පාඩම 25
දළ සටහනක් භාවිත කිරීම
දළ සටහනක් ඇසුරෙන් කතාවක් දීම! ඒ සිතුවිල්ල පවා බොහෝදෙනෙකුව බියගන්වයි. එමනිසා කීමට තිබෙන සෑම දෙයක්ම කොළයක ලියා ඇත්නම් හෝ කටපාඩම් කර ඇත්නම් ඔවුන්ට යම් විශ්වාසයක් ඇති වේ.
කෙසේවෙතත්, දිනපතා අපි සියලුදෙනාම දළ සටහනක් නොමැතිව කතා කරමු. පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් සමඟ කතා බහ කරද්දී, ක්ෂේත්‍ර සේවයෙහි යෙදෙන විටදී, පෞද්ගලිකව හෝ කණ්ඩායමක් වෙනුවෙන් හෘදයාංගම යාච්ඤා ඉදිරිපත් කරද්දී අපි එසේ කරන්නෙමු.
කතාවක් ඉදිරිපත් කරන විට, ඔබේ කතාව ලේඛනයක් සේ පිළියෙළ කිරීමත් දළ සටහනක් ලෙස පිළියෙළ කිරීමත් අතර වෙනසක් තිබේද? පිළියෙළ කර ඇති ලේඛනයකින් කියවන විට දේවල් නිවැරදිව හා දක්ෂ ලෙස කීමට හැකි වුවත්, සවන්දෙන්නන්ගේ හදවත් කරා ළඟාවීමට ඇති ඉඩ කඩ සීමිතය. වාක්‍ය කිහිපයකට වැඩියෙන් කියවාගෙන යන විට භාවිත කරන ස්වරය, වේගය හා තාරතාව සම්බන්ධයෙන් ඔබ බොහෝ දුරට යම් ඒකාකාර රටාවක් අනුගමනය කරනු ඇත. මෙය ඔබ සංවාදයකදී භාවිත කරන විලාසයට වඩා වෙනස්ය. ඔබේ අවධානය සබයට වඩා සටහන්වලට යොමු වී ඇත්නම් බොහෝදෙනා ඔබට එතරම් අවධානයක් නොදෙනු ඇති. සමහරවිට ඊට හේතුව ඔබ ඔවුන් ගැන ඇත්තටම නොසිතන බවත්, ඔබේ තොරතුරු ඔවුන්ගේ තත්වයන්වලට අදාළ කර නැති බවත් ඔවුන්ට සිතෙන නිසා විය හැක. එසේ නම්, සැබවින්ම පොලඹවනසුලු කතාවක් ඉදිරිපත් කිරීමට නම්, හොඳම ප්‍රතිඵල ලබාගත හැක්කේ හිටිවන ඉදිරිපත් කිරීමකිනි.
දිව්‍යාණ්ඩු සේවා පාසැල සැලසුම් කර තිබෙන්නේ අපට දෛනික ජීවිතයේදී උපකාර කිරීම සඳහාය. අප මිතුරන් හමු වෙද්දී කීමට තිබෙන දේ හැකි තරම් නිවැරදිව හා දක්ෂ ලෙස කීමට අප කොළ කැබැල්ලක් අතට ගෙන අපගේ අදහස් ඔවුන්ට කියවන්නේ නැත. ක්ෂේත්‍ර සේවයේදී ජනයාට පැවසිය යුතු දේවල් කිහිපයක් අතපසු වේයයි යන බියෙන් අප කියවීම සඳහා ලේඛනගත පිටපතක් ගෙන යන්නේද නැත. මෙවැනි අවස්ථාවන්හිදී සාක්ෂි දැරිය හැකි අන්දම පාසැලේදී නිරූපණය කරන විට හැකි තරම් ස්වාභාවික අන්දමකින් කතා කිරීමට පුරුදු වන්න. හොඳින් සූදානම් වූවොතින්, මතකයෙහි කෙටී ඇති ‘දළ සටහනකින්’ හෝ ලිඛිත දළ සටහනකින් සාකච්ඡා කළ යුතු ප්‍රධාන අදහස් ඔබේ සිහියට නංවා ගත හැකි බව ඔබට පෙනී යනු ඇත. එනමුත් එවැන්නක් සාර්ථකව භාවිත කිරීමට අවශ්‍ය විශ්වාසය ගොඩනඟා ගත හැක්කේ කෙසේද?
ඔබේ අදහස් පෙළගස්වන්න. කතා කරන විට දළ සටහනක් භාවිත කිරීමට නම්, ඔබේ අදහස් පෙළගැස්වීම අවශ්‍යය. මින් අදහස් කරන්නේ ඔබ භාවිත කිරීමට අදහස් කරන වචන තෝරාගැනීම නොවේ. සරලව කියනවා නම්, ඔබ කතා කිරීමට පෙර සිතා බැලිය යුතුය.
දෛනික ජීවිතයේදී වහා ප්‍රතිචාරය දක්වන පුද්ගලයෙකුගේ මුවින් කිසිදු වග විභාගයකින් තොරව වචන වරුසාවක් පිට විය හැක. ඔහු ඒ ගැන පසුතැවෙන විට ප්‍රමාද වැඩිය. තවත් කෙනෙකු කතා කරන්නේ කිසිම අරමුණක් නොමැතිවය. ඔහු එක් අදහසක සිට තවෙකක් දක්වා ගමන් ගන්නේ අතරමං වූ මඟියෙකු මෙනි. එමනිසා, මදකට නතර වී කතා කිරීමට පෙර කීමට තිබෙන දේ සම්බන්ධයෙන් ඔබේ මනසෙහි සරල ‘දළ සටහනක්’ සකස් කිරීමෙන් මෙම ප්‍රවණතාවන් දෙකම සාර්ථකව මඟහරවා ගත හැකිය. මුලින්ම ඔබේ පරමාර්ථය මනසෙහි පැහැදිලිව සටහන් කරගන්න. ඊළඟට, එම පරමාර්ථය ඉටු කරගැනීමට ගත යුතු පියවර මොනවාදැයි තෝරාගන්න. ඉන්පසුව, ඔබේ කතාව අරඹන්න.
ඔබ ක්ෂේත්‍ර සේවය සඳහා සූදානම් වෙමින් සිටිනවාද? සාක්ෂි දැරීමට ඔබ භාවිත කරන බෑගය පිළියෙළ කිරීමට පමණක් නොව, ඔබේ අදහස් පෙළගැස්වීමටද කාලය ගන්න. අපගේ රාජ්‍ය සේවාවෙන් සොයාගත හැකි යෝජිත ඉදිරිපත් කිරීම් භාවිත කිරීමට ඔබ තීරණය කර ඇත්නම්, මූලික අදහස් මනසට ගැනීම සඳහා එය කිහිප වතාවක්ම කියවන්න. එහි මූලික කරුණු කෙටි වාක්‍යයකින් හෝ දෙකකින් කියන්න. ඉන්පසුව එම යෝජිත ඉදිරිපත් කිරීම ඔබට හුරු වචනවලින් හා ඔබේ බලප්‍රදේශයට සුදුසු අන්දමකින් සකස් කරගන්න. මෙලෙස ඔබේ මතකයේ සනිටුහන් වී ඇති ‘දළ සටහනක්’ තිබීම ප්‍රයෝජනවත් බව ඔබට පෙනී යනු ඇත. එයට කවර දේවල් ඇතුළත් කළ හැකිද? (1) හැඳින්වීම ලෙස ඔබේ සමාජයේ වැඩිදෙනාගේ සැලකිල්ලට බඳුන් වී ඇති යමක් සඳහන් කළ හැකිය. ඒ සම්බන්ධයෙන් අනික් තැනැත්තාට තම අදහස් පළ කිරීමටද අවස්ථාවක් ලබා දෙන්න. (2) එම විෂයට අදාළ සුවිශේෂ අදහස් කිහිපයක් ගැන සිතා බලන්න. සහනයක් ගෙන දීම සඳහා දෙවි පොරොන්දු වී ඇති දේ පෙන්නුම් කරන ශුද්ධ ලියවිලි පදයක් හෝ දෙකක්ද ඊට ඇතුළත් කරන්න. අවස්ථාවක් ලැබෙනවා නම්, යෙහෝවා තම රාජ්‍යය එනම් ස්වර්ගික ආණ්ඩුව මගින් මේ දේ කරන බව අවධාරණය කරන්න. (3) සාකච්ඡා කළ දේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පුද්ගලයාව දිරිගන්වන්න. ඔහුට පොත් පත් සහ/හෝ බයිබල් පාඩමක් ඉදිරිපත් කළ හැකිය. සාකච්ඡාව ඉදිරියේදී කරගෙන යෑමට නිශ්චිත සැලසුම්ද යොදාගත හැක.
මෙවැනි සංවාදයක් සඳහා ඔබට බොහෝ දුරට අවශ්‍ය වන්නේ මනසෙහි සකස් කරගත් ‘දළ සටහනක්’ පමණි. ඔබ කෙනෙකුව නැවත බැහැදකින මුල්ම අවස්ථාව සඳහා දළ සටහනක් උපයෝගි කරගෙන සංවාදයට සූදානම් වන්නට කැමති නම්, එම දළ සටහනෙහි මතු දැක්වෙන කාරණා කිහිපය ඇතුළත් කරගත හැක. ඔබේ හැඳින්වීමට වචන ස්වල්පයක්, ශුද්ධ ලියවිලි පදයක් හෝ දෙකක් සහ අවසානයේදී කීමට අදහස් කරන දේ සම්බන්ධයෙන් කෙටි සටහනක් යනාදිය එකතු කරන්නට පුළුවන. මෙලෙස සූදානම් වී මනසින් දළ සටහනක් භාවිත කරන විට වැල්වටාරම් දෙඩීමෙන් අපට වැළකී සිටිය හැකි අතර පහසුවෙන් මතක තබාගත හැකි පැහැදිලි පණිවිඩයක් දීමට අපට උපකාරවත් වේ.
ඔබේ බලප්‍රදේශයෙහි නිතර නිතර අසනු ලබන ප්‍රශ්නයක් හෝ විරෝධයට හේතු වන කාරණයක් ඇත්නම්, ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම ප්‍රයෝජනවත් වේ. සාමාන්‍යයෙන් ඔබට අවශ්‍ය වන්නේ මූලික කරුණු දෙකක් හෝ තුනක් සහ ඊට පදනම සපයන ශුද්ධ ලියවිලි පද කිහිපයක් පමණි. ඇත්තෙන්ම ඔබටම සරිලන දළ සටහනක් “සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන්” නමැති පොත් පිංචයෙහි නැතහොත් ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් තර්ක කිරීම යන පොතෙහි තද අකුරින් දක්වා ඇති උපමාතෘකා යටතේ තොරතුරුවලින් ලබාගත හැකිය. වෙනත් මූලාශ්‍රයකින්ද ඔබ භාවිත කිරීමට කැමති යෝග්‍ය උපුටනයක් ඔබ අතට පත් විය හැක. දැන් කෙටි ලිඛිත දළ සටහනක් පිළියෙළ කොට උපුටා දැක්වීමේ ඡායා පිටපතක් ඒ සමඟ අමුණා ක්ෂේත්‍ර සේවය සඳහා ඔබ භාවිත කරන උපකරණ කට්ටලයට එකතු කරන්න. එම ප්‍රශ්නය හෝ විරෝධයට හේතුව නිවැසියෙකු විසින් ඉස්මතු කෙරේ නම්, ඔබ විශ්වාස කරන දේට හේතුව පැහැදිලි කිරීමට අවස්ථාවක් දුන්නොත් ඒ ගැන ඔබ සතුටු වන බව ඔහුට කියන්න. (1 පේතෘ. 3:15) ඔබේ පිළිතුරට පදනම වශයෙන් ඔබ පිළියෙළ කළ දළ සටහන භාවිත කරන්න.
ඔබේ පවුල, පොත් පාඩම් කණ්ඩායමක් හෝ සභාව වෙනුවෙන් යාච්ඤා ඉදිරිපත් කිරීමට සිදු වන විට, ඔබේ අදහස් පෙළගැස්වීම ප්‍රයෝජනවත් වේ. ලූක් 11:2-4 දෙස බලන විට, අපට පෙනී යන්නේ යේසුස් තම ගෝලයන්ට අර්ථවත් යාච්ඤාවක් ඉදිරිපත් කිරීම සඳහා සරල දළ සටහනක් දුන් බවයි. යෙරුසලමෙහි දේවමාළිගාව කැප කළ අවස්ථාවේදී සාලමොන් ඉතා දීර්ඝ යාච්ඤාවක් ඉදිරිපත් කළේය. මින් පැහැදිලි වන්නේ ඒ විෂය ගැන ඔහු කල්පනා කර බැලූ බවය. මුලින්ම ඔහු අවධානය යොමු කළේ යෙහෝවා කෙරෙහි සහ ඔහු විසින් දාවිත්ට දෙන ලද පොරොන්දුව කෙරෙහිය. ඉන්පසුව ඔහු කතා කළේ දේවමාළිගාව ගැනය. අනතුරුව, ඔහු පිළිවෙළින් වෙන වෙනම සුවිශේෂී තත්වයන් සහ විවිධ ජන කොටස් ගැනද අදහස් දැක්වීය. (1 රාජා. 8:22-53) මෙවැනි උදාහරණවලින් අපටද ප්‍රයෝජන ගත හැකිය.
ඔබේ දළ සටහන සරලව තබාගන්න. ඔබ දළ සටහනක් භාවිත කරන්නේ කතාවක් දීම සඳහාද? ඊට කොපමණ තොරතුරු ඇතුළත් කළ යුතුද?
දළ සටහනක් පිළියෙළ කරන්නේ ඔබට අදහස් මතක් කර දීමට බව මතක තබාගන්න. හැඳින්වීමට නම්, වාක්‍ය කිහිපයක් ලිවීම ප්‍රයෝජනවත් වේයයි ඔබට හැඟී යා හැක. එනමුත්, ඉන් අනතුරුව, වචනවලට වඩා අදහස් වෙතට ඔබේ අවධානය යොමු කරන්න. මෙම අදහස් වාක්‍ය ලෙස දක්වනවා නම්, කෙටි වාක්‍ය යොදන්න. ඔබ ගොඩනැඟීමට අදහස් කරන මූලික කරුණු කිහිපය ඔබේ දළ සටහනෙහි පැහැදිලිව දැකගැනීමට හැකියාව තිබිය යුතුය. ඒවා පැහැදිලි අකුරින් ලියා, ප්‍රධාන කරුණු යටින් ඉරි ගැසීමෙන් හෝ ළා වර්ණයකින් සේයා කිරීමෙන් ඒවා උලුප්පා දැක්වීමට සැලැස්විය හැක. සෑම මූලික කරුණක් යටතේ, එම මූලික කරුණ ගොඩනඟද්දී භාවිත කිරීමට අවශ්‍ය අදහස් විස්තර කරන්න. කියවීමට අදහස් කරන ශුද්ධ ලියවිලි පදද දක්වන්න. බයිබලයේ කොටස් කියවද්දී සුදුසුම දෙය බයිබලයෙන්ම කියවීමයි. භාවිත කිරීමට අදහස් කරන උපහැරණද දක්වන්න. අනික් අතට බාහිර මූලාශ්‍රයකින් සොයාගත් උචිත උපුටනයක්ද ඔබ සතු විය හැක. ඔබේ දළ සටහනෙහි ඉදිරිපත් කිරීම සඳහා සුවිශේෂ කරුණු තිබිය යුතුය. එමනිසා ප්‍රමාණවත් විස්තර අඩංගු කිරීම අවශ්‍යය. දළ සටහන පිළිවෙළට තිබේ නම්, එය භාවිත කිරීම පහසු වේ.
ඇතැම් අය භාවිත කරන දළ සටහන් ඉතා සරලය. ප්‍රධාන වචන කිහිපයක්, කථිකයා මතකයෙන් උපුටා දක්වනු ඇති ශුද්ධ ලියවිලි පදවල ලැයිස්තුවක් හා අදහස් මතක් කිරීමට උපකාරවත් වන රූපසටහන් හෝ පින්තූරු එවැනි දළ සටහනකට ඇතුළත් විය හැක. ඉතා සරල වූ මෙවැනි සටහන්වලින් කථිකයෙකු තම තොරතුරු තර්කානුකූලව හා සංවාදශීලී විලාසයකින් ඉදිරිපත් කිරීමට සමත් වේ. මෙම පාඩමෙහි පරමාර්ථයද එයයි.
මෙම පොතෙහි 39 සිට 42වන පිටු දක්වා, “දළ සටහනක් පිළියෙළ කිරීම” නමැති විෂය සාකච්ඡා කර ඇත. “දළ සටහනක් භාවිත කිරීම” යන මෙම පාඩම කරද්දී එම තොරතුරු කියවීම ඔබට මහෝපකාරි වනු ඇත.
දළ සටහන භාවිත කළ හැකි අයුරු. මෙම අවස්ථාවට එළඹෙන විට ඔබේ ඉලක්කය විය යුත්තේ ඔබේ කතාව දළ සටහනක් ලෙස නිකම්ම පිළියෙළ කිරීම පමණක් නොවේ. ඔබේ ඉලක්කය නම්, දළ සටහන බලපෑමෙන් යුක්තව භාවිත කිරීමය.
දළ සටහනක් භාවිත කිරීමේදී ගත යුතු මුල්ම පියවර කතාව ඉදිරිපත් කරන ආකාරය සූදානම් කිරීමයි. ඒ සඳහා තේමාව දෙස බලන්න. මූලික කරුණු සියල්ල කියවන්න. එක් එක් මූලික කාරණය තේමාවට සම්බන්ධ වන්නේ කෙසේද යන්න ඔබටම පවසන්න. එක් එක් මූලික කාරණය සඳහා මිඩංගු කළ හැකි වේලාව කොපමණද යන්න සැලකිල්ලට ගන්න. ඊළඟට පළමු මූලික කරුණ වෙතට යොමු වී එය අධ්‍යයනය කරන්න. එම කාරණය ගොඩනැඟීම සඳහා ඔබ භාවිත කිරීමට අදහස් කරන තර්කයන්, ශුද්ධ ලියවිලි පද, උපහැරණ සහ උදාහරණ පුනරීක්ෂණය කරන්න. කතාවේ එම කොටස ඔබේ මනසෙහි පැහැදිලිව සනිටුහන් වී ඇති බව සහතික වන තෙක් ඒ තොරතුරු කිහිප වතාවක්ම පරිශීලනය කරන්න. අනිකුත් මූලික කරුණු සම්බන්ධයෙන්ද ඉහත සඳහන් ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න. නියමිත වේලාවට නිම කිරීම සඳහා ඔබට ඉවත් කළ හැකි තොරතුරු මොනවාදැයි සලකා බලන්න. ඊළඟට මුළු කතාවම සමස්තයක් වශයෙන් පුනරීක්ෂණය කරන්න. වචනවලට නොව අදහස්වලට ඔබේ අවධානය යොමු කරන්න. කතාව කටපාඩම් කිරීමෙන් වළකින්න.
කතාව ඉදිරිපත් කරන අතරතුරේදී ඔබේ සබය සමඟ හොඳ දෘෂ්ටි සම්බන්ධයක් පවත්වාගැනීමට හැකියාවක් ඔබට තිබිය යුතුය. ශුද්ධ ලියවිලි පදයක් කියවීමෙන් අනතුරුව, ඔබේ බයිබලය භාවිත කිරීමෙන් පමණක් එහි තර්කයන් පැහැදිලිව ඉදිරිපත් කිරීමට සාමාන්‍යයෙන් ඔබට හැකියාවක් තිබිය යුතුය. ඇත්තෙන්ම, මේ අවස්ථාවේදී ඔබේ සටහන් පරීක්ෂා කර බැලීම අවශ්‍ය නොවිය හැක. මීට සමානව, ඔබ උපහැරණයක් භාවිත කරනවා නම්, එය නිකම්ම ඔබේ කෙටි සටහන්වලින් කියවනවා වෙනුවට ඔබේ මිත්‍රයන්ට පවසන්නාක් මෙන් විස්තර කරන්න. කතා කරද්දී සෑම වාක්‍යයක්ම හරි හැටි දැනගැනීමට ඔබේ කෙටි සටහන් දෙස නොබලන්න. ඔබේ හදවතින්ම කතා කරන්න. එවිට ඔබට සවන් දෙන අයගේ හදවත් කරා ළඟාවීමට ඔබට හැකි වේ.
දළ සටහනක් ආධාරයෙන් කතාවක් ඉදිරිපත් කිරීමේ කලාව ප්‍රගුණ කරගත් විට, බලපෑමෙන් යුත් ප්‍රසිද්ධ කථිකයෙකු වීම නමැති කඩ ඉම කරා යෑමට ඔබ ඉතා වැදගත් ඉදිරි පියවරක් ගෙන ඇතැයි ඒකාන්තයෙන්ම පවසන්නට පුළුවන.