ඔවුන්ගේ නවීන දින වර්ධනය හා දියුණුව
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නවීන දින ඉතිහාසය ආරම්භ වූයේ මීට වසර සියයකටත් වඩා ඉහතදීයි. එක්දහස් අටසිය හැත්තෑ ගණන්වල මුල් භාගයේදී, එතරම් ප්‍රසිද්ධියක් නොඉසුලූ බයිබල් අධ්‍යයන කණ්ඩායමක ආරම්භය, දැන් පිට්ස්බර්ග්හි කොටසක් වන අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ ඇලගේනිහි ඇති විය. මෙම කණ්ඩායමේ පෙරමුණ ගත්තේ චාල්ස් ටේස් රසල්ය. වර්ෂ 1879 ජූලි මාසයේදී, සයන්ස් වොට්ටවර් ඇන්ඩ් හෙරල්ඩ් ඔෆ් ක්‍රයිස්ට්ස් ප්‍රෙසන්ස් ප්‍රකාශයට පත් විණි. වර්ෂ 1880 වන විට, එක් කුඩා බයිබල් පාඩම් කණ්ඩායමක සිට අසල පිහිටි ප්‍රාන්තවලට සභාවල් රැසක් දක්වා වර්ධනය වී තිබිණි. වර්ෂ 1881දී සයන්ස් වොච්ටවර් ට්‍රැක්ට් සොසයටි පිහිටුවනු ලැබූ අතර, රසල්ව සභාපති ලෙසට පත් කරනු ලැබීය. එය 1884දී නෛතික සමාගමක් ලෙසට පිහිටුවනු ලැබිණි. සමිතියේ නම පසුව වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි බවට වෙනස් විය. බොහෝදෙනෙක් ගෙයින් ගෙට සාක්ෂි දරමින් බයිබල් පොත් පත් බෙදා දුන්හ. වර්ෂ 1888දී පුද්ගලයෝ 50දෙනෙක් පූර්ණ කාලීන සේවයේ නිරතව සිටියෝය. දැන් ලොව පුරා දළ වශයෙන් 7,00,000ක් පූර්ණ කාලීන සේවයේ නිරත වෙමින් සිටිති.
වර්ෂ 1909 වන විට, මෙසේ සිදු කරමින් තිබූ වැඩකටයුතු ජාත්‍යන්තර තලයකට පැමිණ තිබූ අතර, සමිතියේ මූලස්ථානය දැන් තිබෙන නිව් යෝක්හි බෘක්ලින් කරා ගෙන එනු ලැබිණි. මුද්‍රිත දේශනා, පුවත්පත් ආයතන කිහිපයකට අයත් පුවත්පත්වල පළ වූ අතර, 1913වන විට මේවා එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ යුරෝපයේ පුවත්පත් 3,000ක භාෂා හතරකින් පළ කෙරිණි. පොත්, පොත් පිංච සහ පත්‍රිකා මිලියන සිය ගණනක් බෙදාහරිනු ලැබිණි.
වර්ෂ 1912දී “ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” යනුවෙන් මැවීම පිළිබඳ විස්තරයක් අඩංගු ඡායාරූප නාට්‍යයක් පෙන්වීම ආරම්භ කරන ලදි. ශබ්ද සමඟ නිශ්චල ඡායාරූප හා චලන රූප සමඟින් පෘථිවියේ මැවිල්ලේ සිට ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය දක්වා තොරතුරු එහි ආවරණය කෙරිණි. මෙම දර්ශන පෙන්වීම 1914දී ආරම්භ වූ අතර, දිනකට 35,000ක් පමණ දෙනෙක් එය නැරඹූහ. එය හඬ කැවූ චිත්‍රපට තිරගත කළ මුල්ම අවස්ථාවලින් එකක් විය.
1914 වර්ෂය
ඉතා වැදගත් කාලයක් ළඟා වෙමින් තිබිණි. වර්ෂ 1876දී බයිබල් ශිෂ්‍යයෙකු වූ චාල්ස් ටේස් රසල්, “යුදෙව් නොවන්නන්ගේ කාලවල්: ඒවා අවසන් වෙන්නේ කවදාද?” යන මැයෙන් ලිපියක් නිව් යෝක්, බෘක්ලින්හි ප්‍රකාශිත බයිබල් එක්සැමිනර් යන ප්රකාශනයට දායක කළ අතර, එහි ඔක්තෝබර් කලාපයේ 27වන පිටුවේ මෙසේ සඳහන් විය. “කාලවල් සත ක්‍රි.ව. 1914දී අවසන් වනු ඇත.” මෙම යුදෙව් නොවන්නන්ගේ කාලවල් යන්නට තවත් බයිබල් පරිවර්තනයක “ජාතීන් සඳහා නියම කරන ලද කාලවල්” යනුවෙන් යොමු දක්වා තිබේ. (ලූක් 21:24) වර්ෂ 1914දී සිදු වෙනවායයි අපේක්ෂා කළ සියල්ල සිදු වූයේ නැත. එනමුත් එය යුදෙව් නොවන්නන්ගේ කාලවල අවසානය සනිටුහන් කළ අතර, එය විශේෂ වැදගත්කමකින් යුත් වසරක් විය. වර්ෂ 1914 මිනිස් ඉතිහාසයේ සන්ධිස්ථානයක් වූ බව ඉතිහාසඥයන් සහ විචාරකයන් බොහෝදෙනෙකුගේ අදහසයි. පහත සඳහන් උපුටා දැක්වීම්වලින් මේ බව සනාථ වේ.
“සෑම අතින්ම ‘ස්ථාවරව’ පැවති අන්තිම වසර වූයේ 1913යි. එනම් පළමුවන ලෝක යුද්ධය ආරම්භ වූ වසරට පෙර වසරයි.”—1949 මාර්තු 13වන දා, වොෂිංටන් ඩී.සී. ටයිම්ස් හෙරල්ඩ් කතුවැකිය.
“ලෝක යුද්ධ දෙකක් සහ සීතල යුද්ධයක් පැවති 1914 සිට 1989 දක්වා වූ වසර 75ක කාල පරිච්ඡේදය, ඉතිහාසඥයන් විසින් දැන් දැන් වටහාගන්නේ ලෝකයෙන් වැඩි කොටසක් යුද්ධ කළාවූ, යුද්ධයේ පීඩාවෙන් ගොඩ එමින් තිබුණාවූ හෝ යුද්ධයට සූදානම් වෙමින් තිබුණාවූ අති විශේෂ අද්විතීය කාල වකවානුවක් හැටියටයි.”—1995 මැයි 7වන දා, ද නිව් යෝර්ක් ටයිම්ස්.
“මුළු ලෝකයම පළමුවන ලෝක යුද්ධයේදී දෙදරා ගියේය. ඒ මන්දැයි අපි තවමත් නොදනිමු. ඊට පෙර, මිනිසුන් කල්පනා කළේ පොළොව මත දිව්‍ය ලෝකයක් බඳු සුරක්ෂිත සමාජයක් ඇති වේවි කියායි. සාමය හා සමෘද්ධිය තිබිණි. ඉන්පසු සියල්ලම දෙදරා ගියේය. එතැන් පටන් සමාජයේ සියලු ක්රියාකාරිත්වයන් නැවතී අවුල් වියවුල් වුණි. පුදුමයෙන් ගල් ගැසුණු තත්වයක අපි සිටින්නෙමු. . . . ඉතිහාසයේ සියලු සියවස්වලට වඩා මෙම සියවසේදී මිනිස් ඝාතන බොහොමයක් සිදු වී තිබේ.”—1977 නොවැම්බර් 21වන දා අමෙරිකන් මෙඩිකල් නිව්ස්හි ආචාර්ය වෝකර් පර්සි.
වර්ෂ 1914න් වසර 50කට පසුව, ජර්මන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ කොන්රාට් ඇඩනෝයර් මෙසේ ලීවේය. “වර්ෂ 1914 පටන් සුරක්ෂිත බව සහ නිසසල බව මිනිසුන්ගේ ජීවිතවලින් තුරන් වී ගොස් ඇත.”—1966 ජනවාරි 20වන දා, ඔහයෝහි ක්ලීව්ලන්ඩ්හි ද වෙස්ට් පාර්කර්.
සමිතියේ පළමු සභාපති වූ සී.ටී. රසල් 1916 දී මිය ගිය අතර, ඊළඟ වසරේදී ජෝසප් එෆ්. රදෆර්ඩ් සභාපති බවට පත් විය. බොහෝ වෙනස්කම් සිදු විණි. මුරටැඹ සඟරාව සමඟ සහයක සඟරාවක් හැටියට ද ගෝල්ඩන් ඒජ් හඳුන්වා දෙනු ලැබිණි. (දැන් පිබිදෙව්! ලෙසට නම් කර ඇති මෙම සඟරාව භාෂා 80කට වැඩියෙන් පිටපත් 2,00,00,000ක් පමණ බෙදාහරිනු ලැබේ.) ගෙයින් ගෙට සාක්ෂි දැරීම කෙරෙහි වැඩි අවධානයක් දෙන ලදි. ක්‍රිස්තියානි ලෝකයේ ආගමික නිකායවලින් තමන්ව වෙන් කර හඳුන්වා දීම පිණිස මෙම ක්‍රිස්තියානීහු 1931දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන නාමය වැලඳගත්හ. මෙම නාමය පදනම් වී ඇත්තේ යෙසායා 43:10-12 මතය.
වර්ෂ 1920 ගණන්වල සහ 1930 ගණන්වල පුළුල් ලෙස යොදාගනු ලැබුණේ ගුවන් විදුලියයි. වර්ෂ 1933 වන විට බයිබල් දේශන විකාශය කිරීම සඳහා සමිතිය විසින් ගුවන් විදුලි විකාශනාගාර 403ක් යොදා ගනු ලැබීය. පසුව, ගුවන් විදුලි විකාශ වෙනුවට පුළුල් වශයෙන් යොදාගනු ලැබුණේ ජංගම පටිගත කරන ලද බයිබල් කතා සහිත තැටි වාදන යන්ත්‍ර සමඟින් කළ ගෙයින් ගෙට සේවයයි. බයිබල් සත්‍යයන් කෙරෙහි උනන්දුවක් පෙන්වූ ඕනෑම කෙනෙකු සමඟ නිවාස බයිබල් පාඩම් පටන්ගැනිණි.
අධිකරණයේ ජයග්‍රහණ
වර්ෂ 1930 ගණන්වල සහ 1940 ගණන්වල, තමන්ගේ වැඩ කටයුතුවල නියැලීම හේතුවෙන් බොහෝ අවස්ථාවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව අත්අඩංගුවට ගැනිණි. කතා කිරීමේ, තොරතුරු මුද්‍රණය කිරීමේ, එක් රැස් වීමේ සහ නමස්කාරයේ නිදහස ආරක්ෂා කරගැනීමේ අටියෙන් නඩු විභාගවලට පෙනී සිටින ලදි. එක්සත් ජනපදයේ, සාක්ෂිකරුවන් විසින් පහළ අධිකරණවල සිට කරන ලද අභියාචනා 43ක්, එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජයග්‍රහණය කෙරිණි. ඒ හා සමානව, වෙනත් රටවලද ශ්‍රේෂ්ඨාධිකරණවලින් හිතකර තීන්දු ලබාගෙන ඇත. මෙම අධිකරණ ජයග්‍රහණ සම්බන්ධව මහාචාර්ය සී. එස්. බ්රේඩ්න්, තම පොතේ (These Also Believe) සාක්ෂිකරුවන් ගැන පැවසුවේ මෙසේයි. “ඔවුන් තම සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට සටන් කිරීම මගින් ප්රජාතන්ත්රවාදය උදෙසා විශිෂ්ට සේවාවක් ඉටු කර ඇත. මන්දයත් ඔවුන් තම සටනේදී අමෙරිකාවේ සිටින සෑම සුළු කණ්ඩායමකටම එම අයිතිවාසිකම් ලබා දීමට අමිල සේවාවක් කර ඇති බැවිනි.”
විශේෂ පුහුණු වැඩසටහන්
ජේ. එෆ්. රදෆර්ඩ් 1942දී මිය ගිය අතර, ඔහුට පසුව සභාපති වූයේ එන්. එච්. නෝර්ය. ඉතා කාර්යක්ෂම පුහුණු පාඨමාලාවක් ආරම්භ කරන ලදි. වර්ෂ 1943දී, ගිලියද් මුරටැඹ බයිබල් පාසැල යනුවෙන් හඳුන්වනු ලැබූ මිෂනාරීන් සඳහා විශේෂ පුහුණු පාසැලක් පිහිටුවනු ලැබිණි. ඒ කාලයේ පටන්, මෙම පාසැලේ උපාධිලාභීන්ව ලොව පුරා විවිධ රටවල් කරා යවන ලදි. කිසිම සභාවක් නොතිබූ රටවල සභාවන් පිහිටුවා ඇති අතර, ජාත්‍යන්තර වශයෙන් ශාඛා කාර්යාල දැන් 100කට වඩා වැඩියෙන් පිහිටුවනු ලැබ තිබේ. වැඩිමහල්ලන්, ශාඛා කාර්යාලවල ස්වේච්ඡා සේවකයන් සහ සාක්ෂි දැරීමේ වැඩය තුළ පූර්ණ කාලීන සේවකයන් ලෙස (පුරෝගාමීන් ලෙස) පුහුණු කිරීම සඳහා කලින් කලට පාසැල් පිහිටුවා ඇත. දේවසේවකයන් සඳහා විශේෂ ආකාරයේ පාසැල් ගණනාවක්ම නිව් යෝක් නගරයේ පැටර්සන්හි පිහිටුවා ඇති අධ්‍යාපනික මධ්‍යස්ථානයේ පවත්වනු ලැබේ.
වර්ෂ 1977දී එන්. එච්. නෝර් මිය ගියේය. ඔහු මිය යෑමට පෙර, අන්තිම වතාවට කරන ලද සංවිධානාත්මක වෙනස්කම්වලින් එකක් වූයේ, බෘක්ලින්හි ජගත් මූලස්ථානයේ පිහිටුවා ඇති පාලක මණ්ඩලය විශාල කිරීමයි. වර්ෂ 1976දී පරිපාලන වගකීම්, පාලක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සමන්විත විවිධ කමිටුවලට බෙදා පවරනු ලැබූ අතර, මේ සියලු සාමාජිකයන් දශක ගණනාවක් පුරා දේවසේවකයන් හැටියට බොහෝ අද්දැකීම් ලත් අයයි.
මුද්‍රණ පහසුකම් පුළුල් කෙරේ
නවීන කාලවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය චමත්කාරජනක සිද්ධීන්වලින් පිරී තිබේ. වර්ෂ 1870දී පෙන්සිල්වේනියාවේ ආරම්භ වූ එක් කුඩා බයිබල් පාඩම් කණ්ඩායමක සිට, 2000 වසර වන විට සාක්ෂිකරුවෝ ලොව වටා සභා 90,000ක් දක්වා වර්ධනය වී සිටියහ. පළමුවෙන්ම සියලු පොත් පත් මුද්‍රණය කරනු ලැබුවේ මුද්රණාලවලයි. අනතුරුව 1920දී සාක්ෂිකරුවෝ කුලියට ගත් කර්මාන්ත ගොඩනැඟිලිවල ඇතැම් පොත් පත් නිපදවූහ. එහෙත් 1927 පටන් වැඩි වැඩියෙන් පොත් පත් නිපදවන්නට වුණේ, නිව් යෝක් නගරයේ බෘක්ලින්හි, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝක් නමැති සංස්ථාගත ආයතනයට අයත්ව තිබූ මහල් අටකින් සමන්විත වූ කර්මාන්ත ගොඩනැඟිල්ලේදීයි. මෙය දැන් වෙනත් කර්මාන්ත ගොඩනැඟිලිවලින් සමන්විත කාර්යාල සංකීර්ණයක් දක්වා පුළුල් වී තිබේ. පොත් පත් ප්‍රකාශයට පත් කෙරෙන මෙම කර්මාන්ත ශාලාවල ස්වේච්ඡාවෙන් සේවය කරන දේවසේවකයන්ට නවාතැන් දීම සඳහා බෘක්ලින්වලට යාබදව තවත් ගොඩනැඟිලිද තිබේ. මීට අමතරව, නිව් යෝක් ප්‍රාන්තයේ උතුරු දෙසින් වොල්කිල් අසල ගොවිපොළක් සහ මුද්‍රණාලයක් ඒකාබද්ධව පිහිටුවා තිබේ. එහි මුරටැඹ සහ පිබිදෙව්! සඟරා මුද්‍රණය කෙරෙන අතර, මූලස්ථානයට අයත් විවිධ ස්ථානවල සේවය කරන දේවසේවකයන් සඳහා ඇතැම් ආහාර නිෂ්පාදනය කෙරේ. මෙහි සේවය කරන සෑම ස්වේච්ඡා සේවකයෙකුටම තමන්ගේ වියහියදම් පියවාගැනීම සඳහා කුඩා මාසික දීමනාවක් ලැබේ.
ජාත්‍යන්තර සමුළු
වර්ෂ 1893දී පළමු වතාවට විශාල සමුළුවක් පවත්වනු ලැබුවේ අ.එ.ජ. ඉලිනෝයි ප්‍රාන්තයේ පිහිටි චිකාගෝ නගරයේය. එයට 360දෙනෙක් පැමිණි අතර, නවකයන් 70දෙනෙක් බව්තීස්ම වූහ. අන්තිම වතාවට පැවැත්වූ එකම මහා ජාත්‍යන්තර සමුළුව වූයේ 1958දී නිව් යෝක්හි පවත්වන ලද සමුළුවයි. එම සමුළුව සඳහා යැංකි ක්‍රීඩාංගණය සහ එකල පැවති පෝලෝ ක්‍රීඩාංගණය යොදාගැනිණි. පැමිණි උපරිම සංඛ්‍යාව 2,53,922ක් වූ අතර, අලුතෙන් බව්තීස්ම වූ සංඛ්‍යාව 7,136ක් විය. එතැන් පටන් බොහෝ රටවල ජාත්‍යන්තර සමුළු මාලා ගණනාවක් පවත්වා තිබේ. ලෝකය පුරා රටවල් ගණනාවක පවත්වන සමුළු දාහක් පමණ එවන් සමුළු මාලාවකට ඇතුළත් විය හැක.
[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
සිවිල් නිදහස වෙනුවෙන් විශිෂ්ට සේවාවක්
[6වන පිටුවේ පින්තූරය]
එක් භාෂාවකින් පිටපත් 6,000ක් මුද්‍රණය කළ “මුරටැඹ” දැන් භාෂා 132කට වඩා වැඩි ප්‍රමාණයකින් පිටපත් 2,20,00,000ක් මුද්‍රණය කෙරේ
[7වන පිටුවේ පින්තූරය]
මිනිස් ඉතිහාසයේ සන්ධිස්ථානයකි
[10වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]