47වෙනි පරිච්ඡේදය
කඳුළු ඉමහත් ප්‍රීති ප්රමෝදයට හැරේ
ලේ ගැලීමකින් පීඩා වින්ද ස්ත්‍රිය සුව වූ බව යායිරස් දකින විට, ආශ්චර්යයන් කිරීමට යේසුස්ට ඇති බලය කෙරෙහි ඔහුගේ විශ්වාසය තවත් වැඩි වන බව නිසැකයි. මරණාසන්නව සිටින දොළොස් හැවිරිදි තම ආදරණීය දියණිය වෙතට ගොස් ඇයට උපකාර කරන මෙන්, එදින උදෑසන යායිරස් යේසුස්ගෙන් ඉල්ලා තිබුණා. කෙසේවෙතත්, යායිරස් ඉතා භයෙන් සිටි දේම තමයි දැන් සිදු වන්නේ. යේසුස් ස්ත්‍රිය සමඟ කතා කරමින් සිටින අතරතුරේදීම මිනිසුන් කීපදෙනෙක් පැමිණ යායිරස්ගේ කනට කර මෙසේ පවසනවා. “ඔබේ දුව මැරුණාය! ගුරුතුමාට තවදුරටත් කරදර කරන්නේ කුමටද?”
එම පුවත මොන තරම් හද සසල කරවන්නක්ද! මදක් සිතා බලන්න. ප්‍රජාවේ ගෞරවයට පාත්‍ර වූ මේ මනුෂ්‍යයා, තම දියණියගේ වියෝව ගැන දැනගත් පසු දැන් මුළුමනින්ම අසරණ වෙලා. කෙසේවෙතත්, ඔවුන් අතර කතා වුණ දේ යේසුස්ගේ දෙසවනට වැටෙනවා. එමනිසා ඔහු යායිරස් වෙතට හැරී ඔහුව දිරිමත් කරමින් පවසන්නේ, “භය නොවන්න, ඇදහිල්ල පමණක් පෙන්වන්න” කියායි.
යේසුස් ශෝකයෙන් තැවෙන එම මිනිසා සමඟ ඔහුගේ නිවසට යනවා. ඔවුන් එහි පැමිණෙන විට ඔවුන් දකින්නේ මහා හයියෙන් හඬා වැලපෙමින් සිටින පිරිසක්. විශාල සමූහයක් එක් රොක් වී සිටින අතර ඔවුන් ශෝකයෙන් පපුවට ගසාගනිමින් සිටිනවා. යේසුස් ඇතුල් වී පවසන්නේ මෙසේයි. “ඔබ කලබල වී ඝෝෂා කරන්නෙත් හඬන්නෙත් මන්ද? කුඩා දැරිය මැරිලා නැත. ඈ නිදා සිටිනවාය.”
දැරිය ඇත්තටම මැරී සිටින බව මිනිසුන් දන්නා නිසා මෙය ඇසූ ගමන්ම ඔවුන් උපහාසාත්මක ලෙස යේසුස්ට සිනාසෙන්න පටන්ගන්නවා. කෙසේවෙතත්, යේසුස් කියන්නේ ඇය නිකම් නිදාගෙන සිටිනවා කියලයි. මනුෂ්‍යයන්ව තද නින්දකින් පහසුවෙන්ම අවදි කිරීමට හැකි සේම, ඔවුන්ව මරණයෙන්ද නැවත නැඟිටුවීමට හැකි බව දෙවිගෙන් ලත් බලය උපයෝගි කරගනිමින් ඔහු දැන් පෙන්වන්නයි සූදානම් වන්නේ.
යේසුස් දැන් පේතෘස්, යාකොබ්, යොහන් සහ මිය ගිය දැරියගේ මවත් පියාත් හැර අන් සියල්ලන්වම පිටතට යවනවා. ඔහු දැන් මෙම පස්දෙනාත් සමඟ යන්නේ මිය ගිය දැරිය සිටින ස්ථානයටයි. ඇගේ අත අල්ලමින් යේසුස්, “තලිතා කූමි” කියා පවසනවා. පරිවර්තනය කළ විට එහි අර්ථය, “දැරිය, මම ඔබට කියමි, නැඟිටින්න!” යන්නයි. එක විගසම දැරිය නැඟිට ඇවිදීමට පටන්ගන්නවා! එය දැකීමෙන් ඇගේ දෙමව්පියන්ට ඇති වන ප්‍රීති උද්දාමය විස්තර කිරීමට වචන නැහැ.
දැරියට කන්න යමක් දෙන්න කියා උපදෙස් දීමෙන් පසු, සිදු වූ දෙය කිසිවෙකුට නොපවසන ලෙස යේසුස් යායිරස්ට හා ඔහුගේ බිරිඳට අණ කරනවා. එහෙත් යේසුස් කුමක් පැවසුවත් ඒ පිළිබඳ පුවත එම පළාත පුරාම පැතිරෙනවා. යේසුස් සිදු කරන දෙවන නැවත නැඟිටීම මෙයයි. මතෙව් 9:18-26; මාක් 5:35-43; ලූක් 8:41-56; NW.
▪ යායිරස්ට දැනගන්ට ලැබෙන පුවත කුමක්ද? යේසුස් ඔහුව දිරිමත් කරන්නේ කොහොමද?
▪ ඔවුන් යායිරස්ගේ නිවසට පැමිණෙන විට, පවතින්නේ කෙබඳු තත්වයක්ද?
▪ මිය ගිය දැරිය නිකම් නිදාගෙන සිටිනවා කියා යේසුස් පවසන්නේ ඇයි?
▪ යේසුස්ට අමතරව නැවත නැඟිටීම දකින පස්දෙනා කවුරුන්ද?