ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 47 පි.-51 පි.
  • සභාව වෙනුවෙන් කතා සූදානම් කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සභාව වෙනුවෙන් කතා සූදානම් කිරීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබල් කියවීමේ විශේෂාංග
  • උපදෙස් කතාව
  • සේවා රැස්වීම
  • එක්රැස්වීම් සහ සමුළු
  • කල් දමන්න එපා!
  • පාසැලේදී ශිෂ්‍ය කතා පැවරුම් සූදානම් වීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • නියමිත තොරතුරු මූලාශ්‍රය පමණක් භාවිත කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සූදානම් වීමේ වටිනාකම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • දළ සටහනක් පිළියෙළ කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 47 පි.-51 පි.

සභාව වෙනුවෙන් කතා සූදානම් කිරීම

දිව්‍යාණ්ඩු සේවා පාසැලේ වැඩසටහන සූදානම් කර ඇත්තේ මුළු සභාවේ ප්‍රයෝජනය තකාය. වෙනත් සභා රැස්වීම්වල, එක්රැස්වීම් හා සමුළුවලදීත් වටිනා තොරතුරු ඉදිරිපත් කරනු ලැබේ. මෙවන් වැඩසටහනක ඔබටත් කොටසක් පවරා ඇත්නම්, ඔබට දී ඇත්තේ ඉතා බැරෑරුම් වගකීමකි. ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානි අවේක්ෂකයෙකු වූ තිමෝතිගෙන් උදක්ම ඉල්ලා සිටියේ තම ඉගැන්වීමට නිරතුරු අවධානයක් දෙන ලෙසටය. (1 තිමෝ. 4:16) ඇත්තෙන්ම ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙන අය ඒ සඳහා වටිනා කාලයක් මිඩංගු කර ඇති අතර, ඇතැම් අවස්ථාවලදී සෑහෙන පරිශ්‍රමයක්ද යොදා ඇත්තේ දෙවි සමඟ ඇති තම සබඳතාවට අදාළ උපදෙස් ලැබීමටය. එසේ නම්, උපදෙස් ලබා දීම ගෞරවයෙන් සැලකිය යුතු වරප්‍රසාදයකි! එවැනි පැවරුමක් නිසි ලෙස ඉටු කරගැනීමට ඔබට හැක්කේ කෙසේද?

බයිබල් කියවීමේ විශේෂාංග

පාසැලේ මෙම අංගය සතියට නියම කර ඇති බයිබල් කියවීම පදනම් කරගෙන දෙනු ලබන්නකි. අදාළ තොරතුරු අදදින අපට බලපාන ආකාරය අවධාරණය කළ යුතුය. දේවවචනය ප්‍රසිද්ධියේ කියෙවූ එස්රා සහ සෙසු අය ගැන නෙහෙමියා 8:8හි වාර්තා වන්නේ ඔවුන් ‘අර්ථය තෝරා දෙමින්’ පැහැදිලි කළ බවය. එනම්, ඔවුහු අවබෝධයක් ලබා දුන්නෝය. බයිබල් විශේෂාංග ඉදිරිපත් කරන විට, එවන් දෙයක් කිරීමේ ප්‍රස්තාව ඔබටද උදා වේ.

ඔබ එවන් පැවරුමකට සූදානම් විය යුත්තේ කෙසේද? හැකි නම්, සතියකට හෝ ඊට කලින් අදාළ බයිබල් පරිච්ඡේද කියවන්න. ඊළඟට ඔබේ සභාව ගැනත්, ඊට ආවේණිකව පවතින අවශ්‍යතා ගැනත් සිතා බලන්න. ඒ ගැන යාච්ඤා කරන්න. සභාවේ අවශ්‍යතාවලට සරිලන්නේ දේවවචනයට අයත් මෙම කොටසෙහි කුමන උපදෙස්ද, කුමන උදාහරණද, කවර ප්‍රතිපත්තිද කියා ඔබෙන්ම අසන්න.

පර්යේෂණ කිරීමද අත්‍යවශ්‍යය. මුරටැඹ ප්‍රකාශන සූචිය (Index) නැතහොත් CD-ROM තැටියක අඩංගු මුරටැඹ පුස්තකාලය (Watchtower Library) ඔබේ භාෂාවෙන් හෝ ඔබ දන්නා භාෂාවකින් ලබාගත හැකිද? එසේ ලබාගත හැකි නම්, ඒවා හොඳින් පාවිච්චියට ගන්න. අවධාරණය කිරීමට තෝරාගත් බයිබල් පද ගැන පළ වී ඇති කරුණු මොනවාදැයි පර්යේෂණය කරන්න. එසේ කිරීමේදී සමහරවිට ඔබට වඩාත් පුළුල් දෘෂ්ටියක් ලබා දෙන අමතර තොරතුරු සොයාගත හැකි වේ. එසේ නැතහොත් අනාවැකි ඉටු වී ඇති ආකාරය පිළිබඳව පැහැදිලි කිරීම්, යෙහෝවා ගැන ඇතැම් පදවල කියන දේවල් විග්‍රහයට ලක් කර ඇති අන්දම හෝ යම් ප්‍රතිපත්ති සාකච්ඡාවට ලක් කර ඇති ආකාරය සොයාගත හැකි වේ. පමණ ඉක්මවා කරුණු පියවීමට උත්සාහ නොදරන්න. අවධාරණය කළ යුත්තේ තෝරාගත් බයිබල් පද කිහිපයක් පමණි. එලෙස පද කිහිපයකට සීමා වී, ඒවා හොඳින් පියවීම වඩාත් සුදුසුය.

ඇතැම්විට ඔබේ පැවරුම ඉටු කරද්දී, සතියේ බයිබල් කියවීමෙන් තමන් ප්‍රයෝජන ලැබූ ආකාරය ගැන අදහස් දැක්වීමට සබයෙන් විමසීමට සිදු විය හැක. පෞද්ගලික හෝ පවුලේ පාඩමට හෝ දේවසේවයට හෝ එදිනෙදා කටයුතුවලදී ප්‍රයෝජනවත් වූ කරුණු මොනවාදැයි සබයට පැවසිය හැකිද? යෙහෝවා මනුෂ්‍යයන් සහ ජාතීන් සමඟ කටයුතු කළ විට ඔහුගේ කවර ගුණාංග දිස් වීද? තම ඇදහිල්ල ශක්තිමත් කිරීමටත්, යෙහෝවා කෙරෙහි තම අගය ගොඩනැංවීමටත් සබය ඉගෙනගත් කරුණු කවරේද? ඉතා සියුම් හා සංකීර්ණ කරුණු ගෙනහැර දැක්වීමෙන් ඔබේ කාලය හා ශ්‍රමය පූජා කරන්න එපා. ඒ වෙනුවට, තෝරාගත් කරුණුවල තේරුම සහ ප්‍රායෝගික වටිනාකම අවධාරණය කරන්න.

උපදෙස් කතාව

මෙය සාමාන්‍යයෙන් මුරටැඹ හෝ පිබිදෙව්! සඟරාවක ලිපියක් හෝ ඇතැම්විට පොතක කොටසක් පදනම් කරගෙන ඉදිරිපත් කරන කතාවකි. බොහෝ අවස්ථාවලදී නියමිත කාලය තුළ පියවීම සඳහා මෙම කොටසේ ඇති තරම් තොරතුරු සපයා තිබේ. මෙම පැවරුම හැසිරවිය යුත්තේ කෙසේද? නිකම්ම තොරතුරු පියවන කෙනෙකු ලෙස නොව, එනමුත් ගුරුවරයෙකු ලෙසය. අවේක්ෂකයෙකු “උගන්වන්ට සමර්ථ වූ” කෙනෙකු විය යුතුය.—1 තිමෝ. 3:2.

සූදානම් වීමේ කාර්යය ඇරඹිය යුත්තේ පවරා ඇති තොරතුරු අධ්‍යයනය කිරීමෙනි. බයිබල් පද පෙරළා බලන්න. මෙනෙහි කරන්න. ඔබේ කතාව දිය යුතු දිනයට සෑහෙන කලින් එසේ කිරීමට උත්සාහ දරන්න. කතාව පදනම් කර ඇති ප්‍රකාශිත තොරතුරු කල්තියා කියවීමටද සහෝදරයන්ට දිරිගන්වා ඇති බව සිහියේ තබාගන්න. ඔබේ පැවරුමෙන් බලාපොරොත්තු වන්නේ එම තොරතුරු නිකම්ම පුනරීක්ෂණය කිරීමවත්, ඒවා සංක්ෂිප්තව දැක්වීමවත් නොවේ. ඒ වෙනුවට ඒවා අදාළ කරගත යුතු ආකාරය පෙන්වා දීමය. තොරතුරුවලින් රැගත් යෝග්‍ය කොටස් සභාවට සැබවින් ප්‍රයෝජනවත් වන ආකාරයෙන් භාවිත කරන්න.

සෑම දරුවෙකුටම තමාටම විශේෂ පෞද්ගලිකත්වයක් තිබෙන්නාක් මෙන්, සෑම සභාවකටම එයටම ආවේණික වූ ගති ලක්ෂණ තිබේ. ඵලදායී ඉගැන්වීමක් කරන දෙමාපියෙක් තම දරුවාට නිකම්ම සදාචාරමය ප්‍රමිති කියාගෙන කියාගෙන යන්නේ නැත. ඔහු දරුවාට හේතු පැහැදිලි කරමින් කාරණය ඒත්තුගන්වයි. එසේ කරන අතරතුරේදී දරුවාගේ පෞද්ගලිකත්වය සහ ඔහුට පොරබැදීමට සිදු වන ගැටලුද සැලකිල්ලට ගනියි. ඒ හා සමානව, සභාවක ගුරුවරු ඔවුන් අමතන කණ්ඩායමේ අවශ්‍යතා හොඳින් අවබෝධ කරගැනීමට උත්සාහ දරති. කෙසේවෙතත්, විචාර බුද්ධියකින් කටයුතු කරන ගුරුවරයෙක් සබයේ කෙනෙකුව අසීරුතාවකට පත් කළ හැකි උදාහරණ භාවිතයෙන් වැළකී සිටියි. යෙහෝවාගේ මාර්ගයෙහි ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දැනට භුක්ති විඳින ප්‍රයෝජන පෙන්වා දෙන ඔහු, සභාව මුහුණ දෙන ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාරවත් වන ශුද්ධ ලියවිලිමය උපදෙස් හුවා දක්වයි.

දක්ෂ ඉගැන්වීමක් සබයේ සිටින අයගේ හදවත් ස්පර්ශ කරයි. මේ සඳහා නිකම්ම යම් කාරණා සඳහන් කිරීම නොසෑහේ. එම කාරණාවලින් අර්ථවත් වන දේ සඳහා අගය කිරීමක්ද ගොඩනැංවිය යුතුය. දැනමුතුකම් ලබන අය කෙරෙහි අව්‍යාජ සැලකිල්ලක් දැක්වීමද අවශ්‍යය. ආත්මික එඬේරුන් රැළ ගැන හොඳ අවබෝධයකින් සිටිය යුතුය. සභාවේ සිටින විවිධ අයට මුහුණ දීමට සිදු වන ගැටලු ඔවුන් ප්‍රේමනීය ලෙස තම සිතෙහි තබාගෙන සිටිනවා නම්, හොඳ අවබෝධයකින්, දයානුකම්පාවකින් සහ සංවේදනයක් පෙන්වමින් දිරිගන්වනසුලු විලාසයකින් කතා කිරීමට ඔවුන්ට හැකි වේ.

කතාවකට ඉතා පැහැදිලි අරමුණක් තිබෙන බව දක්ෂ ගුරුවරු හොඳින් අවබෝධ කරගෙන සිටිති. තොරතුරු ඉදිරිපත් කරන විට, මූලික කරුණු අමතක නොවන ආකාරයකින් කැපීපෙනෙන්ට සැලැස්වීම අවශ්‍යය. තම ජීවිතයට බලපාන ප්‍රායෝගික අදහස් සිහියේ තබාගැනීමට සබයට හැකි විය යුතුය.

සේවා රැස්වීම

අපගේ රාජ්‍ය සේවාවේ ලිපියක් මත පදනම් වූ කතාවක් දෙන විට, මුහුණ දීමට සිදු වන අභියෝගයන් තරමක් දුරට වෙනස් විය හැක. මෙහිදී ඔබට බොහෝදුරට පෙනී යනු ඇත්තේ සපයා ඇති දේ සම්පූර්ණයෙන්ම සබයට ඉදිරිපත් කළ යුතු බවයි. ඉන් අදහස් කරන්නේ යෝග්‍යයයි ඔබට පෙනෙන කරුණු තෝරා ඉදිරිපත් කිරීමක් සිදු නොවන බවය. යම් උපදෙස් දෙනු ලැබේ නම්, ඊට පදනම සපයන බයිබල් පද ආශ්‍රිතව කරුණු තර්කානුකූලව ඒත්තුගැනීමට සබයට උපකාර කරන්න. (තීත. 1:9) කාලය සීමිත නිසා, අමතර තොරතුරු ඉදිරිපත් කිරීමට බොහෝදුරට අවස්ථාවක් උදා වන්නේ නැත.

අනික් අතට, අපගේ රාජ්‍ය සේවාවේ විශේෂිත ලිපියක් නොමැති වුවත්, යම් තොරතුරු ඉදිරිපත් කිරීමට ඔබට ආරාධනා ලැබිය හැක. එය යම් මුරටැඹ ලිපියකින් රැගෙන ඇති. එසේ නැතහොත් පැවරුම සඳහා කෙටි සටහන් කිහිපයක් සඳහන් කර තිබෙන්නට පුළුවන. පවරා ඇති තොරතුරුවලට එකඟව සභාවේ අවශ්‍යතා මොනවාදැයි සලකා බැලීම ගුරුවරයා වන ඔබේ වගකීමයි. කෙටි නමුත් පැහැදිලි උපහැරණයක් නැතහොත් ගැළපෙන අද්දැකීමක් ඔබට භාවිත කිරීමට සිදු විය හැක. ඔබේ පැවරුම යම් විෂයක් ගැන කතා කිරීමට සීමා වී නැති බව මතක තබාගන්න. ඒ වෙනුවට දේවවචනයෙහි සඳහන් කර්තව්‍යය ඉටු කිරීමටත්, එය කිරීමෙන් ප්‍රීතියක් ලබාගැනීමටත් සභාවට උපකාරවත් වන අන්දමින් එය හැසිරවිය යුතුය.—ක්‍රියා 20:20, 21.

ඔබේ පැවරුමට සූදානම් වෙද්දී සභාවේ සාමාජිකයන්ට මුහුණ දීමට සිදු වන තත්වයන් ගැන කල්පනා කර බලන්න. දැනටමත් කරමින් සිටින දේවල් වෙනුවෙන් ඔවුන්ව පැසසුමට ලක් කරන්න. පවරා ඇති තොරතුරුවල අන්තර්ගත යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන් සේවයේදී ලබන ප්‍රතිඵල සහ ප්‍රීතිය වැඩි කළ හැකි වන්නේ කෙසේද යන්න පෙන්වන්න.

ඔබේ පැවරුමට නිරූපණයක් නැතහොත් සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් කර තිබේද? එසේ ඇතුළත් වී ඇත්නම්, එය කල්තියාම හොඳින් සූදානම් කරගත යුතුය. එය සූදානම් කරන්න කියා යමෙකුට පැවරීම පහසු යමක් සේ පෙනී යා හැක. එනමුත් එයින් නිතරම හොඳ ප්‍රතිඵල නෙළාගැනීමට පුළුවන් බව පැවසිය නොහැක. හැකි නම්, නිරූපණය හෝ සම්මුඛ සාකච්ඡාව රැස්වීමට පෙර දිනෙක පෙරහුරු කිරීමට උත්සාහ දරන්න. මෙසේ හොඳින් පෙරහුරු වීමෙන් ඔබට පවරා ඇති කොටසේදී ලබා දීමට අදහස් කරන උපදෙස් වඩාත් කාවදිනසුලු අන්දමකින් ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබේ. එමනිසා ඒ ගැන සැලකිලිමත් වන්න.

එක්රැස්වීම් සහ සමුළු

යහපත් ආත්මික ගුණාංග වර්ධනය කරගනිමින් ඵලදායී ප්‍රසිද්ධ කථිකයන් හා ගුරුවරුන් බවට පත් වන සහෝදරයන්ගෙන් කල් යත්ම එක් රැස්වීමක හෝ සමුළුවක වැඩසටහනට සහභාගි වන්නැයි ඉල්ලා සිටිය හැක. දිව්‍යාණ්ඩු අධ්‍යාපනයක් ලබා දෙන මෙවැනි සුවිශේෂ අවස්ථා සුළු කොට නොතැකිය යුතුය. ලැබෙන පැවරුම ලේඛනගත කතාවක්, දළ සටහනක්, නවීන දින අදාළ වීමක් ඇති බයිබල් නාට්‍යයක් සඳහා උපදෙස් හෝ උපදෙස් කිහිපයකින් යුත් ඡේදයක් විය හැක. එවන් වැඩසටහනක සේවය කිරීමේ වරප්‍රසාදය ඔබට ලැබේ නම්, ඔබට සපයා ඇති තොරතුරු පරෙස්සමින් අධ්‍යයනය කරන්න. එහි වටිනාකම තේරුම්ගන්නා තෙක් එය හොඳින් හදාරන්න.

ලේඛනගත කතාවක් දීමට පැවරී ඇති අය, එම තොරතුරු වචනින් වචනයට එහි ඇති ලෙසම කියවිය යුතුය. ඔවුන් එම තොරතුරු තම මනාපය පරිදි නැවත සකස් කරන්නේවත්, තමාට කැමති වචන ඇතුළත් කරන්නේවත් නැත. මූලික කරුණු මොනවාද, ඒවා ගොඩනඟා ඇත්තේ කෙසේද කියා පැහැදිලිව තේරුම්ගැනීම සඳහා ඔවුහු එය හොඳින් අධ්‍යයනය කරති. නිසි අර්ථ කාවද්දවමින්, උද්‍යෝගයකින්, උණුසුම්භාවයකින්, හැඟීමකින්, උනන්දුවකින් සහ විශ්වාසයකින් මෙන්ම විශාල සමූහයකට යෝග්‍ය ශබ්දයකින් හා ප්‍රබල අන්දමකින් කතාව දීමට හැකි වන තෙක් එය ශබ්ද නඟා කියවීම ඔවුහු පෙරහුරු කරති.

දළ සටහනක් පවරනු ලැබ ඇති සහෝදරයෝ එම දළ සටහනින් පිට පනින්නේ නැතුව, එයට අනුකූල වන අන්දමකින් තම කරුණු ගොඩනඟා ගැනීමට බැඳී සිටිති. කථිකයා දළ සටහනින්ම කියවා කතාව ඉදිරිපත් නොකළ යුතුය. එසේ නැතහොත් දළ සටහනක් ලේඛනයක් සේ පිළියෙළ නොකළ යුතුය. ඔහුගෙන් අපේක්ෂා කරන්නේ සටහනේ කරුණු හොඳින් හිතට ගෙන එම තොරතුරු හිටිවන ආකාරයෙන් තම හදවතින්ම ඉදිරිපත් කිරීමය. දක්වා ඇති සෑම මූලික කරුණක්ම පැහැදිලිව ඉදිරිපත් කිරීම සඳහා දළ සටහනෙහි එක් එක් කොටස සඳහා වෙන් කර ඇති කාල සීමාවට අනුකූල වීම වැදගත් වේ. මූලික කරුණු යටතේ ලැයිස්තු ගත කර ඇති අදහස් සහ ශුද්ධ ලියවිලි පාඨ කථිකයා විසින් දක්ෂ ලෙස යොදාගත යුතු වේ. දළ සටහනෙහි කරුණු ඉවතලමින්, තමාට කැමති අමතර කරුණු ඇතුළත් නොකළ යුතුය. සපයන උපදෙස්වලට පදනම නොහොත් අත්තිවාරම ඇත්තෙන්ම සපයන්නේ දේවවචනයයි. ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ වගකීම වන්නේ ‘වචනය දේශනා කිරීමයි.’ (2 තිමෝ. 4:1, 2) මේ අනුව, කථිකයා විසින් දළ සටහනෙහි සඳහන් බයිබල් පදවලට සුවිශේෂ අවධානයක් දිය යුතු වේ. එමෙන්ම එම බයිබල් පද තර්කානුකූලව පැහැදිලි කරමින් ඒවා අදාළ වන ආකාරය විස්තර කිරීම අවශ්‍යය.

කල් දමන්න එපා!

ඔබ සේවය කරමින් සිටින සභාවේ කතා දීමට ඔබට වැඩියෙන් ප්‍රස්තා උදා වෙනවාද? ඒ කතා සියල්ල හොඳින් ඉදිරිපත් කිරීමට ඔබට හැකි වන්නේ කෙසේද? ඔබට ලැබෙන කොටස් සූදානම් කිරීම සඳහා අවසන් මොහොත වන තෙක් බලා නොසිටීමෙන් එය හොඳින් ඉදිරිපත් කිරීමට හැකි වේ.

සභාවට සැබවින්ම ප්‍රයෝජනවත් වන කතා ඉදිරිපත් කිරීම සඳහා කල්තියාම ඒවා ගැන මෙනෙහි කිරීමට කාලය ගත යුතුය. එමනිසා, පැවරුමක් ලැබූ වහාම අදාළ තොරතුරු කියවීමේ පුරුද්ද ඇති කරගන්න. එවිට වෙනත් ක්‍රියාකාරකම් කරන අතරතුරේදී, ඔබ කලින් කියෙවූ එම තොරතුරු ගැන ගැඹුරින් සිතා බැලීමට හැකියාව ලැබේ. ඔබේ කතාව දීමට දවස් හෝ සති කිහිපයට කලින්, ඒ තොරතුරු වඩාත් හොඳින් අදාළ කරගත යුතු පැති දැකගැනීමට උපකාරවත් වන විවිධ අයගේ අදහස් ඔබේ සවනට වැකිය හැක. එම තොරතුරු කොතරම් කාලෝචිතද යන්න හෙළි කරන විවිධාකාර තත්වයන් ඉස්මතු විය හැක. පැවරුමක් ලැබූ වහාම එය කියවා ඒ ගැන කල්පනා කිරීමට කාලය වැය වුවත්, ඒ කාලය අපතේ නොයන බවට සැකයක් නැත. දළ සටහනට එකඟව ඔබේ කතාව ගොඩනඟා ගැනීමට අවස්ථාව උදා වන විට, කල්තියාම ඒ ගැන හොඳින් සිතා බැලීමේ ප්‍රයෝජන ඔබට දැකගත හැකි වේ. පැවරුම් මෙයාකාරයෙන් ඉටු කරන විට, මානසික පීඩනය අවම කරගත හැකි අතර, එම තොරතුරු ප්‍රායෝගිකව, සභාවේ අයගේ හදවත් ස්පර්ශ කරන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට ඔබට හැකි වේ.

අධ්‍යාපනය සඳහා යෙහෝවා දියත් කර ඇති වැඩසටහන සම්බන්ධයෙන් ඔබට ඇත්තේ කෙබඳු ආකාරයේ අගය කිරීමක්ද? ඔබ තුළ නඟින අගයට එකඟව ඔබ ඔහුට ගෞරව කරාවි. එවිට ඔහුට ප්‍රේම කරන අය සඳහා ඔබ ආශීර්වාදයක් බවට පත් වනු නියතය.—යෙසා. 54:13; රෝම 12:6-8.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න