උපග්‍රන්ථය
රුධිරය: කාගේ තේරීමක්ද, එමෙන්ම කාගේ හෘදය සාක්ෂියද?
වෛද්‍ය උපාධියලත්, ජේ. ලොවල් ඩික්සන් විසිනි
නිව් යෝක් ස්ටේට් ජර්නල් ඔෆ් මෙඩිසින් සඟරාවේ අවසරය ඇතිව නැවත මුද්‍රණය කරනලදි, 1988; 88:463-464, සියලුම හිමිකම් නිව් යෝක් ජනපද වෛද්‍ය සමිතිය සතුය.
රෝගවලට හා මරණයට විරුද්ධව සටන් කිරීමේදී, තම දැනුම, දක්ෂතා හා අද්දැකීම් අදාළ කර ගැනීමට වෛද්‍යවරු බැඳී සිටිති. එහෙත්, නිර්දේශිත ප්‍රතිකාරයක් රෝගියෙක් ප්‍රතික්ෂේප කරන්නේ නම් කුමක් කළ යුතුද? රෝගියා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් මෙන්ම ප්‍රතිකාරය සම්පූර්ණ රුධිරය, අහුරන ලද රතු රුධිර සෛල, ප්ලාස්මාව හෝ පට්ටිකා නම්, මෙය බොහෝ දුරට සිදුවන්නට ඉඩ ඇත.
රුධිරය භාවිතා කිරීම නම් කාරණයට එළඹෙන විට, රුධිර නොවන ප්‍රතිකාර රෝගියා තෝරනවිට මෙය කැපවූ වෛද්‍ය නිලධාරියෙකුට බාධාවක් යයි වෛද්‍යවරයෙකුට හැඟෙන්නට පුළුවන. එහෙත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් නොවන වෙනත් රෝගීන් සිය වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් අනුගමනය නොකිරීමට බොහෝ විට තෝරා ගන්නා බව කෙනෙක් අමතක නොකළ යුතුය. ඇපල්බවම් හා රොත්ට අනුව,1 වෛද්‍ය පුහුණු රෝහල්වල සිටින රෝගීන්ගෙන් 19%ක් අඩු තරමින් එක් ප්‍රතිකාරයක් හෝ ප්‍රතිකාර පිළිවෙළක් ප්‍රතික්ෂේප කළහ. ඔවුන් එසේ කළේ එවන් ප්‍රතික්ෂේප කිරීම්වලින් 15%ක් “ජීවිතය පරදුවෙහි තබන්නට ඉඩකඩ තිබියදීත්”ය.
“වෛද්‍යවරු හොඳම දේ දන්නා” බවට පවතින පොදු මතය සිය වෛද්‍යවරයාගේ දක්ෂතාවට හා දැනීමට ගෞරවයක් වශයෙන් ඔහුගේ අදහසට එකඟ වන්නට බොහෝ රෝගීන්ට හේතු කරවයි. එහෙත් වෛද්‍යවරයෙක් මෙම වාක්‍ය ඛණ්ඩය විද්‍යාත්මක සත්‍යයක් ලෙසින් සලකා ඒ අනුව රෝගීන්ට ප්‍රතිකාර කිරීම බෙහෙවින් සියුම් ලෙස අන්තරාදායක යමක් වේ. අපගේ වෛද්‍ය පුහුණුව, බලපත්‍රය හා අද්දැකීම් වෛද්‍ය ක්ෂේත්රයේ කැපී පෙනෙන වරප්රසාදයන් අපට ලබා දෙන බව සැබෑවකි. අපගේ රෝගීන්ට, කෙසේ නමුත්, අයිතිවාසිකම් තිබේ. තවද, අප දන්නා පරිදි, නීතිය (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා) අයිතිවාසිකම්වලට වැඩි ප්රමුඛත්වයක් ලබා දෙයි.
රෝහල් වැඩි සංඛ්‍යාවක බිත්ති මත, “රෝගියාගේ පරම අයිතිවාසිකම් පනත” ප්‍රදර්ශනය කර තිබීම කෙනෙකුට දැකිය හැක. දැනුවත් අනුමැතිය මෙම අයිතිවාසිකම්වලින් එකක් වන අතර මෙය වඩාත් නිවැරදිව තොරතුරු මත තෝරාගැන්ම යනුවෙන් හැඳින්විය හැකිය. විවිධ ප්‍රතිකාරයන්ගෙන් (නැතහොත් ප්‍රතිකාර නොකිරීමෙන්) විය හැකි ප්‍රතිඵල පිළිබඳව රෝගියාට දැන්වීමෙන් පසු, තමා යටත් වන්නේ කුමකටද යන්න ඔහුගේ තෝරා ගැන්මක් වනු ඇත. නිව් යෝක්, බ්‍රොන්ක්ස්හි ඇල්බර්ට් අයින්ස්ටයින් රෝහලේ, රුධිර ප්‍රවේශනය හා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පිළිබඳ කෙටුම්පත් ප්‍රතිපත්තියක් පැවසුවේ මෙසේය: “සිහිනැති තත්ත්වයට පත් නොවූ ඕනෑම වැඩිහිටි රෝගියෙකුට, ප්‍රතිකාරයක් ප්‍රතික්ෂේප කිරීම තමාගේ සෞඛ්‍යයට කොතරම් හානිකර වුවත්, එසේ ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් ඇත.”2
වෛද්‍යවරුන් ආචාර ධර්ම හෝ බැඳීම පිළිබඳ සැලකිල්ල කොතරම් දැක්වුවද, රෝගියාගේ තෝරා ගැනීමේ අධිශ්‍රේෂ්ඨත්වය උසාවිවලින් අවධාරණය කර ඇත.3 නිව් යෝක් ආයාචනාධිකරණය පැවසුවේ මෙසේය: “තමාගේම ප්‍රතිකාරයේ ක්‍රියා පිළිවෙළ තීරණය කිරීමට ඇති රෝගියාගේ අයිතිය ඉතා වැදගත් [වේ] . . . වෛද්‍යවරයෙක් වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන්නට ඇති සමර්ථ වැඩිහිටි රෝගියෙකුගේ අයිතිවාසිකමට ගරු කරන විට, ඔහු තමාගේ නීත්‍යානුකූල හෝ වෘත්තීය වගකීම් පැහැර හැරියේ යයි කිව නොහැකිය.”4 එම අධිකරණය මෙසේද නිරීක්ෂණය කර ඇත: “වෛද්‍ය වෘත්තියේ ආචාර ධර්මය පිළිබඳ අඛණ්ඩතාව, වැදගත්ව තිබුණද, එමගින් මෙහි හුවා දක්වා තිබෙන මූලික පෞද්ගලික අයිතිවාසිකම් යටපත් කළ නොහැකිය. වඩාත් වැදගත් වන්නේ ආයතනයේ අවශ්‍යතාවන් නොව, පුද්ගලයාගේ අවශ්‍යතාවන් හා ආශාවන්ය.”5
සාක්ෂිකරුවෙක් රුධිරය ප්‍රතික්ෂේප කරන විට, උපරිමයට වඩා අඩුවෙන් යයි පෙනෙන දෙය කිරීමේ අපේක්ෂාවෙන් වෛද්‍යවරයෙකුගේ හෘදය සාක්ෂියට වේදනා දැනෙන්ට පුළුවන. එහෙත්, හෘදය සාක්ෂියට එකඟව යුතුකම් නොපිරිහෙළා ඉටු කරන වෛද්‍යවරයාගෙන් සාක්ෂිකරුවා ඉල්ලා සිටින්නේ, පවතින තත්ත්වයන් යටතේ හැකි හොඳම විකල්ප සාත්තුව ලබා දෙන ලෙසටය. අධිරක්ත පීඩනය, ප්‍රතිජීවක සඳහා අධික ලෙස ආසාත්මිකතාව, නැතහොත් ඇතැම් මිල අධික උපකරණ නොතිබීම වැනි, තත්ත්වයන්ට උචිත ලෙස අපට බොහෝ විට අපගේ චිකිත්සාවන් වෙනස් කිරීමට සිදු වේ. සාක්ෂිකාර රෝගීන් සමඟ කටයුතු කිරීමේදී වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ වෛද්‍ය හෝ ශල්‍යකර්ම ගැටලුව රෝගියාගේ තෝරාගැන්ම හා හෘදය සාක්ෂියට, එනම් රුධිරයෙන් වැළකී සිටීමට වූ ඔහුගේ සදාචාරමය⁄ආගමික තීරණයට එකඟව හසුරුවන ලෙසටය.
සාක්ෂිකාර රෝගීන් මත කරන ලද මහා පරිමාණයේ ශල්‍යකර්මයන් පිළිබඳ අනේක වාර්තා පෙන්වන්නේ, වෛද්‍යවරුන්ට, හොඳ හෘදය සාක්ෂියක් හා සාර්ථක ප්‍රතිඵල ඇතිව, රුධිරය භාවිතා නොකරන්නට වූ ඉල්ලීම අනුව ක්‍රියා කළ හැකි බවය. උදාහරණයක් හැටියට, 1981දී, කූලි හෘත්වාහිනී ශල්‍යකර්ම 1,026ක් සලකා බැලූ අතර, මේවායින් 22%ක් කරනු ලැබුවේ බාල වයස්කරුවන් මතය. “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාර කණ්ඩායමට අයත් රෝගීන්ගේ ශල්‍යකර්ම හේතුවෙන් ඇතිවන අවදානම අන්‍යයන් හා සසඳන කල එතරම්ම ඉහළ නොවූ බව” ඔහු තීරණය කළේය.6 සාක්ෂිකරුවන් මත කරන ලද මහා පරිමාණයේ ශල්‍යකර්මයන් පිළිබඳව කැම්බෝරිස්7 වාර්තා කළේය, මෙයින් සමහරෙක් “රුධිරය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන්ට හදිසියේ අවශ්‍ය කරවන ශල්‍ය ප්‍රතිකාර දෙනු නොලැබීය.” ඔහු කියා සිටියේ: “ශල්‍යාගාරයේ උද්ගත විය හැකි තත්ත්වයන් නොසලකා, ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට ගෞරව කරනු ලබන බවට පෙර සහතිකයක් සියලුම රෝගීහු ලැබූහ. මෙම ප්‍රතිපත්තියේ අශුභ ඵල ඇති නොවීය.”
රෝගියා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් වන විට, තෝරා ගැනීම පිළිබඳ විෂයට වඩා, හෘදය සාක්ෂිය මෙහිදී මුල් තැන ගනී. කෙනෙකුට වෛද්‍යවරයාගේ හෘදය සාක්ෂිය ගැන පමණක් කල්පනා කළ නොහැකිය. රෝගියාගේ හෘදය සාක්ෂිය ගැන කුමක් කිව හැකිද? යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ජීවිතය දෙස බලන්නේ රුධිරයෙන් නියෝජනය වන දෙවියන්වහන්සේගේ දීමනාව වශයෙනි. ක්‍රිස්තියානින් “ලෙයින් . . . වළකින්ට” ඕනෑ බවට වූ බයිබලයේ ආඥාව ඔවුහු විශ්වාස කරති (ක්‍රියා 15:28, 29).8 එබැවින්, වෛද්‍යවරයෙක් එවන් රෝගියෙකුගේ ගැඹුරු හා දිගුකලක් පුරා පැවත ඇති ආගමික විශ්වාසයන් නීත්‍යානුකුලව කඩ කළොත්, ප්‍රතිඵලය බේදනීය විය හැක. දෙවන ජුවාම් පාවුලු පාප් නිරීක්ෂණය කළ පරිදි තමාගේ හෘදය සාක්ෂිය කඩ කරන්නට යමෙකුට බල කිරීම “මනුෂ්‍ය ගරුත්වයට පමුණුවනු ලබන වඩාත්ම වේදනාකාරි පහර වේ. එක්තරා අර්ථයකින් ගත් විට, එය ශරීරාකාර මරණය, හෝ ඝාතනය කිරීමට වඩා දරුණුය.”9
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ආගමික හේතු උදෙසා රුධිරය ප්‍රතික්ෂේප කරන අතරම, වැඩි වන්නා වූ සාක්ෂිකරුවන් නොවන රෝගීන් සංඛ්‍යාවක් ඒඩ්ස්, A(ඒ) නොවන B(බී) නොවන යකෘත් ප්‍රදාහය හා ප්‍රතිශක්ති ප්‍රතික්‍රියාවන් නිසා රුධිරයෙන් වැළකී සිටීමට තේරීමක් කරමින් සිටිති. ප්‍රයෝජන සමඟ සසඳා බැලීමේදී එහි අවදානම සුළුපටු දැයි පෙන්වමින් අපට අපගේ දෘෂ්ටීන් ඔවුන්ට ඉදිරිපත් කරන්නට පුළුවන. එහෙත්, අමෙරිකානු වෛද්‍ය සංගමය පෙන්වා දෙන පරිදි, “වෛද්‍යවරයා විසින් නිර්දේශිත ප්‍රතිකාරයේ හෝ ශල්‍යකර්මයේ තම වාරය තමා උරගා බලනවාද නැතහොත් එය නොමැතිව ජීවත්වීමේ අවදානමට මුහුණ දෙනවාද යන්නෙහි අන්තිම තීරකයා රෝගියා වන්නේය. නීතිය පිළිගන්නා පුද්ගලයාගේ ස්වාභාවික අයිතිවාසිකම මෙයාකාරයය.”10
මේ සම්බන්ධයෙන්, “මරණය දක්වා රුධිරය ගැලීමේ අවදානමට මුහුණ දුන්” සාක්ෂිකරුවෙක් පිළිබඳ අවදානම⁄ප්‍රයෝජන මැක්ලින්11 ඉස්මතු කළේය. එක්තරා වෛද්‍ය ශිෂ්‍යයෙක් මෙසේ පැවසීය: “ඔහුගේ චින්තන ක්‍රියාවලිය ක්‍රියාත්මක වන තත්ත්වයක තිබුණි. ආගමික විශ්වාසයන් කළ හැකි එකම ප්‍රතිකාරයට විරුද්ධ වන විට ඔබ කරන්නේ කුමක්ද?” මැක්ලින් තර්ක කළේ මෙසේය: “මෙම මනුෂ්‍යයා වැරැද්දක් කරමින් සිටින්නේ යයි අප ඉතා දැඩිව විශ්වාස කරන්නට පුළුවන. එහෙත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ ප්‍රවේශනයක් ලැබෙනවා නම් . . . සදාකාලික දඬුවම් විඳින්නට සිදු [විය හැකි] බවය. වෛද්‍යකර්මයේ අවදානම-ප්‍රයෝජන පිළිබඳ විග්රහයන් කිරීමට අපව පුහුණු කර තිබුණත්, සදාකාලික දඬුවම සමඟ පොළොව මත ඉතිරිව ඇති ජීවිතය ඔබ සසඳා බැලුවොත්, විග්‍රහය අලුත් මුහුණුවරක් භාර ගනී.”11
ජර්නල් නම් සඟරාවේ මෙම කලාපයේ වර්සිලෝ හා ඩුප්රේ12 යැපෙන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම ගෙනහැර දැක්වීමට ඔස්බෝර්න් පිළිබඳ කාරණය වෙත යොමු දැක්වුවත්, එම නඩුව විසඳනු ලැබුවේ කෙසේද? ඊට සම්බන්ධ වී සිටියේ බාල වයස්කාර දරුවන් දෙදෙනෙක් සිටින දැඩි ලෙස තුවාල ලද පියෙකි. ඔහු මිය ගියේ නම්, ඥාතීන් ද්‍රව්‍යමය හා ආත්මික වශයෙන් දරුවන්ව රැකබලා ගනු ඇතැයි අධිකරණය තීරණය කළේය. මෙසේ, වෙනත් මෑත කාලීන නඩු විභාගවලදී මෙන්,13 ප්‍රතිකාරය පිළිබඳ රෝගියාගේ තේරීම අභිබවා ක්‍රියා කිරීම යුක්තිසහගත කිරීම බලකර සිටින රාජ්‍ය අයිතියක් අධිකරණයට සොයා ගත නොහැකි විය. ඔහු විසින් දැඩිසේ විරුද්ධත්වයට භාජන වූ ප්‍රතිකාරයක් අනුමත කිරීමට අධිකරණයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවට දිස් විය.14 විකල්ප ප්‍රතිකාර සමඟින් රෝගියා සුවවී දිගටම පවුල රැකබලා ගන්නට විය.
වෛද්‍යවරුන් මුහුණදී ඇති, නැතහොත් මුහුණ දිය හැකි සිද්ධීන්ගෙන් බහුතරයක් රුධිරය නොමැතිව හැසිරවිය හැකි බව සැබෑවක් නොවේද? අප ඉගෙන ගත්තාවූද වඩාත් හොඳින් දන්නාවූද දේ වෛද්‍ය ගැටලු සමඟ සම්බන්ධව තිබුණත්, රෝගීන් වනාහි පෞද්ගලික සාරධර්ම හා බලාපොරොත්තු ඇත්තාවූද ඒවා නොසලකා සිටිය නොහැකිවූද මනුෂ්‍යයන්ය. ඔවුන්ගේ ජීවිතයට අර්ථයක් දෙන්නා වූ, තමන්ගේම ප්‍රමුඛතා, තමන්ගේම සදාචාරයන් හා හෘදය සාක්ෂිය පිළිබඳ හොඳින්ම දන්නේ ඔවුන්ය.
සාක්ෂිකාර රෝගීන්ගේ ආගමික හෘදය සාක්ෂියට ගෞරව කිරීම අපගේ දක්ෂතාවන්ට අභියෝග කරන්නට පුළුවන. එහෙත් අප මෙම අභියෝගයට මුහුණ දෙත්ම, අප සියල්ලන් ආදරයෙන් රැකබලා ගන්නා අගනා නිදහස අපි කැපී පෙනෙන්නට සලස්වමු. යෝග්‍ය ආකාරයකට ජෝන් ස්ටුවර්ට් මිල් ලිව්වේ මෙසේය: “එහි ආණ්ඩුව කොයි ආකාර වුවත්, මෙම නිදහසට සමස්තයක් වශයෙන් ගෞරව නොකරන කිසිඳු සමාජයක් නිදහස් නොවේ . . . කායික, හෝ මානසික හා ආත්මික හෝ වේවා, සැමකෙනෙක්ම තමාගේ සෞඛ්‍යය පිළිබඳව ආරක්ෂකයා වන්නේය. මනුෂ්‍ය වර්ගයාට වැඩි යහපතක් සලසා ගත හැක්කේ, එකිනෙකා අන්‍යයන්ට හොඳ යයි පෙනෙන ප්‍රකාරයට ජීවත් වන ලෙස බලකර සිටිනවාට වඩා, යමෙකුට තමන්ටම හොඳ යයි පෙනෙන ප්‍රකාරයට ජීවත් වන්නට ඉඩ හැරීමෙන් පමණකි.”15
[ආශ්‍රේය ග්රන්ථ]
1. Appelbaum PS, Roth LH: Patients who refuse treatment in medical hospitals. JAMA 1983; 250:1296-1301.
2. Macklin R: The inner workings of an ethics committee: Latest battle over Jehovah’s Witnesses. Hastings Cent Rep 1988; 18(1):15-20.
3. Bouvia v Superior Court, 179 Cal App 3d 1127, 225 Cal Rptr 297 (1986); In re Brown, 478 So 2d 1033 (Miss 1985).
4. In re Storar, 438 NYS 2d 266, 273, 420 NE 2d 64, 71 (NY 1981).
5. Rivers v Katz, 504 NYS 2d 74, 80 n 6, 495 NE 2d 337, 343 n 6 (NY 1986).
6. Dixon JL, Smalley MG: Jehovah’s Witnesses. The surgical/ethical challenge. JAMA 1981; 246:2471-2472.
7. Kambouris AA: Major abdominal operations on Jehovah’s Witnesses. Am Surg 1987; 53:350-356.
8. Jehovah’s Witnesses and the Question of Blood. Brooklyn, NY, Watchtower Bible and Tract Society, 1977, pp 1-64.
9. Pope denounces Polish crackdown. NY Times, January 11, 1982, p A9.
10. Office of the General Counsel: Medicolegal Forms with Legal Analysis. Chicago, American Medical Association, 1973, p 24.
11. Kleiman D: Hospital philosopher confronts decisions of life. NY Times, January 23, 1984, pp B1, B3.
12. Vercillo AP, Duprey SV: Jehovah’s Witnesses and the transfusion of blood products. NY State J Med 1988; 88:493-494.
13. Wons v Public Health Trust, 500 So 2d 679 (Fla Dist Ct App) (1987); Randolph v City of New York, 117 AD 2d 44, 501 NYS 2d 837 (1986); Taft v Taft, 383 Mass 331, 446 NE 2d 395 (1983).
14. In re Osborne, 294 A 2d 372 (DC Ct App 1972).
15. Mill JS: On liberty, in Adler MJ (ed): Great Books of the Western World. Chicago, Encyclopaedia Britannica, Inc, 1952, vol 43, p 273.