ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fl 1 පරි. 4-10 පි.
  • පවුල් සන්තෝෂයට රහස සොයා ගැනීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුල් සන්තෝෂයට රහස සොයා ගැනීම
  • ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පවුල් විධිවිධානයට ඉතිහාසය අනුබල දෙයි
  • පවුල් විධිවිධානය කෙරෙහි දෙවියන් වහන්සේගේ උනන්දුව
  • අප මුහුණ දිය යුතු ප්‍රශ්න
  • පවුලේ සන්තෝෂයට රහසක් තිබේද?
    පවුලේ සන්තෝෂයට රහස
  • සදාකාල අනාගතයක් සඳහා පවුලක් වශයෙන් ගොඩනැංවීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • පවුල මිනිස් අවශ්‍යතාවක්!
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පවුල් ජීවිතය භුක්ති විඳින්න
    පවුල් ජීවිතය භුක්ති විඳින්න
තව තොරතුරු
ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
fl 1 පරි. 4-10 පි.

පරිච්ඡේද 1

පවුල් සන්තෝෂයට රහස සොයා ගැනීම

1, 2. යහපත් පවුල් ජීවිතයකට සැපයිය හැක්කේ කුමන කදිම දේවල් ද? එබැවින් කුමන ප්‍රශ්න පැන නැගිය හැකි ද?

සන්තෝෂය සඳහා බොහෝ මානුෂික අවශ්‍යතා පවුල් කවය තුළ සපුරා ගත හැක. අප කවුරුත් සාමාන්‍යයෙන් පුල පුලා බලාසිටින දේවල්, එනම්: අවශ්‍ය කරන බවට හැඟීයාම, අගය ලැබීම, ප්‍රේමය ලැබීම, අපට එහි සොයා ගත හැක. උණුසුම් පවුල් සම්බන්ධතාවයකට මෙම අභිලාෂයන් පුදුමාකාර අන්දමින් සපුරාලීමට පුළුවන. එයට විශ්වාසය, අවබෝධය සහ අනුකම්පාව සහිත වාතාවරණයක් ඇති කළ හැක. එවිට බාහිර කරදරවලින් සහ ආරවුල්වලින් තොර සැබෑ ක්ෂේම භූමියක් බවට නිවස පත්වේ. දරුවන්ට සුරක්ෂිතකමක් හැඟිය හැකි අතර, ඔවුන්ගේ පුද්ගලිකත්වයන් හා සම්බන්ධ හැකියාවන් ඒවායේ උපරිමය දක්වා විකසිත වීමට හැකි වෙයි.

2 අප විසින් දැකීමට ආශා කරන පවුල් ජීවිතය මෙයයි. එහෙත් මේ කිසිවක් ඉබේට ම සිදු වන්නේ නැත. එය අත්කර ගත හැක්කේ කෙසේ ද? අද දින ලෝකයේ බොහෝ ප්‍රදේශවල පවුල් ජීවිතය එතරම් ගැඹුරු කරදරයකට වැටී ඇත්තේ මක්නිසා ද? විවාහයේ සන්තෝෂය සහ විවාහයේ දුක්ඛිත භාවය අතර ද, උණුසුම්, එක්සත් පවුලක් සහ උදාසීන, භේදකාරී පවුලක් අතර ද පවත්නා වෙනසේ රහස කුමක් ද?

3. පවුලේ වැදගත්කම පිළිබඳ ව ඓතිහාසික කාරණා කුමක් එළිදරව් කරයි ද?

3 ඔබගේ පවුලේ ශුභ සිද්ධිය සහ සාර්ථකකම සඳහා ඔබට දැඩි සැලකිල්ලක් තිබේ නම්, එය හොඳ හේතුවක් ඇතුව ය. පවුල් විධිවිධානයේ වැදගත්කම විස්තර කරමින්, ද ව’ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා (1973) මෙසේ පවසයි:

“පවුල වනාහි පැරණිතම මනුෂ්‍ය ආයතනයයි. බොහෝ ආකාරවලින් අති වැදගත් වන්නේ එයයි. සමාජයේ වඩා මූලික ඒකකය එයයි. පවුල් ජීවිතය ශක්තිමත් ව හෝ දුර්වල ව තිබුණා ද, නැද්ද යන්න මත, සම්පූර්ණ ශිෂ්ටාචාරයන් පැවතී හෝ නැති වී ගොස් තිබේ.”

4, 5. බොහෝ පවුල් තුළ ඔබට දැකීමට හැකි වී තිබෙන්නේ කුමන නුසුදුසු ආකල්පයන් ද?

4 එහෙත්, ප්‍රේමයෙන් ශක්තිමත් වූ බැමිවලින් එකට එක සමීප වූ බන්ධනයක් ඇති පවුල් අද දින කොපමණක් තිබේ ද? කරුණාවන්තකම, කළගුණ සැලකීම සහ ත්‍යාගශීලීකමේ අන්‍යෝන්‍ය ප්‍රකාශනයන් ගෙනෙන්නා වූ උණුසුම් භාවය කොපමණ දෙනෙක් සතුටින් භුක්ති විඳිත් ද? “ගැනීමට වඩා දීම සන්තෝෂ දායක ය,” යන කියමනේ සත්‍යතාවය කොපමණ දෙනෙක් ඉගෙන ගෙන තිබේ ද?

5 අද දින ඉතා වෙනස් ස්වභාවයක් පොළොව පුරා පැතිරෙමින් පවතියි. බටහිර ලෝකයේ මෙය ප්‍රමුඛ ව ඇතත්, පවුල් ජීවිතය සම්ප්‍රදායානුකූල ව තරමක් ස්ථාවර ව පවතින පෙරදිගට සහ වෙනත් ස්ථානවලට ද එය අවතීර්ණ වෙමින් පවතී. වර්තමාන දෘෂ්ටීන්වලට මේවා ඇතුළත් ව තිබේ: ‘ඔබට කැමති දෙය කරන්න, අන්‍යයන් තම තමන් ව ම බලාගනිත්වා.’ ‘හික්මවීම යල් පැන ඇත; තමන්ගේ ම ක්‍රියා මාර්ගය තෝරා ගැනීමට දරුවන්ට ඉඩ හරින්න.’ ‘හරි හෝ වැරදි දෙය ගැන කිසි ම විනිශ්චයක් නොකරන්න.’ වඩ වඩාත් රටවල, දික්කසාදය, බාල අපචාරිකම සහ වැඩිහිටි දුරාචාරය භය උපදවන මට්ටමකින් ඉහළ නගිමින් පවතී. මනෝවිද්‍යාඥයෝ, මනෝචිකිත්සකයෝ, පූජකයෝ සහ වෙනත් උපදේශකයෝ උපදෙස් දෙති. එහෙත් පවුලේ එක්සත්කම ප්‍රතිශක්තිමත් කරනවා වෙනුවට බොහෝ උපදේශකවරු අතෘප්තිමත්කමින් මිදීමේ මාධ්‍යයක් වශයෙන් දුරාචාරයට ඉඩ හරිති; නැතහොත් එය සුදුසු යයි නිර්දේශ කරති. මේ සියලු නරක අස්වැන්නෙන් පහත සඳහන් කියමන තහවුරු වේ: “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපාගන්නේය.”

පවුල් විධිවිධානයට ඉතිහාසය අනුබල දෙයි

6. පුරාණ ග්‍රීසිය සහ රෝමය තුළ සිදු වූ දෙයින් පවුලේ වැදගත්කම හුවා දක්වන්නේ කෙසේ ද?

6 පවුලේ වැදගත්කම ගැන උගන් වන ඓතිහාසික පාඩම්වලට බැරෑරුම් ලෙස අවධානය යොමු කිරීම සුදුසු වේ. ද ස්ටෝරි ඔෆ් සිවිලයිසේෂන් යන පොතේ IIවන කොටසෙහි, පුරාණ ග්‍රීසිය තුළ පවුලේ බිඳ වැටීම පිළිබඳ ව, ඉතිහාසඥයෙක් වූ විල් ඩියුරන්ට් විස්තර කරයි. ඊළඟට ඔහු මෙසේ පවසයි: “රෝමය විසින් ග්‍රීසිය පරාජය කරනු ලැබීමට ප්‍රධාන හේතුව වූයේ ග්‍රීක් ශිෂ්ටාචාරය තුළ අභ්‍යන්තර පිරිහීමක් ඇතිවීම ය.” රෝමයේ ශක්තිය වූයේ පවුල බව ඔහු ඊළඟට පෙන්නුම් කරයි. එහෙත් ලිංගික දුරාචාරය නිසා පවුල් විධිවිධානය බිඳ වැටුණු විට අධිරාජ්‍යය පිරිහීමට පත් විය.

7. රෝම අධිරාජ්‍යය තුළ සමහරුන් යහපත් පවුල් ජීවිතයක් භුක්තිවින්ද අතර, අන්‍යයන් බරපතළ ගැටලු අත් දැක්කේ මක්නිසා ද?

7 “ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියමකිරීමට අයිති නැත,” යන පැරණි කියමන යථාර්ථයෙන් ම ඉතිහාසය තහවුරු කරයි. එහෙත් මඟ පෙන්වීම සඳහා බැලිය හැකි මනුෂ්‍ය ප්‍රඥාව ඉක්ම වූ, එහි ප්‍රතිඵලයක් වශයෙන් පවුල් ඒකකය සඵල කරන්නා වූ උල්පතක් තිබෙන බවත් එය අඟවයි. රෝම අධිරාජ්‍යය පිරිහෙමින් තිබිය දී, “යුදෙව්වන්ගේ පවුල් ජීවිතය ආදර්ශවත් විය. තව ද, ඔවුන්ගේ භක්තිවන්තකම සහ ශිෂ්ටකම නිසා කුඩා ක්‍රිස්තියානි සමාජයන්, සැපසෙල්ලමින්-උමතු වූ මිථ්‍යා දෘෂ්ටික ලෝකයට හිරිහැරයක් වූවා” යයි ඉතිහාසඥයෝ වාර්තා කරති. (ද ස්ටෝරි ඔෆ් සිවිලයිසේෂන්, IIIවන කොටස 366 පිටුව) මෙම පවුල් කැපී පෙනෙන්ට සැලැස් වූයේ කුමක් ද? ඔවුන්ට වෙනස් මඟ පෙන්වීමේ උල්පතක් වූ, බයිබලය තිබුණි. දෙවියන් වහන්සේගේ වචනය වශයෙන් එහි උපදේශය ඔවුන් යම් ප්‍රමාණයකට අදාළ කර ගත්තා ද, ඒ ප්‍රමාණයට ඔවුහු යහපත්, සාමකාමී පවුල් භුක්ති වින්දාහ. එම ප්‍රතිඵල පිරිහුණු රෝම ලෝකයට දොස් සහිත හැඟීම් ලබා දුණි.

8. පවුල් ගැටලු විසඳීමට පැමිණීමේ දී, අපගේ අවධානය බයිබලයට යොමු කිරීම සුදුසු වන්නේ මක්නිසා ද? (ගීතාවලිය 119:100-105)

8 කලින් ඡේදවල උපුටා දැක් වූ කියමන් ද බයිබලයෙන් ලබා ගත් ඒවා ය. ගැනීමට වඩා දීම සන්තෝෂ දායක ය, යන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචන ද, අප වපුරන දේ අපි කපා ගන්නෙමු, යන දේවානුභාවය ලත් ප්‍රේරිත පාවුල්ගේ කියමන ද, තමාගේ ගමන නියම කිරීම, මනුෂ්‍යයාට අයිති නැත, යන දෙවියන් වහන්සේගේ අනාගත වක්තෘවරයා වූ යෙරෙමියාගේ ප්‍රකාශය ද එම පොතෙහි අපට සොයාගත හැක. (ක්‍රියා 20:35, NW; ගලාති 6:7; යෙරෙමියා 10:23) මෙම බයිබල් ප්‍රතිපත්ති සත්‍ය බවට ඔප්පු වී තිබේ. යේසුස් වහන්සේ මෙසේ ද පැවසූ සේක: “ප්‍රඥාව ධර්මිෂ්ඨ බව එහි ක්‍රියාවලින් ඔප්පු වේ.” (මතෙව් 11:19, NW) පවුල් ගැටලු විසඳීමෙහි බයිබලයේ උපදේශය ඇත්තෙන් ම ක්‍රියාත්මක වන්නේ නම්, අපගේ ගෞරවනීය අවධානය එයට යොමු කිරීම සුදුසු නොවේ ද?

9, 10. (අ) සන්තෝෂවත් පවුල් ජීවිතයක් භුක්ති විඳීමට යමෙකුට හැකිකම ලබා දීමට උපකාරවත් යෝජනා සහ ස්වභාවික ස්නේහය ප්‍රමාණවත් නොවන්නේ මක්නිසා ද? (ආ) තවත් අවශ්‍ය වන්නේ කුමක් ද? (එළිදරව් 4:11)

9 විවාහය සහ පවුල් ජීවිතය හා සම්බන්ධ ව ඇති ප්‍රකාශනයන් දහස් ගණනක් අද දින තිබේ. බොහොමයක අඩු ම වශයෙන් යම් ප්‍රයෝජන දායක තොරතුරු තිබේ. එහෙත් පවුල් ජීවිතය පිරිහෙමින් පවතී. පවුල් කවයට දැන් තර්ජනය කරන පීඩනයන්ට විරුද්ධ ව සිටීමට ශක්තිය දෙන්නා වූ මීට වඩා යම් කිසිවක් වුවමනා කරයි. ස්වාමිපුරුෂයෙකු සහ භාර්යාවක අතර ද, දෙමව්පියන් සහ දරුවන් අතර ද ඇති ස්වභාවික ස්නේහය ශක්තිය ලබා දෙයි. එහෙත් අර්බුද කාලවල් පැමිණෙන විට බොහෝ පවුල් එකට තබා ගැනීමට මෙය පවා ප්‍රමාණවත් නොවන බව පැහැදිලි වේ. තවත් අවශ්‍ය වන්නේ කුමක් ද?

10 යමෙකුගේ විවාහකයා හෝ දරුවන් හෝ දෙමව්පියන් සඳහා අවශ්‍ය වන්නේ වගකීමේ සහ බලවත් භක්තිය සහිත හැඟීමක් තිබීම පමණක් නොවේ. ඒ සමඟ ම, “ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, සියලු පවුල්වල උල්පත වන පියාණන් වහන්සේ” ලෙස බයිබලය පවසන තැනැන් වහන්සේට ඊටත් වඩා වගකීමේ හැඟීමක් තිබීම ද අවශ්‍ය වේ. එම තැනැන් වහන්සේ වනාහි විවාහයේ සහ පවුල් ජීවිතයේ ආරම්භකයාණෝ ය. මනුෂ්‍ය වර්ගයාගේ මැවුම්කරුවාණන් වන, යෙහෝවඃ දෙවියන් වහන්සේ ය.—එපීස 3:14, 15, NW.

පවුල් විධිවිධානය කෙරෙහි දෙවියන් වහන්සේගේ උනන්දුව

11-13. පොළොව සහ මනුෂ්‍ය පවුල පිළිබඳ ව දෙවියන් වහන්සේගේ අරමුණ කුමක් ද?

11 මනුෂ්‍ය වර්ගයාගේ අවශ්‍යතාවයන් යෙහෝවඃ දෙවියන් වහන්සේ දන්නා අතර, අප සන්තෝෂයෙන් සිටිනවාට උන් වහන්සේ කැමති වන සේක. එබැවින්, පවුල් ජීවිතය ගැන උන් වහන්සේ අපට උපදෙස් දෙන සේක. එහෙත්, පවුල් සඳහා උන් වහන්සේගේ සැලකිලිමත්කමෙහි මීට වඩා ශ්‍රේෂ්ඨ අරමුණක් පිළිබිඹු කර තිබේ. ඒ අරමුණ කුමක් දැයි බයිබලය විස්තර කරයි.පොළොව අහම්බෙන් ඇති නොවූ බව එය දක්වයි. අපි අහම්බෙන් ඇති නොවූයෙමු. යෙහෝවඃ දෙවියන් වහන්සේ පොළොව මවා, එය සදහට ම පැවතීම සහ එහි සදහට ම වාසය කරනු ලැබීමට අරමුණු කළ සේක. අනාගතවක්තෘ යෙසායා මෙසේ වාර්තා කළේ ය: “එය පිහිටුවා . . . , එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවේ උන් වහන්සේ ය.”—යෙසායා 45:18, NW.

12 ස්වකීය අරමුණ ඉටු කිරීමට, දෙවියන් වහන්සේ පළමු මනුෂ්‍ය යුවළ මවා, පවුලක් ඇති කිරීමට ඔවුන්ට අණ කළ සේක: “පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක. දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට . . . ගනිව්.” (උත්පත්ති 1:27, 28) ඔවුන් ද ඔවුන්ගෙන් පැවතෙන්නන් ද උන් වහන්සේට කීකරු වීමත්, පොළොව රැක බලා ගැනීමත් උන් වහන්සේගේ අරමුණ තුළින් තවදුරටත් වුවමනා කරන ලදි. උත්පත්ති 2:15 හි සඳහන් කරන්නේ: “ස්වාමිවූ [යෙහෝවඃ NW] දෙවියන්වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචිකෙරෙවුසේක.” අන්තිමේ දී එම උයන වැනි තත්ත්වයන් මුළු පොළොව වසාලන තෙක් පුළුල් කරනු ලබනවා ඇත. පොළොව බලා ගැනීමෙන් සහ එහි සම්පත් පාවිච්චි කිරීමෙන් පොළොව පුරා සිටින මනුෂ්‍ය පවුලට අවසාන නොවන ඉගෙනීමේ ප්‍රස්තාවක් ලැබෙන අතර, තම හැකියාවන් පාවිච්චි කිරීමෙන් සෑහීමකට පත් වනු ඇත.

13 දැන් පොළොව මත මනුෂ්‍යයන් 4,00,00,00,000ටත් වැඩිය සිටින නමුත්, මෙම මනුෂ්‍ය සමූහයෝ පොළොව සඳහා යෙහෝවඃ වහන්සේගේ අරමුණ ඉටු නොකරති. බහුතරය උන් වහන්සේට කීකරු නොවන අතර, ඔවුහු පොළොව රැක බලා නොගනිති. ඒ වෙනුවට, ඔවුහු එහි වාතය, ජලය සහ පස දූෂණය කරමින්, එය විනාශ කරති. දෙවියන් වහන්සේගේ මුල් අරමුණට එකඟ ව, මේ සියල්ලක් ම නවත්වනු ලබනවා පමණක් නොව එහෙත් ‘පොළොව විනාශ කරන්නවුන් විනාශ කරන’ බවත් උන් වහන්සේ කලින් ප්‍රකාශ කළ සේක.—එළිදරව් 11:18.

අප මුහුණ දිය යුතු ප්‍රශ්න

14. පවුල් ජීවිතය පිළිබඳ දෙවියන් වහන්සේගේ අරමුණ අසාර්ථක නොවන බවට අපට නිසැක විය හැක්කේ මක්නිසා ද?

14 පොළොව සහ පවුල් ජීවිතය පිළිබඳ ව දෙවියන් වහන්සේගේ අරමුණ අසාර්ථක නොවනු ඇත. “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, . . . සඵලකරනවා ඇත,” යයි උන් වහන්සේ ප්‍රකාශ කරන සේක. (යෙසායා 55:11) දෙවියන් වහන්සේ පවුල් විධිවිධානය පිහිටුවා, එහි ක්‍රියාකාරිත්වය සඳහා උපදෙස් දුන් සේක. පවුල් ජීවිතය පිළිබඳ සැබවින් ම ඉතා වැදගත් ප්‍රශ්නවලට උන් වහන්සේගේ මඟ පෙන්වන ප්‍රතිපත්ති පිළිතුරු සපයයි. ඉන් සමහරක් ඔබ පවා මුහුණ දිය හැකි ය.

15-17. (අ) පවුල් ජීවිතය පිළිබඳ සැබෑවට ම වැදගත් ප්‍රශ්නවලින් සමහරක් ලෙස ඔබ සලකන්නේ මොනවා ද? (ආ) මෙම ප්‍රශ්නවලට සතුටු දායක පිළිතුරු සොයා ගැනීම හොඳ දෙයක් වන්නේ මක්නිසා ද?

15 උදාහරණයක් වශයෙන්: යමෙක් විවාහය සඳහා ගැළපෙන කලත්‍රයෙක් සොයා ගන්නේ කෙසේ ද? විවාහය තුළ දී, විසඳීමට දුෂ්කර ගැටලු පිළිබඳ ව එකඟත්වයකට පත් විය හැක්කේ කෙසේ ද? එක මනසකට වඩා දෙකක් හොඳ ය, එහෙත් සම්මුඛ ව සාකච්ඡා කිරීමෙන් පසු ව තීරණ ගන්නේ කවරෙක් ද? තමාගේ භාර්යාවගේ ගෞරවය ස්වාමිපුරුෂයා ලබා ගන්නේ කෙසේ ද, එමෙන් ම මෙය ඔහුට වැදගත් වන්නේ මක්නිසා ද? තම ස්වාමිපුරුෂයාගේ ප්‍රේමය භාර්යාවට අවශ්‍ය මක්නිසා ද? එය සහතික වශයෙන් ලබා ගැනීම සඳහා ඇයට කළ හැක්කේ කුමක් ද?

16 ඔබ දරුවන් සලකන්නේ කෙසේ ද? සමහරු තමාගේ තත්ත්වයේ සංකේතයක් වශයෙන්, මිල අඩු ශ්‍රමයේ උල්පතක් වශයෙන් හෝ මහලු වයසට රක්ෂණයක් වශයෙන් ඔවුන් සලකති; අන්‍යයෝ ඔවුන් තමන්ට බරක් ලෙස සලකති. එහෙත්, ඔවුන් ආශීර්වාදයක් බව බයිබලය හඳුන්වයි. ඔවුන් එසේ වනු ඇතැයි තීරණය කරන්නේ කුමක් ද? තව ද, ඔවුන්ගේ පුහුණුව පටන් ගත යුත්තේ කවදා ද? හික්ම වීම තිබිය යුතු ද? එසේ නම්, කොපමණ දුරට ද, කුමන ආකාරයේ ද? පවුල තුළ පරම්පරා පරතරයක් තිබිය යුතු ද? එය වැසිය හැකි ද? ඊටත් වඩා එය කවදාවත් විවෘතවීම වැළැක්විය හැකි ද?

17 මෙම ප්‍රශ්නවලට සතුටු දායක පිළිතුරු සොයා ගැනීම ඔබගේ පවුල් ජීවිතයේ සන්තෝෂය සහතික කිරීමට බෙහෙවින් උපකාරවත් වනු ඇත. ඊටත් වැඩියෙන්, අවශ්‍ය ඕනෑ ම වේලාවක ඔබට පිහිට ලබා ගැනීමට හැකි, ශක්තියෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් සම කළ නොහැකි තැනැත්තෙකු සිටින බවට ද, ඔබගේ පවුල උදෙසා අවසන් නොවන සන්තෝෂයට මඟ පෙන්විය හැකි කෙනෙකු සිටින බවට ද එය ඔබට නිසැකකම ලබා දෙයි.

[4වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න