13වෙනි පරිච්ඡේදය
යේසුස්ගේ පරීක්ෂාවලින් ඉගෙනගැනීම
යේසුස් බව්තීස්ම වූ විගසම දෙවිගේ ආත්මය ඔහුව ගෙන යනවා යුදයේ පාළුකරය වෙතට. ඔහුට දැන් සිතා බැලීමට බොහෝ දේ තිබෙනවා. ඔහුගේ බව්තීස්මයේදී ‘අහස විවර වූ’ නිසා ඔහුට දැන් ස්වර්ගික දේවල් අවබෝධ කරගන්න පුළුවන්. ඇත්තෙන්ම, ඔහුට සෑහෙන්න දේවල් තිබෙනවා මෙනෙහි කරන්න!
යේසුස් කිසිවක් නොකා දහවල් 40ක් හා රාත්‍රි 40ක් පාළුකරයේ ගත කරනවා. ඊට පස්සේ, යේසුස් හොඳටම බඩගිනි වී සිටින විට, යක්ෂයා ඔහු වෙතට පැමිණෙනවා ඔහුව පරීක්ෂා කරන්න. “ඔබ දෙවිගේ පුත්‍රයෙකු නම්, මේ ගල්වලට රොටි වෙන්න කියන්න” කියා ඔහු යේසුස්ට පවසනවා. නමුත් යේසුස් දන්නවා ආශ්චර්යයන් කිරීමට තමන් සතු බලය තමන්ගේ පෞද්ගලික ආශාවන් තෘප්තිමත් කරගැනීමට යොදාගැනීම වැරදි බව. ඒ නිසා, ඔහු එම පරීක්ෂාවට හසු වන්නේ නැහැ.
එහෙත් යක්ෂයා තම උත්සාහය අත්හරින්නේ නැහැ. ඔහු වෙනත් ක්‍රමයක් යොදාගන්නවා. ඔහු යේසුස්ට අභියෝගයක් ඉදිරිපත් කරමින්, දේවමාලිගා පවුරෙන් පහතට පනින්න, එතකොට දෙවිගේ දූතයන් ඇවිත් ඔහුව උසුලයි කියා පවසනවා. නමුත් එවැනි විස්මයජනක ප්‍රදර්ශනයක් කිරීමට යේසුස් තුළ පෙලඹීමක් ඇති වන්නේ නැහැ. දෙවිව මේ ආකාරයට පරීක්ෂා කිරීම වැරදි බව යේසුස් ශුද්ධ ලියවිලි උපුටා දක්වමින් පෙන්වා දෙනවා.
තුන්වන පරීක්ෂාවේදී, යක්ෂයා යම් ආශ්චර්යවත් අයුරකින් ලෝකයේ සියලු රාජ්‍යයන් යේසුස්ට පෙන්වලා මෙසේ පවසනවා. “ඔබ බිම වැටී මට වරක් නමස්කාර කළොත්, මම මේ සියල්ල ඔබට දෙන්නෙමි.” නමුත් නැවත වරක් දෙවිට විශ්වාසවන්තව සිටීමට තෝරාගන්නා යේසුස් වරදට පෙලඹෙන්නේ නැහැ.
යේසුස්ගේ මේ පරීක්ෂාවලින් අපටත් බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, යක්ෂයා කියන්නේ සමහරදෙනෙක් පවසන ආකාරයට නිකම්ම නපුර නමැති ගුණාංගය නොව, නමුත් අදෘශ්‍යමාන සැබෑ පුද්ගලයෙක් බව මෙයින් පෙනී යනවා. ලෝකයේ සියලු ආණ්ඩු යක්ෂයාට අයිති බවත් යේසුස්ට කළ එක් පරීක්ෂාවකින් පැහැදිලි වෙනවා. එම ආණ්ඩු ඇත්තටම සාතන්ට අයිති නැත්නම්, ඒවා ක්‍රිස්තුස්ට ඉදිරිපත් කිරීමෙන් ඔහු කළ පරීක්ෂාව නියම එකක් කියා පවසන්න පුළුවන්ද?
මේ ගැනත් සිතා බලන්න. ඔහුට එක් වරක් නමස්කාර කළොත් ලෝකයේ සියලු රාජ්‍යයන් යේසුස්ට තෑගි කරන්න තමා කැමති බව යක්ෂයා පැවසුවා. ලෞකික ධනය, බලය හෝ තත්වය ලබාගැනීම සඳහා දැඩි ආශාවක් ජනිත කරවන ප්‍රස්තාවන් අප ඉදිරියෙහි තැබීමෙන් අපවත් ඒ හා සමානව පරීක්ෂා කිරීමට යක්ෂයා වෑයම් කළ හැකියි. එහෙත් පරීක්ෂාව කුමක් වුවත්, දෙවිට විශ්වාසවන්තව සිටීම තුළින් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීම මොන තරම් ඥානවන්ත දෙයක්ද! මතෙව් 3:16; 4:1-11; මාක් 1:12, 13; ලූක් 4:1-13; NW.
▪ පෙනෙන ආකාරයට, පාළුකරයේ යේසුස් ගත කළ දින 40 තුළදී ඔහු මෙනෙහි කරන්නේ කුමන දේවල් ගැනද?
▪ යේසුස්ව පරීක්ෂා කිරීමට යක්ෂයා උත්සාහ කරන්නේ කොහොමද?
▪ යේසුස්ගේ පරීක්ෂාවලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?