46වෙනි පරිච්ඡේදය
ඇය ඔහුගේ වස්ත්‍රයට අත තැබුවාය
යේසුස් දෙකපොලිසයේ සිට ආපසු පැමිණ ඇති බවට පුවත කපර්ණවුම දක්වා පැතිරෙනවා. මහත් සමූහයක් මුහුද අසල එක් රොක් වී සිටිනවා ඔහුව පිළිගැනීමට. ඔහු කුණාටුව නිශ්චල කළ බව හා භූතාවේශ වූ මනුෂ්‍යයන්ව සුව කළ බව ඔවුන්ටත් ආරංචි වී ඇති බව නිසැකයි. ඔහු වෙරළට ගොඩ බසින විට, ඔවුන් ඉතා උද්යෝගයෙන් සහ අපේක්ෂාසහගතව ඔහු වටා රොක් වෙනවා.
මොවුන් අතරින් යේසුස් හමුවීමට මහත් උනන්දුවකින් සිටින එක් කෙනෙක් වන්නේ සිනගෝගයේ මුලසුන භාර නිලධාරියෙක් වන යායිරස්. ඔහු යේසුස්ගේ පාමුල වැටී දිගින් දිගටම මෙසේ කන්නලව් කරනවා. “මාගේ චූටි දුව දරුණු ලෙස රෝගීව සිටියි. ඇය සුවය ලබා ජීවත් වන පිණිස, කරුණාකර ඇවිත් ඇය පිට අත් තබන්න පුළුවන්ද?” ඇය ඔහුගේ එකම දරුවා වන නිසාත් තවමත් අවුරුදු 12ක කුඩා දැරියක් වන නිසාත් යායිරස් ඇයට ඉතා ආදරෙයි.
යේසුස් ඔහුගේ ඉල්ලීමට ප්‍රතිචාරය දක්වමින් සමූහයා කැටුව යායිරස්ගේ නිවස වෙතට ගමන් කරනවා. තවත් ප්රාතිහාර්යයක් දැකගැනීමට පුල පුලා බලා සිටින මනුෂ්‍යයන් කොතරම් උද්යෝගයකින් සිටිනවාද කියා අපට සිතාගත හැකියි. එහෙත් සමූහයා අතරෙහි සිටින එක් ස්ත්‍රියකගේ අවධානය යොමු වී තිබෙන්නේ ඇගේම බැරෑරුම් ගැටලුව වෙතටයි.
අවුරුදු 12ක් තරම් දිගු කාලයක් පුරා, මෙම ස්ත්‍රිය ලේ ගැලීමක් නිසා පීඩා විඳ තිබෙනවා. ඇය යා හැකි සෑම වෛද්‍යවරයෙක් වෙතටම ගොස් ඇගේ මුදල් සියල්ලම ප්‍රතිකාර සඳහා වියදම් කර තිබුණත් ඉන් ඇයට සුවයක් නම් ලැබිලා තිබුණේ නැහැ. ඒ වෙනුවට ඇගේ ගැටලුව තවත් උග්‍ර වෙලා.
රෝගය ඇයව ඉතා දුර්වල තත්වයකට පත් කර තිබෙනවාට අමතරව ඇය ඒ නිසා කොතරම් ලජ්ජාවට සහ නින්දාවට පත් වී ඇද්ද කියා ඔබට තේරුම්ගත හැකියි. සාමාන්‍යයෙන් එවැනි රෝගයක් පිළිබඳව කිසිවෙක් ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. මීට අමතරව, මෝසෙස්ගේ නීතියට අනුව ලේ ගැලීමක් සිදු වන ස්ත්‍රියකව සලකන්නේ අපවිත්‍ර කෙනෙක් ලෙසයි. එමෙන්ම යමෙක් ඇයව හෝ ඇගේ ලේ තැවරුණු වස්ත්‍ර ඇල්ලුවොත් සවස් වන තෙක්ම අපවිත්‍ර කෙනෙකු ලෙස සිටින ඔහු වස්ත්‍ර සෝදා නාගත යුතුයි.
ස්ත්‍රිය යේසුස්ගේ ප්රාතිහාර්යයන් ගැන අසා තිබෙන නිසා දැන් ඇය ඔහුව සොයා එනවා. අපවිත්‍ර තත්වයක සිටින නිසා ඇය සමූහයා අතරෙන් ගමන් කරන්නේ හැකි තරම් අන්‍යයන්ගේ අවධානය ඇද නොගන්නා විදිහටයි. ඒ ගමන් ඇය තමාටම මෙසේ කියාගන්නවා. ‘ඔහුගේ පිට වස්ත්‍ර විතරක් ඇල්ලුවොත් මා සුව වෙයි.’ ඇය එසේ කළ විට ඇගේ ලේ ගැලීම එක විගසම නතර වූ බව ඇයට දැනේ!
“මාව ස්පර්ශ කළේ කවුද?” යේසුස්ගේ එම වචනවලින් ඇය කොතරම් තිගැස්සෙන්න ඇද්ද! ඔහු එය දැනගත්තේ කොහොමද? පේතෘස් තම පුදුමය පළ කරමින් මෙසේ අසනවා. ‘ගුරුතුමෙනි, සමූහයා ඔබව තෙරපමින් සිටිනවා දැක දැකත්, “මාව ස්පර්ශ කළේ කවුද” කියා ඔබ අසනවාද?’
යේසුස් ස්ත්රියව සොයමින් මෙසේ පැහැදිලි කරනවා. “කවුරුන් හෝ මාව ස්පර්ශ කළේය. මන්ද මා කෙරෙන් බලය පිට වී ගිය බව මට දැනුණේය.” ඇත්තෙන්ම එය සාමාන්‍ය ස්පර්ශ කිරීමක් නොවෙයි. මන්ද එම සුව කිරීම සිදු වන විට යේසුස්ගෙන් බලය නිකුත් වන නිසයි.
අවධානයට ලක් නොවී සිටිය නොහැකි බව තේරුම්ගනිමින් ස්ත්‍රිය භයෙන් වෙවුලමින්, යේසුස් ඉදිරියෙහි දණින් වැටෙනවා. ඇය මුළු සෙනඟ ඉදිරියේ ඇගේ අසනීපය ගැනත් ඇය දැන් සුව වූ ආකාරය ගැනත් කිසිවක් නොසඟවා පවසනවා.
ඇය සියල්ල හෙළි කරන නිසා, යේසුස් දයානුකම්පිත ලෙස ඇයව සනසන්නේ මෙසේයි. “දියණියෙනි, ඔබේ ඇදහිල්ල ඔබව සුව කළේය. සමාදානයෙන් ගොස්, ඔබේ බරපතළ රෝගයෙන් සුව වී සිටින්න.” පොළොව පාලනය කිරීමට දෙවි තෝරාගෙන සිටින තැනැත්තා, මනුෂ්‍යයන් ගැන සැලකිල්ල දක්වන, ඔවුන්ට උපකාර කිරීමට බලය තිබෙන සංවේදී, දයානුකම්පිත පුද්ගලයෙක් බව දැනගන්න ලැබීම මොන තරම් හද දනවන්නක්ද! මතෙව් 9:18-22; මාක් 5:21-34; ලූක් 8:40-48; NW; ලෙවී කථාව 15:25-27.
▪ යායිරස් යනු කවරෙක්ද? ඔහු යේසුස් වෙතට පැමිණෙන්නේ ඇයි?
▪ එක්තරා ස්ත්‍රියකට තිබෙන්නේ කුමන ගැටලුවක්ද? උපකාර ලබාගැනීම සඳහා යේසුස් වෙතට පැමිණීම ඇයට එතරම් අපහසු වන්නේ ඇයි?
▪ ස්ත්‍රිය සුවය ලබන්නේ කෙසේද? යේසුස් ඇයව සනසන්නේ කෙසේද?