127වෙනි පරිච්ඡේදය
සිකුරාදා තැන්පත් කළ දේහය ඉරිදා අතුරුදහන් වෙයි
දැන් සිකුරාදා සවස් වේගන එනවා. හිරු බැස යෑමත් සමඟම නීසාන් 15වන දා සබත ආරම්භ වීමට නියමිතයි. යේසුස්ගේ මෘතදේහය කණුව මත එල්ලී තිබෙනවා. නමුත් ඔහුගේ දෙපැත්තේ සිටින සොරුන් දෙදෙනා තවමත් මිය ගොස් නැහැ. සිකුරාදා පස්වරුව හඳුන්වන්නේ සූදානම් කිරීමේ දවස වශයෙනුයි. එයට හේතුව, ආහාර පිළියෙළ කරන්නෙත් සබත අවසන් වන තෙක් පසුවට කල් දැමිය නොහැකි හදිසි වැඩ කරන්නේත් එම දිනයේදී වන නිසයි.
තව සුළු මොහොතකින් පටන්ගැනීමට යන සබත (සතියේ සත්වන දා පවත්වන) සාමාන්‍ය සබතක් නොවෙයි. එය හඳුන්වන්නේ ද්විත්ව හෝ “මහත්” සබත ලෙසයි. එය එසේ හඳුන්වන්නේ (සතියේ කුමන දවසක වැටුණත් සෑම විටම සබතක් ලෙස ගණන් ගැනෙන) නීසාන් 15වන දා මෙවර සාමාන්‍ය සබත් දවසක වැටී තිබෙන නිසයි. නීසාන් 15වන දා කියන්නේ සත් දවසක් පවත්වන මුහුන් නුමුසු රොටි මංගල්‍යයේ පළමුවන දායි.
දෙවිගේ නීතියට අනුව, රාත්‍රිය පුරාම කණුවක මෘතදේහ එල්ලා නොතැබිය යුතුයි. ඒ නිසා කණු මත එල්ලූ අයගේ කකුල් කඩා ඔවුන්ගේ මරණය ඉක්මන් කරන මෙන් යුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටිනවා. ඉන් අනතුරුව හේවායන් සොරුන් දෙදෙනාගේ කකුල් කඩනවා. නමුත් යේසුස් මිය ගොස් ඇති බව පෙනෙන නිසා ඔහුගේ කකුල් කඩන්නේ නැහැ. “ඔහුගේ එක ඇටයක්වත් බිඳිනු නොලබන්නේය” යන ශුද්ධ ලියවිලිමය අනාවැකිය මෙසේ ඉටු වෙනවා.
එහෙත්, යේසුස් ඇත්තෙන්ම මිය ගොස් ඇද්දැයි සහතික කරගැනීමට හේවායෙකු හෙල්ලයකින් ඔහුගේ ඇලයට අනිනවා. හෙල්ලය ඔහුගේ හෘදය පසාරු කරගෙන යන අතර එකෙණෙහිම ලේත් වතුරත් පිටතට ගලනවා. සියැසින් දුටු සාක්ෂිකරුවෙකු වන ප්‍රේරිත යොහන් වාර්තා කරන්නේ, “තමන් විසින් අනින ලද තැනැත්තා වෙත ඔවුහු බලා සිටින්නෝය” නම් ශුද්ධ ලියවිලිමය අනාවැකිය මෙමගින් ඉටු වන බවයි.
සැන්හෙඩ්‍රිනයේ යම් කීර්තියක් උසුලන සාමාජිකයෙකු වන අරිමාතියේ උපන් යෝසෙප්ද යේසුස්ව මරණයට පත් කරන ස්ථානයේ සිටිනවා. මහාධිකරණය යේසුස්ට විරුද්ධව ගත් අසාධාරණ ක්‍රියාමාර්ගවලට ඔහු තම අනුමැතිය දුන්නේ නැහැ. ඇත්තෙන්ම, යෝසෙප් යේසුස්ගේ ගෝලයෙක්. ඒත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් නිර්භීතකමක් ඔහුට තිබුණේ නැහැ. දැන් ඔහු දිරිය උපදවාගෙන පිලාත් ළඟට ගොස් යේසුස්ගේ දේහය ඔහුට භාර දෙන මෙන් ඉල්ලා සිටිනවා. පිලාත් ඒ කටයුතු භාරව සිටින හමුදා නිලධාරියා කැඳවා, යේසුස් මිය ගොස් ඇති බව සහතික කරගැනීමෙන් පසුව දේහය භාර දීමට අණ කරනවා.
යෝසෙප් දේහය රැගෙන ගොස් භූමදානය සඳහා සූදානමක් වශයෙන් එය පිරිසිදු අනර්ඝ හණ රෙදිවලින් ඔතනවා. ඔහුට උපකාර කරනු ලබන්නේ සැන්හෙඩ්‍රිනයේ තවත් සාමාජිකයෙක් වන නිකදේමස්. තමාගේ බලතල අහිමි වෙයි කියා භයෙන් පසු වන නිකදේමස් යේසුස්ව අදහන බව මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැහැ. නමුත් දැන් ඔහු සුවඳ ලාටු සහ මිල අධික කලු අගිල් මිශ්‍ර රෝලක් රැගෙන එනවා. එය රෝම මිනුම් ක්‍රමයට අනුව කිලෝග්‍රෑම් 33ක් පමණ බරයි. යේසුස්ගේ දේහය මෙම සුවඳ ද්‍රව්‍ය අඩංගු පටිවලින් ඔතනු ලබනවා. එය කරනු ලැබුවේ මෘත දේහ භූමදානය සඳහා සූදානම් කිරීමේ යුදෙව් සිරිතට අනුකූලවයි.
ඉන්පසු දේහය යෝසෙප්ට අයිති ළඟපාත උයනක තිබෙන පර්වතයක කපන ලද අලුත් සොහොන් ගෙයක තැන්පත් කරනු ලබනවා. පසුව සොහොන් ගෙයෙහි දොරකඩ විශාල ගලකින් වසා තබනවා. සබතට කලින් තැන්පත් කිරීම සිදු කළ යුතු නිසා දේහය සූදානම් කරන්නේ හදිසියේ. ඒ නිසා, මරියා මග්දලේනා හා කුඩා යාකොබ්ගේ මව වන මරියා තවත් සුවඳ ද්‍රව්‍ය හා සුවඳ තෙල් පිළියෙළ කිරීමට ලහි ලහියේ ගෙදර යනවා. ඔවුන්ද සූදානම් කිරීමේ වැඩකටයුතුවලට උපකාර කරමින් සිටිනවා විය හැකියි. යේසුස්ගේ දේහය ඉක්මනින්ම කුණු වී නොයන පිණිස සබතෙන් පසු ඒ මත තවත් සුවඳ ද්‍රව්‍ය ආලේප කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
සෙනසුරාදාවක් (සබත්) වන පහුවදා නායක පූජකයෝ සහ පරිසිවරු පිලාත් වෙතට ගොස් මෙසේ පවසනවා. “මහත්මයාණෙනි, ඒ ප්‍රෝඩාකාරයා ජීවත්ව සිටියදී, ‘දවස් තුනකට පසු මාව මළවුන්ගෙන් නැඟිටුවනු ලබන්නේය’ යි කී බව අපට මතක් විය. එහෙයින් තුන්වන දවස දක්වා සොහොන් ගෙය ආරක්ෂා කරන ලෙස අණ කරන්න. නැතහොත් සමහරවිට ඔහුගේ ගෝලයන් ඇවිත්, ඔහුව සොරාගෙන ගොස්, ‘ඔහුව මළවුන්ගෙන් නැඟිටුවනු ලැබීය!’ යි ජනයාට කියන්න පුළුවන. එවිට මේ අවසන් වංචාව පළමුවැන්නට වඩා දරුණු වන්නේය.”
“ඔබට මුරකරුවෝ සිටිති. ගොස්, ඔබ දන්නා ආකාරයකට එය ආරක්ෂා කරගන්න” යයි පිලාත් පිළිතුරු දෙනවා. ඒ නිසා ඔවුන් සොහොන් ගෙයට ගොස් එය ආරක්ෂා කරගැනීම සඳහා සොහොන් ගල මුද්‍රා කරනවා. ඒ වගේම රෝම හේවායන් කිහිපදෙනෙකුව පත් කරන්නේ එතැන මුර කිරීම සඳහායි.
යේසුස්ගේ දේහය මත සුවඳ ද්‍රව්‍ය ආලේප කිරීමට ඉරු දින පාන්දරින්ම මරියා මග්දලේනා හා යාකොබ්ගේ මව වන මරියාද, සලෝමි, යොවානා හා වෙනත් ස්ත්‍රීන් කිහිපදෙනක්ද සොහොන් ගෙය වෙතට එනවා. ගමන් කරන අතරතුරේදී ඔවුනොවුන් අතරේ කතා කරමින් සිටින්නේ “සොහොන් ගෙයි දොරකඩින් අපට ගල පෙරළා දෙන්නේ කවුද” යන කාරණය ගැනයි. එහෙත් එතැනට එද්දී, භූමිකම්පාවක් ඇති වී තිබෙන බව ඔවුන් දකින අතර යෙහෝවාගේ දූතයෙක් ගල පෙරළා දමා තිබෙනවා. මුරකරුවන් පලා ගිහින්. සොහොන් ගෙය හිස්! මතෙව් 27:57–28:2; මාක් 15:42–16:4; ලූක් 23:50–24:3, 10; යොහන් 19:14, යොහන් 19:31–20:1; යොහන් 12:42; ලෙවී කථාව 23:5-7; ද්විතීය කථාව 21:22, 23; ගීතාවලිය 34:20; සෙකරියා 12:10; NW.
▪ සිකුරාදා සූදානම් කිරීමේ දවස වශයෙන් හඳුන්වන්නේ මන්ද? “මහත්” සබතක් යනු කුමක්ද?
▪ යේසුස්ගේ දේහය සම්බන්ධයෙන් ඉටු වන ශුද්ධ ලියවිලිමය අනාවැකි මොනවාද?
▪ යේසුස්ගේ දේහය තැන්පත් කිරීමේදී යෝසෙප් හා නිකදේමස් ඉටු කරන කාර්යය කුමක්ද? යේසුස් හා ඔවුන් අතර ඇති සම්බන්ධය කුමක්ද?
▪ පූජකයෝ පිලාත්ගෙන් ඉල්ලන්නේ කුමක්ද? ඔහු ඊට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
▪ ඉරු දින පාන්දරින්ම සිදු වන්නේ කුමක්ද?