පාඩම 37
මූලික කරුණු කැපීපෙනෙන්නට සැලැස්වීම
කතාවක මූලික කරුණු මොනවාද? ඒවා නිකම්ම අපගේ සිත්ගන්නාසුලු අමතර අදහස් නොවේ. ඒවා ඇත්තෙන්ම විස්තරාත්මකව ගොඩනඟනු ලබන වැදගත් අදහස්ය. ඒවා ඔබේ පරමාර්ථය ඉටු කිරීමට බෙහෙවින් වැදගත් වන මූලික අදහස් වේ.
මූලික කරුණු කැපීපෙනෙන්නට සැලැස්වීම සඳහා බෙහෙවින් ඉවහල් වන දෙයක් වන්නේ ඔබේ තොරතුරු ඥානවන්තව තෝරා, පෙළගැස්වීමය. සාමාන්‍යයෙන් කතාවක් සඳහා පර්යේෂණ කරන විට, තොරතුරු රැසක් එකතු කරගත හැකි වේ. ඒවා සියල්ල භාවිත කළ නොහැකිය. එසේ නම්, භාවිත කළ යුත්තේ මොන තොරතුරුද යන්න ඔබට තීරණය කළ හැක්කේ කෙසේද?
මුලින්ම, ඔබේ සබය සලකා බලන්න. සාකච්ඡා කරන විෂය ගැන ඔවුන් බොහෝ දුරට සිටින්නේ අවබෝධයක් නොමැතිවද? එසේ නැතහොත් ඔබ කතා කරන්නේ ඔවුන්ට හුරු විෂයක් ගැනද? ඒ සම්බන්ධයෙන් බයිබලයෙහි පවසන දේවලට වැඩිදෙනා එකඟ වෙනවාද? එසේ නැතහොත් යම් සැක පහළ කිරීමට නැඹුරුවාවක් තිබෙනවාද? එම විෂය ගැන බයිබලයෙහි පවසන දේ අදාළ කරගැනීමට උත්සාහ කරද්දී ඔවුන් සිය දෛනික ජීවිතයෙහි මුහුණ දෙන්නේ කවර අන්දමේ අභියෝගවලටද? දෙවනුව, ඔබ භාවිත කිරීමට අදහස් කරන විෂය ඔස්සේ සබය අමතද්දී ඔබේ පරමාර්ථය මනසෙහි පැහැදිලිව තිබෙනවාද යන්න සහතික කරගන්න. මෙම මඟ පෙන්වීම් දෙක අනුගමනය කරමින්, ඔබේ තොරතුරු තක්සේරු කර බලා, ගැළපෙන තොරතුරු පමණක් රැස් කරගන්න.
තේමාවක් සහ මූලික කරුණු ඇතුළත් දළ සටහනක් ඔබට දී ඇත්නම්, එයට ඇලී සිටීම අවශ්‍යය. කෙසේවෙතත්, ඉහත සඳහන් යෝජනා මතක තබාගෙන එක් එක් මූලික කරුණ ගොඩනැඟුවොත්, ඔබ ඉදිරිපත් කරන කරුණුවල වටිනාකම හොඳින් කාවැද්දිය හැකි වේ. දළ සටහනක් සපයා නැති විටෙක, මූලික කරුණු තෝරාගැනීම ඔබට භාරය.
කතාවක් සූදානම් වෙද්දී මූලික කරුණු මනසෙහි පැහැදිලිව සනිටුහන් කරගත යුතු අතර, එම කරුණු යටතේ ඉදිරිපත් කළ යුතු අමතර අදහස්ද පැහැදිලිව පිළියෙළ කළ යුතුය. එවිට ඔබට කතාව දීම වඩාත් පහසු කාර්යයක් වනු ඇත. ඔබේ සබයටත් කතාවෙන් වැඩි ප්‍රයෝජන නෙළාගැනීමට හැකි වේ.
ඔබේ තොරතුරු පෙළගැස්විය හැකි ක්‍රම කිහිපයක්. කතාවක ශරීරය පිළියෙළ කිරීමට ක්‍රම කිහිපයක්ම අනුගමනය කළ හැකිය. මෙම ක්‍රම හඳුනාගත් පසු, ඒවායින් කිහිපයක්ම ඔබේ පරමාර්ථයට එකඟව බලපෑමෙන් යුක්තව යොදාගත හැකි බව ඔබට පෙනී යනු ඇත.
ඉතා නම්‍යශීලී ක්‍රමයක් නම්, ඔබේ විෂයට සම්බන්ධ තොරතුරු කාණ්ඩ වශයෙන් බෙදීමයි. (මේ සඳහා සෑම මූලික කරුණක්ම අවශ්‍ය වේ. ඊට හේතුව, ඒවා විෂය තේරුම්ගැනීමට සවන්දෙන්නාට උපකාර කරන නිසාත්, ඔබේ කතාවේ පරමාර්ථය ඉටු කරගැනීමට උපකාරවත් වන නිසාත්ය.) කාලානුක්‍රමණික එළඹීමක් යොදාගැනීම තවත් ක්‍රමයකි. (නිදසුනකට, ජලගැල්මට පෙර සිදුවීම් සඳහන් කළායින් පසු, පො.යු. 70දී යෙරුසලමේ විනාශයට පෙර සිදු වූ දේවල් සඳහන් කළ හැකිය. අවසාන වශයෙන්, වර්තමානයේ සිදුවීම් පිළිබඳ විස්තරයක්ද දිය හැකියි.) මුලින්ම හේතුව සහ අනතුරුව ඵලය සඳහන් කිරීම තුන්වන ක්‍රමයයි. (මෙය කැමති ආකාරයකට ගොඩනැඟිය හැක. නිදසුනකට, මුලින්ම, ඵලය එනම් වත්මන් තත්වයක් සඳහන් කර, පසුව ඒවාට හේතු පෙන්නුම් කරන්නට පුළුවන.) සිව්වන ක්‍රමය ප්‍රතිවිරුද්ධ පැති පෙන්නුම් කිරීම හා බැඳී පවතී. (යහපත සහ නපුර අතර වෙනස හෝ ධනාත්මක සහ ඍණාත්මක නැතහොත් ඒකාන්ත හෝ නිෂේධාත්මක දේ අතර වෙනස දැක්විය හැකියි.) ඇතැම් අවස්ථාවලදී කතාවක මෙවන් ක්‍රම කිහිපයක්ම භාවිත කරන්නට පුළුවන.
යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියෙහි බොරු චෝදනාවලට මුහුණ දුන් ස්තේපන් ඉතා බලගතු කතාවක් ඉදිරිපත් කළේ, කාලානුක්‍රමණික ක්‍රමය අනුගමනය කරමිනි. එය ක්‍රියා 7:2-53හි සඳහන්ව ඇති අතර, එම වාර්තාව කියවද්දී යොදාගත් කරුණු තෝරාගනු ලැබුවේ අරමුණක් සඳහා බව පැහැදිලි වේ. ස්තේපන් මුලින්ම පැහැදිලි කළේ තම සබයට විස්තර කරමින් සිටි ඉතිහාස වාර්තාව ප්‍රතික්ෂේප කළ නොහැක්කක් බවය. ඊළඟට, යෝසෙප් තම සහෝදරයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද, ගැළවීම ලබා දීමට දෙවි ඔහුව යොදාගත් බව ගෙනහැර දැක්වීය. ඉන්පසුව ඔහු පැහැදිලි කළේ, දෙවි යොදාගනිමින් සිටි මෝසෙස්ට යුදෙව්වන් අකීකරු වූ අන්දමය. ඔහු සිය කතාව අවසන් කළේ, කලින් පරම්පරාවල විසූ යුදෙව්වන් විදහාපෙන්වූ ආකල්පයකට සමාන ආකල්පයක්, යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිදු කළ අය විසින් විදහාපෙන්වනු ලැබූ බව අවධාරණය කරමිනි.
ඕනෑවට වඩා මූලික කරුණු යොදා නොගන්න. යම් තේමාවක් ගොඩනැඟීමට අත්‍යවශ්‍ය වන්නේ කරුණු ස්වල්පයක් පමණි. බොහෝ දුරට මූලික කරුණු පහකට වැඩි සංඛ්‍යාවක් භාවිත කෙරෙන්නේ නැත. මේ අනුව සාමාන්‍යයෙන් යොදාගැනෙන්නේ කරුණු පහක් හෝ ඊට අඩු සංඛ්‍යාවකි. මෙය විනාඩි 5ක, 10ක, 30ක හෝ ඊට වැඩි වේලාවක් ගත වන කතාවක් සම්බන්ධයෙන් සැබෑවක් වේ. කරුණු රැසක් කැපීපෙනෙන්නට සැලැස්වීම ඥානවන්ත දෙයක් නොවේ. එක් කතාවකින් ඔබේ සබයට සාධාරණ ලෙස ග්‍රහණය කරගත හැක්කේ එකිනෙකට වෙනස් සුවිශේෂ අදහස් අතළොස්සක් පමණි. දීර්ඝ කතාවකදී, ප්‍රධාන කරුණු වඩාත් ප්‍රබලව හා පැහැදිලිව කැපීපෙනෙන්නට සැලැස්විය යුතුය.
මූලික කරුණු නිශ්චිත සංඛ්‍යාවකට සීමා කළ යුතු බව මින් අදහස් නොවුවත්, භාවිත කරන සෑම කරුණක්ම ප්‍රමාණවත් ලෙස ගොඩනැඟීමට වගබලා ගන්න. එක් එක් මූලික කරුණ සලකා බැලීමට ප්‍රමාණවත් වේලාවක් සබයට ලබා දෙන්න. එම කරුණු ඔවුන්ගේ මනසට නිසි ලෙස කාවදින්නේ එසේ කළහොත් පමණි.
ඔබේ කතාවෙහි සරල බවක්ද දිස් විය යුතුය. මෙය සැමවිටම ඉදිරිපත් කරනු ලබන තොරතුරුවල ප්‍රමාණය මත රඳා පවතින දෙයක් නොවේ. එමනිසා ඔබේ අදහස් ප්‍රධාන ශීර්ෂයන් හෝ උපමාතෘකාවන් ස්වල්පයක් යටතේ කාණ්ඩ ගත කරන්න. ඒවා එකිනෙක වෙන වෙනම ගොඩනඟන්න. එසේ කළහොත් කතාව තේරුම්ගැනීමත්, මතක තබාගැනීමත් පහසුය.
ඔබේ මූලික කරුණු කැපීපෙනෙන්නට සලස්වන්න. ඔබේ තොරතුරු නිසි ලෙස පෙළගස්වා ඇත්නම්, කරුණු ඉදිරිපත් කරද්දී ඔබේ මූලික කරුණුවල වැදගත්කම කාවැද්දීම එතරම් අපහසු කාර්යයක් වන්නේ නැත.
මූලික කරුණක් කැපීපෙනෙන්නට සැලැස්විය හැකි ප්‍රධාන ක්‍රමයක් නම්, සාක්ෂි, ශුද්ධ ලියවිලි පද හා වෙනත් කරුණුවලින් මූලික අදහස වෙතට අවධානය යොමු කර එය තවත් පුළුල්ව අවධාරණය කරන අන්දමකින් ඉදිරිපත් කිරීමයි. මූලික නොවන ද්විතීයික කරුණු සියල්ල භාවිත කළ යුත්තේ මූලික කරුණ තවත් පැහැදිලි කිරීමට, ඔප්පු කිරීමට හෝ අවධාරණය කිරීමට පමණි. කතාවට සම්බන්ධ නැති යම් අදහසක් සිත්ගත් පමණින් එය කතාවට එකතු කරන්න එපා. ද්විතීයික කරුණු ගොඩනඟද්දී, අදාළ මූලික කරුණ සහ ඒවා අතර ඇති සම්බන්ධය පැහැදිලිව දක්වන්න. ඒ සම්බන්ධය තනිව වටහාගැනීමට සබයට ඉඩහරින්න එපා. මූලික අදහසට සම්බන්ධ වචන නැවත සඳහන් කිරීමෙන් හෝ විටින් විට මූලික කරුණේ සාරය නැවත සඳහන් කිරීමෙන් සම්බන්ධය පැහැදිලිව දැක්විය හැක.
ඇතැම් කථිකයන් මූලික කරුණු උලුප්පා දක්වන්නේ ඒවාට අංක යෙදීමෙනි. මූලික කරුණු උලුප්පා දැක්වීමට මෙය එක ක්‍රමයක් වුවත්, තොරතුරු පරෙස්සමින් තෝරාගැනීමේ අවශ්‍යතාව සහ එම තොරතුරු තර්කානුකූලව ගොඩනැඟීමේ අවශ්‍යතාව සුළු කොට නොතැකිය යුතුය.
ආධාරක තර්ක ඉදිරිපත් කිරීමට පෙර ඔබේ මූලික කරුණ පැහැදිලිව සඳහන් කරන්නට ඔබ තීරණය කළ හැකිය. එසේ කළහොත් ඊළඟට ඉදිරිපත් කරන තොරතුරුවල වටිනාකම අගය කිරීමට සබයට හැකි වේවි. අනික් අතට, මූලික කරුණද අවධාරණය කළ හැක. තවද, එම කරුණ සම්පූර්ණයෙන්ම ගොඩනැඟුවායින් පසු එය සාරාංශ කොට දැක්වීමෙන් තවත් කාවැද්දිය හැක.
ක්ෂේත්‍ර සේවයෙහිදී. ඉහත සාකච්ඡා කළ ප්‍රතිපත්ති සභාවෙහි කතා ඉදිරිපත් කිරීමට පමණක් අදාළ වන්නේ නැත. ක්ෂේත්‍ර සේවයෙහිදී කෙරෙන සංවාදවලටද ඒවා අදාළ වේ. ඒ සඳහා සූදානම් වන විට, ප්‍රදේශවාසීන්ගේ මනස්වල ඇති වැදගත් කාරණයක් සැලකිල්ලට ගන්න. බයිබලය ඉදිරිපත් කරන බලාපොරොත්තුව ඒ කාරණයට විසඳුමක් වන අන්දම වටහාගැනීමට උපකාරවත් වන තේමාවක් තෝරාගන්න. ඊළඟට එම තේමාව ගොඩනැඟීමට මූලික කරුණු දෙකක් පමණ තෝරාගන්න. එම කරුණුවලට පදනම සපයන ශුද්ධ ලියවිලි පද මොනවාදැයි තීරණය කරන්න. ඊළඟට සාකච්ඡාව ආරම්භ කරන්නේ කෙසේදැයි සැලසුම් කරගන්න. මෙලෙස සූදානම් වන විට, සංවාදයකදී අවශ්‍ය නම්‍යශීලී බව විදහාපෙන්වීමට ඔබට හැකි වේ. එමෙන්ම ඔබේ නිවැසියන්ට මතක තබාගත හැකි යමක් පැවසීමට එය මහෝපකාරි වේ.