63වෙනි පරිච්ඡේදය
නිවැරදි කිරීමට තවත් උපදෙස්
යේසුස් හා ඔහුගේ ප්‍රේරිතයන් තවමත් කපර්ණවුමේ නිවසෙහි සිටින විටදී, වඩා උතුම් කවරෙක්ද යන ප්‍රේරිතයන්ගේ වාදයට අමතරව වෙනත් සාකච්ඡාවක් අරඹනවා. ඔවුන් සාකච්ඡා කරන්නේ සමහරවිට කපර්ණවුමට ආපසු එන ගමනේදී සිදු වූ යමක් ගැන විය හැකියි. යේසුස් ඒ අවස්ථාවේදී ඔවුන් සමඟ සිටියේ නැහැ. ප්‍රේරිත යොහන් ඒ පිළිබඳව මෙසේ වාර්තා කරනවා. “එක්තරා මිනිසෙකු ඔබේ නාමයෙන් භූතයන් දුරු කරනවා දැක, ඔහු අපත් සමඟ සිටින කෙනෙකු නොවන බැවින්, අපි ඔහුව එයින් වළක්වන්න උත්සාහ කළෙමු.”
පැහැදිලිවම, යොහන් සිතාගෙන සිටින්නේ ප්‍රේරිතයන් තනතුරු දරන සුවිශේෂ සුව කරන්නන්ගේ කණ්ඩායමක් බවයි. ඉතිං එම මනුෂ්‍යයා ඔවුන්ගේ කණ්ඩායමට අයත් නොවූ නිසා ඔහු බලවත් ක්‍රියා සිදු කරමින් සිටියේ නුසුදුසු ලෙස කියායි ඔහුට හැඟෙන්නේ.
එහෙත් යේසුස් උපදෙස් දෙන්නේ මෙහෙමයි. “ඔහුව එයින් වළක්වන්න උත්සාහ නොකරන්න. මන්ද මාගේ නාමයෙන් බලවත් ක්‍රියාවක් කරන කිසිවෙකුට, එය කරන අතරම මට නිග්‍රහ කළ නොහැක. මන්ද, අපට විරුද්ධ නොවන්නා අපට පක්ෂව සිටින්නේය. ඔබ ක්‍රිස්තුස්ට අයිතිව සිටින නිසා යමෙක් ඔබට බොන්න වතුර කෝප්පයක් දෙන්නේ නම් ඔහුගේ විපාකය කිසිසේත් ඔහුට අහිමි නොවන්නේයයි සැබවින්ම මම ඔබට කියමි.”
යේසුස්ගේ අනුගාමිකයෙකු වීම සඳහා මෙම මනුෂ්‍යයාට අනිවාර්යයෙන්ම යේසුස් ළඟින්ම සිටීම අවශ්‍ය වුණේ නැහැ. ක්‍රිස්තියානි සභාව ඒ වෙද්දී පිහිටුවා නොතිබුණු නිසා, ඔහු ඔවුන්ගේ කණ්ඩායමේ නොසිටියත් ඉන් අදහස් වුණේ නැහැ ඔහු වෙනම සභාවක සාමාජිකයෙක් වූ බව. එම මනුෂ්‍යයාට භූතයන් පලවාහැරීමට හැකි වුණේ ඔහුට යේසුස් කෙරෙහි ඇත්තටම ඇදහිල්ල තිබූ නිසයි. විපාකයක් ලැබීමට සුදුසුයයි යේසුස් පැවසූ දෙයට මනාව ගැළපෙන දෙයක් තමයි ඔහු කරමින් සිටියේ. මෙය කිරීම හේතුවෙන් ඔහුගේ විපාකය අහිමි නොවන බව යේසුස් පෙන්නුම් කරනවා.
එහෙත් ප්‍රේරිතයන්ගේ වචනවලින් හා ක්‍රියාවලින් ඒ මිනිසා බාධාවට පත් වුණා නම් තත්වය කුමක්ද? එය ඉතා බරපතළ වරදක්! යේසුස් පවසන්නේ, “මේ ඇදහිලිවන්ත කුඩා අයගෙන් එක් කෙනෙකුටවත් යමෙක් බාධා කරන්නේද, බූරුවෙකු විසින් කරකවනු ලබන ඇඹරුම් ගලක් ඔහුගේ බෙල්ලේ එල්ලා ඔහුව මුහුදේ හෙළීම ඔහුට යහපත” කියායි.
ඔවුන්ව බාධාවට පත් කළ හැකි අතක්, පාදයක් හෝ ඇසක් තරම් වූ වටිනා ඕනෑම දෙයක් ඔහුගේ ගෝලයන් ඔවුන්ගේ ජීවිතයෙන් ඉවත් කළ යුතු බව යේසුස් පවසනවා. එම වටිනා දේ අත් නොහැර සිටීමෙන් සදාකාල විනාශය සංකේතවත් කරන ගෙහෙන්නාවට (යෙරුසලම අසල තිබෙන දැවෙමින් පවතින කසළ ගොඩක්) හෙළනු ලැබීමට වඩා එය නොමැතිව දේවරාජ්‍යයට ඇතුල් වීම හොඳයි.
යේසුස් තවදුරටත් මෙලෙස අනතුරු අඟවයි. “මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් හෙළා නොදැකීමට වගබලා ගන්න. මන්ද, මම ඔබට කියමි, ස්වර්ගයෙහි වසන ඔවුන්ගේ දේවදූතයෝ, ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ගේ මුහුණ නිතරම දකිති.” බැටළුවන් සියයක් සතු වුණත් එක් බැටළුවෙක් නැති වන මිනිසෙකු ගැන පවසමින් ඔහු ඊළඟට මෙම ‘කුඩා අයගේ’ ඇති වටිනාකම නිරූපණය කරනවා. නැති වූ එකා සෙවීමට එම මිනිසා අනික් 99දෙනාව දමා යන බව යේසුස් පහදා දෙනවා. එමෙන්ම ඌව සම්බ වූ විට අනික් 99දෙනා ගැන සන්තෝෂ වෙනවාට වඩා ඌ ගැන සන්තෝෂ වෙනවා. අවසන් වශයෙන් යේසුස් පවසන්නේ මේ ආකාරයටයි. “එලෙසම මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් විනාශ වීම ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ට ප්‍රසන්න දෙයක් නොවේ.”
යේසුස් ඊළඟ වචනවලින් ප්‍රේරිතයන්ව උනන්දු කරද්දී සමහරවිට මීට කලින් ඔවුන් අතරෙහි හටගත් වාදය ඔහුගේ මනසේ තිබෙන්න ඇති. “ඔබ තුළ ලුණු ගතිය ඇතිව සිට, එකිනෙකා අතර සමාදානය රකින්න.” නිරස ආහාරවලට ලුණු දැමීමෙන් ඒවා වඩාත් රසවත් වෙනවා. ඒ හා සමානව, සංකේතාත්මක ලුණු උපකාරවත් වෙනවා යමෙක් පවසන දේ වඩාත් පහසුවෙන් පිළිගැනීමට. එබඳු ලුණු ඇතුව සිටීම සාමය පවත්වාගැනීමට ඉවහල් වෙනවා.
එහෙත් ඇතැම් අවස්ථාවලදී, මිනිස් අසම්පූර්ණත්වය නිසා බරපතළ ආරවුල් උද්ගත වෙනවා. ඒවා හසුරුවන ආකාරය සම්බන්ධයෙනුත් මඟ පෙන්වීම් සපයමින් යේසුස් පවසන්නේ මෙහෙමයි. “ඔබේ සහෝදරයා පාපයක් කළොත්, ගොස් තනිව ඔහුව හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබට සවන් දුන්නොත්, ඔබේ සහෝදරයාව ඔබ දිනාගෙන තිබේ.” ඔහු සවන් නොදුන්නොත් කළ යුතු දේ පිළිබඳව උපදෙස් දෙමින් යේසුස් මෙසේ පවසනවා. “සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් සෑම කාරණයක්ම ස්ථිර වන පිණිස, තව කෙනෙකුව හෝ දෙදෙනෙකුව කැඳවාගෙන යන්න.”
එය සාර්ථක නොවුණොත් විතරක් අන්තිම පියවරක් වශයෙන් “සභාවට” දැනුම් දෙන්න කියා යේසුස් පවසනවා. ඉන් අදහස් කරන්නේ විනිශ්චයමය තීරණයක් දිය හැකි සභාවේ වගකීම් දරන අවේක්ෂකයන්ට එය දැනුම් දිය යුතු බවයි. පව්කාරයා ඔවුන්ගේ තීරණය පිළිගන්නේ නැත්නම්, “ඔහු ඔබට අන්‍යජාතිකයෙකු මෙන්ද බදු එකතු කරන්නෙකු මෙන්ද වේවා” යනුවෙන් පවසමින් යේසුස් තම උපදෙස් අවසන් කරනවා.
එබඳු තීරණයක් ගැනීමේදී, අවේක්ෂකයන් යෙහෝවාගේ වචනයේ උපදෙස් ඉතා කිට්ටුවෙන් පිළිපැදිය යුතුයි. මෙලෙස, පුද්ගලයෙක් වැරදි කර දඬුවම් ලැබීමට සුදුසුයයි ඔවුන්ට පෙනී යන විට, විනිශ්චය ඒ වන විටත් ‘ස්වර්ගයෙහි බැඳ තිබෙනවා ඇත.’ තවද යමෙක් අහිංසක බව ඔවුන්ට පෙනී යන විට, එනම් ‘පොළොවෙහි කවර දෙයක් හෝ නිදහස් කරන විට’ එය ඒ වන විටත්, ‘ස්වර්ගයෙහි නිදහස් කර තිබේ.’ යේසුස් පවසන්නේ, එවැනි විනිශ්චයමය තීරණවලදී “දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු හෝ මාගේ නාමයෙන් කොතැනක හෝ රැස්ව සිටියොත් එතැන ඔවුන් අතරෙහි මම සිටිමි” කියායි. මතෙව් 18:6-20; මාක් 9:38-50; ලූක් 9:49, 50; NW.
▪ යේසුස් සිටි කාලයේදී, ඔහුව අනුගමනය කිරීම සඳහා ඔහු ළඟම සිටීම අවශ්‍ය නොවුණේ මන්ද?
▪ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් බාධාවට පත් කිරීම කොතරම් බරපතළද? එවැනි කුඩා අයගේ වටිනාකම යේසුස් නිදසුනකින් පැහැදිලි කර දෙන්නේ කෙසේද?
▪ තමන් තුළ ලුණු ගතිය ඇතිව සිටින්න කියා යේසුස් තම ප්‍රේරිතයන්ට දිරිගැන්වූයේ කුමන හේතුවක් නිසා විය හැකිද?
▪ ‘බැඳ තැබීම’ හා ‘නිදහස් කරනු ලැබීම’ යන්නෙහි වැදගත්කම කුමක්ද?