35වෙනි පරිච්ඡේදය
අපි මැරුණත් අපිට ආපහු ජීවිතය ලැබෙනවා
අපි මැරුණොත් අපිට ආපහු ජීවිතය දෙන්න දෙවි කැමතිද?— දෙවි කැමතියි කියලා දෙවිගේ සේවකයෙක් වුණු යෝබ් විශ්වාස කළා. තමන්ගේ මරණය ළං වෙලා කියලා හිතපු වෙලාවක එයා දෙවිට මෙහෙම කිව්වේ ඒ නිසයි. ‘ඔබ මට අඬගහනවා. එතකොට මමත් උත්තර දෙනවා.’ මැරුණු අයට ආපහු ජීවිතය දෙන්න දෙවි හුඟක් ආසාවෙන් බලන් ඉන්නවා කියලා යෝබ් කිව්වා.—යෝබ් 14:14, 15.
යේසුත් යෙහෝවා දෙවි වගේමයි. එයාත් ආසයි අපිට උදව් කරන්න. දවසක් ලාදුරු රෝගියෙක් ‘ඔයා කැමති නම් ඔයාට පුළුවන් මාව පවිත්‍ර කරන්න’ කියලා කිව්වාම යේසුස් කිව්වේ ‘මම කැමතියි’ කියලයි. ඒ වෙලාවෙම එයා සනීප වුණා.—මාක් 1:40-42.
යෙහෝවා දෙවි පුංචි අයට ආදරෙයි කියලා පෙන්නලා තියෙන්නේ කොහොමද?
දරුවන්ට ආදරය කරන්න යේසුස් ඉගෙනගත්තේ යෙහෝවා දෙවිගෙන්. අවුරුදු ගාණකට කලින් දෙවි, මැරුණු පිරිමි ළමයි දෙන්නෙක්ට ජීවිතය දුන්නා. එකක් වුණේ එලියාගේ කාලයේ. එලියාට උදව් කරපු ගැහැනු කෙනෙකුගේ පුතා ලෙඩ වෙලා මැරුණා. ඒ නිසා එලියා දෙවිට කිව්වා ඒ දරුවාට ආපහු ජීවිතය දෙන්න කියලා. දෙවි ඒක කළා. එලිෂාටත් දෙවි බලය දුන්නා මැරුණු පිරිමි ළමයෙක්ට ආපහු ජීවිතය දෙන්න.—1 රාජාවලිය 17:17-24; 2 රාජාවලිය 4:32-37.
යෙහෝවා දෙවි අපිට ආදරෙයි කියලා දන්න එක ලොකු සතුටක් නේද?— දෙවි අපි ගැන හිතන්නේ අපි ජීවත් වෙලා ඉද්දී විතරක් නෙවෙයි. අපි මැරුණත් දෙවිට අපිව මතක තියෙනවා. දෙවිගේ සේවකයන් මැරුණත් දෙවි ඒ අයව සලකන්නේ ජීවතුන් අතර ඉන්න අය හැටියටයි කියලා යේසුස් කිව්වා. (ලූක් 20:38) බයිබලයේ මෙහෙම කියනවා. ‘මරණයටවත් මේ ජීවිතයටවත් දැන් සිද්ධ වෙන දේවලටවත් ඉස්සරහාට වෙන්න තියෙන දේවලටවත් බැහැ දෙවිගේ ආදරයෙන් අපිව වෙන් කරන්න.’—රෝම 8:38, 39.
යෙහෝවා දෙවි දරුවන්ට හුඟක් ආදරෙයි කියලා තේරුම්ගන්න යේසුස් මිනිසුන්ට උදව් කළා. යේසුස් පොඩි ළමයින්ට දෙවි ගැන කියලා දුන්නා. හැබැයි ඔයා දැනගෙන හිටියාද මැරුණු දරුවන්ට ආපහු ජීවිතය දෙන්න දෙවි යේසුස්ට බලය දීලා තිබුණා කියලා?— යායිරස්ගේ දුව අවුරුදු 12දී මැරුණාම යේසුස් එයාට ආයෙත් ජීවිතය දීපු සිද්ධිය ගැන අපි දැන් බලමු.
යායිරසුයි එයාගේ බිරිඳයි එයාලාගේ එකම දුවයි ජීවත් වුණේ ගලීල මුහුද කිට්ටුව. දවසක් ඒ දුව මැරෙන තරමටම අසනීප වුණා. යේසුස්ට ලෙඩ හොඳ කරන්න පුළුවන් කියලා දන්න නිසා යායිරස් යේසුස්ව හොයාගෙන ගියා. එතකොට යේසුස් හිටියේ ගලීල මුහුද ළඟ ලොකු සෙනඟකට උගන්වමින්.
යායිරස් සෙනඟ මැද්දෙන් ගිහින් යේසුස්ගේ කකුල් දෙක ළඟ වැටිලා මෙහෙම කිව්වා. ‘මගේ චූටි දුවට හොඳටම අසනීපයි. අනේ පුළුවන්ද ඇවිත් දුවව සනීප කරන්න.’ ඒ වෙලාවෙම යේසුස් යායිරස් එක්ක පිටත් වුණා. සෙනඟත් ඒ අය එක්ක ගියා. ටිකකින් යායිරස්ගේ ගෙදරින් ආපු කිහිපදෙනෙක් යායිරස් ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. ‘ගුරුතුමාට තවත් කරදර කරන්න එපා. ඔයාගේ දුව මැරුණා.’
ඒක යේසුස්ට ඇහුණා. යායිරස්ගේ දුක තේරුම්ගත්ත යේසුස් එයාට මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. දෙවි ගැන විශ්වාසයෙන් ඉන්න. ඔයාගේ දුවව බේරගන්න පුළුවන්.’ එයාලා දිගටම යායිරස්ගේ ගෙදරට වෙන කල්ම ගියා. එහේ හැමෝම හිටියේ අඬමින්. ඒත් යේසුස් එයාලාට මෙහෙම කිව්වා. ‘අඬන්න එපා. දැරිය මැරිලා නැහැ. එයා නිදාගෙනයි ඉන්නේ.’
හැබැයි ඒ වෙද්දිත් දැරිය මැරිලා හිටිය නිසා යේසුස් එහෙම කිව්වාම සමහරු හිනා වුණා. දැරිය නිදාගෙන ඉන්නවා කියලා යේසුස් කිව්වේ ඇයි?— එහෙම කිව්වේ මරණය නින්දකට සමානයි කියලා උගන්වන්නයි. එතැන හිටිය අයට යේසුස් තේරුම් කරන්න හදපු වැදගත් කාරණය මොකක්ද?— යේසුස්ට ඕනෙ වුණේ නිදාගෙන ඉන්න කෙනෙක්ව ඇහැරවනවා වගේ මැරුණු කෙනෙක්ට දෙවිගේ බලයේ උපකාරයෙන් ලේසියෙන්ම ආපහු ජීවිතය දෙන්න තමන්ට පුළුවන් කියලා තේරුම් කරන්නයි.
යේසුස් යායිරස්ගේ දුවට ආපහු ජීවිතය දීපු එකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
දැරියගේ අම්මා, තාත්තා, පේතෘස්, යාකොබ් සහ යොහන් ඇරෙන්න අනිත් හැමෝටම ගෙයින් එළියට යන්න කියලා යේසුස් කිව්වා. ඊටපස්සේ යේසුස් ගියේ දැරිය ළඟට. දැරියගේ අතින් අල්ලලා ‘දුවේ දැන් නැඟිටින්න’ කියලා යේසුස් කිව්වා. එතකොටම ඒ දැරිය නැඟිටලා ඇවිදින්න පටන්ගත්තා. අම්මාටයි, තාත්තාටයි ඒ වෙලාවේ දැනුණේ පුදුම සතුටක්.—මාක් 5:21-24, 35-43; ලූක් 8:40-42, 49-56.
ඒ දැරියට ආපහු ජීවිතය දුන්නා වගේ මැරිලා ඉන්න අනිත් අයටත් ආපහු ජීවිතය දෙන්න යේසුස්ට පුළුවන් වෙයිද?— යේසුස් එහෙම කරයි කියලා ඔයා හිතනවාද?— ඔව්, යේසුස් අනිවාර්යයෙන්ම ඒක කරනවා. යේසුස් මෙහෙම කිව්වේ ඒ නිසයි. ‘සොහොන් ගෙවල්වල ඉන්න හැමෝටම මගේ හඬ ඇහෙන කාලය එනවා. එදාට ඒ අය නැවත නැඟිටිනවා.’—යොහන් 5:28, 29.
මැරුණු අයට ජීවිතය දෙන්න යේසුස් කැමතියි කියලා ඔයා හිතනවාද?— ඒකට උත්තරේ අපි තවත් සිද්ධියකින් බලමු. කෙනෙක් මැරුණාම ඒ ගැන දුකින් ඉන්න අයට උදව් කරන්න යේසුස් කොච්චර කැමතිද කියලා ඒකෙන් අපිට දැනගන්න පුළුවන්.
දවසක් නායින් නුවරේ ඉඳන් සෙනඟක් මිනියක් වළලන්න අරන් ගියා. ලොකු සෙනඟක් එතැන හිටියා. ඒ අතරේ මැරුණු කෙනාගේ අම්මාත් හිටියා. ඒ අම්මාගේ එකම පුතා තමයි මැරිලා හිටියේ. එයාගේ සැමියාත් ඊට කලින් මැරිලා. දුක දරාගන්න බැරුව ඒ අම්මා අඬමිනුයි හිටියේ.
ඒ වෙලාවේ යේසුස් හිටියේ ගෝලයන් එක්ක නායින් නුවරට එන ගමන්. නුවරේ දොරටුව ළඟදී යේසුස් දැක්කා සෙනඟ මැරුණු පුතාව වළලන්න අරන් යනවා. අම්මා අඬනවා දැක්කාම යේසුස්ට එයා ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. යේසුස්ට ඕන වුණා එයාට උදව් කරන්න.
යේසුස් හරිම කරුණාවෙන් එයාට කිව්වා “අඬන්න එපා” කියලා. එතකොට හැමෝම උනන්දුවෙන් යේසුස් දිහා බැලුවා. ඊටපස්සේ යේසුස් මිනිය ළඟට යද්දී හැමෝම කල්පනා කරන්න ඇති මොනවාද කරන්න යන්නේ කියලා. යේසුස් මැරිලා ඉන්න කෙනාට මෙහෙම කිව්වා. “තරුණය, දැන් නැඟිටින්න.” ඒ වෙලාවෙම එයා නැඟිටලා කතා කරන්න පටන්ගත්තා.—ලූක් 7:11-17.
ඒ අම්මාට කොච්චර සතුටු හිතෙන්න ඇද්ද! ඔයා හුඟක් ආදරය කරපු අයත් මැරිලා ඇති. ඒ අයට ආපහු ජීවිතය ලැබෙද්දී ඔයාට ඒ ගැන කොහොම දැනෙයිද?— යේසුස් මිනිසුන්ට හරිම ආදරෙයි කියලත් ඒ අයට උදව් කරන්න එයා හුඟක් කැමතියි කියලත් අපි බලපු ඒ සිද්ධියෙන් තේරෙනවා නේද?— ටිකකට හිතන්න, මැරුණු අයට පාරාදීසයේදී ජීවිතය ලැබිලා එයාලා අපි එක්ක ජීවත් වෙද්දී අපිට කොච්චර සතුටක් දැනෙයිද!—2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4.
මේ අම්මාගේ එකම පුතාට ආපහු ජීවිතය දීපු එකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
එදාට ජීවිතය ලැබෙන අය අතරේ අපි දන්න අයත් ඉඳියි. අපි දන්න දරුවනුත් ඉඳියි. අපිට ඒ අයව අඳුරගන්න පුළුවන් වෙයිද? ඔව්. යායිරස්ගේ දුවට ආපහු ජීවිතය ලැබුණාට පස්සේ යායිරස්ට එයාගේ දුවව අඳුරගන්න පුළුවන් වුණා වගේ අපිටත් එයාලාව අඳුරගන්න පුළුවන්. අවුරුදු සිය ගාණකට, දහස් ගාණකට කලින් ජීවත් වුණු අයටත් ජීවිතය ලැබෙනවා. එයාලා මැරුණේ හුඟ කාලෙකට කලින් වුණත් දෙවිට එයාලාව අමතක වෙන්නේ නැහැ.
යෙහෝවා දෙවිත් යේසුත් අපිට ඒ තරම්ම ආදරෙයි කියලා දන්න එක ලොකු සතුටක් නෙවෙයිද?— ඒ දෙන්නාම කැමති අපි මැරෙන්නේ නැතුව හැමදාටම ජීවත් වෙනවාටයි.
මැරුණු අය සම්බන්ධයෙන් අපිට තියාගන්න පුළුවන් බලාපොරොත්තුව ගැන බයිබලයේ තියෙන දේ දැනගන්න අපි දැන් මේ බයිබල් පද කියවලා බලමු. යෙසායා 25:8; ක්‍රියා 24:15; 1 කොරින්ති 15:20-22.