අතක් පයක් අහිමි වීම—එය ඔබට සිදු විය හැකිද?
බෙන්ජමින්ගේ පාදය බිම් බෝම්බයකට හසු වන මොහොතේ, ඔහු සිටියේ සරයේවෝ නගරය උණුසුම් කළ වසන්ත සමයේ හිරු රශ්මියෙන් පහස ලබමිනුයි. එම පිපිරීමෙන් ඔහුගේ වම් පාදය අහිමි වුණා. බෙන්ජමින් මෙසේ සිහියට නඟනවා: “මම නැඟිටින්න උත්සාහ කෙරුවා. ඒත් මට බැරුව ගියා.” බෙන්ජමින්, වසරකට බිම් බෝම්බවලින් මරු දකින හෝ අබ්බගාත වන මිනිසුන් 20,000කගෙන් එක්කෙනෙක් පමණයි.
බිම් බෝම්බ මිලියන 15ක් තරම් විශාල ප්‍රමාණයක් ඇන්ගෝලාවේ සැම තැනකම වළලා තිබෙනවා. එය රට තුළ සිටින සෑම පුරුෂයෙකුටම, ස්ත්‍රියකටම සහ ළමයෙකුටම එක බැගින් වන අනුපාතයටත් වඩා වැඩි ප්‍රමාණයක් වෙනවා. අත් පා අහිමි වීමෙන් පීඩා විඳින මනුෂ්‍යයන් 70,000ක් දැන් ඇන්ගෝලාවේ සිටිනවා. ලෝකයෙන්ම අත් පා අහිමි වූවන්ගේ වැඩිම ප්‍රතිශතය සිටින කාම්බෝජයේ, බිම් බෝම්බ මිලියන අටත් දහයත් අතර ප්‍රමාණයක් වළලා තිබෙනවා. එනම් සෑම 236දෙනෙකුටම එක්කෙනෙක් වන බව ගණන් බලා තිබෙනවා. වාර්තාවලට ඇතුළත්ව තිබෙන ආකාරයට බොස්නියාවේ සහ හර්සගොවිනාවේ බිම් බෝම්බ මිලියන තුනකටත් වඩා අධික ප්‍රමාණයක් තිබෙනවා. එනම් වර්ග කිලෝමීටරයකට 394ක්.
නමුත් අත් පා අහිමි වීමෙන් පීඩා විඳින්නේ යුද්ධය දෝංකාර දෙන රටවල සිටින ජනයා පමණක් නොවෙයි. උදාහරණයකට, එක්සත් ජනපදයෙහි අත් පා අහිමි වීමෙන් දුක් විඳින්නන් 4,00,000ක් පමණ සිටිනවා. එම සංඛ්‍යාවෙන් වැඩිහිටියන් බහුතරයකට අත් පා අහිමි වීමට හේතු වන්නේ, සාමාන්‍යයෙන් “පර්යන්ත වාහිනික රෝගය” නැතහොත් PVD ලෙස හඳුන්වන නිදන්ගත රෝගයයි. අක්රමිකතාවන් කීපයකටම යොදන පොදු නාමයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ටේබර්ගේ විශ්වකෝෂික වෛද්‍ය ශබ්දකෝෂය (ඉංග්‍රීසියෙන්) PVD නිර්වචනය කරන්නේ “ශරීර අග්‍රයන්හි පිහිටි ධමනි සහ ශිරාවල හටගන්න රෝගයක් ලෙස සහ විශේෂයෙන්ම ශරීරයේ අග්‍රයන් වෙත ප්‍රමාණවත් ලෙසින් රුධිරය ගලා යෑම බාධා කරන තත්වයන්” සඳහා යොදන අවිනිශ්චිත යෙදුමක් ලෙසයි. PVDවලට ප්‍රධානම හේතුවක් වන්නේ දියවැඩියාවයි. වර්ෂ 1998 ලෝක සෞඛ්‍ය වාර්තාවට (ඉංග්‍රීසියෙන්) අනුව, “වැඩිහිටියන්ට ඇති වන දියවැඩියාව, ලෝක මට්ටමින්, 1997දී මිලියන 143 සිට, 2025 වන විට දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් වන මිලියන 300 දක්වා වැඩි වෙයි.”
එක්සත් ජනපදයේ අත් පා අහිමි වීම සිදු වන ඊළඟ ප්‍රධාන කාරණය වෙන්නේ, වාහන, යන්ත්‍ර සූත්‍ර, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ආයුධ සහ ගිනි අවි ආදිය නිසා සිදු වන අනතුරු වන අතර, ඒ හේතුවෙන් අත් පා ඉවත් කිරීම් සියයට 20 සිට 30 දක්වා ප්‍රමාණයක් සිදු වෙනවා. අත් පා අහිමි වීම්වලට හේතු වන වෙනත් සාධක නම් ශරීරයේ අර්බුද (සියයට 6ක් පමණ) සහ උපතින්ම ඇති වන දෝෂයි (සියයට 4ක් පමණ).
වටිනා අතක් පයක් අහිමි වීම ඇත්තෙන්ම හද කම්පා කරවන අද්දැකීමක්. එම අන්තරාව අඩු කරගැනීමට කිසියම් ක්‍රමයක් තිබෙනවාද? එමෙන්ම ඔබ දැනටමත් අතක් පයක් අහිමි වීමෙන් පීඩා විඳ තිබෙනවා නම්, ඔබට හොඳ අර්ථාන්විත ජීවිතයක් භුක්ති විඳීමට හැක්කේ කෙසේද? පහත සඳහන් ලිපිවලින් මෙම ප්රශ්නය සහ වෙනත් ප්‍රශ්න සාකච්ඡා කරනවා.