විෂමතාවේ වත්මන් වසංගතය
“මෙම සත්‍යයන් අප තුළින්ම විද්‍යමාන වන බව අපි පිළිගනිමු, එනම්, සියලු මිනිසුන්ව එක සමාන ලෙස මවා තිබේ, අන් සතු කළ නොහැකි ඇතැම් අයිතිවාසිකම් ඔවුන්ගේ මැවුම්කරු විසින් ඔවුන්හට පවරා දී තිබේ, ජීවිතය, විමුක්තිය හා සන්තෝෂය ලුහුබැඳීම ඒ අතර වෙයි.”—වර්ෂ 1776 එක්සත් ජාතීන් විසින් සම්මත කරගත් නිදහස් ප්‍රකාශනය.
“සියලු මනුෂ්‍යයන් නිදහස්ව සහ එක සමාන අයිතිවාසිකම්වලින් යුක්තව ඉපද සිටියි.”—වර්ෂ 1789 ප්‍රංශ ජාතික සම්මේලනය මගින් සම්මත කරගත් මිනිස් සහ පුරවැසි අයිතිවාසිකම් ප්‍රකාශනය.
“මුළු මනුෂ්‍යවර්ගයාම ගෞරවය සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නිදහස්ව හා එක සමානව ඉපද සිටියි.”—වර්ෂ 1948 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය මගින් සම්මත කරගත් මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය.
ඒ ගැන බනම් කිසිම සැකයක් නැහැ. මනුෂ්‍යයන් අතරෙහි සමානාත්මතාව සඳහා තිබෙන ආශාව මුළු විශ්වයටම පොදුයි. නමුත් කනගාටුවට කරුණක් නම්, මනුෂ්‍ය සමානාත්මතාව පිළිබඳ අදහස බොහෝ වර, නැවත නැවතත් පැවසීමට සිදුවීමයි. මෙයින් ඔප්පු වන්නේ, මේ වන තෙක්ම සමානාත්මතාව මනුෂ්‍යවර්ගයාගෙන් දුරස්ව තිබෙන බවයි.
විසිවන ශතවර්ෂයේ අවසාන අදියරේදී දේවල් වඩා හොඳ අතට හැරී තිබෙන බවට කෙනෙක්ට හොඳ හේතු ඇතුව තර්ක කළ හැකිද? එක්සත් ජනපදවල හා ප්‍රංශයේ සිටින සෑම පුරවැසියෙක්ම හෝ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 185න් ඕනෑම රටක සිටින පුරවැසියන් හෝ තමන්ට උරුම වී තිබෙනවායයි කියන සමාන අයිතිවාසිකම් ඇත්තෙන්ම භුක්ති විඳිනවාද?
සමානාත්මතාවේ අදහස සියලුම ‘මනුෂ්‍යයන් තුළින් විද්‍යමාන’ විය හැකි වූවත්, “ජීවිතය, විමුක්තිය හා සන්තෝෂය ලුහුබැඳීම” සඳහා තිබෙන අයිතිය සෑම කෙනෙකුටම එක හා සමානව ලැබී නැහැ. උදාහරණයක් වශයෙන්, අප්‍රිකාවේ එක් ළමයෙකුට, තවත් මිනිසුන් 2,569දෙනෙක් සමඟ එක් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීමට සිදු වන විට, යුරෝපයේ සිටින එක් ළමයෙකුට නම් එසේ කිරීමට සිදු වන්නේ තවත් 289දෙනෙක් සමඟ පමණයි. මෙයින් පිළිබිඹු වන්නේ ජීවිතය සඳහා තිබෙන අයිතිය පිළිබඳ කිනම් ආකාරයේ සමානාත්මතාවක්ද? නැතහොත්, මෙය සලකා බලන්න. ඉන්දියාවේ පිරිමි ළමුන් තුනෙන් එකක් සහ ගැහැනු ළමුන් තුනෙන් දෙකක් සාක්ෂරතාව නොමැතිව වැඩෙද්දී, ජපානය, ජර්මනිය සහ මහා බ්‍රිතාන්‍යය වැනි රටවල සිටින සෑම ළමයෙකුටම වාගේ ස්ථිර වශයෙන්ම අධ්‍යාපනයක් ලැබෙනවා. මෙය විමුක්තිය හා සන්තෝෂය ලුහුබැඳීමට තිබෙන අයිතිවාසිකම් පිළිබඳ කිනම් ආකාරයේ සමානාත්මතාවක්ද?
ප්‍රංශයේ සිටින ජනයාගේ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 24,990ක්ව තිබියදී, ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 1,380ක් වන මධ්‍යම අමෙරිකානු රටවල සිටින ජනයාත් ඒ හා සමාන “ගෞරවය සහ අයිතිවාසිකම්” භුක්ති විඳිනවා කියා පැවසිය හැකිද? උතුරු අමෙරිකාවේ බිළිඳු දැරියක් භුක්ති විඳින අවුරුදු 79ක ආයු අපේක්ෂණය, අලුත උපන් අප්‍රිකානු ගැහැනු දරුවෙකු භුක්ති විඳින අවුරුදු 56ක ආයු අපේක්ෂණයත් සමඟ සසඳන විට, එහි ඇත්තේ කිනම් සමානාත්මතාවක්ද?
විෂමතාවට බොහෝ මුහුණුවර තිබෙන අතර, ඒ සියල්ලක්ම ඉතා අමිහිරි ඒවායි. ජීවන තත්වයේ ඇති විෂමතාව, සෞඛ්‍ය සාත්තුව හා අධ්‍යාපනය ලබාගැනීම සඳහා තිබෙන ප්‍රස්තාවන්වල ඇති විෂමතාව ඒවායින් කීපයක් පමණයි. සමහර අවස්ථාවලදී, දේශපාලනය, ජාතිවාදය හෝ ආගමික මතභේද, ජනයාට හිමි ගෞරවය සහ නිදහස ඔවුන්ගෙන් අහිමි කරලීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් උසුලනවා. සමානාත්මතාව ගැන කොතෙක් කතා කළත්, අප සිටින්නේ විෂමතාවෙන් යුත් ලොවකයි. වසංගතයක් මෙන් මනුෂ්‍ය සමාජයේ සෑම තරාතිරමක් සිසාරා විෂමතාව පැතිරී යන අතර, වසංගතය නිර්වචනය කර තිබෙන්නේ “දසත පැතිරුණු හෝ මහත් පීඩාවක් වශයෙනි.” එයින් ඇති වන වේදනාව, දුගීබව, අසනීප, නොදැනුවත්කම, විරැකියාව සහ අසාධාරණය ආදි ස්වරූපවලින් දිස් වන අතර, ඉන් ඇති වන හානිය ඉතා විශාලයි.
“සියලු මිනිසුන්ව එක සමාන ලෙස මවා තිබේ.” මොනතරම් ලස්සන සිතුවිල්ලක්ද! එහෙත් යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස් බව දැනගැනීම කොයිතරම් කම්පා කරවන්නක්ද!
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
UN PHOTO 152113/SHELLEY ROTNER