89වෙනි පරිච්ඡේදය
දයාන්විත මෙහෙවරක් සඳහා යුදයට
සති කිහිපයකට කලින්, යෙරුසලමෙහි පැවැත්වූ කැප කිරීමේ මංගල්‍යයේදී යේසුස්ව ඝාතනය කිරීමට යුදෙව්වරු වෑයම් කළා. ඒ නිසා, ඔහු උතුරු දෙසට ගියා. පෙනෙන විදිහට, ඔහු ගමන් කළේ ගලීල මුහුදට සමීපව තිබෙන පෙදෙසකටයි.
ඔහු මෑතක සිට, නැවතත් යෙරුසලම බලා දකුණු දෙසට ගමන් කරමින් සිටිනවා. ඔහු ඒ යන අතරමඟදී, යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි ප්‍රදේශයක් වන පෙරයාවෙහි ගම්වල දේශනා කරනවා. ධනවතා හා ලාසරුස් පිළිබඳ උපමාව කියා දීමෙන් පසු, ඔහු කලින් ගලීලයේ ඉගැන්වූ දේවල් දැන් නැවතත් ඔහුගේ ගෝලයන්ට උගන්වනවා.
උදාහරණයක් වශයෙන් ඔහු පවසනවා, යමෙක් දෙවිගේ ‘කුඩා අයගෙන් එක් කෙනෙකුවත්’ බාධාවට පත් කරනවා නම් “ඔහුගේ බෙල්ලේ ඇඹරුම් ගලක් එල්ලා මුහුදට හෙළන්නේ නම් ඔහුට යහපත” කියා. සමාව දීමේ අවශ්‍යතාවත් අවධාරණය කරමින් ඔහු මෙසේ පවසනවා. “[සහෝදරයෙකු] දවසකට හත් වතාවක් ඔබට විරුද්ධව පව් කළත්, නැවත ඔහු හත් වතාවක් ඔබ වෙතට හැරී ඇවිත්, ‘මම පසුතැවිලි වෙමි’යි කියන්නේ නම්, ඔබ ඔහුට සමාව දිය යුතුයි.”
“අපේ ඇදහිල්ල තවත් වැඩි කරන්න” කියා ගෝලයන් යේසුස්ගෙන් ඉල්ලා සිටින විට, “ඔබට අබ ඇටයක් තරම්වත් ඇදහිල්ල තිබුණේ නම්, මේ කලු මල්බෙරි ගසට, ‘ඉදිරී ගොස් මුහුදේ පැළ වෙන්න!’ යයි කියන්නේ නම් එය ඔබට කීකරු වන්නේය” කියා ඔහු පිළිතුරු දෙනවා. සුළු ඇදහිල්ලකින් පවා මහත් දේ ඉටු කළ හැකි බව මෙයින් පැහැදිලියි.
ඊළඟට යේසුස්, එදිනෙදා ජීවිතයේ අද්දැකීමක් යොදාගනිමින් සර්ව පරාක්‍රම දෙවිගේ සේවකයෙකු විදහාපෙන්විය යුතු නිසි ආකල්පය මෙසේ උපමාවකින් නිරූපණය කරනවා. “සී සාමින් හෝ රැළ රැකබලා ගනිමින් හෝ සිටි ඔබේ දාසයෙකු කෙතෙන් ආ විට, ‘වහාම මෙතැනට ඇවිත් කෑමට ඉඳගන්න’ යයි ඔහුට කියන්නෙහිද? ඒ වෙනුවට ඔහු දාසයාට කතා කොට, ‘මාගේ සන්ධ්‍යා භෝජනයට යමක් සූදානම් කර, පිළිවැස්මක් ඇඳ මා කා බී අවසන් වන තුරු මට උපස්ථාන කරන්න. ඉන්පසු ඔබට කන්නත් බොන්නත් පුළුවන්’ යයි කියන්නේ නැද්ද? ඒ දාසයා, තමන්ට පවරා තිබෙන දේ කළ හෙයින් ස්වාමියා ඔහුට ස්තුති කරයිද? එබැවින් ඔබත්, ඔබට පවරා තිබෙන සියල්ල කළ පසු, ‘අපි කිසිකමකට නැති දාසයෝය. අප කර තිබෙන්නේ අප විසින් කළ යුතුව තිබුණු දේ’ යයි කියන්න.” ඉතිං, දෙවිට සේවය කිරීමෙන් තමන් දෙවිට උපකාරයක් කරනවායයි ඔහුගේ සේවකයන් කිසිවිටකත් නොසිතිය යුතුය. ඒ වෙනුවට, ඔහුගේ ගෘහයේ විශ්වාසවන්ත සාමාජිකයන් වශයෙන් ඔහුට සේවය කිරීම වරප්‍රසාදයක් බව ඔවුන් සැමවිටම මතක තබාගත යුතුයි.
පෙනෙන ආකාරයට, යේසුස් මෙම උපමාව පවසා වැඩි වේලාවක් යන්න ඉස්සෙල්ලා පණිවුඩකාරයෙක් පැමිණෙනවා. ඔහුව එවා තිබෙන්නේ, යුදයේ බෙතානියෙහි ජීවත් වන ලාසරුස්ගේ සහෝදරියන් වන මරියා සහ මාර්තායි. “ස්වාමිනි, බලන්න! ඔබ ආදරයෙන් සිටින තැනැත්තා අසනීපයෙන් සිටී” කියා පණිවුඩකරුවා පවසනවා.
එවිට යේසුස් ප්‍රතිචාරය දක්වන්නේ මේ විදිහටයි. “මේ අසනීපය ඇති වී තිබෙන්නේ මරණය සඳහා නොවේ. මෙය දෙවිගේ මහිමය සඳහාය. මෙමගින් දෙවිගේ පුත්‍රයා මහිමයට පමුණුවනු ලැබේ.” යේසුස් දවස් දෙකක්ම එම ස්ථානයේම නැවතී සිටිනවා. ඉන්පසු ඔහු තම ගෝලයන්ට පවසනවා, “අපි නැවත යුදයට යමු” කියා. එහෙත් ඔවුන් ඔහුට මෙසේ මතක් කරනවා. “රබ්බි, මේ ළඟදී යුදෙව්වරු ඔබට ගල් ගසන්න සෙවූහ. ඉතින් නැවතත් ඔබ එතැනට යන්නෙහිද?”
ඊට පිළිතුරු වශයෙන් යේසුස් මෙසේ පවසනවා. “දවල් කාලයට පැය දොළහක් තිබෙනවා නොවේද? යමෙක් දවල් කාලයේ ඇවිදින්නේ නම්, ඔහු මේ ලෝකයේ ආලෝකය දකින හෙයින්, කිසිවක හැප්පෙන්නේ නැත. නමුත් යමෙක් රාත්රියේදී ඇවිදින්නේ නම්, ඔහු තුළ ආලෝකය නැති නිසා, ඔහු යමක හැප්පෙන්නේය.”
පෙනෙන විදිහට, යේසුස් අදහස් කරන්නේ “දවල් කාලයට පැය” එනම් යේසුස්ගේ භූමික සේවය සඳහා දෙවි වෙන් කොට තිබෙන කාලය තවමත් අවසන් වී නැති බවයි. එම කාලය අවසන් වන තෙක් කිසි කෙනෙකුට ඔහුට හානි කිරීමට නොහැකියි. ඔහුගේ සතුරන් ඔහුව මරා දැමූ පසු ‘රාත්‍රිය’ පැමිණෙන නිසා ඔහු තමාට ඉතිරිව තිබෙන කෙටි ‘දවල් කාලයෙන්’ උපරිම ප්‍රයෝජන ගත යුතුයි.
යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “අපේ මිත්‍ර ලාසරුස් නිදාගෙන සිටියි. නමුත් මම ඔහුව නින්දෙන් අවදි කරන්න එතැනට යමි.”
පැහැදිලිවම, ලාසරුස් නින්දෙන් විවේක ගෙන සිටින බවත් එය ඔහු සුව වන බවට තිබෙන හොඳ ලක්ෂණයක් බවත් සිතන ගෝලයන් මෙසේ ප්‍රතිචාරය දක්වනවා. “ස්වාමිනි, ඔහු නිදාගෙන සිටිනවා නම්, ඔහු සනීප වනු ඇත.”
එවිට යේසුස් ඔවුන්ට පැහැදිලිවම පවසනවා මේ ආකාරයට. ‘ලාසරුස් මියගොස් ඇත. මා එහි නොසිටීම ගැන මම ඔබ නිසා ප්‍රීති වෙමි. එවිට ඔබට විශ්වාස කිරීමට හැකි වන්නේය. දැන් අපි ඔහු වෙතට යමු.’
යුදයේදී යේසුස්ව මරා දැමිය හැකි බව වැටහුණත් ඔහුට සහයෝගය දීමට කැමැත්තෙන් සිටින තෝමස් සෙසු ගෝලයන්ව උනන්දු කරන්නේ මෙසේයි. “අපිත් මොහු සමඟ මැරෙන්න යමු.” ඒ නිසා, ඔවුන්ගේ ජීවිත අවදානමේ තබමින් ගෝලයන් යේසුස් සමඟ හවුල් වී දයාන්විත මෙහෙවරක් සඳහා යුදයට ගමන් කරනවා. ලූක් 13:22; 17:1-10; යොහන් 10:22, 31, 40-42; 11:1-16; NW.
▪ මෑතකදී යේසුස් දේශනා කරමින් සිටියේ කොතැනද?
▪ යේසුස් නැවතත් උගන්වන්නේ කුමන ඉගැන්වීම්ද? ඔහු එදිනෙදා ජීවිතයට සම්බන්ධ කුමන අද්දැකීමක් යොදාගනිමින්ද උපමාවක් කියා දෙන්නේ? එම උපමාව මගින් ඔහු අවධාරණය කිරීමට වෑයම් කරන්නේ කුමක්ද?
▪ යේසුස්ට ලැබෙන ආරංචිය කුමක්ද? “දවල් කාලය” සහ ‘රාත්‍රිය’ කීමෙන් ඔහු අදහස් කරන්නේ කුමක්ද?
▪ “අපිත් මොහු සමඟ මැරෙන්න යමු” කියා පවසන විට, තෝමස් ඉන් අදහස් කරන්නේ කුමක්ද?