කල් වැඩිද නැත්නම් ප්රමාද වැඩිද?
යේසුස් ක්රිස්තුස්ගේ උපතෙන් පසුව එළඹෙන තුන්වන සහස්රයේ හා 21වන සියවසේ ආරම්භය ගැන මේ කාලයේ බොහෝ දේවල් පවසනවා. “යුද්ධවලින් පිරි සියවසක් ලෙස පටන්ගෙන පරමාණු යුගයක් බවට පත් වූ 20වන සියවස, විනෝදකාමී යුගය වශයෙන් අවසන් වන බවක් පෙනෙන්න තිබෙනවා” කියා නියූස්වීක් සඟරාවේ පවසා තිබුණා. එහි 1997 ජනවාරි 22 කලාපයේ මෙසේ සඳහන් වුණා: 1999 දෙසැම්බර් 31වනදා නව වසරේ උදාව සැමරීම සඳහා “ලොව පුරා තිබෙන හෝටල් දැනටමත් වෙන් කර අවසන්.”
කෙසේවෙතත්, සමහරුන් කියන්නේ එම සැමරීම් පැවැත්වීමට කල් වැඩියි කියායි. බොහෝදෙනා විශ්වාස කරන දෙයට වෙනස්ව, 21වන සියවස හා නව සහ්රසය ආරම්භ වන්නේ 2000 ජනවාරි 1වනදා නොව, 2001 ජනවාරි 1වනදා බව ඔවුන් පෙන්වා දෙනවා. බින්දුව කියා වසරක් තිබුණේ නැති නිසා, පළමු සියවස වසර 1 සිට 100 දක්වාද දෙවන සියවස වසර 101 සිට 200 දක්වාද යනාදි වශයෙන් පැවතියා. මේ අනුව, 1901 ජනවාරි 1වනදා ආරම්භ වූ 20වන සියවස හා 1001 ජනවාරි 1වනදා ආරම්භ වූ දෙවන සහස්රය 2000 දෙසැම්බර් 31වනදා වන තෙක් අවසන් වන්නේ නැහැ කියා තර්ක කරන අය සිටිනවා.
මේ සම්බන්ධයෙන් සලකා බැලීමට අමතර කරුණක්ද තිබෙනවා. අප භාවිත කරන දිනදර්ශනයේ කාලය ගණනය කරන්නේ ක්රිස්තුස්ගේ උපතට කලින් හෝ පසුව යන පදනම යොදාගෙනයි. යේසුස් උපත ලැබුවේ මුලින් සිතුවාට වඩා කලින් වසරකයි කියා දැන් විශාරදයන් පිළිගන්නවා; මේ අනුව මේ දින දර්ශනයේ පදනම් වර්ෂය නිවැරදි නැහැ. යේසුස් උපත ලැබූ වර්ෂය ගැන එකිනෙකට වෙනස් මත පැවතියත්, බයිබල් කාලගණිතය යොමු දක්වන්නේ පො.යු.පෙ. 2වන වසරටයි. එම ගණනය කිරීමට අනුව, ක්රිස්තුස්ගේ උපතින් පසු එළඹෙන තුන්වන සහස්රය ආරම්භ වන්නේ මේ වසරේ ශරත් ඍතුවේදීයි! පිබිදෙව්! සඟරාවේ 1997 මැයි 22 කලාපයේ 28වන පිටුවෙන් හා 1975 දෙසැම්බර් 22 කලාපයේ 27 පිටුවෙන් (ඉංග්රීසියෙන්) වැඩි විස්තර සොයාගත හැකියි.a
කොහොම වුණත්, විසිඑක්වන සියවස හා නව සහස්රය ආරම්භ වන්නේ තව සති කිහිපයකින් කියා දැඩි මතයක එල්බගෙන සිටීම නැණවත් දෙයක් නොවෙයි. කෙසේවෙතත්, ජනප්රිය මතවාද සැලකිල්ලට ගනිමින් “විසිවන සියවස—තීරණාත්මක යුගයක්” යන විෂය ගැන මේ අවස්ථාවේදී සාකච්ඡා කිරීම සුදුසුයි කියා පිබිදෙව්! සිතනවා.
[පාදසටහන]
a 1999 නොවැම්බර් 1 මුරටැඹ කලාපයද බලන්න.