ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sg 17 පාඩම 49-52 පි.
  • ලියුම් ලිවිය යුතු අයුරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලියුම් ලිවිය යුතු අයුරු
  • දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • සමාන තොරතුරු
  • ලිපි මාර්ගයෙන් අදහස් හුවමාරුව
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සේවයේ දක්ෂ වීමට - අර්ථවත් විදිහට ලියුම් ලියන්න
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
sg 17 පාඩම 49-52 පි.

17 පාඩම

ලියුම් ලිවිය යුතු අයුරු

1, 2. ලියුම්වලට ඉටු කළ හැකි හොඳ අරමුණු මොනවා ද?

1 මුල් ක්‍රිස්තියානි සභාව තුළ විවිධ ආකාරවලින් ලියුම් උපයෝගි කර ගන්නා ලදි. සභා සමඟ සම්බන්ධකම් පැවැත්වීමට ඒවා මාධ්‍යයක් විය. (පිලි. 1:1) විශේෂ පැවරුම් භාර ගත් අය ධෛර්යවත් කිරීමට ඒවා යොදා ගන්නා ලදි. (2 තිමෝ. 1:1, 2, 6) මෑත කාලයේ දී ඇදහිලිවන්තයන් වූ අය ව හෝ අමාරුකම්වලට මුහුණ දුන් අය ව ලියුම් මගින් වර්ධනය කරන ලදි. (1 තෙස. 1:1-7; 3:1-7) එමෙන් ම, මුල් ක්‍රිස්තියානිවරු ස්වාමීන් වහන්සේගේ සේවය තුළ තමන්ට සමීප වූවන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට ලියුම් භාවිතා කළහ.—3 යොහන් 1, 14.

2 අද සිටින දේව සේවකයන්ට ලියුම් ලිවීමට බොහෝ හේතු තිබෙන අතර, එවැනි ලියුම් මගින් විශාල යහපතක් ඉටු කළ හැක. සමහර අවස්ථාවල දී, ව්‍යාපාරික ලියුම් අවශ්‍ය විය හැක. රාජ්‍යය සේවය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට ලිවීමට අවශ්‍යතා එළඹිය හැක. තට්ටු නිවෙස්වල පදිංචිකරුවන්ට මෙන් ම, හුදෙකලා ප්‍රදේශවල වසන අයට බොහෝ විට “ශුභාරංචිය” ඉදිරිපත් කළ හැක්කේ ලියුම් මගින් පමණ ය. ඔබේ සභාවේ සමහර ප්‍රචාරකයන් වෙනත් ප්‍රදේශයකට ගොස් සිටින විට හෝ නෑදෑයන් සෑහෙන ඈත ප්‍රදේශවල වාසය කරන විට, එවැන්නන්ට ලියුම් මාර්ගයෙන් ඔබේ ප්‍රේමනීය සැලකිල්ල පෙන්විය හැක. එමෙන් ම, ඔබේ ස්තුතිය හෝ ශෝකය ලියුමක් මාර්ගයෙන් දන්වා යවන අවස්ථා ද ඇත.

3. අපේ සේවයට ගැළපීමට නම් අපේ ලියුම්වලට තිබිය යුතු ලක්ෂණ මොනවා ද?

3 අපේ ලියුම් අප දෙවියන් වහන්සේගෙන් ලත් මෙහෙයට ගැළපෙන ඒවා විය යුතු ය. ඒවා මිත්‍රශීලී, උපායශීලී විය යුතු අතර, ඒවා කියවන අය සඳහා ප්‍රේමනීය සැලකිල්ල දැක්විය යුතු ය. පාඨකයා කාන්සාවට පත් කරවන, ඇදහිල්ල බිඳ දමන, ඍණ දෝෂාරෝපණ වෙනුවට ඒවා වර්ධනාත්මක සහ ඒකාන්ත විය යුතු ය. “ප්‍රේමය වැඩ සිද්ධ කරයි” යනුවෙන් දේව වචනය පවසයි. (1 කොරි. 8:1) ලියුමක සමස්ත පෙනුම සහ එය දෙන හැඟීම ගැන ද සැලකිලිමත් වන්න. පිරිසිදුකම සඳහා ලියුමේ කෙළවර සහ පහළ තීර එක සමාන ව පවත්වා ගැනීම උපකාරයකි. තීන්ත පැල්ලම් හොඳ හැඟීමක් ඇති නොකරයි. නිවැරදි අක්ෂර වින්‍යාසය සහ වාක්‍ය රටා ගැන ද අවධානය යොමු කළ යුතු ය. එහෙත්, මේ කරුණු සම්බන්ධයෙන් ඔබට දක්ෂතාවයක් නැත්නම්, ඒ නිසා, ලියුම් ලිවීමට අධෛර්යවත් නොවන්න. උණුසුම, උනන්දුව සහ උද්‍යෝගය, අකුරු සහ වාක්‍ය දෝෂ වැනි අඩු පාඩු මැකීමට සමත් ය. එහෙත්, හොඳ ශබ්දකෝෂයක් භාවිතා කිරීමෙන් අක්ෂර වින්‍යාසය දියුණු කළ හැකි අතර, වෙනත් අය වචන සහ වාක්‍ය ඛණ්ඩ එකතු කරන ආකාරය ගැන සැලකිලිමත් වීමෙන්, අපට අපේ වාක්‍ය රටා දියුණු කර ගත හැක. මෙම කරුණු සිතේ තබා ගෙන අපි අපේ සේවය සම්බන්ධයෙන් අපට ලිවීමට සිදු වන විවිධ ලියුම් වර්ග ගැන දැන් සියුම් ලෙස පරීක්ෂා කර බලමු.

4. ව්‍යාපාරික ලියුමක ආකෘතිය කෙටියෙන් දක්වන්න.

4 ව්‍යාපාර ලිපි. ඔබ ව්‍යාපාර ලිපියක් ලියන විට ඔබේ නම, ලිපිනය සහ දිනය ලිපියේ ඉහළ කොටසේ සඳහන් කිරීම සුදුසු ය. ශීර්ෂය නමින් හඳුන්වනු ලබන මෙය කඩදාසියේ දකුණු පැත්තේ ලියනු ලැබේ. (සභාව සම්බන්ධයෙන් වොච් ටවර් සමිතියට ලියන විට එම ලියුම සභාවේ කාරණාවලට සම්බන්ධ නම්, ඔබේ සභාවේ නම ද සඳහන් විය යුතු ය.) “අභ්‍යන්තර ලිපිනය” කඩදාසියේ වම් පැත්තේ ශීර්ෂයට මදක් පහළින් ලියනු ලැබේ. මෙහි දී ඔබ ලියන සමාගමේ හෝ පුද්ගලයාගේ නම සහ ලිපිනය සඳහන් කරනු ලැබේ. ඊළඟට ඇත්තේ ආමන්ත්‍රණයයි. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් නොවන සමාගම් සහ පුද්ගලයන්ට ලියන විට, “මහත්මයාණෙනි” “මහත්වරුනි” “—මහතා වෙතටයි” ආදි ආමන්ත්‍රණ සුදුසු ය. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට හෝ අපගේ සංවිධානයට ලියන විට, “ප්‍රිය සහෝදරවරුනි” හෝ “ප්‍රිය සහෝදර—වෙතටයි” ආදි ආමන්ත්‍රණ පාවිච්චි කිරීම සිරිත ය. අවසාන වශයෙන් “මීට හිතවත්” හෝ “මීට විශ්වාසි” වැනි අවසන් පාඨයක් යොදනු ලැබේ. යෙහෝවඃ වහන්සේගේ සංවිධානය තුළ සිටින අයට, ලියන විට, “ඔබේ සහෝදර” හෝ “ඔබේ සහෝදර සේවක” ආදි යෙදුම් සුදුසු ය. පිටුවේ මැදින් පටන් ගන්නා මෙම අවසන් පාඨයට පසු කොමාවක් යොදන්න. ඊට කෙළින් ම යටින් ඔබේ නම අත්සන් කරන්න. සභාව ගැන හෝ චාරිකාව ගැන සංවිධානයට ලියන විට, “මුලසුන අවේක්ෂක” හෝ “චාරිකා අවේක්ෂක” යනුවෙන් තමාගේ තනතුර අත්සනට යටින් ලේඛකයා සඳහන් කරනු ඇත.

5, 6. ලිපියේ මුලින් සඳහන් කළ යුත්තේ මොනවා ද, තව ද සාමාන්‍යයෙන් අනුග්‍රහාත්මක ප්‍රතිචාරයක් ගෙන දීමට උපකාර කරන්නේ මොනවා ද?

5 ඔබේ ලිපියේ ආරම්භයේ දී ම එහි අරමුණ සඳහන් කරන්න. එවිට ලිපිය ලබන්නා ඔබ ලියන හේතුව වහා ම දැනගන්නවා ඇත. ඔබගේ ලිපිය කලින් ලිපියකට සම්බන්ධ නම්, එම ලිපිය හා එහි මාතෘකාව සඳහන් කිරීම සුදුසු වනු ඇත. එමෙන් ම, ඔබේ ලිපි හුවමාරුව අංශ බොහෝ ගණනක් ඇති විශාල සංවිධානයක් සමඟ නම්, එම සංවිධානයෙන් ඔබ ලැබූ අවසාන ලිපියේ සඳහන් හඳුනා ගැනීමේ සංකේත යනාදිය දැක්වීම ද උපකාරයකි. ඔබේ ලිපිය කලින් ලිපියකට සම්බන්ධ නම්, එම ලිපිය හා එහි මාතෘකාව සඳහන් කිරීම සුදුසු වනු ඇත. ලිපියේ ශරීරය සම්බන්ධයෙන් එක් එක් සුවිශේෂ කාරණයක් හෝ අදහසක් සඳහා වෙන වෙන ම ඡේද යොදා ගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැක. ඔබේ ලිපියේ විවිධ කරුණු පැහැදිලි ලෙස කැපී පෙනෙන්නට සැලැස්වීමෙන් හොඳ සේවයක් ලබා ගත හැක. ඔබේ ලිපියේ කොටසක් ව්‍යාපාරික කටයුතු සහ කොටසක් සාමාන්‍ය කටයුතු ගැන නම්, ව්‍යාපාරික කරුණු ප්‍රථමයෙන් සඳහන් කිරීම වඩා හොඳ ය.

6 ලියුම් ලිවීමේ දී සංක්ෂිප්ත භාවය වටිනා කරුණකි, නමුත් ඔබ ඉදිරිපත් කිරීමට අවශ්‍ය කරුණු පැහැදිලි එමෙන් ම සම්පූර්ණ විය යුතු ය. එහෙත් අනවශ්‍ය වචන සහ එක ම දේ නැවත කීම කපා හළ විට ඔබේ ලියුම වඩා කාර්ය සාධක වනු ඇත. මාතෘකාවට අදාළ නොවන කරුණු ඉවත් කිරීමෙන් ඔබේ ලිපියේ අරමුණ වඩා පැහැදිලි වනු ඇත. එමෙන් ම, අන් අය දරන ප්‍රයත්නය ඔබ අවංක ව අගය කරන බව සඳහන් කිරීම සුදුසු ය. යම් ගැටලුවක් ගැන සඳහන් කරන ව්‍යාපාරික ලිපියක වුවද “ඒ සුවිශේෂ කාරණය සම්බන්ධයෙන් මා වෙනුවෙන් ඔබේ මැදිහත්වීම (හෝ ඔබට කළ හැකි දෙය) මම අගය කරමි” යනාදි වශයෙන් සඳහන් කිරීමෙන් හොඳ ප්‍රතිචාරයක් ලබා ගත හැක.

7-9. සාක්ෂි දැරීම සඳහා ලියන ලියුමක අඩංගු කළ හැක්කේ මොනවා ද?

7 සාක්ෂියක් දැරීම සඳහා. රාජ්‍යය පිළිබඳ පණිවුඩය දේශනා කිරීම සඳහා ද ලියුම් වටිනා මාධ්‍යයක් බව ඔප්පු වී ඇත. සමහර ප්‍රදේශවල නිදහසේ දේශනා කළ නොහැකි තට්ටු නිවාස සහ නේවාසික හෝටල් තිබේ. එහෙත්, ඒවායේ පදිංචිකරුවන්ට ලියුම් ලිවීමට අපට පුළුවන. එමෙන් ම, බොහෝ විට, නිවෙස්වල නැති අයට ද ගෙයින්-ගෙට සේවයේ මුණ නොගැසෙන අයට ද ලියුම් ලිවිය හැක. එමෙන් ම, නිවසට කොටු වී සිටින ප්‍රචාරකයෙකු විසින් අන් අය සමඟ රාජ්‍යය ශුභාරංචිය බෙදා ගත හැකි එක ම මාධ්‍යය, ලියුම් ය.

8 දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන සාක්ෂි දරමින් ලියුමක් ලියන විට, මුලින් ම ඔබ ව හඳුන්වා දීම වඩා හොඳ ය. එම පුද්ගලයා මුණ ගැසෙන්නට යනවා වෙනුවට ලියුමක් ලිවීමට තීරණය කළේ ඇයි ද කියා සඳහන් කිරීමට ද ඔබට අවශ්‍ය වනු ඇත. ඔබේ උනන්දුව ගැන ලියුම ලබන්නා තුළ හොඳ හැඟීමක් ඇති වේ. ඉන් පසු ඔබ ව ඔහු පෞද්ගලික ව මුණ ගැසීමට අවශ්‍ය කළ දෙය සඳහන් කරන්න. දිව්‍යාණ්ඩු සේවා පාසලේ දී ඔබ ඉගෙන ගන්නා මූල ධර්මවලට අනුව ක්‍රියා කරනවා නම් මෙය දුෂ්කර කරුණක් නොවනු ඇත. මෑතක දී පළ වූ අපගේ රාජ්‍යය සේවාවක ශුද්ධ ලියවිලි ඉදිරිපත් කිරීමක් හෝ මුරටැඹ හෝ පිබිදෙව්! සඟරාවල ලිපියක හෝ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොතෙහි කොටසක සාරාංශයක් ඔබේ වචනවලින් ඉදිරිපත් කළ හැක. ඔබේ ලිපිය සමඟ පත්‍රිකාවක්, සඟරාවක් හෝ පොත් පිංචක් යවා එය කියවන ලෙස පුද්ගලයා ව දිරිගැන්විය හැක. මෙම තොරතුරු මෙතරම් වැදගත් වන්නේ ඇයි දැයි පැහැදිලි කරන්න. ඔබ ගෙයින්-ගෙට සේවයේ දී කරන ආකාරයට ම තමාගේ ම බයිබලයෙන් ශුද්ධ ලියවිලි පද හරවා බලන ලෙස ඔබේ ලිපි ලාභියා ව දිරිගන්වන්න. ඉන් පසු, ඔබ ඔහු තුළ පුබුදු කළ උනන්දුව වර්ධනය කිරීම සඳහා ඔහුට ඔබ ව මුණ ගැසීමට සලස්වන්න කියා ආරාධනය කරන්න. ඔබට ස්තුති කිරීමට හෝ මුරටැඹ හෝ පිබිදෙව්! සඟරාවට දායක වීමට ඔහු කැමති නම්, ඒ ගැන ඔබට ලියා දැන්වීමට ඔහුට පහසු වන ආකාරයට ඔබේ නම සහ ලිපිනය පැහැදිලි ලෙස සඳහන් කරන්න.

9 ලියුම් කවරයේ පිට පැත්තේ ඔබේ නම සහ ලිපිනය සඳහන් කිරීමට අමතක නොකරන්න. විශේෂයෙන් ම ඔබ පොත් පත් යනාදිය ඇතුළත් කර ඇත්නම්, නිවැරදි තැපැල් ගාස්තුව ගෙවීමට වග බලා ගන්න. ඔබේ තැපැල් ගාස්තුවේ ඌනතාවයක් ඇත්නම්, ඉතිරිය නිවැසියාගෙන් අය කර ගැනීමට ඉඩ තිබේ, මෙය හොඳ සාක්ෂියක් දැරීමට ඔබ දරන ප්‍රයත්නයට බාධාවක් විය හැකි ය.

10, 11. පවුලේ අයට සහ හිත මිතුරන්ට ලියුම් ලිවීම ප්‍රයෝජනවත් වන්නේ මන්ද, තව ද ඒවායේ අඩංගු විය හැකි කරුණු මොනවා ද?

10 පවුලේ සාමාජිකයන්ට සහ හිත මිතුරන්ට. අපගේ එදිනෙදා ජීවිතයේ ඉතාමත් වැදගත් යයි සලකන දේවල් සඳහා අපි අවධානය යොමු කරන්නෙමු. එහෙත් අපේ නෑදෑයන් සහ හිත මිතුරන් සමඟ ලියුම් මගින් සම්බන්ධතා පවත්වා ගෙන යාමට අපි කාලය මිඩංගු කරන්නෙමු ද? දෙමව්පියන් තම දරුවන්ගෙන් ලැබෙන ලිපි බොහෝ සේ අගය කරන අතර, දරුවෝ තම දෙමව්පියන් විසින් ලියන ලද ලිපිවලින් ප්‍රයෝජන ලබති. වෙන වෙන ම දුර ප්‍රදේශවල වාසය කළත් ලියුම් මගින් “සංවාදයේ යෙදීමෙන්” පවුලේ සමගිය වර්ධනය වනු ඇත. ඔබ පෑනෙන් හෝ යතුරු ලියනයෙන් ලියන ලද ඔබේ ශුභ සිද්ධිය සඳහන් ප්‍රීතිමත් ආරංචි සහිත ලිපියක් ලැබීමෙන් ඔබේ නෑදෑ හිතවතුන් වර්ධනය වනු ඇත. ඔබට එය සැක සහිත ද? එසේ නම්, ඔබේ අද්දැකීම ගැන සිතා බලන්න. ප්‍රිය උපදවන දේවල් අල්පයක් අනර්ඝ ලියුමකට සෑහේ. සාමාන්‍යයෙන් ලියුමක් ප්‍රසන්න ප්‍රීතියක් උපදවයි. යම් කෙනෙකුට ඔබ ව මතක්වීම ගැන ඔබ සන්තෝෂ වනවා නොවේ ද? ක්‍රිස්තියානින්ගේ කැපී පෙනෙන ගුණාංගය නම් ඔවුන් එකිනෙකාට දක්වන ප්‍රේමය බව මතක තබා ගන්න; මෙය පෙන්නුම් කළ හැකි එක් ක්‍රමයක් නම් ඈතින් වසන අය සමඟ පවා සම්බන්ධකම් පැවැත්වීම ය.

11 එහෙත් ඔබ ලියන්නට යන්නේ කුමක් ගැන ද? උනන්දුවක් ගෙන දෙන අද්දැකීම්වලින් ඔබ ආස්වාදයක් ලබනවා ද? ඔබ ආස්වාදය ලබන අද්දැකීම් සාමාන්‍යයෙන් අන් අයට ද ආස්වාදයක් වනු ඇත. එය ඔබ ක්ෂේත්‍ර සේවයේ දී ලත් අද්දැකීමක් විය හැක. එසේ නැත්නම්, වෙනත් අයගෙන් ඔබ ඇසූ අද්දැකීමක් විය හැක. (නමුත් විශ්වාසය ගැන සැකයක් ඇති ඒවා ප්‍රචාරය කිරීම නුවණට හුරු නැත.) සමහර අවස්ථාවල දී, ඔබ ලියන තැනැත්තා සහ ඔබ එකට අත් දුටු ප්‍රසන්න අද්දැකීම් ගැන සිහි කිරීමට ඔබ කැමති විය හැක. මෙය මිතුරන් වඩා සමීප කරයි. ඔබ උගත් අලුත් දේවල් ගැන ද ඔබට ලිවිය හැක. එමෙන් ම, ළඟ දී ඔබ පෞද්ගලික ව කළ දේවල්, නැරඹීමට ගිය තැන් යනාදිය ද ඔබේ මිතුරන් තුළ උනන්දුව ඇති කරවයි. ඔබගේ ලිපි ලාභියා අසනීපයෙන් ද? ඔහු දිරිගන්වන්න. ඔහුට ඔබේ සැලකිල්ල පෙන්වන අතර, ඔහුගේ ඉක්මන් සුවය ගැන ඔබේ බලාපොරොත්තුව ප්‍රකාශ කරන්න. සභා රැස්වීමක දී සිදු වූ විශේෂ දෙයක්, එනම්, අසනීප තැනැත්තාට ධෛර්යයක් වන හෝ ඔහුගේ දවස දීප්තිමත් කරවන සිද්ධියක් ගැන ද ඔබට ලිවිය හැක. ලිවීමට තිබෙන දේවල් සම්බන්ධයෙන් මෑත කාලයේ දී සිදු වූ දේවල් ගැන හෝ ඔබ කල්පනා කළ දේවල් ගැන මතක තබා ගැනීම අසීරු දෙයක් නම්, ඒවා ඔබට මතක් වන විට මතක සටහන් පොතක ඒවා ලියා නොතබන්නේ මන්ද? එවිට, ඔබ ලිවීමට වාඩි වූ විට, ඔබට අවශ්‍ය තොරතුරු ඔබේ අත ළඟ තිබෙනු ඇත.

12, 13. ලියුම් අන්‍යයන් ව සත්‍යය මාර්ගය තුළ ධෛර්යවත් කරන්නේ කෙසේ ද?

12 එමෙන් ම, ලිවීමට යමක් ගැන කථා කරන විට සත්‍යය මාර්ගයෙහි යමෙක් දිරිගන්වනවාට වඩා ලිපියක සඳහන් කළ හැකි වඩා වටිනා යම් දෙයක් ගැන ඔබට කල්පනා කළ හැකි ද? සමහර විට, ඔබ සමඟ බයිබලය පාඩම් කළ කෙනෙක් වෙනත් නගරයක පදිංචියට ගොස් ඇත. ඔහු ගැන ඔබේ පෞද්ගලික උනන්දුව දක්වමින් සහ ඔහු ව ධෛර්යවත් කරමින් ඔබ විසින් ලියන ලද ලිපිය සත්‍යය පිළිබඳ ඔහුගේ උනන්දුව ප්‍රාණවත් ව තබා ගැනීමට උදව් නොවන්නේ ද? එමෙන් ම, නිවසෙන් බැහැර ව සිටින පුතෙක් හෝ දුවක් යෙහෝවඃ වහන්සේට අවුරුදු ගණනාවක් මුළුල්ලේ තම දෙමව්පියන් දක්වන ඇදහිල්ල සහ දරුවන් යෙහෝවඃ වහන්සේගේ මාර්ග අගය කිරීමට පුහුණු කිරීම ගැන ඔහුගේ කෘතඥතාවය පළ කරන විට, එය දෙමව්පියන්ට කොතරම් ප්‍රීතියක් ද? මීට අමතර ව, සාක්ෂි දැරීමට විශේෂ අවශ්‍යතා ඇති ප්‍රදේශවල සේවය කිරීමට ගොස් සිටින අය හෝ ධර්ම දූත සේවයේ යෙදී සිටින අය හෝ බෙතෙල් සේවකයන් ගැන හෝ කුමක් කිව හැකි ද? ඔවුහු යෙහෝවඃ වහන්සේට කරන විශ්වාසවන්ත සේවය ගැන ප්‍රශංසා කරමින් ලියන ලද ලිපි ඔවුන්ට මොනතරම් ධෛර්යයක් ද! (විනි. 11:40) ඇරත්, ඔහු කලින් ආශ්‍රය කළ සභාවේ සිදු වන දේවල් ගැන ප්‍රවෘත්ති අඩංගු ලිපි ඔවුන් අගය කරනු ඇත.

13 නිතර ම ඔබ ගැන ම පමණක් අවධානය යොමු නොකිරීමෙන් ඔබගේ ලියුම්වල ගුණාත්මක භාවය දියුණු කරන්න. ඔහුගේ සැප දුක්, ඔහුගේ සැලසුම්, ඔහු කලින් ලියූ කාරණා සිදු වූ ආකාරය, පොදුවේ සිටින මිතුරන් සහ ඔහු බයිබලය පාඩම් කරන අයගේ ප්‍රගතිය පිළිබඳ ප්‍රශ්න ඇතුළත් කිරීමෙන් ලියන තැනැත්තා කෙරෙහි ඔබගේ උනන්දුව දක්වන්න. එසේ දක්වන උනන්දුව සුව දායක වර්ධනාත්මක ප්‍රතිඵලයක් ඇති කරන අතර, තව තවත් ප්‍රවෘත්ති හුවමාරු කිරීමට ප්‍රබෝධයක් ඇති කරයි.

14, 15. ඔබේ ලියුමේ අවසානය අර්ථවත් කිරීම සඳහා කළ හැක්කේ කුමක් ද?

14 ඔබ ලිපිය ලියූ පසු එය අවසන් කරන්නේ කෙසේ ද? ඇත්ත වශයෙන් ම, අර්ථවත් අවසානයක් අවශ්‍ය ය. “මට ලියන්න වෙන ඉඩ නැති නිසා දැන් මම මේ ලිපිය අවසන් කළ යුතුයි” යනුවෙන් පමණක් අප කියනවා නම් එය ලේඛකයා ගැන හොඳ හැඟීමක් ඇති නොකරයි. මීට වඩා අර්ථවත් දෙයක් ගැන නොසිතන්නේ මන්ද? තමාගේ ලියුම් අවසන් කිරීමට උනන්දු ඇති කරවන විවිධ විධි බොහොමයක් ප්‍රේරිත පාවුල් යොදා ගත්තේ ය. නිදසුනක් හැටියට, “සහෝදරයෙනි, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලාගේ ආත්මයන් සමඟ වේවා.” (ගලා. 6:18; 2 කොරි. 13:14) ප්‍රේරිත යොහන් තමාගේ එක් ලිපියක් මෙසේ නිම කළේ ය: “නුඹට සමාදානය වේවා. අපේ මිත්‍රයෝ නුඹට ආචාරකරති. නම් වශයෙන් මිත්‍රයන්ට ආචාරකරපන්න.” (3 යොහන් 14) ඔබේ ලිපියේ පොදු මාතෘකාවට සහ පුද්ගලයා සමඟ ඔබට ඇති සම්බන්ධතාවයට ගැළපෙන අවසානයක් යොදා ගන්න.

15 දිනෙන් දින ඔබ වටා සිදු වන දේවල් ඔබ නිරීක්ෂණය කරන්නේ නම්, ලියුම් ලිවීම අපහසු කාර්යක් නොවනු ඇත. බයිබල් අනාවැකි සම්පූර්ණ කරවන බොහෝ දේවල් සිදු වෙමින් පවතී. මෙම පරණ පිළිවෙළත් එහි ආගමික අංශයත් සීඝ්‍රයෙන් නරක අතට හැරෙමින් පවතී. එහෙත් යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාදය නිසා උන් වහන්සේගේ සේවය මහත් ආශ්චර්යවත් අන්දමින් දියුණු වෙයි. ඔබේ ප්‍රදේශයේ දිව්‍යාණ්ඩු වර්ධනය ගැන ඇසීමෙන් ඔබේ සහෝදරයෝ ප්‍රීතියට පත් වෙති. ඔබ කවරෙක් වුවත්, ඔබේ උණුසුම් පෞද්ගලික උනන්දුව ලියුමක් මගින් ලැබීමෙන් සන්තෝෂවත් වන බොහෝ අය සිටිති. එබැවින් අන් අය ගැන දක්වන මෙම සැලකිල්ල ඇත්ත වශයෙන් ම අපේ සේවයේ කොටසකි, ඒ නිසා අප කොතරම් ඈතින් සිටියත් අපේ සහෝදර ප්‍රේමය නැති නොවිය යුතු ය. ඇත්ත වශයෙන් ම, ලියුමක් ලිවීමෙන් එය තර කළ හැක.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න