ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 ජනවාරි 12-16 පි.
  • තීරණ ගැනීමේ නිදහස දෙවිගෙන් ලැබුණ තෑග්ගක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තීරණ ගැනීමේ නිදහස දෙවිගෙන් ලැබුණ තෑග්ගක්
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිගේ සහ යේසුස්ගේ ආදර්ශ
  • නිදහස පාවිච්චි කරන්න පුළුවන් විදි
  • ඔයාගේ නිදහස වැරදි විදිහට පාවිච්චි කරන්න එපා
  • අනිත් අයගේ නිදහසට ගරු කරන්න
  • සැබෑ නිදහස ලබාගන්නේ කොහොමද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නිදහස් නමුත් ගණන් දිය යුතු සෙනඟක්
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිදහස ලබා දෙන දෙවිට සේවය කරන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • තීරණ ගැනීමට අප සතු නිදහස
    අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 ජනවාරි 12-16 පි.
ආබ්‍රහම්, සාරා සහ තවත් පිරිසක් ඌර්වලින් පිටත් වෙලා යනවා

තීරණ ගැනීමේ නිදහස දෙවිගෙන් ලැබුණ තෑග්ගක්

“යෙහෝවා දෙවිගේ බලය ඇති තැන නිදහස ඇත.”—2 කොරි. 3:17.

ගීතිකා: 62, 65

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • යෙහෝවා දෙවි අපි එක් එක් කෙනාට දීලා තියෙන වටිනා තෑග්ග මොකක්ද?

  • අපි ගන්න තීරණවලින් යෙහෝවා දෙවිට තියෙන ආදරේ පැහැදිලි වෙන්නේ කොහොමද?

  • අනිත් අයගේ තීරණවලට අපි ගරු කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

1, 2. (අ) තීරණ ගැනීමේ නිදහස ගැන මිනිසුන්ට තියෙන විවිධ මත මොනවද? (ආ) තීරණ ගන්න තියෙන නිදහස ගැන බයිබලේ කියන්නේ මොකක්ද? අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

තීරණයක් ගන්න වුණ වෙලාවක කාන්තාවක් එයාගේ යාළුවෙක්ට මෙහෙම කිව්වා. “අනේ, හිතන්න කියලා නම් කියන්න එපා. කරන්න ඕන දේ කියන්නකෝ.” එයාට ඕන වුණේ වෙන කෙනෙක් එයා වෙනුවෙන් තීරණයක් ගන්නවටයි. නැතුව දෙවි තෑග්ගක් විදිහට දීලා තියෙන තීරණ ගැනීමේ නිදහස පාවිච්චි කරන්න නෙමෙයි. ඔයාත් එයා වගේද? නැත්නම් ඔයා දෙවි දුන්න නිදහස පාවිච්චි කරලා තීරණ ගන්න කෙනෙක්ද? අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි අපිට දීලා තියෙන ඒ තෑග්ග ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

2 තීරණ ගැනීමේ නිදහස ගැන මිනිසුන්ට තියෙන්නේ විවිධ මත. අපි කරන්න ඕන දේවල් දෙවි කලින්ම තීරණය කරලා තියෙන නිසා තීරණ ගන්න නිදහසක් අපිට නැහැ කියලා සමහරු කියනවා. තවත් අය කියන්නේ තීරණ ගන්න නිදහස තියෙනවා නම් සීමා මායිම් නැතුව ඕනම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනෙ කියලයි. ඒත් ඒ කාරණය නිවැරදිව තේරුම්ගන්න බයිබලේ අපිට උදව් කරනවා. බයිබලේ කියන්නේ දෙවි අපිව නිර්මාණය කළේ හොඳට හිතලා බලලා ඥානවන්ත තීරණ ගැනීමේ හැකියාව ඇතුව කියලයි. (යොෂුවා 24:15 කියවන්න.) ඒ වගේම මේ ප්‍රශ්නවලට උත්තර බයිබලෙන් හොයාගන්න පුළුවන්. තීරණ ගන්න අපිට තියෙන නිදහසට සීමා තියෙනවද? තීරණ ගැනීමේ නිදහස අපි පාවිච්චි කරන්න ඕනෙ කොහොමද? අපි ගන්න තීරණවලින් යෙහෝවා දෙවිට තියෙන ආදරේ පැහැදිලි වෙන්නේ කොහොමද? අනිත් අයගේ තීරණවලට අපි ගරු කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

යෙහෝවා දෙවිගේ සහ යේසුස්ගේ ආදර්ශ

3. යෙහෝවා දෙවි ඔහුට තියෙන අසීමිත නිදහස පාවිච්චි කරන්නේ කොහොමද?

3 යෙහෝවා දෙවිට තියෙන නිදහසට කිසිම සීමාවක් නැහැ. ඒත් දෙවි ඒ නිදහස පාවිච්චි කරන විදිහෙන් අපිට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්. උදාහරණෙකට දෙවි ඊශ්‍රායෙල් ජාතියව “තමාට විශේෂ සෙනඟක්” ලෙස තෝරගන්න තීරණය කළා. (ද්වි. 7:6-8) ඒක ආවට ගියාට ගත්ත තීරණයක් නෙමෙයි. තමන්ගේ මිතුරා වුණ ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව රකින්නයි ඔහු ඒ තීරණය ගත්තේ. (උත්. 22:15-18) ඒ වගේම දෙවි කොයි තරම් සාධාරණද, ආදරණීයද කියලා ඔහු නිදහස පාවිච්චි කරන විදිහෙන් පේනවා. ඊශ්‍රායෙල්වරු දෙවිට අකීකරු වුණ වෙලාවේ දෙවි එයාලව නිවැරදි කළා. ඒත් තමන්ගේ වැරදි ගැන පසුතැවෙද්දී දෙවි එයාලට ආදරේ, දයාව පෙන්නුවා. දෙවි කිව්වේ ‘ඔවුන් මට විරුද්ධව ද්‍රෝහිකම් කළත් මම ඔවුන්ව සුව කරන්නෙමි. කිසිවෙකුගේ බල කිරීමකින් තොරව මම ඔවුන්ට ප්‍රේම කරමි’ කියලයි. (හොෂෙ. 14:4, පාදසටහන) තමන්ට තියෙන නිදහස දෙවි පාවිච්චි කළේ අනිත් අයට උදව් කරන්නයි. දෙවි අපිට හොඳ ආදර්ශයක්!

4, 5. (අ) තීරණ ගැනීමේ නිදහස දෙවි මුලින්ම දුන්නේ කාටද? ඔහු ඒ නිදහස පාවිච්චි කළේ කොහොමද? (ආ) අපි එක් එක් කෙනා හිතන්න ඕන මොන ප්‍රශ්න ගැනද?

4 තීරණ ගැනීමේ නිදහස ඇතුව දේවදූතයන්ව සහ මිනිසුන්ව නිර්මාණය කරන්න දෙවි තීරණය කළා. දෙවි ඒ තෑග්ග මුලින්ම දුන්නේ යේසුස්ටයි. “නොපෙනෙන දෙවිගේ සැබෑ ස්වභාවය” යේසුස්ගෙන් දකින්න තිබුණා. (කොලො. 1:15) දෙවි දුන්න නිදහස යේසුස් පාවිච්චි කළේ කොහොමද? ස්වර්ගයේ හිටපු කාලෙදී සාතන්ගේ පැත්ත ගන්නේ නැතුව දෙවිට ළැදිව ඉන්න යේසුස් තීරණය කළා. පොළොවට ආවට පස්සෙත් සාතන් ඔහුව වරදකට පොලඹවගන්න හදද්දී ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. (මතෙ. 4:10) මිය යන්න කලින් දවසේ රාත්‍රියේ ඔහු දෙවිට කිව්වේ “පියාණෙනි, ඔබ කැමති නම් මේ කුසලානය මගෙන් ඉවත් කරන්න. ඒ වුණත් සිදු විය යුත්තේ මා කැමති දේ නොව ඔබේ කැමැත්තයි” කියලා. (ලූක් 22:42) දෙවිට කීකරු වෙන්න යේසුස්ට කොයි තරම් ආසාවක් තිබුණද කියලා ඒකෙන් පේනවා. යේසුස්ව ආදර්ශයට ගන්න අපිටත් පුළුවන්ද?

5 දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නෙත් දෙවිගේ ගතිලක්ෂණ ඇතුව නිසා යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන්. (උත්. 1:26) ඒත් යෙහෝවා දෙවිට වගේ අසීමිත නිදහසක් අපිට නැහැ. අපිට තියෙන නිදහසට දෙවි යම් සීමාවන් දාලා තියෙනවා. අපි ඒ සීමාවන් අවබෝධ කරගෙන තීරණ ගනියි කියලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. උදාහරණෙකට බිරිඳ සැමියාට යටත්ව ඉන්න ඕනෙ කියලත් දරුවන් දෙමාපියන්ට යටත් වෙන්න ඕනෙ කියලත් බයිබලේ කියනවා. (එෆී. 5:22; 6:1) තීරණ ගැනීමේ නිදහස පාවිච්චි කරද්දී අපි ඒ සීමාවන් සැලකිල්ලට ගන්න ඕනෙ ඇයි? අපිට සදාකාල ජීවනය ලැබෙනවද නැද්ද කියන දේ තීරණය වෙන්නේ අපිට තියෙන නිදහස අපි පාවිච්චි කරන විදිහ අනුවයි.

නිදහස පාවිච්චි කරන්න පුළුවන් විදි

6. තීරණ ගන්න තියෙන නිදහසට සීමා තියෙන එක හොඳ දෙයක් වෙන්නේ ඇයි? උදාහරණෙකින් පැහැදිලි කරන්න.

6 තීරණ ගන්න අපිට තියෙන නිදහසට යම් සීමා තියෙන එකෙන් අපි කොටු වෙනවද? නැහැ. ඇත්තටම සීමා තියෙන එක අපිට ආරක්ෂාවක්. හිතන්න, ඔයා වාහනයක් එළවගෙන දුර ගමනක් යනවා කියලා. ඒත් ඔයා යන පාරේ මාර්ග නීති නැහැ. තමන් යන්න ඕන කොයි පැත්තෙන්ද කොච්චර වේගයකින්ද කියලා තීරණය කරන්න රියදුරන්ටම පුළුවන්. ඒ පාරේ යන එක ජීවිතේට අනතුරක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? අපිට තියෙන නිදහස ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න නම් සීමාවන් තියෙන එක වැදගත්. දැන් අපි බයිබලේ සඳහන් සිද්ධීන් කීපයක් බලමු. යෙහෝවා දෙවි අපිට දීලා තියෙන සීමා සැලකිල්ලට අරන් තීරණ ගන්න එක අපිට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා ඒවාවලින් පැහැදිලි වෙයි.

7. (අ) සතුන් සහ ආදම් අතරේ තිබුණ වෙනස මොකක්ද? (ආ) තීරණ ගන්න තිබුණ නිදහස ආදම් පාවිච්චි කරපු විදිහක් විස්තර කරන්න.

7 දෙවි දේවදූතයන්ට දුන්න වටිනා තෑග්ග ඒ කියන්නේ තීරණ ගැනීමේ නිදහස මුල් මිනිසා වුණ ආදම්ටත් දුන්නා. ඒත් දෙවි සතුන්ව නිර්මාණය කළේ ඒ නිදහස ඇතුව නෙමෙයි. තමන් නිර්මාණය කරපු ‘එක් එක් සත්වයාව මිනිසා වෙතට ගෙන ගොස් උන්ට නම් තියන්න කියලා දෙවි ආදම්ට කිව්වා.’ තීරණ ගන්න තමන්ට දුන්න නිදහස පාවිච්චි කරලා ආදම් එක් එක් සතාට ගැළපෙන නම දැම්මා. ආදම්ගේ නිදහසට යෙහෝවා දෙවි ගරු කළා. බයිබලේ කියන්නේ “මිනිසා එක් එක් සතාට යම් නමක් දුන්නේද ඒ නමින්ම උන්ව හඳුන්වනු ලැබුවා” කියලයි.—උත්. 2:19.

8. තමන්ට තිබුණ නිදහස ආදම් වැරදි විදිහට පාවිච්චි කළේ කොහොමද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

8 මුළු පොළොවම පාරාදීසයක් කරන වගකීම යෙහෝවා දෙවි ආදම්ට දුන්නා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න. පොළොව මත සිටින සියලු සතුන්වද මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද ඔබ යටතේ තබාගන්න” කියලා දෙවි එයාට කිව්වා. (උත්. 1:28) ඒත් එයා දෙවි කරන්න එපා කියපු දේම කරලා දෙවිට අකීකරු වුණා. දෙවි දීලා තිබුණ සීමාවන් එයා ගණන් ගන්නේ නැහැ කියලා ඒකෙන් පෙන්නුවා. ආදම් තමන්ට තිබුණ නිදහස වැරදි විදිහට පාවිච්චි කරපු නිසා මිනිසුන් අවුරුදු දහස් ගාණක් තිස්සේ දුක් විඳිනවා. (රෝම 5:12) ආදම් ගත්ත තීරණය නිසා ලැබුණ ප්‍රතිඵල අපි අමතක කරන්න හොඳ නැහැ. මොකද ඒක අපිට මතක් කරනවා තීරණ ගැනීමේ නිදහස ආවට ගියාට පාවිචිච් කරන්නේ නැතුව දෙවි දීලා තියෙන සීමාවන් සැලකිල්ලට අරන් තීරණ ගන්න එක කොච්චර වැදගත්ද කියලා.

9. දෙවි ඊශ්‍රායෙල් සෙනඟට ඉඩ දුන්නේ මොන තේරීම කරන්නද? එයාලා පොරොන්දු වුණේ මොකක්ද?

9 ආදම් කරපු වරද නිසා එයාගෙන් පැවතෙන අයට පාපය සහ මරණය උරුම වුණත් තීරණ ගැනීමේ නිදහස එයාලට අහිමි වුණේ නැහැ. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් එක්ක වැඩ කරපු විදිහෙන් ඒක තේරුම්ගන්න පුළුවන්. දෙවිගේ විශේෂ සෙනඟ වෙනවද නැද්ද කියන තීරණය ගන්න දෙවි එයාලට අවස්ථාව දුන්නා. (නික්. 19:3-6) දෙවි බලාපොරොත්තු වුණ විදිහට ජීවත් වෙලා දෙවිගේ විශේෂ සෙනඟ වෙන්න එයාලා කැමති වුණා. “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි” කියලා ඊශ්‍රායෙල්වරු කිව්වේ ඒ නිසයි. (නික්. 19:8) ඒත් කාලයක් ගියාම දෙවිට වුණ ඒ පොරොන්දුව එයාලා කඩ කළා. ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? තීරණ ගන්න දෙවි අපිට දීලා තියෙන නිදහස අපි අගය කරනවා නම් දෙවිගේ මඟ පෙන්වීම්වලට අපි කීකරු වෙනවා. දිගටම දෙවිට ළැදිව ඉන්නවා.—1 කොරි. 10:11.

10. දෙවිට ගෞරවයක් ගේන විදිහට නිදහස පාවිච්චි කරන්න පුළුවන් කියලා පැහැදිලි වෙන්නේ කාගේ ආදර්ශවලින්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

10 තීරණ ගන්න තියෙන නිදහස පාවිච්චි කරද්දී දෙවි බලාපොරොත්තු වුණ දේ තේරුම් අරන් ඒ අනුව වැඩ කරපු 16දෙනෙකුගේ නම් හෙබ්‍රෙව් 11වෙනි පරිච්ඡේදයේ තියෙනවා. නෝවා ඒ අයගෙන් කෙනෙක්. එයාට යෙහෝවා දෙවි ගැන තිබුණ විශ්වාසය නිසා දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙලා නැවක් හැදුවා. එයාගේ පවුලේ අයත් අනාගත පරම්පරාවත් ආරක්ෂා වුණේ ඒ නිසයි. (හෙබ්‍රෙ. 11:7) ආබ්‍රහම් සහ සාරා කැමැත්තෙන්ම දෙවිට කීකරු වෙලා දෙවි එයාලට දෙනවා කියලා පොරොන්දු වුණ දේශයට ගියා. ඌර් නගරේට ‘ආපහු යන’ එක ගැන හිතනවා වෙනුවට ඒ දෙන්නා මනස යොමු කළේ දෙවිගේ පොරොන්දුවලට. බයිබලේ කියන්නේ එයාලා ‘වඩා උතුම් ස්ථානයක් අත් කරගැනීමට වෑයම් කළා’ කියලයි. (හෙබ්‍රෙ. 11:8, 13, 15, 16) මෝසෙස් ඊජිප්තුවේ සැපවත් ජීවිතේ අත්හරින්න තීරණය කළා. ‘පව්කාර දේවල් කරමින් තාවකාලික සැප භුක්ති විඳිනවා වෙනුවට එයා දෙවිගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳීම තෝරාගත්තා.’ (හෙබ්‍රෙ. 11:24-26) දෙවිට විශ්වාසවන්තව හිටපු ඒ අයට දෙවි ආශීර්වාද කළා. අනාගතය ගැන එයාලට හොඳ බලාපොරොත්තුවක් තිබුණා. අපිත් එයාලගේ විශ්වාසය ආදර්ශයට ගමු. තීරණ ගැනීමේ නිදහස දෙවි සතුටු වෙන විදිහට පාවිච්චි කරමු.

11. (අ) තීරණ ගන්න තියෙන නිදහස නිසා අපිට ලැබෙන්නේ මොන වටිනා අවස්ථාවද? (ආ) තීරණ ගැනීමේ නිදහස දෙවි සතුටු වෙන විදිහට පාවිච්චි කරන්න අපිව පොලඹවන්නේ මොකක්ද?

11 වෙන කෙනෙක් අපි වෙනුවෙන් තීරණ ගන්න එක ලේසි දෙයක් වගේ පේන්න පුළුවන්. ඒත් ඒකෙන් අපිට වටිනා අවස්ථාවක් අහිමි වෙනවා. ඒ මොකක්ද? ද්විතීය කතාව 30:19, 20 (කියවන්න.) ඒ ගැන විස්තර කරනවා. 19වෙනි පදයේ කියනවා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කරන්න තේරීමක් දුන්නා කියලා. ඒ තේරීම දුන්න එකෙන් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අවස්ථාව දුන්නා එයාලා දෙවිට කොච්චර ආදරේද කියලා පෙන්නන්න. ඒක 20වෙනි පදයේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා. දෙවිට නමස්කාර කරන්න තීරණය කරන්න අපිටත් පුළුවන්. දෙවිට තියෙන ආදරේ, ඔහුව ගෞරවයට පත් කරන්න තියෙන ආසාව අපිව පොලඹවනවා තීරණ ගන්න තියෙන නිදහස දෙවි සතුටු වෙන විදිහට පාවිච්චි කරන්න.

ඔයාගේ නිදහස වැරදි විදිහට පාවිච්චි කරන්න එපා

12. දෙවි දුන්න තෑග්ග පාවිච්චි කරද්දී අපි මතක තියාගන්න ඕනෙ මොනවද?

12 හිතන්න, ඔයා යාළුවෙක්ට වටින තෑග්ගක් දුන්නා කියලා. එයා ඒක කුණු කූඩෙට දැම්මොත් නැත්නම් ඒකෙන් කාට හරි හානියක් කළොත් ඔයාට මොනවා හිතෙයිද? අනිවාර්යයෙන්ම ඔයාට දුක හිතෙයි. තීරණ ගැනීමේ නිදහසත් දෙවිගෙන් ලැබුණ වටිනා තෑග්ගක්. මිනිසුන් ඒ තෑග්ග වැරදි විදිහට පාවිච්චි කරද්දී, වැරදි තීරණ ගද්දී, අනිත් අයට හානියක් වෙන විදිහට පාවිච්චි කරද්දී දෙවිටත් අනිවාර්යයෙන්ම දුක හිතෙනවා. “අවසාන කාලයේ” ජීවත් වෙන අය “ස්තුතිවන්ත නොවන” අය කියලා බයිබලේ කියන දේ කොච්චර ඇත්තක්ද! (2 තිමෝ. 3:1, 2) යෙහෝවා දෙවි දුන්න ඒ වටිනා තෑග්ග කවදාවත් අයුතු විදිහට පාවිච්චි කරන්න එපා. ඒක අගය කරමු. ඒක අපිට කරන්න පුළුවන් කොහොමද?

13. අපිට තියෙන නිදහස අයුතු විදිහට පාවිච්චි කරන එකෙන් වළකින්න අපිට පුළුවන් කොහොමද?

13 ආශ්‍රය කරන අයව, ඇඳුම් පැළඳුම්, විනෝදයට කරන දේවල් තෝරගන්න අපි හැමෝටම නිදහස තියෙනවා. ඒත් ඒ නිදහස හේතුවක් කරගෙන දෙවි අසතුටු වෙන තීරණ ගන්න නැත්නම් මේ සමාජයේ රැල්ලට අනුව වැඩ කරන්න අපි පෙලඹෙන්න පුළුවන්. (1 පේතෘස් 2:16 කියවන්න.) අපිට තියෙන නිදහස අපි පාවිච්චි කරන්න ඕනෙ අපේම ‘ආශාවන් පිනවගන්න’ නෙමෙයි ‘දෙවිට ප්‍රශංසාව හා ගෞරවය’ ගේන්නයි.—ගලා. 5:13; 1 කොරි. 10:31.

14. අපිට තියෙන නිදහස පාවිච්චි කරද්දී දෙවිව විශ්වාස කරලා වැඩ කරන එක වැදගත් ඇයි?

14 ‘මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැහැ කියලත් තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට හැකියාවක් නැහැ’ කියලත් බයිබලේ කියනවා. (යෙරෙ. 10:23) ඒ නිසයි දෙවි අපිට කියන්නේ “මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය” කියලා. (යෙසා. 48:17) දෙවි සතුටු වෙන විදිහට අපිට තියෙන නිදහස පාවිච්චි කරන්න නම් අපිට දෙවිගේ මඟ පෙන්වීම් ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. දෙවි දාලා තියෙන සීමාවන් ගැන අවබෝධයක් තියෙන්නත් ඕනේ. ආදම්, දෙවිට අකීකරු වුණ ඊශ්‍රායෙල්වරු දෙවි ගැන විශ්වාසය තිබ්බෙවත් දෙවිගේ සීමා සැලකිල්ලට ගත්තෙවත් නැහැ. ඒ අවාදර්ශවලින් අපි පාඩමක් ඉගෙනගමු. අපේ නුවණ ගැන විශ්වාසය තියන්නේ නැතුව “මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරමු.”—හිතෝ. 3:5.

අනිත් අයගේ නිදහසට ගරු කරන්න

15. ගලාති 6:5 සඳහන් දෙයින් අපි තේරුම්ගන්නේ මොකක්ද?

15 තීරණ ගන්න අනිත් අයට තියෙන නිදහසට බලපෑම් කරන්න අපිට අයිතියක් නැහැ කියලා අපි මතක තියාගන්න ඕනේ. තීරණ ගන්න හැමෝටම නිදහස තියෙන නිසා දෙවිගේ සේවකයන් දෙන්නෙක් යම් කාරණයක් සම්බන්ධයෙන් එකම තීරණය ගනියි කියලා හිතන්න බැහැ. එදිනෙදා කරන කියන දේවල් ගැන, දෙවිට කරන සේවය ගැන ගන්න තීරණ වුණත් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ගලාති 6:5 (කියවන්න.) තියෙන ප්‍රතිපත්තිය මතක තියාගන්න එක වැදගත්. තමන් ගන්න තීරණ ගැන අපි එක් එක් කෙනා දෙවිට වග කියන්න ඕනෙ කියන දේ තේරුම්ගන්නවා නම් තීරණ ගන්න අනිත් අයට තියෙන නිදහසට ගරු කරන්න අපිට පුළුවන්.

සහෝදරයෙක්ගෙන් වයින් වීදුරුවක් ඕනෙද කියලා අහද්දී එපා කියනවා

තීරණ ගන්න අනිත් අයට තියෙන අයිතියට ගරු කරන්න (15 ඡේදය බලන්න)

16, 17. (අ) කොරින්ති සභාවේ ඇති වුණ ප්‍රශ්නේ මොකක්ද? (ආ) පාවුල් ඒ සභාවේ අයට උදව් කළේ කොහොමද? අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

16 තීරණ ගන්න අනිත් අයට තියෙන නිදහසට අපි ගරු කරන එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න උදව් වෙන සිද්ධියක් බලමු. මුල් සියවසේදී දේවතා රූපවලට ඔප්පු කරපු සමහර සතුන්ගේ මස් පස්සේ වෙළඳපොළේ විකුණුවා. ඒ මස් කන එක ගැන කොරින්ති සභාවේ අය අතරේ වාදයක් ඇති වුණා. රූපවලට කිසිම බලයක් නැති නිසා ඒවාට පූජා කරපු සතුන්ගේ මස් කන එක වැරදි නැහැ කියලා සමහරු තමන්ගේ හෘදය සාක්ෂියට අනුව තීරණය කළා. ඒත් කලින් දේවතා රූපවලට නමස්කාර කරපු අයට ඒ මස් කන එක ගැන හැඟුණේ ඒ රූපවලට කරන නමස්කාරයට තමන් හවුල් වෙනවා වගේ. (1 කොරි. 8:4, 7) ඒක සභාවේ එක්සත්කමට තර්ජනයක් වුණ බරපතළ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ විසඳගන්න පාවුල් එයාලට උදව් කළේ කොහොමද?

17 මුලින්ම පාවුල් එයාලට මතක් කළා ඒ මස් කෑවා නොකෑවා කියලා දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් වෙන්නේ නැහැ කියලා. (1 කොරි. 8:8) සත්‍ය ඉගැන්වීම් ගැන ඒ තරම් පුළුල් අවබෝධයක් නැති අයගේ හෘදය සාක්ෂියට හානියක් වෙන විදිහට තීරණ ගන්න තමන්ට තියෙන නිදහස පාවිච්චි කරන්න එපා කියලා පාවුල් ඊළඟට එයාලට කිව්වා. (1 කොරි. 8:9) මස් කන්න තීරණය කරන අයව විනිශ්චය කරන්න එපා කියලා ඒ කාරණය ගැන සංවේදී අයටත් පාවුල් මතක් කළා. (1 කොරි. 10:25, 29, 30) නමස්කාරයට සම්බන්ධ ඒ වගේ කාරණයකදී වුණත් එක් එක් කෙනා තීරණයක් ගන්න ඕනෙ තමන්ගේ හෘදය සාක්ෂියට එකඟවයි. එහෙමනම් වෙනත් කාරණාවලදී තීරණ ගන්න සහෝදරයන්ට තියෙන නිදහසට අපි ගරු කරන්න ඕනෙ නැද්ද?—1 කොරි. 10:32, 33.

18. තීරණ ගන්න තියෙන නිදහස ඔයා අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

18 තීරණ ගන්න අපිට නිදහස තියෙන නිසා අපි කොටු වෙලා නැහැ. ඇත්තටම දෙවිගෙන් ලැබුණ ඒ තෑග්ග නිසා අපි ලොකු නිදහසක් අද්දකිනවා. (2 කොරි. 3:17) අපේ හිතේ දෙවි ගැන කොයි තරම් ආදරයක් තියෙනවද කියලා පෙන්නන්නත් ඒ නිදහස නිසා අපිට පුළුවන්. දෙවි දුන්න ඒ තෑග්ග අපි අගය කරනවා නම් දෙවිව ගෞරවයට පත් වෙන විදිහේ තීරණ අරන් ඒ අගය අපි පෙන්නනවා. තීරණ ගන්න අනිත් අයට තියෙන නිදහසටත් ගරු කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න