38වෙනි පරිච්ඡේදය
යොහන්ට ඇදහිල්ලේ ඌනතාවක් තිබුණාද?
දැන් වසරක පමණ කාලයක් පුරා සිරගෙයි සිටින යොහන් බව්තීස්තට නායින් නුවර වැන්දඹුවගේ පුතාගේ නැවත නැඟිටීම පිළිබඳ පුවත අසන්ට ලැබෙනවා. එහෙත් මෙහි වැදගත්කම සම්බන්ධයෙන් යේසුස්ගෙන් ඍජුවම දැනගැනීමට යොහන්ට වුවමනා නිසා, ඒ පිළිබඳව විමසා බැලීමට ඔහු තම ගෝලයන් දෙදෙනෙක්ව යවනවා. ඔවුන් මෙසේ විමසනවා. “පැමිණෙන්නාවූ තැනැත්තා ඔබද? නැතහොත් අප වෙන කෙනෙකු ගැන බලා සිටිය යුතුද?”
මීට වසර දෙකකට පමණ පෙර යේසුස්ව බව්තීස්ම කරන විට යොහන් දෙවිගේ ආත්මය යේසුස් මතට පැමිණෙනවා දුටු නිසාත් දෙවි තම අනුමැතිය ප්‍රකාශ කරනවා ඔහුට ඇසුණ නිසාත් එය පුදුමසහගත ප්‍රශ්නයක් මෙන් පෙනිය හැකියි. යොහන් නඟපු එම ප්රශ්නය නිසා ඔහුගේ ඇදහිල්ල දුර්වල වී ඇතැයි සමහරෙක් නිගමනය කරන්න පුළුවන්. එහෙත් එය සැබෑවක් නොවෙයි. යොහන් සැක කිරීමට පටන්ගෙන තිබුණා නම්, යේසුස් මේ අවස්ථාවේදී යොහන් ගැන මෙතරම්ම වර්ණනා කරන්නේ නැහැ. එසේනම්, යොහන් මෙම ප්රශ්නය අසන්නේ ඇයි?
ඔහු මෙසියස් බව යේසුස්ගෙන්ම තහවුරු කරගැනීමට යොහන්ට වුවමනා වූවා විය හැකියි. මහත් සේ අසරණව සිරගෙයි කල් ගෙවමින් සිටින යොහන්ට එය තහවුරු කරගැනීමෙන් බොහෝ සෙයින් ශක්තිය උපදවාගත හැකියි. එහෙත් පෙනෙන ආකාරයට යොහන්ගේ ප්‍රශ්නයට ඊට වඩා වැඩි යමක් ඇතුළත්. මෙසියස් ඉටු කරන බවට පුරෝකථනය කරන ලද සියල්ල සම්පූර්ණ කරන තවත් කෙනෙක්, එනම් අනුප්‍රාප්තිකයෙකු සිටිනවාදැයි දැනගැනීමට ඔහුට වුවමනා බව පැහැදිලියි.
යොහන් දැන සිටි බයිබල් අනාවැකිවලට අනුව, දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා රජෙකු, එනම් ගැලවුම්කරුවෙකු වීමට නියමිතයි. එහෙත් යේසුස්ගේ බව්තීස්මයෙන් මාස කිහිපයකට පසුව පවා යොහන් තවමත් සිරකරුවෙක්ව සිටිනවා. එනිසා, යොහන් ඇත්තටම යේසුස්ගෙන් අසන්නේ ‘බාහිර බලයෙන් යුතුව දෙවිගේ රාජ්‍යය පිහිටුවන තැනැත්තා ඔබද? එහෙමත් නැත්නම් මෙසියස්ගේ තේජස සම්බන්ධ පුදුමාකාර අනාවැකි සියල්ලක්ම ඉටු කිරීම සඳහා අප වෙනත් කෙනෙකු, එනම් අනුප්‍රාප්තිකයෙකු කෙරෙහි බලා සිටිය යුතුද’ කියායි.
‘ඇත්තවශයෙන්ම පැමිණීමට සිටි තැනැත්තා මම වෙමි’ කියා යොහන්ගේ ගෝලයන්ට පවසනවා වෙනුවට, සියලු ආකාර ලෙඩ රෝග හා දුබලතා තිබෙන බොහෝදෙනෙකුව සුව කිරීමෙන් යේසුස් එම පැයේදී විශිෂ්ට ලෙස තම අනන්‍යතාව විදහාපෙන්වනවා. ඊළඟට ඔහු එම ගෝලයන්ට මෙසේ පවසනවා. “ගොස්, ඔබ ඇසූ දුටු දේ යොහන්ට කියන්න: අන්ධයෝ පෙනීම ලබති. කොරු ඇවිදිති. ලාදුරු රෝගීන්ව පවිත්‍ර කරනු ලැබෙයි. බිහිරන්ට ඇසෙයි. මළවුන්ව නැඟිටුවනු ලබයි. දිලිඳුන්ට ශුභාරංචිය පවසනු ලැබේ.”
වෙනත් වචනවලින් පවසනවා නම්, යේසුස් කරමින් සිටින දේට වඩා වැඩි යමක් කර සමහරවිට තමාව නිදහස් කරනු ඇතැයි යන අපේක්ෂාව යොහන්ට තිබූ බව ඔහුගේ ප්‍රශ්නයෙන් අඟවන්න ඇති. නමුත් යේසුස් යොහන්ට පවසන්නේ තමා කරමින් සිටින ප්රාතිහාර්යයන්ට වඩා වැඩි යමක් අපේක්ෂා නොකරන්න කියායි.
යොහන්ගේ ගෝලයන් පිටත්ව යන විට, මලාකී 3:1හි පුරෝකථනය කරන ලද යෙහෝවාගේ “දූතයා” (පණිවිඩකරු) සහ මලාකී 4:5, 6හි පුරෝකථනය කරන ලද ප්‍රොපේත වූ එලියා යොහන් බව යේසුස් සමූහයන් වෙතට හැරී පවසනවා. එමනිසා, යොහන් තමන්ට කලින් ජීවත් වූ ඕනෑම අනාගතවක්තෘවරයෙකු සමඟ සම තත්වයක සිටින බව පෙන්වමින් ඉතා ප්රශංසාත්මක වචනවලින් යේසුස් මෙසේ පැහැදිලි කරනවා. “සැබවින්ම මම ඔබට කියමි. ස්ත්‍රීන්ගෙන් උපන් අය අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් ඉපදුණේ නැත. නමුත් ස්වර්ග රාජ්‍යයේ සිටින සුළු තැනැත්තෙකු වුවද ඔහුට වඩා උතුම්ය. යොහන් බව්තීස්තගේ දවසේ පටන් මේ දක්වා මිනිස්සු ස්වර්ග රාජ්‍යය ඉලක්ක කරගෙන මහත් පරිශ්‍රමයක් දරති.”
ස්වර්ග රාජ්‍යයේ සුළු තැනැත්තෙක් වුණත් යොහන්ට වඩා උතුම් වන නිසා, යේසුස් මෙහිදී පෙන්නුම් කරන්නේ යොහන් ස්වර්ග රාජ්‍යයේ සිටින්න යන්නේ නැති බවයි. යොහන් යේසුස් සඳහා මාර්ගය පිළියෙළ කළත් ඔහු මිය ගියේ, ක්‍රිස්තුස් තම ගෝලයන්ට ඔහුගේ රාජ්‍යය තුළ හවුල් පාලකයන් විය හැකි බවට දුන් පොරොන්දුව හෙවත් ඔවුන් සමඟ ඇති කළ ගිවිසුම තහවුරු කිරීමට පෙරාතුවයි. යොහන් ස්වර්ග රාජ්‍යයට නොයන බව යේසුස් පවසන්නේ ඒ නිසායි. ඒ වෙනුවට යොහන් දෙවිගේ රාජ්‍යයේ භූමික යටත්වැසියෙක් වීමට නියමිතයි. ලූක් 7:18-30; මතෙව් 11:2-15; NW.
▪ පැමිණෙන්නාවූ තැනැත්තා යේසුස්ද නැතහොත් වෙනත් කෙනෙකුව අපේක්ෂා කළ යුතුද කියා යොහන් අසන්නේ ඇයි?
▪ යොහන් කිනම් අනාවැකි ඉටු කළ බවද යේසුස් පවසන්නේ?
▪ යොහන් බව්තීස්ත යේසුස් සමඟ ස්වර්ගයේ නොසිටිනු ඇත්තේ ඇයි?