දළ සටහනක් පිළියෙළ කිරීම
කතාවක් දීමට පැවරුමක් ලද විට, බොහෝදෙනෙක් මහත් ආයාසයක් දරමින් එය සම්පූර්ණයෙන්ම පාහේ දිගු ලේඛනයක් සේ පිළියෙළ කරති. මුලින්ම ඇත්තේ හැඳින්වීමකි. පසුව කරුණෙන් කරුණට කතාව ක්‍රමානුකූලව ගොඩනඟා ඇත. අන්තිමට අවසානයකින් එය නිම කෙරේ. කතාව සම්පූර්ණ කිරීමට කලින්, කිහිප වතාවක්ම එය ලියන්නට ඇත. ඇත්තෙන්ම මෙම කාර්යය නිම කිරීමට පැය කිහිපයක්ම වැය කර තිබෙනවා විය හැක.
ඔබ කතා සූදානම් කරන්නේ එලෙසද? එසේ නම්, වඩාත් පහසු ක්‍රමයක් දැනගැනීමට කැමතිද? දළ සටහනක් පිළියෙළ කරන ආකාරය ඉගෙනගතහොත්, කියන්නට තිබෙන සෑම දෙයක්ම දීර්ඝ වශයෙන් ලියාගැනීම අවශ්‍ය වන්නේ නැත. එවිට කතාව ඉදිරිපත් කරන ආකාරය පෙරහුරු කිරීමට වැඩි කාලයක් මිඩංගු කළ හැක. මෙමගින් කතාව වඩාත් පහසුවෙන් ඉදිරිපත් කළ හැකිවා පමණක් නොව, ඔබේ සවන්දෙන්නන්ව වැඩි උනන්දුවකින් සවන් දීමටත්, ක්‍රියා කිරීම සඳහා පෙලඹවීමටත් අවකාශය සැලසේ.
කෙසේවෙතත්, සභාවේ ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කථාවලට දළ සටහනක් සපයනු ලැබේ. වෙනත් කතා බහුතරයක් සඳහා එවන් දළ සටහනක් සපයා නැත. සමහරවිට, ඔබට දී ඇත්තේ විෂයක් නැත්නම් තේමාවක් පමණි. එසේ නැතහොත් යම් ලිපියක මුද්‍රණය කර ඇති තොරතුරු පියවීමට ඔබෙන් අපේක්ෂා කෙරේ. ඇතැම් අවස්ථාවලදී, කතාව ගොඩනැඟීමට ඔබට යම් මඟ පෙන්වීම් කිහිපයක් සපයා ඇත. මෙවැනි පැවරුම් ලැබුණොත්, ඔබේම දළ සටහන පිළියෙළ කිරීමට ඔබට සිදු වේ.
කෙටි දළ සටහනක් පිළියෙළ කළ හැකි ආකාරය ගැන අදහසක් දීමට 41වන පිටුවේ උදාහරණයක් දී ඇත. සෑම ප්‍රධාන කරුණක්ම වම් තීරුවෙන් ඇරඹේ. ඒවා තද අකුරින් ලියවී ඇති බවත් සැලකිල්ලට ගන්න. එක් එක් ප්‍රධාන කරුණ යටතේ එම කරුණට ආධාරක වන මූලික අදහස් පිළිවෙළින් ලැයිස්තුගත කර ඇත. එම අදහස් තවත් විස්තර කිරීමට උපකාරවත් වන අමතර කරුණු ඒ එක් එක් අදහසට පහළින් පිළිවෙළට දක්වා ඇති අතර, ඒවා වම් තීරුවෙන් මදක් මැදට වෙන්න සටහන් කර තිබේ. මෙම දළ සටහන හොඳින් පරීක්ෂා කර බලන්න. ප්‍රධාන කරුණු දෙක කෙළින්ම තේමාවට සම්බන්ධ බව සැලකිල්ලට ගන්න. තවද, උප-කරුණු නිකම්ම සිත්ගන්නා අදහස් කිහිපයක් නොවන බවත් අවධානයට ගන්න. මෙම උප-කරුණු ඊට උඩින් තිබෙන එක් එක් ප්‍රධාන කාරණයට අනුබල දෙයි.
ඔබ පිළියෙළ කළ දළ සටහන, මෙහි දැක්වෙන ආදර්ශ දළ සටහන වගේම එකක් නොවිය හැක. එනමුත් දළ සටහනක් පිළියෙළ කිරීමට අදාළ වන ප්‍රතිපත්ති තේරුම්ගතහොත්, ඔබ විසින් රැස් කර ඇති තොරතුරු යම් පිළිවෙළකට සකස් කොට, සාධාරණ වේලාවක් තුළ හොඳ කතාවක් සූදානම් කරගැනීමට ඔබට හැකි වේවි. එසේ නම්, දළ සටහනක් පිළියෙළ කරන්නේ කෙසේද?
විග්‍රහ කරන්න, තෝරන්න සහ පිළිවෙළකට සකස් කරන්න
මුලින්ම ඔබට තේමාවක් අවශ්‍යය. තේමාවක් යනු එක වචනයකින් නියෝජනය කළ හැකි පුළුල් විෂයක් නොවේ. ඔබ ඉදිරිපත් කිරීමට ආශාවෙන් සිටින ප්‍රධාන අදහස ඉන් කියවේ. තවද ඔබේ විෂයට ඔබ පිවිසෙන්නේ කවර කෝණයකින්ද කියා ඉන් පැහැදිලි වේ. ඔබේ කතාවට තේමාවක් දී තිබේ නම්, එම තේමාවට සම්බන්ධ සෑම ප්‍රධාන වචනයක්ම පරෙස්සමින් විග්‍රහ කර බලන්න. ලැබී ඇති තේමාව ගැන පළ වී ඇති තොරතුරු පදනම් කරගෙන කතාවක් ගොඩනැඟීමට සිදු වේ නම්, තේමාව මනසෙහි තබාගෙන එම තොරතුරු අධ්‍යයනය කරන්න. ඔබට පවරා ඇත්තේ විෂයක් පමණක් නම්, තේමාව තෝරාගැනීම ඔබට භාරයි. කෙසේවෙතත්, එවන් දෙයක් කිරීමට කලින් යම් පර්යේෂණ කිරීම ඔබට උපකාරවත් විය හැක. විවෘත මනසක් තබාගැනීමෙන් කතාව ගොඩනැඟීම සඳහා ඔබ තුළ නැවුම් අදහස් පහළ වනවාට සැකයක් නැත.
මෙම පියවර ගන්නා විට, දිගටම ඔබෙන් මෙවැනි ප්‍රශ්න අසන්න. ‘මෙම තොරතුරු මගේ සබයට වැදගත් වන්නේ මන්ද? මගේ පරමාර්ථය කුමක්ද?’ නිකම්ම තොරතුරු ආවරණය කිරීමවත්, කැපීපෙනෙන කතාවක් ඉදිරිපත් කිරීමවත් ඔබේ පරමාර්ථය නොවිය යුතුය. ඒ වෙනුවට ඔබේ අභිප්‍රාය විය යුත්තේ ඔබේ සවන්දෙන්නන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු ඉදිරිපත් කිරීමය. මෙයාකාරයෙන් පරමාර්ථය තේරුම්ගත් වහාම එය ලියාගන්න. සූදානම් වන අතරතුර එම පරමාර්ථය නිරතුරුවම සිහියේ තබාගන්න.
ඔබේ විෂයට වඩාත් ගැළපෙන පර්යේෂණ කළ හැකි වන්නේ, ඔබේ කතාවේ පරමාර්ථය කුමක්ද කියා තීරණය කොට ඊට ගැළපෙන තේමාවක් තෝරාගැනීමෙන් අනතුරුවය. (එසේ නැතහොත්, ඔබට පවරා ඇති තේමාව එම පරමාර්ථයට ගැළපෙන අන්දම විග්‍රහ කිරීමෙන් අනතුරුවය.) ඔබේ සබයට සුවිශේෂ ආකාරයෙන් වැදගත් වන තොරතුරු සොයාගන්න. සාමාන්‍ය තොරතුරුවලින් සෑහීමට පත් නොවන්න. ඔබේ සබය දැනුවත් කරන, ඔවුන්ට ඇත්තෙන්ම ප්‍රයෝජනවත් වන සුවිශේෂ තොරතුරු සොයාගන්න. කරන පර්යේෂණවල ප්‍රමාණය සම්බන්ධයෙන් යථාර්ථවාදී වීමද වැදගත්ය. බොහෝ අවස්ථාවලදී අවශ්‍ය තරමටත් වඩා තොරතුරු පර්යේෂණ තුළින් රැස් කරගැනීමට ඔබට පුළුවන. එමනිසා, ඒ අතුරින් අවශ්‍ය තොරතුරු තෝරා බේරා ගත යුතුය.
ඔබේ තේමාව ගොඩනඟා ගැනීමටත්, පරමාර්ථය ඉටු කරගැනීමටත් සාකච්ඡා කළ යුතු ප්‍රධාන කරුණු මොනවාදැයි හඳුනාගන්න. මෙසේ කිරීමෙන් ඔබේ මූලික දළ සටහන සකස් කරගත හැකි වේ. ප්‍රධාන කරුණු කීයක් තිබිය යුතුද? කෙටි සාකච්ඡාවකට දෙකක් සෑහේ. පැයක් තිස්සේ පවත්වන කතාවකට පවා ප්‍රධාන කරුණු පහක් සාමාන්‍යයෙන් ප්‍රමාණවත් වේ. ප්‍රධාන කරුණු අඩු කරගන්නා තරමට, ඒවා මතක තබාගැනීමට ඔබේ සබයට තිබෙන ඉඩ කඩ වැඩිය.
ඔබේ තේමාව සහ ප්‍රධාන කරුණු මනසෙහි පැහැදිලිව සටහන් කරගත් පසු, පර්යේෂණ තුළින් ලබාගත් තොරතුරු පිළිවෙළකට සකස් කරගන්න. ඔබේ ප්‍රධාන කරුණුවලට කෙළින්ම සම්බන්ධ වන්නේ කවර තොරතුරුදැයි තීරණය කරන්න. ඔබේ ඉදිරිපත් කිරීමට නැවුම් රසයක් එකතු කරගත හැකි තොරතුරු තෝරන්න. ප්‍රධාන කරුණුවලට රුකුලක් විය හැකි බයිබල් පද තෝරාගන්නා විට, එම බයිබල් පද ගැන අර්ථවත් ලෙස කරුණු ඉදිරිපත් කිරීමට උපකාරවත් වන අදහස් සටහන් කරගන්න. ඒ සෑම අදහසක්ම සටහන් කරගත යුත්තේ අදාළ ප්‍රධාන කරුණ යටතෙහිය. ඇතැම් තොරතුරුවල සිත්ගන්නාසුලු ස්වභාවයක් තිබුණත්, ඒවා ප්‍රධාන කරුණු එකකටවත් ගැළපෙන්නේ නැත්නම් ඉවතලන්න. එසේ නැතහොත් තවත් යෝග්‍ය අවස්ථාවකදී භාවිත කිරීම සඳහා ෆයිල් කවරයක අමුණා තබන්න. ඇත්තෙන්ම ඔබ ඉතිරි කරගත යුත්තේ හොඳම තොරතුරු පමණකි. තොරතුරු කන්දරාවක් පියවීමට ඔබ උත්සාහ කළහොත්, ඔබට ඉක්මනින් කතා කිරීමට සිදු වේ. එමෙන්ම එම තොරතුරු ඔබට පියවිය හැකි වන්නේ උඩින් පල්ලෙන් පමණි. සබයට සැබවින්ම ප්‍රයෝජනවත් විය හැකි කරුණු ස්වල්පයක් හොඳින් පියවීම වඩාත් සුදුසුය. අනික් අතට, නියමිත කාලය ඉක්මවා නොයෑමට වගබලා ගත යුතුය.
ඔබ එක්රැස් කර ඇති තොරතුරු අඩුම තරමින් මේ අවස්ථාවේදීවත් යම් තර්කානුකූල අනුපිළිවෙළකට සකස් කරගත යුතු වේ. සුවිශේෂ ලේඛක ලූක් කළේ මෙයයි. තම විෂයට අදාළ තොරතුරු සම්භාරයක් එක්රැස් කිරීමෙන් අනතුරුව, ඔහු ඒවා යම් ‘පිළිවෙළකට’ අනුව සකස් කළේය. (ලූක් 1:4) ඔබේ තොරතුරු ඔබට විවිධාකාරයෙන් පිළියෙළ කළ හැකිය. යම් සිද්ධීන් සිදු වූ අනුපිළිවෙළට අනුව හෝ විෂයට අනුකූලව සටහන් කරගත හැක. එසේ නැතහොත්, මුලින් හේතුව සහ පසුව ඵලය හෝ මුලින් ගැටලුව සහ පසුව විසඳුම ඉදිරිපත් කළ හැක. ඔබ කතාව ගොඩනැඟීමට යොදාගන්නා අනුපිළිවෙළ තීරණය කරන්නේ කෙසේද? බොහෝ දුරට එය රඳා පවතින්නේ කතාවේ පරමාර්ථය ඉටු කරගැනීමට වඩාත්ම බලපෑමෙන් යුක්ත වන්නේ කවර කරුණුද යන්න මතය. එක අදහසකින් තවත් අදහසකට කිසිදු හරයක් නැතුව මාරු නොවන්න. ඔබ එක් අදහසකින් තවත් අදහසකට මාරු වන විට ඔබේ සවන්දෙන්නන්ට කිසිදු අපහසුවක් නොදැනිය යුතුය. වෙනත් අදහසකට පා තබද්දී කලින් අදහස සමඟ එයට ඇති සම්බන්ධය පහසුවෙන් සබයට තේරුම්ගැනීමට හැකි විය යුතුය. ඇත්තෙන්ම ඉදිරිපත් කරනු ලබන සාක්ෂිවල ප්‍රතිඵලයක් වශයෙන් ඔබේ සබය තර්කානුකූල නිගමනවලට එළඹිය යුතුය. කරුණු පිළියෙළ කරද්දී, ඒවා සබයට ඉදිරිපත් කරන විට කවර ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය හැකිදැයි සිතා බලන්න. ඔබේ අදහස්වලින් කියාපාන අරමුණ ඔවුන්ට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි වේද? තමන් සවන් දුන් දේට එකඟව ක්‍රියා කරන්නට ඔවුන් පෙලඹෙයිද? වෙනත් වචනවලින් කිවහොත් ඔබේ මනසෙහි තිබූ පරමාර්ථය ඉටු වේවිද?
ඊළඟට ඔබේ විෂය ගැන උනන්දුව අවදි කරවන, ඔබ සාකච්ඡා කරන දේ සබයට ඉතා වැදගත් බව ඒත්තුගන්වන හැඳින්වීමක් සූදානම් කිරීම අවශ්‍යය. සමහරවිට ඔබ කීමට උත්සාහ කරන මුල් වාක්‍ය දෙක තුන පැහැදිලිව ලියාගැනීම උපකාරවත් විය හැක. අන්තිමට ඔබේ පරමාර්ථයට එකඟ පොලඹවනසුලු අවසානයක් සූදානම් කරන්න.
ඔබේ දළ සටහනේ සැකැස්ම කල් වේලා ඇතුව තීරණය කළහොත්, කතාව ඉදිරිපත් කිරීමට පෙරාතුව එය තවත් හොඳ මට්ටමකට ගෙන ඒමට ඔබට ප්‍රමාණවත් කාලයක් ඉතිරි වේවි. ඇතැම් අදහස් තහවුරු කිරීම සඳහා, සංඛ්‍යා ලේඛන කිහිපයක්, උපහැරණයක් නැතහොත් අද්දැකීමක් පාවිච්චි කිරීමේ අවශ්‍යතාව ඔබ දැකිය හැක. ප්‍රාදේශීය මට්ටමින් සියලුදෙනාගේ අවධානයට ලක් වී ඇති සිද්ධියක් හෝ පුවතක් ගැන සඳහන් කිරීමෙන් ඔබේ තොරතුරුවල ප්‍රායෝගික පැති වඩාත් පහසුවෙන් දැකගැනීමට උපකාර කළ හැක. ඔබේ කතාවේ සටහන පුනරීක්ෂණය කරද්දී, ඔබේ තොරතුරු ඔබේ සබයට තවත් අනුකූල වන අන්දමකින් හැඩගැසීමට හැකි බව ඔබට අවබෝධ විය හැක. හොඳ තොරතුරු බලපෑමෙන් යුතුව ඉදිරිපත් කරන කතාවක් සකස් කරගැනීමට නම්, විග්‍රහ කිරීමේ සහ ඔප් නැංවීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍යය.
සමහරක් කථිකයන්ට, වෙනත් කථිකයන්ට වඩා බොහෝ සටහන් අවශ්‍ය විය හැකියි. කෙසේවෙතත්, ප්‍රධාන කරුණු ස්වල්පයකට ඔබේ තොරතුරු පිළියෙළ කිරීම ඔබේ ඉලක්කය නම්, ප්‍රධාන කරුණුවලට කෙළින්ම සම්බන්ධ නොවන තොරතුරු ඉවත් කරන්න. ඉන්පසුව ඔබේ අදහස් තර්කානුකූල අනුපිළිවෙළකට සකස් කරගන්න. මෙලෙස යම් පළපුරුද්දක් ලැබුවායින් පසු, සෑම දෙයක්ම ලියාගැනීම අනවශ්‍ය බව ඔබට පෙනී යනු ඇත. ඇත්තෙන්ම එයින් ඔබේ කාලය කොතරම් ඉතිරි කරගත හැකිද! අනික් අතට, ඔබේ කතාවල ගුණයද වැඩි වේ. දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ඔබ සැබවින්ම ප්‍රයෝජන ලබන බවට එය මනා සාක්ෂියක් වේවි.