක් සම්බන්ධයෙන් දේශපාලනඥයන්, දේවධර්මාචාරීන් හා දාර්ශනිකයන් සාකච්ඡා පවත්වමින් සිටියි. තවද එහි අරමුණ වන්නේ, අඩුව කුමක්දැයි වටහාගෙන මානව වගකීම් මොනවාදැයි හඳුනාගැනීමයි. කොහොම වුණත් ඔවුන් යම් අසීරුතාවලට මුහුණ දී ඇත.
සුරැකිය යුත්තේ කුමන මානව හිමිකම්ද යන්න නිශ්චය කරගැනීම සාපේක්ෂ වශයෙන් පහසු වුණත්, විශ්වනීයව පිළිගත යුත්තේ කුමන මානව වගකීම්ද යන්න පැහැදිලි කිරීම සැමවිටම පහසු නොවේ. කොහොම වුණත්, යෝජිත වගකීම් ප්‍රකාශයේ සඳහන් ප්‍රතිපත්ති සමහරක මූලාරම්භය ගත් කල, එය අවුරුදු දෙදාහකට පමණ කලින් යේසුස් විසින් දුන් සදාකාලික මෙන්ම විශ්වනීය රන් අණට නෑකම් කියයි. එහි මෙසේ සඳහන් වෙයි: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න.”—මතෙව් 7:12.
බොහෝ අවස්ථාවලදී, බයිබලය මානව හිමිකම් සුරකින නීතිවල පදනම බවට පත්ව තිබෙන අතරවාරයේදී, පෞද්ගලික වශයෙන් වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ ඇති අවශ්‍යතාවද එය මගින් කාවද්දයි. “එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම්, ඔහුට ඒක පාපයය” කියා ශ්‍රාවක යාකොබ් පෙන්නුම් කළා. (යාකොබ් 4:17) අන්‍යයන්ට යහපත කිරීමට යේසුස් මං සෙවූ ආකාරයටම, සැබෑ ක්‍රිස්තියානීන්ද සෙසු මිනිසුන්ට යහපත කිරීමට උත්සුක වෙයි. අයිතිවාසිකම්වලින් පමණක් සෑහීමට පත් නොවන ඔවුන්, අයිතිවාසිකම් සමඟ වගකීම්ද නිරායාසයෙන්ම එන බව තේරුම්ගෙන තිබෙන අතර, තම තමන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පෞද්ගලික වශයෙන් දෙවි ඉදිරියෙහි එකිනෙකාට වගකීමක් ඇති බවද තේරුම්ගෙන ඇත.