බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට නව පෙනුමක්
බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! වාර්තා කරුවිසිනි
සෑම වසරකම මිලියන හයක පමණ ජනකායක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය නැරඹීමට පැමිණේ. නරඹන්නන්ගේ පහසුව තකා අවුරුද්දකට පමණ ඉහතදී කෞතුකාගාරයේ භූමි ප්‍රදේශය 40%කින් විශාල කරන ලදි. මෙය කළ හැකි වූයේ කෙසේද?
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට අයත් පුස්තකාලය සහ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය මහජනයා සඳහා විවෘත වුණේ 1759දීය. මෙම ආයතන දෙකම එකම ගොඩනැඟිල්ලක් යටතට ගෙන එනු ලැබූ අතර එහි ගොඩනැඟීමේ කටයුතු 1852දී අවසන් විය. කෙසේනමුත්, 1997දී බ්‍රිතාන්‍ය පුස්තකාලය, එයට අයත් මුද්‍රිත පොත් මිලියන 12ක් පමණ, දසදහස් ගණන් අත් පිටපත් සහ ලෝහ තහඩුවල කෙටූ මුද්‍රා සමඟ වෙනම ගොඩනැඟිල්ලකට මාරු කරන ලදි. මේ නිසා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඉඩ ප්‍රමාණය වැඩි වූ අතර අවුරුදු 150ක පමණ කාලයක් නෙත නොගැටුණු මැද මිදුල දැන් මහජනයා සඳහා විවෘත වී තිබේ.
කලින් පුස්තකාලයෙන් වැසී තිබූ සුවිසල් මිදුලෙහි වඩාත් සිත්ගන්නාසුලු කොටස වන්නේ අර්ධ ගෝලාකාර මුදුනක් සහිත කියවීම් ශාලාවයි. මෙම කියවීම් ශාලාව 1857දී විවෘත වුණු අතර එය රටේ සිව් කොනින් ආ පර්යේෂකයන්ට දැනුම ලබාගත හැකි කදිම ස්ථානයක් විය. මෙම නිස්කලංක වටිනා පුස්තකාලයෙන් ප්‍රයෝජන ලබාගත් සමහරු නම් මහත්මා ගාන්ධි, චාල්ස් ඩාවින් හා කාල් මාක්ස් වැනි ප්‍රභූවරුන්ය. මෙය පළමුවෙනි වතාවට මහජනයා සඳහා විවෘත කර ඇති අතර මෙම කියවීම් ශාලාවේ කෞතුකාගාරයට අයත් පොත් 25,000ක එකතුවක් දක්නට තිබේ.
ඓතිහාසික වටිනාකමෙන් යුත් මෙම කියවීම් ශාලාව දැන් ප්‍රකෘතිමත් කර තිබේ. කියවීම් ශාලාව ඇතුළු සුවිසල් මිදුල ටොන් 800ක් බරැති සිවිලිමකින් ආවරණය වේ. එහි රාමුව වානේවලින් සාදා තිබෙන අතර ත්‍රිකෝණාකාර වීදුරු 3,312ක් සවි කර තිබේ. මෙම සෑම වීදුරු ත්‍රිකෝණයකම මිම්ම සකස් කිරීමට කොම්පියුටර් තාක්ෂණය යොදාගෙන ඇත.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ කියවීම් ශාලාවේ තාක්ෂණික දියුණුව කියාපාන කොම්පියුටර් පහසුකම්ද එක් කර තිබේ. ලන්ඩනයේ ද ටයිම්ස් සඟරාවේ මෙය හඳුන්වනු ලැබුවේ සම්භාව්‍ය කලා නිර්මාණයක් වශයෙනි. මෙම කියමන සත්‍යයක් බව නරඹන්නෝ එකහෙළා පිළිගනිති.
[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
මැද ඉහළ සහ පහළ: Copyright The British Museum; අනිත් සියල්ල: Copyright Nigel Young/The British Museum