යෞවන අය අසති . . .
ලැජ්ජාශීලීභාවයෙන් මම ගොඩ එන්නේ කොහොමද?
“මම කාත් එක්කවත් වැඩිය කතාවට යන කෙනෙක් නෙවෙයි. මම මොනවා හරි කියන්න ගියොත් කවුරුත් මාව ගණන් ගන්න එකක් නැහැයි කියලයි මට හිතෙන්නේ. මගේ අම්මත් හරිම ලැජ්ජයි. ඒ හින්දා වෙන්න ඇති මටත් මෙහෙම වෙලා තියෙන්නේ.”—ආර්ටි.
ඔබ ලැජ්ජාව අඩු කරගන්න කැමතිද? එහෙමත් නැත්නම් වඩා මිත්‍රශීලී, සමාජශීලී පුද්ගලයෙක් වෙන්න කැමතිද? මේ සම්බන්ධව කලින් පළ වූ ලිපි මාලාවේ සඳහන් කළ පරිදි, ලැජ්ජාශීලීභාවය හුඟදෙනෙකුට තිබෙන ගැටලුවක්.a ඒ නිසා, ඔබ වැඩිය කතා බහ කරන්නේවත්, විහිළු තහළුවලට යන්නේවත් නැති, පැත්තකට වෙලා ඉන්න නැඹුරුවාවක් දක්වන කෙනෙක් නම්, ඔබ අසාමාන්‍ය පුද්ගලයෙක් කියා සිතන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබට අධික ලැජ්ජාවක් දැනෙනවා නම් එය ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. අඩුම තරමින්, එය මිත්‍රත්වයන් භුක්ති විඳීමට ලොකු බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම, කටිටියක් ඉදිරියේ යම් අපහසුතාවක් දැනෙන්න හෝ කිසිම දෙයක් හරියට කරන්න කියන්න බැරි තත්වයකට ඔබව පත් කරන්නත් එයට පුළුවන්.
වැඩිහිටියන්ට පවා ලැජ්ජාශීලීභාවය සමඟ පොරබදින්න සිදු වෙනවා. බැරිb ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙක්. නමුත්, කණ්ඩායමක් ඉදිරියේ සිටිද්දී ඔහු හුඟක් වෙලාවට නිහඬව සිටින්න බලනවා. ඔහු මෙසේ පිළිගන්නවා: “කාටවත් ප්‍රයෝජනවත් වන දෙයක් මට කියන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ.” ඔහුගේ බිරිඳ ඩයෑන්ටත් තිබෙන්නේ එම ප්‍රශ්නයමයි. ඇගේ පිළියම? “මං ආස, ඕන කෙනෙක් එක්ක ඉස්සරහට ගිහින් කතා බහ කරන්න කැමති අය එක්ක ඉන්නයි. එතකොට මට වැඩිය කතා කරන්න අවශ්‍ය නෑනේ” කියා ඇය පවසනවා. ලැජ්ජාශීලීභාවයෙන් ගොඩ ඒමට ඔබට මොනවාද කරන්න පුළුවන්?
හීනමානයෙන් වැළකෙන්න
මුලින්ම, ඔබ ඔබ ගැනම දරන ආකල්පය ගැන සිතා බලන්න; සමහරවිට ඔබට එය සකස් කරගන්න සිදු වෙයි. ඔබට කිසිම කෙනෙක් කැමති වෙන එකක් නැහැයි කියා හෝ ඔබගේ අදහස්වලින් කාටවත් ප්‍රයෝජනයක් ලැබෙන එකක් නැහැ කියා කල්පනා කරමින් ඔබ නිතරම ඔබවම අවතක්සේරු කරගන්නවාද? මෙවැනි නිෂේධාත්මක අදහස් ඇති කරගැනීමෙන් සිදු වන්නේ, ඔබ ලැජ්ජාශීලීභාවයෙන් ගොඩ ඒමට දරන වෑයම තවත් අපහසු වෙන එක විතරයි. අනික යේසුස් කිව්වේ, තමා වෙනුවට ‘තමාගේ අසල්වාසියාට ප්‍රේම කරන්න’ නොවෙයි, නමුත් “තමාට මෙන්” එසේ කරන්න කියායි! (මතෙව් 19:19) ඒ නිසා, යම් සාධාරණ ප්‍රමාණයකට ඔබටම ප්‍රේම කරන එක සුදුසු මෙන්ම හිතකර දෙයක්. එයින්, ඔබට අනිත් අය වෙතට ගිහින් කතා කිරීමට අවශ්‍ය ආත්ම විශ්වාසය ලබාගන්න පුළුවන්.
ඔබ හීනමානය අද්දකිනවා නම්, යෞවන අය අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොතේ “මට ම මා අකමැති මන්ද?” මාතෘකාව යටතේ තිබෙන 12වන පරිච්ඡේදයේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් විය හැකියි.c මෙම තොරතුරු, ඔබ වටිනා මෙන්ම සිත් ඇදගන්නාසුලු ගුණාංග තිබෙන පුද්ගලයෙක් බව වටහාගැනීමට ඔබට උපකාරවත් වෙයි. ඇත්තෙන්ම, ඔබ ක්‍රිස්තියානියෙක් වීම යන කරුණෙන් පමණක්ම පෙනී යන්නේ, දෙවි ඔබව වටිනා පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නවා කියන එකයි. යේසුස් මෙය හොඳින් අවධාරණය කරමින් මෙසේ පැවසුවා: “මා එවූ [පියා] විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය.”—යොහන් 6:44.
අනිත් අය ගැන උනන්දුව දක්වන්න
“තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේ ආශාව පස්සේ [යන්නේය]” කියා හිතෝපදේශ 18:1 අපට අනතුරු අඟවනවා. ඔව්, ඔබ නිතරම තනියෙන් සිටීමට බලනවා නම්, ඔබ සමහරවිට උවමනාවට වඩා ඔබ කෙරෙහිම අවධානයක් යොමු කරන්න පෙලඹෙන්න පුළුවන්. පිලිප්පි 2:4, [NW] අපට දිරිගන්වන්නේ, “තමාගේම කාරණා ගැන පමණක්ම නොව, නමුත් අන්‍යයන්ගේ කාරණා කෙරෙහිත් පෞද්ගලික උනන්දුවක් දැක්වීමට උත්සුක වන්න” කියායි. ඔබ අනිත් අයගේ සුභසිද්ධිය හා අවශ්‍යතා ගැන පෞද්ගලික උනන්දුවක් දක්වනවා නම්, ඔබ උවමනාවට වඩා ඔබ ගැනම සිතීමෙන් වළකින්න යනවා. ඒ වගේම, අනිත් අය ගැන ඔබට තිබෙන සැලකිල්ල වැඩි වන තරමටම, ඔබ ඔවුන්ව දැනහඳුනා ගැනීමට මුල් පියවර ගෙන කටයුතු කිරීමට තිබෙන ඉඩ කඩත් වැඩි වෙනවා.
මිත්රශීලීබවේ හා ආගන්තුක සත්කාරයේ නියම ආදර්ශයක් වන ලිදියා ගැන සලකා බලන්න. ඇය ප්‍රේරිත පාවුල්ගේ වචන අසා, බව්තීස්ම වුණාට පස්සේ, ‘මා යෙහෝවාට විශ්වාසව සිටින කෙනෙක් කියා නුඹලා ඒත්තුගෙන සිටිනවා නම්, මාගේ ගෙට ඇවිත් එහි නවතින්න’ කියා පාවුල් හා ඔහුගේ මිත්‍රයන්ගෙන් ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටියා. (ක්‍රියා 16:11-15) ලිදියා ක්‍රිස්තියානි සභාවේ නවකයෙක් වුණත්, මෙම සහෝදරයන්ව දැනහඳුනා ගැනීමට ඇය මුලපිරුවා. ඇය මෙයින් බොහෝ ආශීර්වාද නෙළාගත් බවට නම් කිසිම සැකයක් නැහැ. මෙය සලකා බලන්න. පාවුල් හා සීලස් හිරගෙදරින් නිදහස් වුණ විගසම ඔවුන් ගියේ කොතැනටද? ලිදියාගේ නිවසටයි!—ක්‍රියා 16:35-40.
මේ හා සමානව, ඔබ අනිත් අය කෙරෙහි සැලකිල්ලක් දක්වන විට ඔවුන්ගෙන් වැඩිදෙනෙක් එයට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා කියා ඔබටත් අද්දකින්න පුළුවන් වෙයි. එහෙනම්, ඔබ මෙලෙස ක්‍රියා කිරීමට පටන්ගන්නේ කොහොමද? උපකාරවත් වන යෝජනා කිහිපයක් සලකා බලන්න.
● සුළු සුළු පියවර ගන්න. ලැජ්ජාශීලීභාවයෙන් ගොඩ එන්න නම්, අපි හැම දෙයකදීම කැපිලා පෙනෙන්න වෑයම් කරන, සමාජශීලීබවේ අන්තයට යන කෙනෙක් වෙන්න අවශ්‍යයි කියා අදහස් කරන්නේ නැහැ. එක එක පුද්ගලයන් සමඟ තනි තනියෙන් කතා කිරීමට විශේෂ වෑයමක් දරන්න. ක්‍රිස්තියානි රැස්වීම්වලට යන හැම අවස්ථාවකදීම, අඩුම තරමින් එක් අයෙකු සමඟවත් කතා කිරීමට ඔබට ඉලක්කයක් තබාගත හැකියි. සිනාමුසු මුහුණක් ඇතුව සිටින්න වෑයම් කරන්න. කතා කරද්දී අනිත් කෙනාගේ ඇස් දෙස බැලීමටත් පුරුදු වෙන්න.
● මුලින් දැනෙන බිය සැක දුරු කරන්න. ‘ඒත් කොහොමද?’ කියා ඔබ අසනවා ඇති. ඇත්තෙන්ම, ඔබ අනිත් අය ගැන අව්‍යාජ උනන්දුවක් දක්වනවා නම්, ඔවුන් සමඟ කතා කිරීමට මාතෘකාවක් සොයන එක ඒ තරම්ම අපහසු දෙයක් නොවෙයි. ස්පාඤ්ඤයේ, හෝර්හේ නම් යෞවනයෙක් මෙසේ කියනවා: “නිකම්ම කෙනෙක්ගෙන් ‘ඔයාට කොහොමද?’ කියලා හරි ‘කොහොමද අද වැඩ?’ වගේ ප්‍රශ්න ඇහුවාම ඔවුන්ව අඳුරගන්න පුළුවන්.” ෆ්‍රෙඩ් නමැති තවත් තරුණයෙක් යෝජනා කරන්නේ, “මොනවා ගැනද කතා කරන්නේ කියලා කල්පනා කරන්න යන්න එපා. අනිත් එක්කෙනාගෙන් නිකම්ම ප්‍රශ්න අහන්න පටන්ගන්න.” නමුත්, අපි අනිත් අයට යම් අපහසුතාවක් දැනෙන ලෙස ප්‍රශ්න වැළක්ම ඇසීමෙන් වැළකීම අවශ්‍යයි. කෙනෙක් ඔබ අසන ප්‍රශ්නවලට ප්‍රතිචාරයක් දක්වන්න යම් අකමැත්තක් දක්වනවා කියා ඔබට හැඟෙනවා නම්, ඔබ ගැන යමක් ඔහුට කියන්න.
නහඹර වියේ දරුවෙක් සිටින මේරි මෙහෙම කියනවා: “කෙනෙකුට අපහසුතාවක් දැනෙනවා නම්, ඒක නැති කරලා දාන්න හොඳම ක්‍රමය තමයි, ඒගොල්ලන්ට තමන් ගැනම කතා කරන්න උනන්දු කරන එක.” ඒ වගේම තරුණියක් වූ කේට් මෙහෙම කියනවා: “ඒගොල්ලන්ගේ ඇඳුම, එහෙම නැත්නම් වෙනත් මොනව හරි දෙයක් අගය කරන එකත් හොඳයි. එතකොට ඒ අයට හැඟෙන්නේ අපි ඒගොල්ලන්ට ආසයි කියලා.” හැබැයි අවංක වෙන්න; ඒ වගේම බොරු ප්‍රශංසා කිරීම්වලින් වළකින්න. (1 තෙසලෝනික 2:5) අවංක ලෙස පවසන, කරුණාවන්ත මෙන්ම මිහිරි වචනවලට මිනිස්සු සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිචාරයක් දක්වනවා.—හිතෝපදේශ 16:24.
● හොඳ සවන්දෙන්නෙක් වෙන්න. ‘ඇසීමට ඉක්මන් වෙන්න, කතා කිරීමට ප්‍රමාද වෙන්න’ කියා බයිබලය පවසනවා. (යාකොබ් 1:19) සංවාදයක් කියන්නේ, එක්කෙනෙක් පමණක්ම තම අදහස් ප්‍රකාශ කරන එක නොවෙයි, නමුත් දෙදෙනෙක් අතර අදහස් හුවමාරු කරන එක බව මතක තබාගන්න. ඒ නිසා, ඔබ කතා කරන්න ටිකක් ලැජ්ජයි නම්, හොඳ සවන්දෙන්නන්ව මිනිස්සු සාමාන්‍යයෙන් අගය කරන නිසා, මෙයින් ඇත්තෙන්ම ඔබට යහපතක් වෙන්න පුළුවන්!
● එකතු වෙන්න. එක්කෙනෙක් සමඟ කතා කිරීමේ කලාව ඉගෙනගැනීමෙන් පසුව, කිහිපදෙනෙක් සමඟ කතා කිරීමේ කලාවත් ඉගෙනගන්න. මේ සඳහාත් ක්‍රිස්තියානි රැස්වීම් නියම වාතාවරණය සපයා දෙනවා. ඇතැම්විට, සංවාදයක නිරත වීම සඳහා හොඳම ක්‍රමය වන්නේ, කිහිපදෙනෙක් කතා කරන විට ඔවුන් සමඟ එකතු වීමයි. නමුත් මෙසේ කරද්දී අපි විචාර බුද්ධිය විදහාපෙන්වමින් සංවේදී ලෙස ක්‍රියා කරන්න අවශ්‍යයි කියන එක අමුතුවෙන් කිව යුතු නැහැ. අනිත් අය කතා කරමින් සිටින්නේ පෞද්ගලික කාරණා ගැන කියා ඔබට පැහැදිලි නම්, ඔවුන්ගේ කතාවට බාධා කරන්න එපා. නමුත් කණ්ඩායමක් ඒ තරම් බැරෑරුම් දෙයක් ගැන කතා නොකරන බව පැහැදිලි නම්, ඔවුන්ට එකතු වෙන්න බලන්න. නමුත් අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න. ඔවුන් කතා කරන ගමන් මැද්දට පැනලා කතාව පාලනය කරන්න වෑයම් කරන්න එපා. ඔවුන් කතා කරමින් සිටින දෙයට ටිකක් ඇහුම්කන් දෙන්න වෑයම් කරන්න. ඊට පස්සේ, ඔබටත් කතාවට ටිකක් දායක වෙන්න පුළුවන් කියා හැඟුණ විට ඔබ ඉබේම එසේ කරන්න නැඹුරු වෙයි.
● ඔබෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු වෙන්න එපා. සමහර අවස්ථාවලදී යෞවනයන් තමන් කියන දේ වරදියි කියා උවමනාවට වඩා කරදර වෙනවා. ඉතාලියේ යෞවනියක් වන ඒලීසා ඇයට හැඟුණ දේ මතක් කර දෙනවා: “මම මොනවාහරි කිව්වොත් මට වැරදෙයි කියන බය මට නිතරම වගේ තිබුණා.” නමුත්, අප සියල්ලන්ම අසම්පූර්ණ වන නිසා, පැකිලීමකින් තොරව කවදාවත් අපට කතා කරන්න බැහැයි කියා බයිබලය අපට මතක් කරනවා. (රෝම 3:23; යාකොබ් 3:2 සසඳන්න.) “මේගොල්ලන් මගේ යාළුවෝ හින්දා, මට වැරදුණත් ඒගොල්ලන් මාව තේරුම්ගනී කියලා මං වටහගත්තා” කියා ඒලීසා කියනවා.
● සිනාසීමට ඉගෙනගන්න. කියන්න හදන දේ හරියට කියාගන්න බැරි වුණාම අප ලැජ්ජාවට පත් වෙන්න පුළුවන් බව ඇත්තයි. නමුත් ෆ්‍රෙඩ් පවසන ආකාරයට, “අපිට වැරදුණයි කියලා කලබල වෙන්නේ නැතුව, අපිත් හිනා වෙලා ඒක වැඩිය ගණන් ගන්නේ නැතුව හිටියොත් ඒක එතනින්ම ඉවරයි. හැබැයි අපි නිකම්ම කලබල වෙලා, අනිත් අය මොනවා හිතනවාද කියලා කල්පනා කරන්න පටන්ගත්තම තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ.”
● ඉවසිලිවන්ත වෙන්න. සියලුදෙනාගෙන්ම එකම ප්‍රතිචාරය බලාපොරොත්තු වෙන්න එපා. කතාව ඇණ හිටීම, අනිත් කෙනා ඔබට අකමැතියි කියාවත්, කතා කිරීමට ඔබ දරන වෑයම අත්හරින්න අවශ්‍යයි කියාවත් අදහස් කරන්නේ නැහැ. සමහරවිට මෙහෙම සිදු වන්නේ, ඔහු වෙනත් දෙයක් ගැන කල්පනා කරන නිසා හෝ ඔබ වගේම ඔහුටත් යම් ලැජ්ජාවක් දැනෙන නිසා හෝ විය හැකියි. එවැනි අවස්ථාවලදී, ඔබට හුරු වෙන්න ඔහුට ටිකක් කාලය දෙන එක හොඳ අදහසක් විය හැකියි.
● වැඩිහිටියන්ට කතා කරන්න වෑයම් කරන්න. ඇතැම් වැඩිහිටියන්, විශේෂයෙන්ම මේරූ ක්‍රිස්තියානීන් ලැජ්ජාශීලීභාවයත් සමඟ පොරබදින යෞවනයන් ගැන අනුකම්පාවක් දක්වනවා. ඒ නිසා වැඩිහිටි කෙනෙක් සමඟ සාකච්ඡාවක් ආරම්භ කිරීමට පසුබට වෙන්න එපා. කේට් ඒ සම්බන්ධයෙන් මෙසේ පවසනවා: “වැඩිහිටියන් එක්ක ඉන්න කොට නම් මං එච්චර කලබල වෙන්නේ නැහැ. ඒගොල්ලන් මගේ යාළුවන්ට වඩා වෙනස්. මගේ වැරදි හොය හොය, මට ලැජ්ජාවක් දැනෙන විදිහට මාව පල් කරන්න නැත්නම් දොස් කියන්න එන්නේ නැහැයි කියලා මං දන්නවා.”
ප්‍රේමයෙන් පෙලඹීම
මෙහි සාකච්ඡා කළ කරුණු ඔබට උපකාරවත් විය හැකි නමුත්, ලැජ්ජාශීලීභාවයට ඉක්මන් පිළියමක් නැහැ. එය නිකම්ම යම් යම් දක්ෂ උපක්‍රම යොදාගෙන ජයගන්න පුළුවන් ගැටලුවක් නොවෙයි. එය ජයගැනීමට රහස වන්නේ, ‘තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේම කිරීමයි.’ (යාකොබ් 2:8) ඔව්, අනුන් ගැන, විශේෂයෙන්ම අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් ගැන සැලකිල්ලක් දක්වන්න ඉගෙනගන්න. (ගලාති 6:10) ඇත්තෙන්ම, ඔබේ සිතේ අවංක ප්‍රේමයක් තිබෙනවා නම්, අනුන් සමඟ ආශ්‍රය කිරීමට තිබෙන බිය සැක දුරු කරගන්න ඔබට පුළුවන් වේවි. යේසුස් පැවසූ ආකාරයට, “හෘදයේ පූර්ණකමෙන් මුඛය කතා කරයි.”—මතෙව් 12:34, NW.
මුලදී සඳහන් කළ බැරි මෙසේ පවසනවා: “අනිත් අයව අඳුරගන්න ගන්න, ඒගොල්ලන් එක්ක කතා කරන එක මට වඩාත් පහසු වෙනවා.” ඒ කියන්නේ, ඔබ සමාජශීලී වෙන්න පුරුදු වන තරමටම ලැජ්ජාශීලීභාවයෙන් ගොඩ ඒම වඩාත් පහසු වන බවයි. ඒ වගේම, ඔබ අලුත් මිත්‍රයන් සොයාගන්න විටත් ඔවුන් ඔබව පිළිගන්නවා කියා ඔබට හැඟෙන විටත්, ඔබ දැරූ වෑයම ඇත්තෙන්ම වටිනවා කියා ඔබට හැඟෙන බවට කිසිම සැකයක් නැහැ!
[පාදසටහන්වල]
a අපගේ 1999 නොවැම්බර් 8 කලාපයේ “යෞවන අය අසති . . . මට ලැජ්ජාශීලීභාවයෙන් ගොඩ එන්න බැරි ඇයි?” යන ලිපිය බලන්න.
b සමහර නම් වෙනස් කර තිබේ.
c Watchtower Bible and Tract Society of New York, Inc. මගින් ප්‍රකාශිතයි.
[15වන පිටුවේ පින්තූරය]
සාකච්ඡාවකට හවුල් වීම සඳහා මුල් පියවර ගන්න!