5වන කොටස
තීරණ ගැනීමට අප සතු නිදහස
1, 2. දෙවි අපට දී තිබෙන සුවිශේෂී හැකියාවන් අතරින් එකක් සඳහන් කරන්න.
දුක් වේදනා පැවතීමට දෙවි ඉඩහැර තිබෙන හේතුව සහ ඒවා නැති කිරීමට ඔහු ගන්නා පියවර වටහාගැනීමට නම් අපි එක් දෙයක් තේරුම්ගත යුතුයි. එය නම් දෙවි මිනිසුන්ව නිර්මාණය කර තිබෙන ආකාරයයි. ජීවත් වීම සඳහා අපට සිරුරක් සහ මොළයක් ලබා දෙනවාට අමතරව ඔහු අපට සුවිශේෂී හැකියාවන්ද දී තිබෙනවා.
2 ඒ හැකියාවන් අතරින් විශේෂ තැනක් ගන්නේ නිදහසේ තීරණ ගැනීමට තිබෙන හැකියාවයි. ඇත්තෙන්ම එය දෙවිගෙන් අපට ලැබී තිබෙන වටිනා ත්‍යාගයක් කියා පැවසිය හැකියි.
අපව නිර්මාණය කර තිබෙන අයුරු
3-5. නිදහසේ තීරණ ගැනීමට තිබෙන අයිතිය අපි අගය කරන්නේ ඇයි?
3 දුක් වේදනා පැවතීමට දෙවි ඉඩහැර තිබෙන හේතුව සහ මිනිසුන්ට නිදහසේ තීරණ ගැනීමට තිබෙන අයිතිය අතර ඇති සම්බන්ධය ගැන මදකට සලකා බලමු. අපි කරන කියන දේ, කන බොන දේ, අඳින පළඳින දේ, අපි කරන රැකියාව සහ අපි ජීවත් වන ස්ථානය වැනි දේවල් ගැන කැමති තීරණයක් ගැනීමට තිබෙන නිදහස අපි අගය කරනවා. නමුත් ඒ හැම දෙයක්ම තව කෙනෙකුගේ කැමැත්තට අනුව තීරණය කරන්න සිදු වුණොත් ඔබ ඒ ගැන සතුටු වෙනවාද?
4 තීරණ ගැනීමට තිබෙන නිදහස අහිමි කරගන්න කිසිම කෙනෙක් කැමති නැහැ. එයට හේතුව නිදහසේ තීරණ ගැනීමේ හැකියාව ඇතුව දෙවි අපව නිර්මාණය කර තිබීමයි. බයිබලයේ සඳහන් වෙන්නේ “දෙවි හා සමාන ගතිලක්ෂණ” ඇතුව මිනිසාව නිර්මාණය කර ඇති බවයි. ඒ නිසා තීරණ ගැනීමට දෙවිට තිබෙන නිදහස ඔහු මිනිසුන්ටත් ලබා දුන්නා. (උත්පත්ති 1:26; ද්විතීය කතාව 7:6) අපේ නිදහසට තර්ජනයක් එල්ල කරන කෲර පාලකයන් යටතේ ජීවත් වෙන්න අපි කිසිම කෙනෙක් කැමති නැත්තේ ඒ නිසයි. ඒ අනුව බලන විට නිදහසේ තීරණ ගැනීමට අප සතු ආශාව අහම්බෙන් ඇති වූ දෙයක් කියා පවසන්න බැහැ.
5 යෙහෝවා දෙවි නිදහසේ තීරණ ගැනීමට තිබෙන අයිතිය අගය කරන දෙවි කෙනෙක්. “යෙහෝවා දෙවිගේ බලය ඇති තැන නිදහස ඇත” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (2 කොරින්ති 3:17) දෙවිට මිනිසුන්ගේ සිතුවිලි හොඳින්ම තේරුම්ගත හැකියි. ඒ නිසා මිනිසුන්ට තීරණ ගැනීමේ නිදහස ලබා දුන්නොත් ඔවුන්ට සන්තෝෂයෙන් ජීවිතය ගත කිරීමට හැකියාව ලැබෙන බව ඔහු දැන සිටියා.
6. තීරණ ගැනීමට තිබෙන නිදහස හොඳින් භාවිත කිරීමට හැකි වන ලෙස දෙවි මිනිසාගේ මොළය නිර්මාණය කර තිබෙන්නේ කෙසේද?
6 තීරණ ගැනීමේ නිදහස නිවැරදිව භාවිත කිරීම සඳහා දෙවි අපට හරි වැරැද්ද අතර වෙනස වටහාගැනීමේ හැකියාවත් හොඳින් සිතා බැලීමේ හැකියාවත් ලබා දී තිබෙනවා. (හෙබ්‍රෙව් 5:14) ඒ නිසා තීරණ ගැනීමේ නිදහස බුද්ධිමත් ආකාරයෙන් භාවිත කරන්න අපට හැකියි. සිතන්න බැරි රොබෝවරුන්ට සහ ඉවෙන් හෝ සහජයෙන් වැඩ කරන සතුන්ට වඩා මිනිසා හාත්පසින්ම වෙනස්. එයට හේතුව දෙවි මිනිසාගේ මොළය නිර්මාණය කර තිබෙන ආකාරයයි. ඔහු එය නිර්මාණය කර තිබෙන්නේ බුද්ධිමත්ව සිතා බලා තීරණ ගැනීමේ නිදහස නිවැරදි ලෙස භාවිත කළ හැකි ආකාරයටයි.
කදිම ආරම්භයක්
7, 8. දෙවි මුල් මිනිස් යුවළට දුන්නේ මොන වගේ ආරම්භයක්ද?
7 මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒවට තීරණ ගැනීමේ නිදහස ලබා දෙනවාට අමතරව ජීවත් වීමට ඔවුන්ට අවශ්‍ය සියලු දේද දෙවි ලබා දුන්නා. දෙවි ඔවුන්ව පදිංචි කළේ පාරාදීසයක් බඳු විශාල උයනකයි. ඔවුන්ට මානසිකව හෝ ශාරීරිකව කිසිම දෝෂයක් තිබුණේ නැති නිසා අසනීප වී හෝ මහලු වී මිය යන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. ඒ වෙනුවට දරුවන් බිහි කරමින් ඔවුන් සමඟ සදහටම සතුටින් ජීවත් වෙන්න ඒ යුවළට හැකියාව තිබුණා. ඊට අමතරව ඔවුන්ගෙන් පැවතෙන්නන් සමඟ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කිරීමේ අනගි අවස්ථාවට හවුල් වෙන්නත් ඔවුන්ට අවස්ථාව තිබුණා.—උත්පත්ති 1:26-30; 2:15.
8 දෙවි මුල් මිනිස් යුවළට ලබා දුන් සෑම දෙයක්ම ‘ඉතා හොඳින් සාදා තිබුණු බව දෙවි දුටුවේය’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 1:31) එමෙන්ම දෙවි “කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත” කියාත් එහි සඳහන් වෙනවා. (ද්විතීය කතාව 32:4) ඒ සියල්ලෙන් පැහැදිලි වෙන්නේ දෙවි මුල් මිනිස් යුවළ ඇතුළු මුළු මිනිස් වර්ගයාටම හොඳ ආරම්භයක් දුන් බවයි. ඔවුන්ට කිසිම දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. දෙවි මිනිසුන් ගැන කොතරම් සැලකිලිමත්ද කියා ඉන් පැහැදිලි වන්නේ නැද්ද!
යම් සීමාවන් සහිත නිදහසක්
9, 10. තීරණ ගැනීමේ නිදහස භාවිත කරන ආකාරය ගැන අපි සැලකිලිමත් විය යුත්තේ ඇයි?
9 තීරණ ගැනීම සඳහා දෙවි මිනිසාට දුන් නිදහසට කිසිම සීමාවක් තිබුණේ නැද්ද? මොහොතකට මාර්ග නීති කිසිවක් නැති ජනාකීර්ණ නගරයක් ගැන සිතන්න. සෑම රියදුරෙකුටම තමන් කැමති ආකාරයට වාහනය පදවන්න නිදහස තිබෙනවා. මාර්ග නීති කිසිවක් පනවා නැති නිසා ඒ නගරයේ අනතුරු බොහොමයක් සිදු වෙන බවට කිසිම සැකයක් නැහැ. එවැනි නගරයක වාහනයක් පදවන්න ඔබ කැමතිද?
10 තීරණ ගැනීමට දෙවි දී තිබෙන නිදහසත් අපිට කැමති ආකාරයෙන් භාවිත කළොත් මේ සමාජය ඉතා අවුල්සහගත තත්වයකට පත් වේවි. ඒ නිසා තීරණ ගැනීමේ නිදහස සමඟ මිනිසුන්ට නීතිත් අවශ්‍යයි. “නිදහස් අය මෙන් ජීවත් වන්න. ඒ නිදහස ඔබට තිබුණත් නපුරු ක්‍රියා වසං කිරීමට එය හේතුවක් කර නොගෙන” ජීවත් වෙන්න කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (1 පේතෘස් 2:16) තීරණ ගැනීමට තිබෙන නිදහස යොදාගෙන අපි වැරදි ක්‍රියාවල යෙදෙනවාට දෙවි කැමති නැහැ. ඒ නිසා එම නිදහස ඥානවන්ත ආකාරයෙන් භාවිත කිරීම සඳහා දෙවි අපට යම් නීති දී තිබෙනවා.
කාගේ නීතිවලට අනුවද?
11. අපට ප්‍රයෝජන ලැබිය හැක්කේ කාගේ නීතිවලට කීකරු වීමෙන්ද?
11 අපව නිර්මාණය කර තිබෙන්නේ දෙවි නිසා අප පිළිපැදිය යුතු නීති මොනවාද කියා හොඳින්ම දන්නේ ඔහු පමණයි. “දෙවිගේ දාසයන් ලෙස ජීවත් වන්න” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (1 පේතෘස් 2:16) දෙවිගේ දාසයන් වීමෙන් අදහස් වෙන්නේ අපි දුක්ඛිත ජීවිතයක් ගත කළ යුතු බව නොවෙයි. ඒ වෙනුවට අපට සැබෑ සන්තෝෂය ලැබිය හැකි වන්නේ දෙවි අපට දී තිබෙන නීතිවලට කීකරු වීමෙනුයි. (මතෙව් 22:35-40) ඇත්තෙන්ම මිනිසුන්ගේ නීතිවලට වඩා දෙවිගේ නීතිවලින් අපට බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. “මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය” කියා දෙවිම පවසා තිබෙන්නේ ඒ නිසයි.—යෙසායා 48:17.
12. දෙවිගේ නීතිවලට එකඟව තීරණ ගැනීමට තිබෙන නිදහස ඔබට භාවිත කළ හැක්කේ කෙසේද?
12 දෙවි දී තිබෙන නීති කඩ නොවන ආකාරයෙන් කැමති තීරණ ගැනීමට මිනිසුන්ට නිදහස තිබෙනවා. ඒ නිසා තමන් ආස කරන ආහාර කන්නත් කැමති සංගීතයට සවන් දෙන්නත් කැමති නිවසක ජීවත් වෙන්නත් මිනිසුන්ට හැකියි. අද සමාජයේ මෙතරම් විවිධත්වයක් තිබෙන්නේ ඒ නිසයි. ඔබට ලැබී තිබෙන ඒ නිදහස ඔබ අගය කරනවාට කිසිම සැකයක් නැහැ.
13. අපේම යහපත උදෙසා අපි කීකරු විය යුතු භෞතික නීති මොනවාද?
13 දෙවිගේ නීතිවලට කීකරු වීමෙන් අපේ ජීවිතයට ආරක්ෂාවක් ලැබෙනවා. නමුත් අපි ඒවාට පිටුපෑවොත් අපිටම හානියක් සිදු වෙනවා. එය තේරුම්ගැනීමට අප අවට තිබෙන භෞතික නීති ගැන සිතා බලන්න. ගුරුත්වාකර්ෂණය ඉන් එකක්. අපි ඒ නීතියට පිටුපාමින් උස් ස්ථානයක සිට පහතට පැන්නොත් අපේ ජීවිතයට හානියක් විය හැකියි. එමෙන්ම අපේ ශරීරයටත් යම් නීති තිබෙනවා. අපි නියමිත වේලාවට ආහාර ගන්නෙත් වතුර බොන්නෙත් හුස්ම ගන්නෙත් ඒ නීතිවලට අපි කීකරු වන නිසයි. නමුත් අපි ඒ නීති නොසලකාහැරියොත් අපට ජීවත් වෙන්න බැහැ.
14. තමන් කැමති ආකාරයට ජීවත් වීමෙන් මිනිසුන්ට සාර්ථක විය නොහැකි බව අප දන්නේ කෙසේද?
14 භෞතික නීතිවලට අපි කීකරු විය යුතුසේම අපි ජීවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන්ද දෙවි දී තිබෙන නීතිවලටත් අපි කීකරු විය යුතුයි. අපේ ජීවිතය රඳා පවතින්නේ ඒ නීතිවලට කීකරු වීම මතයි. (මතෙව් 4:4) දෙවිගේ නීති සහ මඟ පෙන්වීම් නොමැතිව සාර්ථක ජීවිතයක් ගත කරන්න අපට හැකියාවක් නැහැ. පුරාණයේ සිටි දෙවිගේ සේවකයෙකු වූ යෙරෙමියා එක අවස්ථාවකදී මෙසේ පැවසුවා. ‘තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට මිනිසුන්ට හැකියාවක්ද නැහැ. යෙහෝවා දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව මාව නිවැරදි කරන්න.’ (යෙරෙමියා 10:23, 24) මිනිසුන්ට සන්තෝෂවත් ජීවිතයක් ගත කළ හැකි වන්නේ දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වීමෙන් මිස තමන් කැමති ආකාරයට ජීවත් වීමෙන් නොවන බව ඉන් පැහැදිලි වෙනවා.
15. දෙවිගේ නීතිවලට කීකරු වීම ආදම් සහ ඒවට අපහසු දෙයක් වුණාද?
15 දෙවිගේ නීතිවලට කීකරු වීම මුල් මිනිස් යුවළට අපහසු දෙයක් වූයේ නැහැ. ඔවුන් දෙවිගේ නීතිවලට කීකරු වුණා නම් එය ඔවුන්ගේ යහපතට පමණක් නොව මුළු මිනිස් වර්ගයාගේම යහපතට දායක වෙනවා. එසේ වූවා නම් මුළු මිනිස් සංහතියම අද ජීවත් වෙන්නේ පාරාදීසයකයි. එමෙන්ම දුෂ්ටකම්, දුක් පීඩා හෝ මරණය වැනි දේවල් ගැන අපට අහන්නවත් ලැබෙන්නේ නැහැ.
[11වන පිටුවේ පින්තූරය]
දෙවි මිනිසාට දුන්නේ කදිම ආරම්භයක්
[12වන පිටුවේ පින්තූරය]
මාර්ග නීති නැති නගරයක වාහනයක් පදවන්න ඔබ කැමතිද?