කතා කිරීමේ නිදහස ඓතිහාසිකව වර්ධනය වූ අයුරු
ඉතිහාසය පුරාම මනුෂ්‍යයන් කතා කිරීමේ නිදහස වෙනුවෙන් සටන් කර ඇත. ප්‍රසිද්ධියේ අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම සම්බන්ධයෙන් නීති පනවා ඇත, යුද වැදී ඇත, ජීවිත බිලි වී ඇත.
එවැනි සාමාන්‍ය අයිතිවාසිකමක් මතභේදයට, එමෙන්ම ලේ හළන තත්වයකට පවා තුඩු දී තිබෙන්නේ මන්ද? මෙම අයිතිවාසිකම ක්රියාවේ යෙදවීම සීමා කිරීම හෝ තහනම් කිරීම පවා අවශ්‍ය බව අතීතයේ මෙන්ම වර්තමානයේ සමාජයන්ට හැඟී තිබෙන්නේ මන්ද?
හරියට ඔරලෝසු බට්ටා පැද්දෙන්නාක් මෙන් ඉතිහාසය පුරාම, කතා කිරීමේ නිදහස සම්බන්ධයෙන් ජනයාගේ ආකල්ප එහාට මෙහාට පැද්දෙමින් තිබී ඇත. ඇතැම්විට, කතා කිරීමේ නිදහස භුක්තිවිඳිය හැකි වරප්‍රසාදයක් සේ සැලකේ. වෙනත් අවස්ථාවලදී, එය ආණ්ඩු හෝ ආගම් මගින් පියවරක් ගත යුතු ගැටලුවක් ලෙස සැලකේ.
අදහසක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පොරබැදූ, බොහෝවිට දරුණු පීඩාවලට හෝ මරණයට ලක් වූ අයගේ වාර්තාවලින් ඉතිහාසය පිරී තිබෙන බැවින්, මින් සමහරක් නැවත සලකාබැලීමෙන් අපට මනා අවබෝධයක් ලැබෙනවා ඇත.
ඇතන්ස්හි යෞවනයන්ගේ සදාචාර ගතිපැවතුම් කෙරෙහි දූෂිත බලපෑමක් ඇති කරවන මත හා ඉගැන්වීම් ඉදිරිපත් කළ බවට සලකනු ලැබූ ග්‍රීක් දර්ශනවාදී සොක්රටීස් (පො.යු.පෙ. 470-399) ගැන ඉතිහාසය හදාරන ශිෂ්‍යයන්ට සිහි වෙනවා විය හැක. මෙය, ග්‍රීක් ධුරාවලියේ දේශපාලනික හා ආගමික නායකයන් අතර බලවත් භීතියක් ඇති කළ අතර, එය ඔහුගේ මරණයට මඟ පෑදීය. අවසානයේදී ඔහුව මරණයට නියම කළ ජූරිසභාව ඉදිරියෙහි ඔහු කළ මතු දැක්වෙන ආයාචනය, කතා කිරීමේ නිදහස වෙනුවෙන් කර තිබෙන ව්‍යක්ත දේශන අතුරින් තවමත් කැපීපෙනෙන්නකි: “මේ නුවණ සොයායෑමේදී මගේ අදහස් තවදුරටත් පළ කළ නොහැකි බවටත්, නැවතත් එසේ කර අසු වුවහොත් මට මරණය විඳින්ට සිදු වන බවටත් වූ කොන්දේසිය මත, මේ අවස්ථාවේදී ඔබ මාව චෝදනාවෙන් නිදහස් කර හරිනවා වුවත්, මට කියන්න තියෙන්නේ, ‘ඇතන්ස්හි මනුෂ්‍යයෙනි, මා ඔබට නොව දෙවියන්ට කීකරු විය යුතුය කියායි. මට ජීවිතයත්, ශක්තියත් තිබෙන තාක් කල් දර්ශනය අනුගමනය කිරීමත්, මට හමු වන ඕනෑම කෙනෙකුට අවවාද කර, ඒත්තුගැන්වීමත් මා කිසිදාක නතර කරන්නේ නෑ. මා මෙය කරන්නේ ස්ථිරයෙන්ම . . . දෙවියන් අණ කරන නිසයි.’ ඇතනේසිවරුනි, ‘මා චෝදනාවෙන් නිදහස් කරන එක හෝ නොකරන එක ඔබේ කැමැත්තක්; නමුත් මට මේ සම්බන්ධයෙන් අනන්ත වාරයක් මැරෙන්න සිද්ධ වුණත්, මම කවදාවත් වෙනස් විදිහකට ක්‍රියා කරන්නේ නැති බව කියා සිටින්න මා කැමතියි.’”
කාලයාගේ ඇවෑමත් සමඟ, රෝමයේ මුල් ඉතිහාසයේ සීමා තහංචි අඩුවෙන් තිබූ කාලයක් උදා වුවත්, එම අධිරාජ්‍යයේ ව්‍යාප්තියත් සමඟම සීමා තහංචි වැඩි කරනු ලැබූ සමයක් දක්නට ලැබිණ. කතා කිරීමේ නිදහස සඳහා අඳුරුම යුගයේ ආරම්භය මින් සටහන් විය. තිබේරියස්ගේ (පො.යු. 14-37) පාලන සමයේදී, ආණ්ඩුවටත්, එහි ප්රතිපත්තිවලටත් විරුද්ධව හඬ නැඟූ කිසිවෙකුව රිස්සුවේ නැත. එමෙන්ම කතා කිරීමේ නිදහසට විරෝධය පෑවේ රෝමය පමණක් නොවේ; යේසුස්වහන්සේගේ ඉගැන්වීම හේතුවෙන් උන්වහන්සේව මරණයට පත් කිරීමටත්, දේශනා කිරීම නැවැත්වීමට උන්වහන්සේගේ ප්‍රේරිතයන්ට අණ කිරීමටත්, පොන්තියුස් පිලාත්ට යුදෙව් නායකයන් බල කළේ මේ කාලයේදීය. මොවුහුද නවතා දමනවාට වඩා මරණය විඳීමට කැමැත්තෙන් සිටියහ.—ක්‍රියා 5:28, 29.
ඉතිහාසයේ බොහෝ අවදිවල, ආණ්ඩු මගින් දුන් සිවිල් අයිතිවාසිකම් වෙනස් කිරීම හෝ ඉවත් කිරීම බොහෝවිට කරනු ලැබුවේ හිතුමතේටය; කතා කිරීමේ නිදහස වෙනුවෙන් කළ නොයෙක් සටන්වලට මෙය මඟ පෑදීය. මධ්‍යම යුගය ඇරඹීමත් සමඟම, සමහරු, තම අයිතිවාසිකම්වලට ආණ්ඩුවේ පාලන බලය යෙදවීම සීමා කරන බවට ප්‍රකාශ කරමින් පැහැදිලිව ලියූ ලියවිල්ලක් දෙන ලෙස බලෙන් ඉල්ලා සිටියහ. ප්‍රතිඵලයක් වශයෙන්, සැලකිය යුතු අයිතිවාසිකම් පනත් සාදන්ට පටන්ගැනිණ. මේවා අතුරින් මැග්නා කාටා ලියවිල්ල සම්පාදනය කිරීම මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ක්ෂේත්රයෙහි වැදගත් සන්ධිස්ථානයක් විය. පසුව ඉංග්‍රීසි අයිතිවාසිකම් පනත (1689), අයිතිවාසිකම් පිළිබඳ වර්ජිනියා ප්‍රකාශය (1776), මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රංශ ප්‍රකාශය (1789) සහ එක්සත් ජනපද අයිතිවාසිකම් පනත (1791) සම්පාදනය කරන ලදි.
ඉතිහාසයේ සිටි සුප්‍රසිද්ධ පුද්ගලයන් අදහස් පළ කිරීමේ නිදහසට පක්ෂව කතා කිරීම, 17වන, 18වන හා 19වන සියවස්වලදී අසන්ට ලැබිණ. එක්දාස් හයසිය හතළිස්හතරේදී, පැරඩයිස් ලොස්ට් යන කාව්‍යය සංග්‍රහයේ කර්තෘ වශයෙන් සුප්‍රසිද්ධ වූ ඉංග්‍රීසි ජාතික ජොන් මිල්ටන්, ප්රවෘත්ති පළ කිරීමේ නිදහස සීමා කිරීමට විරුද්ධව තර්කයක් වශයෙන් ආරේඕපාඉටිකා යන ප්‍රසිද්ධ පත්‍රිකාව ලීවේය.
සීමා පනවා තිබුණත්, 18වන සියවසේදී එංගලන්තයෙහි කතා කිරීමේ නිදහසේ වර්ධනයක් දක්නට ලැබිණ. අමෙරිකාවේ යටත් විජිතයන් වාචිකව හා මුද්‍රිතව කතා කිරීමේ නිදහස සඳහා අයිතිවාසිකම් බලෙන් ඉල්ලන්ට විය. උදාහරණයක් වශයෙන්, 1776, සැප්තැම්බර් 28ට දාතම වූ, පෙන්සිල්වේනියාවේ පොදු රාජ්යමණ්ඩලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක මෙසේ සඳහන් විය: “ජනයාට කතා කිරීමට, ලිවීමට හා සිය අදහස් ප්‍රකාශයට පත් කිරීමට නිදහස තිබෙන හෙයින් ප්රවෘත්ති පළ කිරීමේ නිදහස සීමා නොකළ යුතුය.”
එක්දාස් හත්සිය අනූඑකේදී සිදු කළ එ.ජ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය සඳහා මෙම ලියවිල්ල මහත් බලපෑමක් විය. ජනයා ඉමහත් කැමැත්තෙන් රැකගත් අයිතිවාසිකම් සම්බන්ධයෙන්, අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිහිටෙවූ අයගේ අදහස් එහි ප්‍රකාශ කෙරිණ: “පිහිටුවා ඇති ආගමක් සම්බන්ධයෙන් හෝ එය පිළිපැදීමට ඇති නිදහස සම්බන්ධයෙන් නීති පැනවීම; නැතහොත් කතා කිරීමේ හා ප්රවෘත්ති පළ කිරීමේ නිදහස සීමා කිරීම; එසේත් නැතහොත් ජනයා සාමකාමීව එක්රැස් වී, දුක්විඳීම ඉවත් කර සහනය දෙන ලෙස ඉල්ලා ආණ්ඩුවට පෙත්සම් ගැසීම යනාදිය සම්බන්ධයෙන් මන්ත්‍රණ සභාව නීති නොපැනවිය යුතුය.”
දහනවවන සියවසේ ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයෙකු වූ ජොන් ස්ටුවර්ට් මිල්, 1859දී “විමුක්තිය සම්බන්ධයෙන්” සිය රචනාව ලිව්වේය. ඉන් බොහෝ උපුටා දැක්වීම් කර ඇති අතර, කතා කිරීමේ නිදහසට පක්ෂව ලියූ සියලුම ප්‍රකාශවලින් උසස්ම එක වශයෙන් ඊට යොමු දක්වා ඇත.
කෙසේවුවද, දැනුමෙන් පරිණත වී ඇතැයි සැලකෙන මෙම 20වන සියවසේ ආරම්භයත් සමඟම, ප්‍රසිද්ධියේ, නිදහසේ කතා කිරීමේ අයිතිවාසිකම සඳහා කරන සටන් අවසන් වූයේ නැත. උදාහරණයක් වශයෙන්, අමෙරිකාවෙහි කතා කිරීමේ නිදහස සීමා කිරීමට දැරූ ප්රයත්නයන් නිසා, එම නිදහස වෙනුවෙන් කළ ප්‍රකාශයන්, එක්සත් ජනපදයේ සාමාන්‍ය අධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ පුරා ප්රතිනාද වී ඇත.
එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාර කනිෂ්ඨ ඔලිවර් වෙන්ඩල් හෝම්ස්, අධිකරණ තීන්දු ගණනාවක නිදහස් කතාව සම්බන්ධයෙන් ඔහුගේ විශ්වාසය සඳහන් කළේය. නිදහස් කතාව සම්බන්ධ පරීක්ෂණය විස්තර කරමින් ඔහු මෙසේ පැවසීය: “වෙනත් ඕනෑම දෙයකට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ප්රතිපත්තියකට ඇලී සිටිය යුතු නම්, එය නිදහස් චින්තනයේ ප්රතිපත්තියයි—එනම් අප සමඟ එකඟ වන අය සඳහා නිදහස් චින්තනය නොව, නමුත් අප වෛර කරන චින්තනය සඳහා නිදහසයි.”—ෂ්විමර්ට විරුද්ධව එක්සත් ජනපදය, 1928.
මෙම ප්‍රතිපත්තිය නොසලකා හැරීම හේතුවෙන්, නිදහස හා බල කිරීම අතර තත්වය නොකඩවා වෙනස් වීමට දායක වන අධිකරණයේ සටන් උද්ගත වී තිබේ. බොහෝවිට සංකල්පය වී තිබෙන්නේ, “මට නිදහසේ කතා කළ හැක—එහෙත් ඔබට එසේ කළ නොහැක” යන්නය. නැට් හෙන්ටෆ් ලියූ මෙම මාතෘකාවෙන් යුත් පොතේ, ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය වෙනුවෙන් මහත් ඇල්මකින් කතා කළ අය, හරියට දකුණේ සිට වමට පැද්දෙන බට්ටා මෙන් තම දෘෂ්ටීන් වාසියට හරවගන්නා අවස්ථා ගැන සඳහන් කරයි. එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණ සමහරක් වෙනස් කරනු ලැබූ නඩු විභාග ගැන ඔහු සඳහන් කරයි. තම ආගමික විශ්වාසයන් නිදහසේ ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් වසර ගණනාවක් පුරා සටන් කළ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සම්බන්ධ වූ නඩු මීට ඇතුළත් වේ. ඔවුන් සම්බන්ධයෙන් ඔහු මෙසේ ලීවේය: “ගත වී ඇති දශක ගණන් පුරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව නඩු කීම මගින්, මෙම ඇදහිල්ලට අයත් සාමාජිකයන් හෘදය සාක්ෂියට අනුව ක්‍රියා කිරීමේ නිදහස වැඩි කිරීමට ඉමහත් සේ දායක වී ඇත.”
මෙම 20වන සියවසේ අගභාගයේදී, අමෙරිකාවේ පමණක් නොව, නමුත් වෙනත් රටවල පවා, කතා කිරීමේ නිදහස රැකගැනීමට කළ අධිකරණ සටන් ගණනාවක් පිළිබඳව, නෛතික විශ්ලේෂකයන් හා නවීන ඉතිහාසඥයන් බොහෝදෙනෙකු බහුල වශයෙන් ලියා ඇත. කතා කිරීමේ නිදහස ලැබෙන බවට කිසිවිටකත් සහතික කළ නොහැක. තමන් තම ජනතාවට නිදහස දී ඇතැයි ආණ්ඩු උදම් ඇනිය හැකි වුවත්, අද්දැකීමෙන් පෙන්නුම් කර තිබෙන පරිදි, ආණ්ඩුවක් හෝ අධිකරණ නීති මාරු වන විට එය අහිමි වී යා හැක. බෙහෙවින් රැකගත යුතු මෙම නිදහස වෙනුවෙන් කරන සටනේ ඉදිරියෙන්ම සිට ඇත්තේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ය.
දීස් ඔල්සො බිලීව් නම් තම පොතෙහි මහාචාර්ය සී. එස්. බ්‍රේඩන් මෙසේ ලියයි: “ඔවුන් [යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්] තම සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට සටන් කිරීම මගින් ප්රජාතන්ත්රවාදය සඳහා විශිෂ්ට සේවාවක් ඉටු කර ඇත. මන්දයත් ඔවුන් තම සටනේදී අමෙරිකාවේ සිටින සෑම සුළු කණ්ඩායමකටම එම අයිතිවාසිකම් ලබා දීමට ඉමහත් සේවාවක් කර ඇති බැවිනි. එක කණ්ඩායමකගේ සිවිල් අයිතිය පැහැරගත් විට, අන් සෑම කණ්ඩායමකම අයිතිය අනතුරේය. එහෙයින් අපේ ප්රජාතන්ත්රවාදයෙහි ඉතා වටිනා දේවලින් සමහරක් ආරක්ෂා කිරීමට ඔවුන් නියත වශයෙන්ම දායක වී ඇත.”
ඇතැම් ආණ්ඩු හා ආගම් තම ජනතාවගෙන් නිදහස පැහැරගන්නේ මන්දැයි තේරුම්ගැනීමට නිදහසට ප්‍රිය කරන ජනයාට නොහැකි තරම්ය. එය මූලික මානව අයිතිවාසිකමක් තහනම් කිරීමක් වන අතර, මෙම නිදහස යටපත් කිරීම නිසා ලොව පුරා බොහෝ ජනයා දුක්විඳිති. මූලික අයිතිවාසිකම් භුක්තිවිඳින රටවල පවා, හරියට ඔරලෝසු බට්ටා එහාට මෙහාට පැද්දෙන්නාක් මෙන් දිගටම කතා කිරීමේ නිදහස පිළිබඳ ආකල්ප වෙනස් වෙමින් පවතිනු ඇද්ද? අශික්ෂිත හෝ අසභ්‍ය භාෂාව සුදුසු බව දැක්වීමට කතා කිරීමේ නිදහස යන සංකල්පය යොදවනු ඇද්ද? අධිකරණ, දැනටමත් මෙම මතභේදය සමඟ පොරබදමින් සිටී.
[3වන පිටුවේ පින්තූරය]
සොක්රටීස් කතා කිරීමේ නිදහස වෙනුවෙන් තර්ක කළේය
[හිමිකම් විස්තර]
Musei Capitolini, Roma