ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 33 පි.-38 පි. 4 ¶
  • පර්යේෂණ කළ යුතු අන්දම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පර්යේෂණ කළ යුතු අන්දම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පර්යේෂණය සඳහා අප සතු ප්‍රධානතම මෙවලම වන බයිබලය භාවිත කිරීම
  • පර්යේෂණ සඳහා වෙනත් මෙවලම් භාවිත කිරීමට ඉගෙනීම
  • වෙනත් දිව්‍යාණ්ඩු පුස්තකාල
  • තොරතුරු ගොනු කර තබාගන්න
  • ජනයා සමඟ කතා කරන්න
  • ලද ප්‍රතිඵල තක්සේරු කර බලන්න
  • අධ්‍යයනය සඳහා උපකාරයක්
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • නමස්කාර මධ්‍යස්ථානයේ පුස්තකාලෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවාද?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • දිව්‍යාණ්ඩු පුස්තකාලයක් සංවිධානය කළ හැකි ආකාරය
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඩම් කිරීම විපාකදායක ය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 33 පි.-38 පි. 4 ¶

පර්යේෂණ කළ යුතු අන්දම

සාලමොන් රජ “බොහෝ අවවාදානුශාසනා විමසා සොයාගෙන, ඒවා සම්පාදනය කෙළේ ය.” කුමකටද? “හරි වූ සත්‍ය වූ කරුණු” ලේඛනගත කිරීම ඔහුගේ අභිප්‍රාය වූ නිසාය. (දේශ. 12:9, 10, න. අ.) ක්‍රිස්තුස්ගේ ජීවිතයේ සිදුවීම් නිසි අනුපිළිවෙළට දැක්වීම සඳහා ලූක් “මුල පටන් ක්‍රමයට සියලු කාරණා හරියාකාර විමසා” බැලුවේය. (ලූක් 1:4) දෙවිගේ මෙම සේවකයන් දෙදෙනාම කරමින් සිටි දේ ඔබ දුටුවාද? ඔවුන් සිටියේ පර්යේෂණය කරමිනුයි.

පර්යේෂණය යනු කුමක්ද? යම් විශේෂිත කාරණයක් සම්බන්ධයෙන් පරෙස්සමින් කරන සොයා බැලීමක් ලෙස එය හැඳින්විය හැක. මීට කියවීම ඇතුළත් වන අතර, අධ්‍යයනය ගැන කලින් සාකච්ඡා කළ ප්‍රතිපත්තිද අදාළ වේ. පුද්ගලයන්ගෙන් අදහස් විමසීමද ඇතුළත් විය හැක.

පර්යේෂණ කළ යුත්තේ කවර හේතු නිසාද? උදාහරණ කිහිපයක් සලකා බලන්න. ඔබේ පෞද්ගලික අධ්‍යයනයෙන් හෝ බයිබල් කියවීමෙන් ඔබ වැදගත් ලෙස සලකන ප්‍රශ්න ඉස්මතු විය හැක. සමහරවිට ඔබ ඇතමෙකුට සාක්ෂි දැරූ විට ඔහු ප්‍රශ්නයක් නැඟුවා වන්නට පුළුවන. ඔබේ ආශාව වන්නේ ඒ සඳහා සෑහීම ගෙන දෙන පැහැදිලි අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමයි. එසේ නැතහොත් ඔබට කතාවක් පවරා තිබෙනවා විය හැක.

ඔබට කතාවක් පවරා ඇතැයි සිතමු. පියවීම සඳහා ඔබට දී ඇත්තේ පොදු කරුණු බව පෙනී යා හැක. ඔබේ සභාවට අදාළ වන ආකාරයෙන් එය ඉදිරිපත් කළ හැක්කේ කෙසේද? පර්යේෂණ කිරීමෙන් එම තොරතුරු තවත් රසවත් කිරීමට ඔබට පුළුවන. ඔබේ සබයට පැහැදිලිව තේරුම්ගත හැකි කරුණක් ඉදිරිපත් කිරීමට සංඛ්‍යා ලේඛන පාවිච්චි කළ හැක. එසේ නැතහොත් සබයේ අයගේ හදවත්වලට තට්ටු කරන ඔබේ තොරතුරුවලට ගැළපෙන උදාහරණයක් යොදාගත හැක. එසේ කිරීමෙන් කලින් යම් දුරකට නිරස සේ පෙනී යා හැකි දෙයක් රසවත් මෙන්ම පොලඹවනසුලු ආකාරයෙන් ඉදිරිපත් කිරීමට හැකි වේ. සමහරවිට ඔබේ තොරතුරු මූලාශ්‍රය ලෙස යොදාගන්නා ප්‍රකාශනය ලොව වටා පාඨකයන්ව ඉලක්ක කරගෙන පිළියෙළ කරන ලද්දක් විය හැක. එමනිසා, සභාවකට හෝ එක්තරා පුද්ගලයෙකුට එම කරුණු අවධාරණය කිරීමේදී, නිදර්ශන මාර්ගයෙන් පැහැදිලි කිරීමට හා අදාළ කිරීමට සිදු වේ. ඔබ එම කාර්යයට පිවිසෙන්නේ කෙසේද?

තොරතුරු එක්රැස් කිරීමට පෙර කළ යුතු යමක් ඇත. ඔබේ සබය කවර ආකාරදැයි සලකා බැලීම අවශ්‍යය. ඔවුන් දැනටමත් ඔබේ විෂය ගැන දන්නේ මොනවාද? දැනගත යුත්තේ කවර කරුණුද? ඊළඟට ඔබේ පරමාර්ථය හඳුනාගත යුතුය. එය යම් පැහැදිලි කිරීමක් සඳහාද? ඒත්තුගැන්වීමටද? වැරදි අදහසක් නිෂ්ප්‍රභ කිරීමටද? එසේ නැතහොත් යම් ක්‍රියාවකට පෙලඹවීම සඳහාද? පැහැදිලි කිරීමට නම්, යම් කාරණයක් පහදා දීම සඳහා අමතර තොරතුරු සැපයිය යුතුය. සමහරවිට ඒ පිළිබඳව මූලික කරුණු තේරුම්ගෙන තිබුණත්, ඔබ පවසන දේ කළ යුත්තේ කවදාද හෝ කෙසේද යන්න ගැන අමතර විස්තර සැපයීමට අවශ්‍ය විය හැක. ඒත්තුගැන්වීම සඳහා යමක් එසේ වන්නේ ඇයි කියා හේතු දැක්වීම අවශ්‍යය. වැරදි අදහසක් නිෂ්ප්‍රභ කිරීමට නම් යම් කාරණයක සියලුම පැති පිළිබඳව පූර්ණ දැනුමක් අවශ්‍ය වන අතර, භාවිත කරනු ලබන සාක්ෂි සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විග්‍රහයක් කිරීම අවශ්‍යය. කෙසේවෙතත්, අපගේ අරමුණ ප්‍රබල තර්කයන් ඉදිරිපත් කිරීම පමණක් නොව, නමුත් යම් යම් කාරණා කාරුණිකව ඉදිරිපත් කිරීමට ක්‍රම සෙවීමද ඊට අයත්ය. ඒත්තුගැන්වීම සඳහා ඔබ ශ්‍රාවකයන්ගේ හදවත් ස්පර්ශ කළ යුතුය. ඉන් අදහස් වන්නේ ඔබේ සබයට යම් දිරිගැන්වීමක් දී, සාකච්ඡා කරනු ලබන දේ අනුව ක්‍රියා කිරීමට ඔවුන් තුළ තිබෙන ආශාව ගොඩනැංවීමයි. ඔවුන්ගේ හෘදයට ළඟාවීම සඳහා, දුෂ්කරතාවන් මැද පවා යම් ක්‍රියාමාර්ගයක් ගෙන ඇති අයගේ සැබෑ අද්දැකීම් සඳහන් කිරීම උපකාරවත් විය හැක.

දැන් ඔබ පටන්ගැනීමට සූදානම් කියා සිතිය හැකිද? නැත. තවත් යමක් සැලකිල්ලට ගත යුතු වේ. ඔබට කොතරම් තොරතුරු අවශ්‍යද කියා සලකා බලන්න. තොරතුරු ඉදිරිපත් කිරීමට තිබෙන කාලයද වැදගත් විය හැක. මෙම තොරතුරු අනුන්ට ඉදිරිපත් කරන්න යනවා නම්, එසේ කිරීම සඳහා ඔබට කොතරම් කාලයක් තිබේද? විනාඩි පහක්ද? එසේ නැතහොත් විනාඩි 45ක්ද? සභා රැස්වීමකදී මෙන් ඒ සඳහා නියමිත වේලාවක් තිබේද? එසේ නැතහොත් බයිබල් පාඩමකදී හෝ එඬේර බැහැදැකීමකදී මෙන් කාලය සම්බන්ධයෙන් නම්‍යසුලු වීමට ඔබට ඉඩ කඩ ඇද්ද?

අවසාන වශයෙන්, පර්යේෂණ කිරීම සඳහා ඔබට ඇත්තේ කවර මූලාශ්‍රයන්ද කියා සැලකිල්ලට ගත යුතුය. ඔබේ නිවසෙහි පුස්තකාලයෙහි ඊට අවශ්‍ය තොරතුරු තිබිය හැක. ඊටත් වඩා තොරතුරු ඇතුළත් පුස්තකාලයක් ඔබේ රාජ්‍ය ශාලාවෙහි තිබේද? අනික් අතට, වසර ගණනාවක් පුරා යෙහෝවාට සේවය කර ඇති සහෝදරයන්ට හොඳ පුස්තකාල තිබිය හැක. ඔවුන් පර්යේෂණ සඳහා භාවිත කරන එම මූලාශ්‍රවලින් ඔබට තොරතුරු එක්රැස් කිරීම සඳහා අවස්ථාවක් දීමට ඔවුන් කැමති වේවිද? මීට අමතරව, අවශ්‍ය වූ විට පරිශීලනය කළ හැකි ආශ්‍රේය ග්‍රන්ථ ඇති පුස්තකාලයක් ඔබ වෙසෙන පෙදෙසෙහි තිබේද?

පර්යේෂණය සඳහා අප සතු ප්‍රධානතම මෙවලම වන බයිබලය භාවිත කිරීම

ඔබේ පර්යේෂණය බයිබල් පදයක තේරුම වටා ගෙතී ඇත්නම්, බයිබලයම පරිශීලනය කරන්න.

අවට පාඨ සම්බන්ධය සලකා බලන්න. ඔබෙන් මෙසේ අසන්න. ‘මෙහි සඳහන් වදන් ඉදිරිපත් කළේ කාටද? අවට සඳහන් පදවලින් මෙම වදන් පැවසූ අවස්ථාව ගැන, ඒවා කීමට හේතුව නැතහොත් ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ ආකල්ප ගැන හෙළි කරන්නේ මොනවාද?’ එවන් තොරතුරු යම් බයිබල් පදයක් තේරුම්ගැනීමට උපකාරවත් වන අතර, එය කතාවකදී භාවිත කරනු ලැබේ නම්, කතාවට ජීවයක්ද ලබා දිය හැක.

නිදසුනකට, පුද්ගලයන්ගේ හදවත් ස්පර්ශ කිරීමටත්, ජීවිතවලට බලපෑම් කිරීමටත් දේවවචනය සතු බලය පෙන්නුම් කිරීමට හෙබ්‍රෙව් 4:12 නොයෙක් අවස්ථාවලදී යොදා ඇත. බයිබලයෙන් එවන් කාර්යයක් ඉටු වන ආකාරය වඩාත් ගැඹුරින් අගය කිරීමට අවට පාඨ සම්බන්ධය සලකා බැලීම උපකාරවත් වේ. යෙහෝවා ආබ්‍රහම්ට සහ ඔහුගේ පැවතෙන්නන්ට දේශයක් පොරොන්දු වී තිබිණ. එම දේශයට පිවිසෙන්නට කලින් පාළුකරයේ වසර 40ක් පුරා සැරිසරමින් සිටීමට ඉශ්‍රායෙලිතයන්ට සිදු විය. අවට පාඨ සම්බන්ධය තුළ සාකච්ඡා කෙරෙන්නේ ඔවුන්ගේ අද්දැකීමය. (හෙබ්‍රෙ. 3:7–4:13) මෙහිදී, ‘දෙවිගේ වචනය’ වූයේ ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමට එකඟව ඔවුන්ව විශ්‍රාමස්ථානයකට ගෙන ඒම සඳහා වූ දෙවිගේ පොරොන්දුවයි. දෙවිගේ වචනය මළ යමක් නොව ජීවමාන දෙයක් වූයේ එම වචනය ඉටු වෙමින් පැවති නිසාය. එමනිසා එය කෙරෙහි ඇදහිල්ල දැක්වීමට ඉශ්‍රායෙලිතයන්ට ඕනෑතරම් හේතු තිබිණ. කෙසේවෙතත්, මිසරයේ සිට සීනයි කන්ද දක්වාත්, එතැනින් පොරොන්දු දේශය කරාත් යෙහෝවා ඔවුන්ට මඟ පෙන්වමින් සිටි විට, ඔවුහු නැවත නැවතත් ඇදහිල්ලේ ඌනතාවක් විදහාපෙන්වූහ. මේ අනුව, දෙවි තමාගේ වචනයට එකඟව ක්‍රියා කළ ආකාරයට ඔවුන් දැක්වූ ප්‍රතිචාරයෙන්, ඔවුන්ගේ හදවත්වල සැබෑ තත්වය හෙළි විය. අපගේ කාලයේදීත් මෙය අදාළ වේ. දෙවි පොරොන්දු වී ඇති වචනවලට දක්වන ප්‍රතිචාරයෙන් මනුෂ්‍යයන්ගේ හදවත්වල නියම ස්වභාවය කුමක්ද කියා දැකගත හැක.

හරස් යොමු සටහන් පරීක්ෂා කර බලන්න. ඇතැම් බයිබල්වල හරස් යොමු සටහන් තිබිය හැකිය. ඔබේ බයිබලයෙහි එවන් සටහන් තිබේද? තිබේ නම් ඉන් ඔබට යම් ප්‍රයෝජනයක් නෙළාගත හැකි වේ. නිදසුනකට අපි ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය (සිංහලෙන් නැත) සලකා බලමු. සාරා ක්‍රිස්තියානි භාර්යාවන් විසින් අනුකරණය කිරීම සඳහා වටිනා ආදර්ශයක් බව 1 පේතෘස් 3:6හි අවධාරණය කර ඇත. එම පදයෙහි උත්පත්ති 18:12ට යොමු දක්වන හරස් යොමු සටහනක් ඇත. සාරා ආබ්‍රහම්ට ස්වාමියා කියා කතා කළේ තම “සිත තුළ” බව අනාවරණය කිරීමෙන් පේතෘස් පැවසූ දේට මෙම පදය අනුබල දෙයි. එමනිසා ඇය යටත්ව සිටියේ ඇගේ හද පත්ලෙන්මය. මැණික් බඳු මෙවන් සියුම් අදහස් සැපයීමට අමතරව, හරස් යොමු සටහන්වලින් තවත් කාර්යයක් ඉටු වේ. යම් බයිබල් අනාවැකියක් ඉටු වූ ආකාරය හෝ ව්‍යවස්ථා ගිවිසුමේ යම් ආකෘතියක් සැබෑ වූ ආකාරය වෙත අවධානය යොමු කිරීමටද ඒවා මහෝපකාරි වේ. කෙසේවෙතත්, ඇතැම් හරස් යොමු සටහන් මෙවන් පැහැදිලි කිරීම් නොදෙන බව තේරුම්ගත යුතුය. සමහරවිට, ඉන් සමාන්තර අදහස් හෝ අදාළ පුද්ගලයන් හෝ ස්ථාන ගැන තොරතුරු පමණක් සැපයිය හැක.

බයිබල් වචන සූචියක් ආධාරයෙන් ගවේෂණය කරන්න. බයිබල් වචන සූචියක් යනු අකාරාදියේ පිළිවෙළට සකස් කර තිබෙන බයිබලයෙහි භාවිත කර ඇති වචනවල සූචියකි. ඔබ පර්යේෂණ කරන විෂයට සම්බන්ධ බයිබල් පද සොයාගැනීමට එවන් සූචියක් උපකාරවත් විය හැක. එම බයිබල් පද ගවේෂණය කිරීමෙන් වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු එක්රැස් කරගත හැකි වේ. ප්‍රතිඵලයක් වශයෙන් දේවවචනයෙහි සඳහන් සත්‍යයන්වලට ‘රටාවක්’ ඇති බව ඔබට තහවුරු කරගත හැක. (2 තිමෝ. 1:13, NW) නව ලෝක පරිවර්තනයෙහි “බයිබල් වචන අකාරාදියක්” ඇත. එහි මූලික වචන සෑහෙන ප්‍රමාණයක් ලැයිස්තුගත කර තිබේ. අනික් අතට සමස්ත වචන සූචිය (Comprehensive Concordance, සිංහලෙන් නැත) ඊටත් වඩා පුළුල් වචන සම්භාරයකින් සමන්විතය. එය ඔබ දන්නා භාෂාවකින් තිබේ නම්, බයිබලයෙහි වැදගත්යයි සැලකිය හැකි සෑම වචනයක්ම සඳහන් බයිබල් පද සොයාගැනීමට එය යොදාගත හැක.

පර්යේෂණ සඳහා වෙනත් මෙවලම් භාවිත කිරීමට ඉගෙනීම

“විශ්වාසවූ නුවණ ඇති දාසයා” විසින් සපයා ඇති අමතර පර්යේෂණ මෙවලම් කිහිපයක් 33වන පිටුවේ කොටුවෙහි ලැයිස්තුගත කර තිබේ. (මතෙ. 24:45-47) මෙම මෙවලම් බොහොමයක පටුනක්ද, පිටුපස සූචියක්ද සොයාගත හැකිය. ඒවා ඇතුළත් කර ඇත්තේ සුවිශේෂ තොරතුරු වෙත ඔබව ගෙනයෑම පහසු කරවීමටයි. වසරක අන්තිමට පළ වන මුරටැඹ සහ පිබිදෙව්! කලාපවල, අදාළ වසරේ සියලු ලිපි පදනම් කරගෙන සූචියක් ඇතුළත් කර තිබේ.

බයිබල් අධ්‍යයනයට යොදාගත හැකි මෙම ප්‍රකාශනවල සඳහන් තොරතුරු මොනවාදැයි හොඳින් දන්නවා නම්, ඔබේ පර්යේෂණ වැඩ කටයුතු වඩාත් කඩිනමින් කරගත හැක. නිදසුනකට, අනාවැකි, ඉගැන්වීම්, ක්‍රිස්තියානි හැසිරීම නැතහොත් බයිබල් ප්‍රතිපත්ති අදාළ වන ආකාරය ගැන දැනගැනීමට ඔබට වුවමනා වේයයි සිතන්න. ඔබ සොයන දේ මුරටැඹ සඟරාවක තිබිය හැක. පිබිදෙව්! සඟරාවල සාමාන්‍යයෙන් වත්මන් සිදුවීම්, සමාජයේ පවතින ගැටලු, ආගම්, විද්‍යාව සහ විවිධ රටවල ජනතාව ගැන විස්තර තිබේ. මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා යන පොතෙහි සුවිශේෂ වාර්තාවල සිද්ධීන් ඒවා සිදු වූ අනුපිළිවෙළට විස්තර කර ඇත. බයිබලයේ ඇතැම් පොත් පදයෙන් පදයට සාකච්ඡා කර ඇති ප්‍රකාශන කිහිපයක්ද තිබේ. එළිදරව්ව!—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය!, දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! සහ වෙළුම් දෙකකින් යුත් යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන මීට උදාහරණ වේ. ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වන විට පොදුවේ ඉස්මතු කරනු ලබන බයිබල් ප්‍රශ්න රැසකට සෑහීම ගෙන දෙන පිළිතුරු ලබාගැනීම සඳහා, ඔබට ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම (Reasoning, සිංහලෙන් නැත) නමැති පොත මහෝපකාරි වේ. වෙනත් ආගම්, ඒවායේ ඉගැන්වීම් සහ ඓතිහාසික පසුබිම ගැන වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට දෙවි සඳහා මනුෂ්‍යවර්ගයාගේ ගවේෂණය යන පොත (Mankind’s Search for God, සිංහලෙන් නැත) පරිශීලනය කරන්නට පුළුවන. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නවීන දින ඉතිහාසය පිළිබඳ තොරතුරු සම්භාරයක් දේවරාජ්‍යය ප්‍රකාශ කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ (Proclaimers, සිංහලෙන් නැත) යන පොතෙන් උකහා ගත හැක. ශුභාරංචිය ලොව පුරා දේශනා කිරීමේදී වර්තමානයේ සිදු වන දේ පිළිබඳ වාර්තාවක් අලුතින්ම පළ වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතෙහි (Yearbook, සිංහලෙන් නැත) දක්නට ලැබේ. එම තොරතුරු කියවීමෙන් ආස්වාදයක් ලැබීමට පුළුවන. ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (Insight, සිංහලෙන් නැත) යන ග්‍රන්ථය බයිබල් විශ්වකෝෂයක් සහ සිතියම් පොතකි. පුද්ගලයන්, ස්ථාන, දේවල්, භාෂාවන් හෝ බයිබලය හා බැඳි ඓතිහාසික සිදුවීම් පිළිබඳව තොරතුරු ලබාගැනීමට මෙය සුවිශේෂ මූලාශ්‍රයක් ලෙස යොදාගත හැක.

“මුරටැඹ ප්‍රකාශන සූචිය.” මෙම සූචිය භාෂා 20කට වැඩියෙන් පළ කර ඇති අතර, අපගේ ප්‍රකාශන කිහිපයකම පළ වී ඇති තොරතුරු සම්භාරයක් වෙතට ඔබව මඟ පෙන්වීමට එයට හැක (සිංහලෙන් නැත). එය විෂය සූචියක් සහ බයිබල් පද සූචියක් යන කොටස් දෙකකින් සමන්විතය. විෂය සූචිය භාවිත කරන්නේ කෙසේද? ගවේෂණය කරන්නට ඔබ කැමති විෂයට සම්බන්ධ වචනයක් එතුළින් සොයාගත හැක. බයිබල් පද සූචිය භාවිත කරන්නේ කෙලෙසද? එහි අනුපිළිවෙළට ලැයිස්තුගත කර ඇති බයිබල් පද අතුරින් ඔබට වඩාත් හොඳින් තේරුම්ගැනීමට අවශ්‍ය බයිබල් පදය සොයාගැනීමට පුළුවන. සූචිය මාර්ගයෙන් පියවනු ලබන වර්ෂ තුළ එම විෂය හෝ බයිබල් පදය ගැන යමක් පළ වී ඇත්නම්, පරිශීලනය කළ හැකි මූලාශ්‍රයන් කිහිපයක ලැයිස්තුවක් ඔබට දැකගත හැකි වේ. ප්‍රකාශනවල නම් කෙටි කර දැක්වීමට විවිධ අක්ෂර සංකේත යොදා ඇත. සූචියේ මුල් පිටුවක එම සංකේත පිළිබඳ විස්තරයක් සපයා ඇත. (නිදසුනකට, w99 3/1 15 යනු 1999 වසරේ මුරටැඹ සඟරාවේ මාර්තු 1වන කලාපයේ 15වන පිටුව බව ඔබට දැනගත හැකි වේ.) “ක්ෂේත්‍ර සේවා අද්දැකීම්” සහ “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා” (“Field Ministry Experiences” සහ “Life Stories of Jehovah’s Witnesses”) වැනි ප්‍රධාන ශීර්ෂ යටතේ එක්රැස් කරගත හැකි තොරතුරුවලින් සබයට පොලඹවනසුලු කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් විය හැක.

ඇත්තෙන්ම පර්යේෂණ කිරීමෙන් ඔබ තොරතුරු රැසකට නිරාවරණය වන නිසා, අදාළ නැති දෙයක් ඔබේ අවධානයට හසු විය හැක. එමනිසා තොරතුරු ගවේෂණය කිරීමට මුල් වූ හේතුව මනසෙහි තබාගැනීම වැදගත්ය. සූචිය ඔබව එක්තරා මූලාශ්‍රයකට යොමු කරයි නම්, සඳහන් කර ඇති පිටු(ව) පෙරළා, ඔබට අවශ්‍ය දේ සොයාගැනීම සඳහා උපමාතෘකා සහ ඡේදවල මුල් වාක්‍යවලින් යම් ඉඟියක් ලබාගන්න. ඔබ එක්තරා බයිබල් පදයක තේරුම සොයනවා නම්, අදාළ මූලාශ්‍රයේ නියමිත පිටුවට පෙරළා ඒ බයිබල් පදය සඳහන් කර ඇති ස්ථානය මුලින්ම සොයන්න. ඉන් අනතුරුව ඒ බයිබල් පදය ගැන අවට පාඨයන්හි අදහස් දක්වා ඇති ආකාරය සොයා බලන්න.

CD-ROM තැටියක අඩංගු “මුරටැඹ පුස්තකාලය.” පරිගණකයක් පාවිච්චි කිරීමට අවස්ථාවක් ඇත්නම්, CD-ROM තැටියක අඩංගු මුරටැඹ පුස්තකාලය ඔබට ඉමහත් ප්‍රයෝජනයක් විය හැක. එම තැටියෙහි අපගේ ප්‍රකාශන රැසක් තිබේ. ඔබට මුරටැඹ පුස්තකාලයෙහි ගබඩා කර ඇති ඕනෑම ප්‍රකාශනයකින් වචනයක්, වචන සංයෝගයක්, බයිබල් පදයක් සෙවීමට පහසුකම් සලසා ඇත. මෙම පර්යේෂණ මෙවලම ඔබේ භාෂාවෙහි ලබාගත නොහැකි වුවත්, ඔබට හුරු පුළුල්ව භාවිත කරනු ලබන ජාත්‍යන්තර භාෂාවකින් එය පළ වී ඇත්නම් එය භාවිත කිරීමට ඔබට උගත හැක.

වෙනත් දිව්‍යාණ්ඩු පුස්තකාල

පාවුල් දේවානුභාවයෙන් තිමෝතිට ලියූ දෙවන ලිපියෙහි එම තරුණයාගෙන් යම් ඉල්ලීමක් කළේය. “පොත්ද, ප්‍රධානකොට සම්පොත්ද” රෝමයට ගෙනෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. (2 තිමෝ. 4:13) පාවුල් ඇතැම් ලියකියවිලි අගය කළ අතර, ඒවා තමා ළඟ තබාගත්තේය. ඔබටත් එසේ කළ හැකිය. සභා රැස්වීම්වලදී සාකච්ඡා කළායින් පසුව, ඔබත් ඔබට පෞද්ගලිකව ලැබෙන මුරටැඹ, පිබිදෙව්! සහ අපගේ රාජ්‍ය සේවාවේ කලාප එකතු කරනවාද? ඔබ එසේ කරනවා නම්, එකතු කර තබා ඇති වෙනත් ක්‍රිස්තියානි ප්‍රකාශන පමණක් නොව, ඒවාද පර්යේෂණ කිරීමේදී යොදාගත හැක. සභාවන් බොහොමයක රාජ්‍ය ශාලාවේ පුස්තකාලයක් ඇත. එම පුස්තකාලයේ දිව්‍යාණ්ඩු ප්‍රකාශන එකතුවක් තිබේ. ඒවා සභාවේ සියලු සාමාජිකයන්ගේ ප්‍රයෝජනය සඳහාය. රාජ්‍ය ශාලාවේ සිටින අතරතුරේදී ඒවා පරිශීලනය කිරීමට ඔවුන්ට අවකාශය සලසා ඇත.

තොරතුරු ගොනු කර තබාගන්න

කතා ඉදිරිපත් කිරීමේදී හා ඉගැන්වීමේදී භාවිත කළ හැකි උනන්දුව ගෙන දෙන තොරතුරු එක්රැස් කිරීම ගැන අවධානයෙන් සිටීම සුදුසුය. ඔබේ සේවයේදී භාවිත කළ හැකි පුවත්පතක හෝ සඟරාවක සඳහන් පුවතක්, සංඛ්‍යා ලේඛනයක් නැතහොත් උදාහරණයක් ඔබට සම්බ වේ නම්, එම කොටස කපා ෆයිල් කවරයක ගොනු කර තබාගන්න. එසේ නැත්නම්, එම තොරතුරු සටහන් පොතක ලියාගන්න. එසේ කරන විට, දිනය, ප්‍රකාශනයෙහි මාතෘකාව සහ අදාළ නම්, කර්තෘ හෝ ප්‍රකාශකයාගේ නම ඇතුළත් කරන්න. සභා රැස්වීම්වලදී, අනුන්ට සත්‍යය පැහැදිලි කර දීමට ඔබට උපකාරවත් විය හැකි තර්කයන් සහ උපහැරණ සටහන් කරගන්න. සමහරවිට, ඔබ ඉතා කදිම උපහැරණයක් ගැන සිතුවා විය හැක. කෙසේවෙතත්, එයට ගැළපෙන පසුබිමක් ඔබට නැත්තාක් මෙන් පෙනී යා හැක. එවන් අවස්ථාවකදී, එය පැහැදිලිව ලියාගෙන, ෆයිල් කවරයක දමන්න. දිව්‍යාණ්ඩු සේවා පාසැලට යම් කාලයක් තිස්සේ සහභාගි වීමෙන් අනතුරුව, ඉදිරිපත් කිරීම් කිහිපයක් ඔබ සූදානම් කර තිබෙන්නට පුළුවන. කලින් දුන් කතාවල සටහන් ඉවතලනවා වෙනුවට, ඒවාද පරෙස්සම් කරගත හැක. ඒ සඳහා ඔබ කළ පර්යේෂණ, පසු අවස්ථාවකදී ප්‍රයෝජනවත් වීමට ඉඩ කඩ ඇත.

ජනයා සමඟ කතා කරන්න

අපට තොරතුරු සම්භාරයක් ජනයාගෙන් රැස් කරගත හැක. ලූක් තම සුවිශේෂ වාර්තාව පිළියෙළ කරමින් සිටි විට, ඇසින් දුටු සාක්ෂිකරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් තොරතුරු රැසක් එකතු කරගන්නට ඇත. (ලූක් 1:1-4) ඇතැම් අවස්ථාවන්හිදී ඔබ පර්යේෂණ කිරීමට වෑයම් දරා ඇති විෂය සෙසු ක්‍රිස්තියානියෙකු සමඟ කතා කිරීමෙන් යමක් අනාවරණය කරගැනීමට පුළුවන. එපීස 4:8, 11-16ට අනුව [NW], “දෙවිගේ පුත්‍රයා ගැන නිවැරදි දැනුමෙන්” වර්ධනය වීමට අපට උපකාර කිරීම සඳහා ක්‍රිස්තුස් “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” යොදාගනියි. දෙවිට සේවය කිරීමෙන් යම් අද්දැකීම් ලද අය සමඟ දේවල් සාකච්ඡා කිරීමෙන්ද ප්‍රයෝජනවත් අදහස් ලබාගත හැකි වේ. අනික් අතට, ජනයා සමඟ සංවාද පවත්වන විට, ඔවුන්ගේ සිතිවිලි මොනවාදැයි දැනගැනීමට පුළුවන. මෙය සැබවින්ම ප්‍රායෝගික වන තොරතුරු සූදානම් කරවීමට මහෝපකාරි වේ.

ලද ප්‍රතිඵල තක්සේරු කර බලන්න

සාමාන්‍යයෙන් යම් ධාන්‍ය අස්වැන්නක් නෙළීමෙන් පසු, එය භාවිතයට ගැනීමට පෙර එහි පොතු ඉවත් කළ යුතුය. ඔබ කරන පර්යේෂණවලින් ඵල නෙළීමටද එවන් යමක් කළ යුතු වේ. තොරතුරු භාවිත කිරීමට පෙර, අනවශ්‍ය දේ ඉවත් කොට, ඇත්තෙන්ම ඔබේ කාර්යයට වටිනා දේ කුමක්ද කියා වෙන් කොට හඳුනාගත යුතුය.

එක්රැස් කර ඇති තොරතුරු කතාවකට භාවිත කරන්නට යනවා නම්, ඔබෙන් මෙසේ ඇසීම සුදුසුය. ‘මා භාවිත කිරීමට අදහස් කරන මේ කරුණ, මා ඉදිරිපත් කිරීමට අදහස් කරන විෂයට යම් ප්‍රයෝජනදායක ආකාරයකින් දායක වෙනවාද? එසේ නැතහොත්, සොයාගත් තොරතුරු සිත්ගන්නවා වුවත්, එම තොරතුරු මා කතා කළ යුතු විෂයට බැහැරව දිව යන්නක්ද?’ වත්මන් සිදුවීම් නැතහොත් නිරන්තර වෙනස්වීම්වලට භාජන වන විද්‍යා හෝ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයෙන් තොරතුරු ලබාගැනීමට ඔබ අදහස් කරනවා නම්, එම තොරතුරු තත්කාලීන, යල්පැන ගොස් නැති ඒවා බව සහතික කරගන්න. අපගේ වඩාත් පැරණි ප්‍රකාශනවල පවා තත්කාලීන නොවන ඇතැම් කරුණු ඇති බව තේරුම්ගන්න. එමනිසා යම් විෂයක් ගැන වඩාත් මෑතක පළ වී ඇති තොරතුරු සොයාගැනීමට උත්සාහ කරන්න.

ලෞකික මූලාශ්‍රවලින් තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කර ඇත්නම්, පරෙස්සම් වීමට විශේෂ අවශ්‍යතාවක් ඇත. දෙවිගේ වචනය සත්‍යය බව කිසිදාක අමතක නොකරන්න. (යොහ. 17:17, 18) දෙවිගේ අරමුණු ඉටු කිරීමේදී යේසුස්ට ඇත්තේ ප්‍රධානතම කාර්යභාරයයි. මේ අනුව, කොලොස්සි 2:3හි සඳහන් දේ උචිතය. ‘ඒ තැනැත්තා තුළ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිධාන කර ඇත්තේමය.’ එමනිසා ඔබ කර ඇති පර්යේෂණවලින් නෙළාගෙන ඇති තොරතුරු කිරා මැන බැලිය යුත්තේ එම දෘෂ්ටිකෝණයෙනි. ලෞකික මූලාශ්‍ර යොදා කරන පර්යේෂණ සම්බන්ධයෙන් ඔබෙන්ම මෙසේ අසන්න. ‘මෙම තොරතුරුවල අතිශයෝක්තිය, අනුමාන නැතහොත් පටු අදහස් ඇතුළත් කර ඇද්ද? එසේ නැතහොත් යථාර්ථය ඉක්මවා අදහස් ඉදිරිපත් කර තිබේද? ඒවා ලියා තිබුණේ ආත්මාර්ථකාමී හෝ ලාභ ලැබීමේ චේතනාවකින්ද? වෙනත් පිළිගත් මූලාශ්‍රයන් හෝ විද්වතුන් එම තොරතුරුවලට එකඟ වේද? ඊටත් වඩා ඒවා බයිබල් සත්‍යතාවට එකඟද?’

හිතෝපදේශ 2:1-5හි අපට දිරිගන්වන්නේ දැනුම, අවබෝධය සහ විචාර බුද්ධිය ‘රිදී සහ නිධාන සොයන්නාක් මෙන්’ දිගටම සෙවීමටය. මින් අපට පෙනී යන්නේ ඒ සඳහා වෑයමක් දැරිය යුතු බවයි. ඒත් සමඟම විපුල විපාක අත් වන බවත් ඉන් අදහස් කරයි. පර්යේෂණ කිරීම සඳහා සෑහෙන ප්‍රයත්නයක් දැරීමට සිදු වේ. එනමුත්, යම් කාරණා සම්බන්ධයෙන් දෙවිගේ අදහස් සොයාගැනීමට, සාවද්‍ය අදහස් නිවැරදි කිරීමට හා සත්‍යය ගැන ඔබට තිබෙන විශ්වාසය තවත් තහවුරු කරගැනීමට එසේ කිරීම ඉවහල් වේ. ඔබ ඉදිරිපත් කරන කතාවලට ජීවයක් සහ හරයක් ලැබෙන අතර, ඒවා ඉදිරිපත් කිරීමෙන් ඔබ සෑහීමට පත් වනවා ඇත. අනික් අතට, ඔබේ ශ්‍රාවකයන් ඔබේ කතා ඇසීමටද මහත් රුචියක් දක්වනවා නොඅනුමානය.

මතු දැක්වෙන පර්යේෂණ මෙවලම් ඔබට තිබේද?

  • ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය

  • සමස්ත වචන සූචිය (Comprehensive Concordance)

  • මුරටැඹ සහ පිබිදෙව්! සඟරා

  • ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම (Reasoning)

  • දේවරාජ්‍යය ප්‍රකාශ කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ (Proclaimers)

  • ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (Insight)

  • මුරටැඹ ප්‍රකාශන සූචිය (Index)

  • CD-ROM තැටියක අඩංගු මුරටැඹ පුස්තකාලය (Watchtower Library)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න