පාසැලේදී ශිෂ්‍ය කතා පැවරුම් සූදානම් වීම
පාසැලේදී ලැබෙන සෑම පැවරුමක්ම ඔබට තවත් දියුණු වීම සඳහා ප්‍රස්තා සලසා දෙයි. ඔබ උත්සාහවන්ත වෑයමක් දරනවා නම්, ඔබ ලබන දියුණුව ඔබටත් අනුන්ටත් දැකගත හැකි වේ. (1 තිමෝ. 4:15) ඔබේ කුසලතාවන් වඩාත් පූර්ණ අන්දමකින් වැඩි වර්ධනය කරගැනීමට පාසැල ඔබට මහෝපකාරි වනු ඇත.
සබය ඉදිරියෙහි කතා කිරීම ගැන ඔබට යම් චකිතයක් දැනේද? ඔබ පාසැලට සෑහෙන කාලයක් තිස්සේ සහභාගි වෙමින් සිටියද, සබකෝලයක් දැනීම සාමාන්‍ය දෙයකි. කෙසේවෙතත්, ඔබට දැනෙන මෙම මානසික පීඩනය යම් දුරකට අඩු කිරීම සඳහා ඇතැම් දේවල් උපකාරවත් විය හැක. නිවසේදී, නිතරම ශබ්ද නඟා කියවීමට පුරුදු වන්න. සභා රැස්වීම්වලදී, නිතරම අදහස් දක්වන්න. එමෙන්ම ඔබ ප්‍රචාරකයෙක් නම්, ක්ෂේත්‍ර සේවයෙහි නිතිපතා සහභාගි වන්න. මෙයාකාරයෙන් අන් අය ඉදිරියෙහි කතා කිරීමට පළපුරුද්දක් ඇති කරගත හැකි වේ. මීට අමතරව කළ හැකි දෙයක් නම්, ඔබේ ශිෂ්‍ය කතා පැවරුම්වලට කල්තියාම සූදානම් වීමයි. තවද, ඒවා ශබ්ද නඟා පෙරහුරු කරන්න. අනික, ඔබ මිත්‍රශීලී සබයක් ඉදිරියෙහි කතා කරන බවත් මතක තබාගන්න. ඕනෑම කතාවක් දීමට පෙර, යෙහෝවාට යාච්ඤා කරන්න. ඇත්තෙන්ම ශුද්ධාත්මය ඉල්ලා ඔහුට යාච්ඤා කරන ඔහුගේ සේවකයන්ට ඔහු එය ලබා දෙන්නේ ඉමහත් සතුටකිනි.—ලූක් 11:13; පිලි. 4:6, 7.
ඔබේ අපේක්ෂා ගැනද සාධාරණ වන්න. කථිකයෙකු ලෙස අද්දැකීම් ලබා, ඵලදායී ගුරුවරයෙකු වීම සඳහා සෑහෙන කාලයක් ගත වෙයි. (මීකා 6:8) ඔබ පාසැලට අලුතෙන් බැඳුණු ශිෂ්‍යයෙක් නම්, ක්ෂණිකව ඉතා දක්ෂ කතාවක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියා අපේක්ෂා කරන්න එපා. ඒ වෙනුවට, කථික උපදෙස් ලැබෙන සෑම කරුණක්ම එකිනෙක වැඩ කිරීමට උත්සාහ කරන්න. එම කරුණු සඳහා මෙම පොතෙහි වෙන් කර ඇති කොටස් එකිනෙක අධ්‍යයනය කරන්න. හැකි නම් එහි යෝජනා කර ඇති අභ්‍යාසයද කරන්න. සබය ඉදිරියෙහි ඔබට පවරා ඇති කොටස ඉදිරිපත් කිරීමට පෙර, කථික උපදෙස් ලැබීමට නියමිත කරුණ ගැන යම් අන්දමකින් අද්දැකීම් ලබාගැනීමට එය මහෝපකාරි වේ. මේ අයුරින් ඔබට ප්‍රගතිය කෙමෙන් කෙමෙන් අත් කරගත හැකිය.
කියවීමට පවරා ඇති කොටසක් හැසිරවිය යුතු අයුරු
ප්‍රසිද්ධ කියවීමකට සූදානම් වීම යන්නෙන් අදහස් කරන්නේ පවරා ඇති කොටසෙහි වචන නිකම්ම කියවීම නොවේ. එම කොටසෙහි අන්තර්ගත තොරතුරුවල නියම සාරය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට වෙර දැරිය යුතුය. එමනිසා ඔබේ පැවරුම ලැබූ වහාම, එම පරමාර්ථය සිතෙහි තබාගෙන එය කියවීමට උත්සාහ කරන්න. සෑම වාක්‍යයකින්ම කියාපාන දේද, සෑම ඡේදයකම ගොඩනඟා ඇති අදහසද තේරුම්ගැනීමට වෑයම් කරන්න. එවිට එම අදහස් නිවැරදිව හා නිසි හැඟීමකින් ඉදිරිපත් කිරීමට ඔබට හැකි වේ. ඔබට ඇතැම් වචන ශබ්ද කරන ආකාරය නුහුරු නම්, අද්දැකීම් ලත් කෙනෙකුගෙන් ඒවා ශබ්ද කරන ආකාරය ගැන විමසිය හැක. කියවන කොටසට හොඳින් හුරු වන්න. යෞවන දරුවන්ට මේ සඳහා උපකාර ලබා දීමට දෙමාපියන්ට පුළුවන.
ඔබට පවරා ඇත්තේ බයිබලයෙහි ඡේද කිහිපයක් කියවීමටද එසේ නැතහොත් මුරටැඹ ලිපියක ඡේද කියවීමටද? මෙම කොටස්වල පටිගත කිරීම් ඔබේ භාෂාවෙන් ලබාගත හැකි නම්, එම කියවීමට සවන් දීම ප්‍රයෝජනදායක විය හැක. සවන් දෙන විට, උච්චාරණය, වාක්‍ය ගොඩනඟා ඇති අන්දම, අවධාරණය හා හඬ පාලනය වැනි අංග සැලකිල්ලට ගන්න. අනතුරුව එම ගුණාංග ඔබේ කියවීමේදී අදාළ කරගැනීමටත් උත්සාහ දරන්න.
ඔබට පවරා ඇති කොටස සූදානම් වීමට පටන්ගන්නා විට, ඔබට වැඩ කිරීම සඳහා නියම කර ඇති කථික ගුණාංගය සාකච්ඡා කරන පාඩම හොඳින් අධ්‍යයනය කිරීමට වගබලා ගන්න. පවරා ඇති කොටස කිහිප වතාවක් ශබ්ද නඟා පෙරහුරු කිරීමෙන් පසු හැකි නම් එය යළිත් සෝදිසි කර බලන්න. එම ලිඛිත උපදෙස් හැකි තරම් දුරට ක්‍රියාත්මක කිරීමටද වෙර දරන්න.
මින් ලබන පුහුණුව ඔබේ දේවසේවයටද මහෝපකාරි වේ. ක්ෂේත්‍ර සේවයෙහි නිරත වන විට අන් අයහට කියවීමේ ප්‍රස්තාව ඔබට නොයෙක් විට උදා වනු ඇත. ජනයාගේ ජීවිත වෙනස් කිරීමට බලයක් දේවවචනය සතු නිසා, එය හොඳින් කියවීම ඉතා වැදගත්ය. (හෙබ්‍රෙ. 4:12) කියවීමේ පැවරුම් එකක් දෙකක් නිම කිරීමෙන් පසු, ඵලදායී ලෙස කියවීමට අයත් සියලුම පැති සාර්ථකව ඉටු කළ හැකියි කියා නොසිතන්න. වසර ගණනාවක් අද්දැකීම් ලැබූ ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකුට ප්‍රේරිත පාවුල් මෙසේ ලියූ බව සිහියේ තබාගන්න. ප්‍රසිද්ධ ‘කියවීමට අවධානය යොමු කරමින් සිටින්න.’—1 තිමෝ. 4:13, න. අ.
විෂයක් හා පසුබිමක් සකස් කරගන්නා ආකාරය
ඔබට පාසැලේදී පසුබිමක් දී ඇති පැවරුමක් ලැබෙන විට, එය පිළියෙළ කළ යුත්තේ කෙසේද?
ඔබේ අවධානයට ලක් විය යුතු මූලික දේවල් තුනක් ඇත: (1) ඔබට පවරා ඇති විෂය, (2) ඔබේ පසුබිම හා ඔබේ සංවාදයට සම්බන්ධ කරගන්නා පුද්ගලයා සහ (3) වැඩ කිරීම සඳහා ඔබට දී ඇති කථික උපදෙස් කරුණ.
ඔබට පවරා ඇති විෂයට අදාළ තොරතුරු මුලින්ම රැස් කළ යුතුය. එනමුත් ඒ සම්බන්ධයෙන් වැඩි දුර යන්නට මත්තෙන් ඔබේ පසුබිම හා සංවාදයට සහභාගි කරගන්නා පුද්ගලයා ගැනත් ගැඹුරින් කල්පනා කර බැලීම අවශ්‍යය. මන්දයත් ඔබ පියවන්නේ කවර තොරතුරුද, ඒවා ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න කෙරෙහි මෙම සාධක බලපාන නිසාය. ඔබ තෝරාගන්නේ කවර ආකාරයේ පසුබිමක්ද? ඔබ දන්නා හඳුනන කෙනෙකුට ශුභාරංචිය ඉදිරිපත් කරන ආකාරය ඔබ නිරූපණය කරනු ඇද්ද? එසේ නැතහොත් ඔබ පෙන්වන්නට යන්නේ පුද්ගලයෙකුව මුල් වරට මුණගැසෙන අවස්ථාවකදී සිදු විය හැකි දෙයක්ද? ඔබේ සාකච්ඡාවට හවුල් වන පුද්ගලයා ඔබට වඩා වයසින් වැඩිද, බාලද? ඔබ සාකච්ඡා කිරීමට අදහස් කරන විෂය ගැන ඔහුට කෙබඳු ආකල්පයක් තිබිය හැකිද? දැනටමත් එම විෂය ගැන ඔහුට කොපමණ අවබෝධයක් තිබිය හැකිද? ඔබේ සාකච්ඡාවේ පරමාර්ථය කුමක්ද? ඔබට මෙවැනි ප්‍රශ්නවලට පැහැදිලි උත්තර දිය හැකි නම්, ඔබේ කතාව ගොඩනැඟිය යුතු ආකාරය සම්බන්ධයෙන් වැදගත් මාර්ග දර්ශක කිහිපයක් ලැබී ඇතැයි පැවසිය හැක.
පවරා ඇති විෂයට අදාළ තොරතුරු ඔබ සොයාගන්නේ කෙසේද? මෙම පොතෙහි 33 සිට 38වන පිටු දක්වා “පර්යේෂණ කළ යුතු අන්දම” සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත. එය කියවා, පර්යේෂණ සඳහා ඔබට ලබාගත හැකි මෙවලම් භාවිතයට ගන්න. බොහෝ අවස්ථාවලදී, ඔබට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තොරතුරු රැස් කරගත හැකි වේ. ඔබට දී ඇති විෂය විවිධ පැතිවලින් ගොඩනැඟිය හැකි නිසා, ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකි වන තරමට කියවන්න. කෙසේවෙතත්, එසේ කරන අතරතුරේදී ඔබේ ඉදිරිපත් කිරීමට ඔබ යොදාගැනීමට අදහස් කරන පසුබිම සහ ඔබේ සාකච්ඡාවට සහභාගි කරගන්නා පුද්ගලයාව සිතෙහි තබාගන්න. යොදාගැනීමට උචිත කරුණුද සටහන් කරගන්න.
ඔබ ඉදිරිපත් කිරීමට අදහස් කරන කරුණු ගොඩනඟා ගැනීමටත්, අවසාන වශයෙන් යොදාගන්නා තොරතුරු සම්බන්ධයෙන් තේරීමක් කිරීමටත් පෙර, ඔබට පවරා ඇති කථික උපදෙස් කරුණ ගැන සාකච්ඡා කර ඇති කොටස කියවීමට කාලය ගන්න. ඇත්තෙන්ම ඔබට කතාවක් පැවරීමට ප්‍රධානම හේතුවක් වන්නේ එම උපදෙස් ප්‍රායෝගිකව අදාළ කිරීම සඳහා පුහුණු කිරීමටයි.
ඔබට නියම කර ඇති වේලාව ඉකුත් වූ විට සංඥාවක් දෙනු ලබන නිසා, ඔබේ තොරතුරු ඒ නියමිත වේලාව ඇතුළත ඉදිරිපත් කර ඔබේ කතාව නිම කිරීම ඔබේ සතුටට හේතුවක් වනවා නොඅනුමානය. කෙසේවෙතත්, ක්ෂේත්‍ර සේවයේදී ඔබ හැමවිටම යම් නියමිත කාල සීමාවක් තුළ කොටු වී නොසිටිය හැක. එමනිසා, සූදානම් කරන අතරතුරේදී ඔබට තිබෙන කාල සීමාව සැලකිල්ලට ගත්තද, ඵලදායී ඉගැන්වීමට මුල් තැන දෙන්න.
පසුබිම සම්බන්ධයෙන් අදහස් කිහිපයක්. අසූදෙවන පිටුවේ සඳහන් යෝජනා පරීක්ෂා කර, ඔබේ සේවයේදී ප්‍රායෝගික විය හැකි, පවරා ඇති තොරතුරු තාත්වික ආකාරයෙන් යොදාගැනීමට අවකාශ සලසන පසුබිමක් තෝරගන්න. ඔබ සෑහෙන කාලයක් මුළුල්ලේ පාසැලේ ශිෂ්‍යයෙක් වී ඇත්නම්, ඔබේ සේවයේදී අමතර කුසලතා වර්ධනය කරගැනීමට උදා වී ඇති ප්‍රස්තාවක් ලෙස මෙය සලකන්න.
පසුබිම දිව්‍යාණ්ඩු සේවා පාසැල් අවේක්ෂක විසින් පවරනු ලැබේ නම්, එම අභියෝගය සතුටින් භාරගන්න. පසුබිම් වැඩිහරියක් සාක්ෂි දැරීම හා බැඳී පවතී. විස්තර කර ඇති තත්වයන් යටතේ ඔබ කෙදිනකවත් සාක්ෂි දරා නැත්නම්, එසේ කර ඇති ප්‍රචාරකයන් සමඟ කතා කිරීමෙන් යම් අදහසක් ලබාගැනීමට උත්සාහ දරන්න. හැකි නම්, ඔබට පවරා ඇති විෂය පාසැලේදී යොදාගැනීමට අදහස් කරන පසුබිමට සමාන එකක් තුළ සාකච්ඡා කිරීමට උත්සාහ කරන්න. එවිට ඔබේ පුහුණුවේ වැදගත් පරමාර්ථයක් ඉටු කරගැනීමට ඔබට හැකි වේ.
කතාවක ස්වරූපයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට සිදු වන විට
ඔබ පුරුෂයෙක් නම්, සබයට කෙටි කතාවක් ඉදිරිපත් කිරීමේ පැවරුම ඔබට ලැබිය හැකිය. මෙම කතා පිළියෙළ කරන්නේ කෙසේද? නිරූපණ ස්වරූපයෙන් ඉදිරිපත් කරන ශිෂ්‍ය පැවරුම් සඳහා මේ වන විටත් ලැයිස්තුගත කර ඇති මූලික කරුණු මෙවන් කතා පිළියෙළ කිරීමටද අදාළ වේ. මෙහිදී ප්‍රධාන වෙනස්කම් වන්නේ සබයක් ඇමතීමට සිදුවීම සහ කතාව ඉදිරිපත් කරන ක්‍රමයයි.
සබයේ සියලුදෙනාට ප්‍රයෝජන ලබාගත හැකි වන පරිද්දෙන් ඔබේ තොරතුරු සූදානම් කිරීම සාමාන්‍යයෙන් යෝග්‍යය. සබයේ සිටින වැඩිදෙනෙක් මේ වන විටත් මූලික බයිබල් සත්‍යතාවන් දනිති. කතා කිරීමට ඔබට පවරා ඇති විෂය ගැන පවා ඔවුන්ට මනා දැනුමක් තිබෙන්නට පුළුවන. එමනිසා මේ වන විටත් අදාළ විෂය ගැන ඔවුන් දන්නා දේ මොනවාද කියා සැලකිල්ලට ගන්න. ඔව්, ඔබ ඉදිරිපත් කරන දෙයින් ඔවුන්ට යම් ප්‍රයෝජනයක් ගෙන දීමට උත්සාහ කරන්න. ඔබෙන් මෙසේ අසන්න: ‘යෙහෝවා කෙරෙහි මගෙත් සබයේ සිටින අයගෙත් අගය වැඩි කිරීමට මට පවරා ඇති විෂය යොදාගත හැක්කේ කෙසේද? දේවකැමැත්ත කුමක්ද කියා තේරුම්ගැනීමට අපට උපකාරවත් වන තොරතුරු මොනවාද? මාංසික තෘෂ්ණාවලින් යටපත් වී සිටින ලොවක නිවැරදි තීරණ ගැනීමට මෙහි සඳහන් තොරතුරු අපට උපකාරවත් විය හැක්කේ කෙසේද?’ (එපී. 2:3) මෙවැනි ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන උත්තර ලබාගැනීමට නම්, පර්යේෂණ කිරීම අවශ්‍යය. බයිබලය භාවිත කරද්දී, නිකම්ම බයිබල් පද කියවීමෙන් සෑහීමට පත් නොවන්න. බයිබල් පද ඇසුරෙන් හොඳ තර්ක ගොඩනඟන්න. යම් නිගමන කරා එළඹීමට එම බයිබල් පද පදනමක් සපයන ආකාරයද පෙන්වන්න. (ක්‍රියා 17:2, 3) පමණ ඉක්මවා තොරතුරු පියවීමට උත්සාහ නොකරන්න. ඔබ තොරතුරු ඉදිරිපත් කළ යුත්තේ ඒවා පහසුවෙන් මතක තබාගත හැකි වන ආකාරයෙන්ය.
ඔබේ කතාව ඉදිරිපත් කරන විලාසය ගැන සැලකිලිමත් විය යුතුය. මෙය සූදානමට ඇතුළත් කළ යුතු තවත් දෙයකි. එමනිසා, එය සුළු කොට තකන්න එපා. ඔබේ කතාව ශබ්ද නඟා පෙරහුරු කරන්න. සඳහන් වී ඇති විවිධාකාර කථික ගුණාංග අධ්‍යයනය කිරීමට හා අදාළ කරගැනීමට ඔබ දරන උත්සාහය ඔබේ ප්‍රගතියට බෙහෙවින් දායක වේ. ඔබ නවකයෙක් හෝ අද්දැකීම් ලත් කථිකයෙක් හෝ වෙතත්, හොඳින් සූදානම් වන්න. එවිට විශ්වාසයෙන් හා ඔබේ තොරතුරුවලට යෝග්‍ය හැඟීමකින් කතා කිරීමට ඔබට පුළුවන. ඔබට පාසැලෙහි පවරා ඇති සෑම කොටසක්ම කරගෙන යද්දී, යෙහෝවාට ගෞරවය ගෙන දීම සඳහා දෙවි විසින් දානය කර ඇති ඔබේ කථික හැකියාව යොදාගැනීමේ පරමාර්ථය ඔබේ සිතෙහි ප්රමුඛව තබාගන්න.—ගීතා. 150:6.