33වෙනි පරිච්ඡේදය
යෙසායාගේ අනාවැකිය ඉටු කිරීම
පරිසිවරුන් හා හෙරොද්ගේ පක්ෂයේ අනුගාමිකයන් තමන්ව මරන්න උත්සාහ කරනවා කියා යේසුස්ට දැනගන්න ලැබෙන විට ඔහු තම ගෝලයන් සමඟ ගලීල මුහුද දෙසට යනවා. මෙහිදී පලස්තීනයේ සෑම ප්රදේශයකින්ම හා එහි දේශ සීමාවෙන් එපිට පෙදෙස්වලින් පවා ඔහු වෙතට විශාල සෙනඟක් එක්රොක් වෙනවා. ඔහු බොහෝදෙනෙකුව සුව කරන නිසා බරපතළ අසනීප තිබෙන සියලුදෙනාම තෙරපෙන සෙනඟ අතරින් කොහොම හරි ඉදිරියට එන්නේ ඔහුව ඇල්ලීමටයි.
සෙනඟ කොතරම් පිරී ඇද්ද කිව්වොත් තමන්ට අවශ්‍ය වූ විට ප්‍රයෝජනයට ගැනීම සඳහා ඔරුවක් නිතරම සූදානම්ව තබන්න කියා යේසුස් තම ගෝලයන්ට පවසනවා. වෙරළෙන් මදක් ඈතට යෑමෙන් සෙනඟ තමාව වට කරගැනීම වළක්වාගන්න ඔහුට පුළුවන්. ඒ වගේම ඔහුට පුළුවන් ඔරුවේ සිට ඔවුන්ට උගන්වන්න. එහෙමත් නැත්නම් මුහුදුබඩ තීරයේ වෙනත් තැනකට ගිහින් එතැන සිටින ජනයාට උදව් කරන්න.
යේසුස්ගේ ක්‍රියා මගින් “අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් කියන ලද දෙය” ඉටු වන බව ශ්‍රාවක මතෙව් සඳහන් කරනවා. ඊළඟට යේසුස් ඉටු කරන අනාවැකිය මතෙව් මෙසේ උපුටා දක්වනවා.
“මෙන්න! මාගේ ප්‍රේමණීය, මා තෝරාගත්, මාගේ අනුමැතිය ඇති මාගේ සේවකයා! මම මාගේ ආත්මය ඔහු පිට තබන්නෙමි. ඔහු ජාතීන්ට යුක්තිය යනු කුමක්දැයි පැහැදිලි කරන්නේය. ඔහු දබර කරන්නේවත් කෑගසන්නේවත් නැත. ඔහුගේ හඬද ප්‍රධාන වීදිවල කිසිවෙකුට ඇසෙන්නේ නැත. ඔහු යුක්තිය සාර්ථකව ඉටු කරන තුරු, තැළුණු බට ගසක් පොඩි කරන්නේවත්, නිවීගෙන යන පහන් තිරයක් නිවා දමන්නේවත් නැත. නිසැකවම ඔහුගේ නාමය කෙරෙහි ජාතීහු බලාපොරොත්තු තබන්නෝය.”
යේසුස් තමයි දෙවි අනුමත කරන ප්‍රේමවන්ත සේවකයා. ඒ වගේම අසත්‍ය ආගමික සම්ප්‍රදායන් මගින් සඟවා තිබෙන සැබෑ යුක්තිය කුමක්ද කියාත් යේසුස් පැහැදිලි කරනවා. දෙවිගේ නීතිය අසාධාරණ ලෙස අදාළ කිරීම නිසා පරිසිවරුන් සබත් දවසේදී රෝගාතුර පුද්ගලයෙකුට උපකාර කරන්නවත් පැමිණෙන්නේ නැහැ! දෙවිගේ යුක්තිය පැහැදිලි කිරීම මගින් යේසුස් අසාධාරණ සම්ප්‍රදායන් නමැති බරෙන් මනුෂ්‍යයන්ව නිදහස් කරමින් ඔවුන්ට සහනයක් ලබා දෙනවා. ආගමික නායකයන් ඔහුව මරා දැමීමට තැත් කරන්නේ මේ නිසයි.
‘ඔහු දබර කරන්නේවත් ඔහුගේ හඬ ප්‍රධාන වීදිවල කිසිවෙකුට ඇසෙන්නේවත් නැත’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මනුෂ්‍යයන්ව සුව කරන විට යේසුස් ‘තමන්ව ප්‍රසිද්ධ නොකරන ලෙස ඔවුන්ට තදින් අණ කරනවා.’ වීදිවල ඔහු පිළිබඳව ශබ්ද නඟා ප්‍රචාරය කරනවාටවත්, ඔහු පිළිබඳව විකෘති වූ කට කතා පැතිරෙනවාටවත් ඔහු කැමති නැහැ.
ඒ වගේම සංකේතාත්මක වශයෙන් පාද යට පොඩි වූ තැළුණු බට ගසක් වැනි මනුෂ්‍යයන් වෙතටත් යේසුස් තම සැනසිලිදායක පණිවුඩය රැගෙන යනවා. අන්ත අසරණ තත්වයක සිටින ඔවුන් ආලෝකය නිවීගෙන යන පහන් තිරයක් වාගෙයි. යේසුස් තැළුණු බට ගස පොඩි කරන්නේවත් නිවීගෙන යන පහන් තිරය නිවා දමන්නේවත් නැහැ. ඒ වෙනුවට මෘදුකමින් හා ප්‍රේමයෙන් යුතුව ඔහු දක්ෂ ලෙස මොළොක් ගුණැති අයව උසුලනවා. ඔව්, ජාතීන්ට බලාපොරොත්තු තැබිය හැකි තැනැත්තා යේසුස් බව අමුතුවෙන් කිව යුතු නැහැ! මතෙව් 12:15-21; මාක් 3:7-12; NW; යෙසායා 42:1-4.
▪ යේසුස් දබර කරන්නේවත් ඔහුගේ හඬ වීදිවල ඇසෙන්න සලස්වන්නේවත් නැතුව යුක්තිය පැහැදිලි කර දෙන්නේ කොහොමද?
▪ තැළුණු බට ගසකට හා පහන් තිරයකට සමාන කළ හැක්කේ කාවද? යේසුස් ඔවුන්ට සලකන්නේ කොහොමද?