130වෙනි පරිච්ඡේදය
ගලීල මුහුද අසල
යේසුස් තම ප්‍රේරිතයන්ට කලින් උපදෙස් දී තිබුණ පරිදි, ඔවුන් ආපසු ගලීලයට යනවා. නමුත් එතැනදී කළ යුත්තේ කුමක්ද කියා ඔවුන්ට ස්ථිර නැහැ. ටික වේලාවකට පසු තෝමස්, නතානියෙල්, යාකොබ් සහ තම සහෝදර යොහන් මෙන්ම තවත් ප්‍රේරිතයන් දෙදෙනෙකුට පේතෘස් මෙසේ පවසනවා. “මම මාළු අල්ලන්න යන්නෙමි.”
එවිට, “අපිත් ඔබ සමඟ එන්නෙමු” කියා හයදෙනා ඔහුට පවසනවා.
රාත්‍රිය පුරාම ඔවුන් කිසිවක් අල්ලන්නේ නැහැ. එහෙත් පහන් වේගන එද්දී, ප්‍රේරිතයන් දකිනවා යේසුස් වෙරළේ සිටිනවා. නමුත් ඒ යේසුස් බව ඔවුන් වටහාගන්නේ නැහැ. ඔහු හඬ නඟා ඔවුන්ගෙන් මෙසේ අසනවා. “කුඩා දරුවෙනි, ඔබට කන්න මුකුත් නෑ නේද?”
ඔවුනුත් ඔරුවේ සිට ශබ්ද නඟා, “නැත” යනුවෙන් පිළිතුරු දෙනවා.
එවිට, “ඔරුවේ දකුණු පැත්තෙන් දැල හෙළන්න. එවිට ඔබට සම්බ වේ” යනුවෙන් ඔහු පවසනවා. එසේ කරද්දී, මසුන් කොයි තරම් ප්‍රමාණයක් දැලට අසු වෙනවාද කිව්වොත් ඔවුන්ට එය ඇදගන්නවත් බැහැ.
“ඒ ස්වාමීන්” යනුවෙන් යොහන් ඉතා උද්‍යෝගයෙන් කෑ ගසනවා.
මෙය ඇසුණ විගස, නිර්වස්ත්‍රව සිටින පේතෘස් වස්ත්‍රය තම ඉඟටිය වටා බැඳගෙන මුහුදට පනිනවා. ඔහු මීටර් 90ක් පමණ දුරින් තිබෙන වෙරළ දක්වා පිහිනනවා. අනික් ප්‍රේරිතයන් මසුන්ගෙන් පිරුණු දැලත් ඇදගෙන වෙරළට එන්නේ ඔරුවෙන්මයි.
ඔවුන් ගොඩ බසින විට, වෙරළේ අඟුරු දල්වා ඒ මත මසුන් තබා තිබෙන බව ඔවුන් දකිනවා. එහි රොටිත් තබා තිබෙනවා. එවිට, යේසුස් පවසන්නේ, “ඔබ දැන් ඇල්ලූ මසුන්ගෙන් කීපයක් ගෙන එන්න” කියායි. පේතෘස් ඔරුවට ගොස් දැල ගොඩට ඇදගෙන එනවා. විශාල මසුන් 153දෙනෙක් දැලට හසු වී සිටිනවා!
දැන්, යේසුස් ඔවුන්ට ආරාධනා කරන්නේ, “ඇවිත් උදේ ආහාරය ගන්න” කියායි.
ඔවුන් සියලුදෙනාම ඒ යේසුස් බව දන්න නිසා, “ඔබ කවුද” කියා අසන්න තරම් කිසිවෙකු නිර්භීත වන්නේ නැහැ. යේසුස් තම නැවත නැඟිටීමෙන් පසු පෙනී සිටින සත්වන වතාව මෙයයි. ඒ වගේම, මෙය ප්‍රේරිතයන් කණ්ඩායමක් වශයෙන් සිටින විට ඔහු පෙනී සිටින තුන්වන වතාවයි. ඔහු දැන් රොටි සහ මාළු සෑම කෙනෙකුගේම අතට දෙමින් ඔවුන්ට උදේ ආහාරය බෙදා දෙනවා.
කෑම ගැනීමෙන් අනතුරුව යේසුස් සමහරවිට අල්ලනු ලැබූ මසුන් දෙස බලමින් පේතෘස්ගෙන් මෙසේ අසනවා. “යොහන්ගේ පුත් සීමොන්, මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?” ඔහු ඉන් අදහස් කරන්නේ, මා ඔබව සූදානම් කළ කාර්යයට වඩා ඔබ ධීවර ව්‍යාපාරයට ඇලුම් කරනවාද යන්න බව නිසැකයි.
පේතෘස්ගේ පිළිතුර වන්නේ මෙයයි. “ඔබ කෙරෙහි මට සෙනෙහසක් තිබෙන බව ඔබ දන්නෙහිය.”
යේසුස් ඔහුට පවසන්නේ, “මාගේ බැටළු පැටවුන්ව පෝෂණය කරන්න” කියායි.
දෙවන වතාවටත්, “යොහන්ගේ පුත් සීමොන්, ඔබ මට ප්‍රේම කරනවාද” යනුවෙන් ඔහු අසනවා.
“එසේය ස්වාමිනි; ඔබ කෙරෙහි මට සෙනෙහසක් තිබෙන බව ඔබ දන්නෙහිය” කියා පේතෘස් ඉතා හැඟීම්බරව පිළිතුරු දෙනවා.
යේසුස් නැවත වතාවක් මෙසේ ආඥා කරනවා. “මාගේ කුඩා බැටළුවන්ව රැකබලා ගන්න.”
ඊළඟට, තුන්වන වතාවටත් ඔහු මෙසේ අසනවා. “යොහන්ගේ පුත් සීමොන්, ඔබට මා කෙරෙහි සෙනෙහසක් තිබෙනවාද?”
මේ වන විට, පේතෘස් අතිශයෙන් ශෝකයට පත් වෙනවා. යේසුස් ඔහුගේ පක්ෂපාතකම ගැන සැක කරනවාදැයි ඔහු කල්පනා කරනවා විය හැකියි. යේසුස් තමාට විරුද්ධව ගෙනා නඩු විභාගයකට පෙනී සිටි අවස්ථාවේදී, තුන් වතාවක්ම ඔහුව නාඳුනන බව පේතෘස් කියා සිටියේ දැන් ටික දවසකට පෙරයි. මෙයත් පේතෘස්ගේ මනසට වද දෙනවා විය හැකියි. ඉතිං ඔහු මෙසේ පවසනවා. “ස්වාමිනි, ඔබ සියල්ල දන්නෙහිය. ඔබ කෙරෙහි මට සෙනෙහසක් තිබෙන බව ඔබ දන්නෙහිය.”
යේසුස් තෙවන වතාවටත් අණ කරන්නේ, “මාගේ කුඩා බැටළුවන්ව පෝෂණය කරන්න” කියායි.
පේතෘස් සමඟ කළ එම සාකච්ඡාව මගින් යේසුස් අනික් ගෝලයන්ටත් ඔවුන් කළ යුතු කාර්යය කුමක්ද කියා අවධාරණය කරනවා. යේසුස් මෙලොවේ වැඩි කල් සිටීමට යන්නේ නැහැ. එමනිසා, දෙවිගේ බැටළු ගාලට අදිනු ලබන අයට සේවය කිරීමේදී ඔවුන් පෙරමුණ ගන්නවා දකින්න ඔහු කැමතියි.
දෙවි යේසුස්ට පැවරූ කාර්යය නිසා ඔහුව අත්අඩංගුවට ගෙන මරණයට පත් කළා. පේතෘස්ටත් ඒ හා සමාන අද්දැකීමක් විඳින්න සිදු වන බව හෙළි කරමින් යේසුස් දැන් මෙසේ පවසනවා. “ඔබ යෞවනව සිටියදී, ඉඟටිය බැඳගෙන කැමති කැමති තැන්වල ඇවිද්දෙහිය. නමුත් ඔබ මහලු වූ කල, ඔබේ අත් දිගු කරන්නෙහිය. එවිට වෙන කෙනෙකු ඔබේ ඉඟටිය බැඳ, ඔබ කැමති නැති තැනකට ඔහු ඔබව උසුලාගෙන යනවා ඇත.” අනාගතයේ පේතෘස්ට තම ඇදහිල්ල වෙනුවෙන් දිවි පුදන්නට සිදු වුණත් යේසුස් උනන්දු කරන්නේ “දිගටම මා අනුව එන්න” කියායි.
පිටුපස හැරී බලද්දී යොහන්ව දුටු පේතෘස් මෙසේ අසනවා. “ස්වාමිනි, මොහු කුමක් කරනවා ඇද්ද?”
යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “මා එන තෙක් ඔහු සිටිනවාට මා කැමති නම්, එයින් ඔබට මොකද? ඔබ දිගටම මා අනුව එන්න.” යේසුස්ගේ ගෝලයන්ගෙන් වැඩිදෙනෙකු මේ වචනවලින් තේරුම්ගත්තේ ප්‍රේරිත යොහන් කිසිදාක මිය නොයන බවයි. එහෙත්, ප්‍රේරිත යොහන් පසුව පැහැදිලි කළ පරිදි, “මා එන තෙක් ඔහු සිටිනවාට මා කැමති නම්, එයින් ඔබට මොකද” කියා පැවසුවා මිසක ඔහු මිය නොයන බවක් යේසුස් පැවසුවේ නැහැ.
පසු කලෙක යොහන් මෙම වැදගත් අදහසද ඉදිරිපත් කළා. “ඇත්තෙන්ම, යේසුස් කළ තවත් බොහෝ දේ ඇත. ඒවා කවදා හෝ සවිස්තරව ලියනු ලැබුවේ නම්, ඒ ලියවිලි දරාගන්න මුළු ලෝකයත් මදියයි මම සිතමි.” යොහන් 21:1-25; මතෙව් 26:32; 28:7, 10; NW.
▪ ගලීලයේදී තමන් කළ යුත්තේ කුමක්ද කියා ප්‍රේරිතයන්ට ස්ථිර නොමැති බව පෙනෙන්නේ කුමකින්ද?
▪ ප්‍රේරිතයන් ගලීල මුහුද අසබඩ යේසුස්ව හඳුනාගන්නේ කෙසේද?
▪ යේසුස් ඔහුගේ නැවත නැඟිටීමේ සිට මේ දක්වා කී වරක් පෙනී සිට ඇද්ද?
▪ යේසුස් ප්‍රේරිතයන් විසින් කළ යුතු කාර්යය අවධාරණය කරන්නේ කොහොමද?
▪ පේතෘස් මිය යන ආකාරය යේසුස් අඟවන්නේ කෙසේද?
▪ ගෝලයන්ගෙන් වැඩිදෙනෙකු වරදවා තේරුම්ගත්තේ යේසුස් යොහන් ගැන පැවසූ කිනම් දේද?