ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 63 පරි. 150 පි.-151 පි. 3 ¶
  • යේසුස් තවත් දේවල් ගැන උපදෙස් දෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් තවත් දේවල් ගැන උපදෙස් දෙයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • නිවැරදි කිරීමට තවත් උපදෙස්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ඔහු පොඩි ළමයින්ට ආදරෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනය
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ඔබේ සහෝදරයාව දිනාගන්න ඔබට පුළුවන්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 63 පරි. 150 පි.-151 පි. 3 ¶
තමන්ගේ නැති වුණු බැටළුවාව සොයාගන්න ලැබීම ගැන ප්‍රීති වෙන මිනිසෙක්

63වෙනි පරිච්ඡේදය

යේසුස් තවත් දේවල් ගැන උපදෙස් දෙයි

මතෙව් 18:6-20 මාක් 9:38-50 ලූක් 9:49, 50

  • කෙනෙක්ව වැටෙන්න සලස්වන එකේ බරපතළකම පහදා දෙයි

  • පාපයක් කළ සහෝදරයෙක් සම්බන්ධයෙන් කළ යුතු දේ පහදා දෙයි

යේසුස්ගේ අනුගාමිකයන්ට තමන් ගැනම තියෙන්න ඕන ආකල්පය ගැන යේසුස් මේ වෙද්දී පැහැදිලි කරලයි තියෙන්නේ. තනතුරු තාන්නමාන්න නැති කුඩා දරුවන් වගේ වෙන්න කියලයි ඔහු ඔවුන්ට කිව්වේ. ඒ වගේම ‘කුඩා දරුවන් වගේ’ ඉන්න අයව යේසුස්ගේ අනුගාමිකයන් විදිහට පිළිගන්නත් ඕනේ. එහෙම කරද්දී ඇත්තටම ඔවුන් පිළිගන්නේ යේසුස්ව.—මතෙව් 18:5.

උතුම්ම කෙනා කවුද කියලා නියෝජිතයන් වාද කරපු නිසා යේසුස් කියපු දේ ඔවුන් අවවාදයක් විදිහට සලකන්න ඇති. දැන් යොහන් යේසුස්ට මෙහෙම කියනවා. “භූතයන් දුරු කරන මිනිසෙක් අපිට හමු වුණා. ඔහු එය කරන්නේ ඔබේ නාමයෙන්. ඔහු අපට එකතු වුණේ නැති නිසා අපි ඔහු කරන දේ නතර කරන්න උත්සාහ කළා.”—ලූක් 9:49.

යොහන් එහෙම කිව්වේ ලෙඩ සුව කරන්නත් භූතයන් දුරු කරන්නත් බලය තියෙන්නේ නියෝජිතයන්ට විතරයි කියලා හිතපු නිසාද? එහෙමනම් ඒ යුදෙව්වා භූතයන් දුරු කරන්නේ කොහොමද? ඔහු යේසුස් එක්කවත් නියෝජිතයන් එක්කවත් එන්නේ නැති නිසා ඒ වගේ බලවත් ක්‍රියා කරන එක වැරදියි කියලා යොහන් හිතනවා ඇති.

ඒත් යේසුස් මෙහෙම කියනවා. “ඔහුව නතර කරන්න එපා. මන්ද කිසිම කෙනෙක් මගේ නාමයෙන් බලවත් ක්‍රියාවක් කළ පසු මා ගැන අගුණ කියන්නේ නැහැ. අපිට විරුද්ධව වැඩ කරන්නේ නැති කෙනෙක් ඇත්තටම සිටින්නේ අපට පක්ෂවයි. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔබ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් නිසා යමෙක් ඔබට බොන්න වතුර කෝප්පයක් දුන්නොත් ඔහුට ලැබීමට නියමිත ත්‍යාගය ඔහුට අනිවාර්යයෙන්ම ලැබෙන බවයි.”—මාක් 9:39-41.

යේසුස් පැහැදිලි කරන්නේ ඒ මිනිසා කරන දේ ප්‍රශ්නයක් කරගන්න එපා කියලයි. මොකද ඔහුට යේසුස් ගැන සැබෑ විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ක්‍රිස්තියානි සභාව තවම පිහිටුවලත් නැහැ. ඒ නිසා ඔහු යේසුස් එක්ක එන්නේ නැති එකෙන් ඔහු යේසුස්ට විරුද්ධයි කියලවත් ඔහු වැරදි නමස්කාර ක්‍රමයක් ව්‍යාප්ත කරනවා කියලවත් අදහස් වෙන්නේ නැහැ. යේසුස් කියපු විදිහට ඒ මිනිසාට නියමිත ත්‍යාගය අනිවාර්යයෙන්ම ලැබෙයි.

ඇඹරුම් ගලක් බෙල්ලේ එල්ලා මුහුදට හෙළන මිනිසෙක්

හැබැයි නියෝජිතයන් කියපු කරපු දේවලින් ඒ මිනිසා අධෛර්යය වෙලා වැටුණොත් ඒකේ බරපතළකම ගැන යේසුස් මෙහෙම කියනවා. “යමෙක් කරන දෙයක් නිසා මා කෙරෙහි විශ්වාසය තබන කුඩා දරුවන් හා සමාන ඔවුන්ගෙන් එක් කෙනෙකු හෝ වැටී ගියොත් බූරුවෙකු විසින් කරකවනු ලබන ඇඹරුම් ගලක් ඒ දේ කරන තැනැත්තාගේ බෙල්ලේ එල්ලා ඔහුව මුහුදේ හෙළීම වඩාත් හොඳයි.” (මාක් 9:42) දැන් ඔහු කියන්නේ අතක්, පයක්, ඇසක් තරම් වටිනා දෙයක් නිසා හරි අනුගාමිකයන් වැරදි කරන්න පෙලඹෙනවා නම් ඒවා කපලා ඉවත් කරන්න කියලයි. ඒ වගේ වටිනා දේවල් තියාගෙන ගෙහෙන්නාවට (හින්නොම් නිම්නයට) යනවාට වඩා ඒවා නැතුව දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන එක වටිනවා. යෙරුසලමට කිට්ටුවෙන් තියෙන කුණු කසළ පුලුස්සන ඒ තැන නියෝජිතයන් දැකලා ඇති. ඒ නිසා ගෙහෙන්නාවෙන් අදහස් වෙන්නේ සම්පූර්ණ විනාශය කියලා තේරුම්ගන්න ඔවුන්ට අමාරු නැහැ.

දැන් යේසුස් මෙහෙමත් කියනවා. “මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් සුළු කොට නොසැලකිය යුතු බව මතක තබාගන්න. මන්ද ඔවුන්ව රැකබලා ගන්නා ස්වර්ගයෙහි සිටින ඔවුන්ගේ දේවදූතයන් නිතරම සිටින්නේ ස්වර්ගයේ සිටින මගේ පියාණන්ගේ මුහුණ ඉදිරියෙහියි.” ඒ ‘කුඩා අයව’ තම පියාට කොයි තරම් වටිනවාද කියලා පැහැදිලි කරන්න ඔහු බැටළුවන් 100ක් හිටිය මිනිසෙක් ගැන කියනවා. දවසක් උන්ගෙන් එකෙක් නැති වෙනවා. ඔහු ඉතුරු 99දෙනාව දාලා ඌව හොයන් යනවා. ඌව හම්බ වුණාම ඔහුට දැනෙන්නේ පුදුම සතුටක්. යෙහෝවා දෙවිත් ඒ වගෙයි. “කුඩා දරුවන් හා සමාන මේ අයගෙන් එක් කෙනෙකුවත් විනාශ වෙනවාට ස්වර්ගයේ සිටින මගේ පියාණන් කැමති නැහැ” කියලා යේසුස් කියන්නේ ඒ නිසයි.—මතෙව් 18:10, 14.

යේසුස් දැන් මෙහෙම කියනවා. “ඔබත් ලුණු රසය ඇති ලුණු මෙන් විය යුතුයි. එසේ සිටීමෙන් එකිනෙකා අතර සමාදානය පවත්වාගන්න ඔබට පුළුවන්.” (මාක් 9:50) ඔහු එහෙම කියන්නේ උසස්ම කෙනා කවුද කියලා නියෝජිතයන් වාද කරපු එක මනසේ තියාගෙන වෙන්න ඇති. සාමාන්‍යයෙන් කෑමකට ලුණු දැම්මාම ඒක රසවත් වෙනවා. කෙනෙක් තමන් කතා කරන විදිහ ලුණෙන් රස කරපු කෑමක් වගේ සකස් කරගන්නවා නම් ඔහු කියන දේවල් පිළිගන්න අනිත් අයට ඒක උදව්වක් වෙනවා. එතකොට වාද ඇති වෙන්නේවත් සාමයට බාධා ඇති වෙන්නේවත් නැහැ.—කොලොස්සි 4:6.

සහෝදරයෙක් “පාපයක් කළොත්” කරන්න ඕන දේ ගැන යේසුස් මෙහෙම කියනවා. “ගොස් තනිව ඔහුව හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබ කියන දේ පිළිගත්තොත් ඔබේ සහෝදරයාව ඔබ දිනාගෙන තිබෙනවා.” ඔහු ඒක පිළිගන්නේ නැත්නම් මොකද කරන්නේ? යේසුස් මෙහෙම කියනවා. “තවත් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු සමඟ ඔහුව හමු වීමට යන්න. එසේ කළ යුත්තේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් සෑම කාරණයක්ම ස්ථිර වන නිසයි.” ඒත් ඔහු ඒක පිළිගන්නේ නැත්නම් ඒ ගැන “සභාවට” ඒ කියන්නේ සභාවේ වැඩිමහල්ලන්ට දැනුම් දෙන්න කියලා යේසුස් කියනවා. ඔහු සභාව කියන දේත් පිළිගන්නේ නැත්නම් යුදෙව්වන් ආශ්‍රය කරන්නේ නැති “වෙනත් ජාතිකයෙකු හා බදු එකතු කරන්නෙකු හා සමානව” ඔහුට සලකන්න කියලයි යේසුස් කියන්නේ.—මතෙව් 18:15-17.

සභාව රැකබලා ගන්න අය නිතරම දෙවිගේ වචනයේ සඳහන් මඟ පෙන්වීම් පිළිපදින්න ඕනේ. කෙනෙක් බරපතළ වරදක් කරලා දඬුවමක් ලබන්න සුදුසු තත්වයක ඉන්නවා නම් ඔහුට ලැබෙන්න ඕන විනිශ්චය “ඒ වන විටත් ස්වර්ගයෙහි බැඳ තබා” තියෙනවා. කෙනෙක් නිර්දෝෂයි කියලා තීරණය කරනවා නම් ඔහු “නිදහස් බව ඒ වන විටත් ස්වර්ගයෙහි තීරණය කර තිබෙනවා.” ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වාම ඒ මඟ පෙන්වීම් හුඟක් ප්‍රයෝජනවත් වෙයි. බරපතළ කාරණයක් හසුරුවන්න “දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු හෝ මගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටියොත් ඔවුන් අතරෙහි මමත් සිටිනවා” කියලා යේසුස් පොරොන්දු වෙනවා.—මතෙව් 18:18-20.

  • භූතයන්ව දුරු කරපු මිනිසාව විරුද්ධකාරයෙක් විදිහට සලකන එක සුදුසු නැත්තේ ඇයි?

  • කුඩා අයගෙන් කෙනෙක් වැටිලා යන විදිහට වැඩ කරන එක මොන තරම් බරපතළ වරදක්ද? ඒ වගේ කුඩා කෙනෙක්ව වුණත් කොයි තරම් වටිනවාද කියලා යේසුස් පැහැදිලි කළේ කොහොමද?

  • පාපයක් කරපු සහෝදරයෙක් සම්බන්ධයෙන් කරන්න ඕන දේ යේසුස් පැහැදිලි කළේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න