පාඩම 47
දෘශ්‍යාධාරක බලපෑමෙන් යුතුව භාවිත කිරීම
ඔබේ ඉගැන්වීමේදී දෘශ්‍යාධාරක භාවිත කළ යුත්තේ මන්ද? එමගින් ඔබේ ඉගැන්වීම වඩාත් බලපෑමෙන් යුක්ත විය හැකි බැවිනි. යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් දෘශ්‍යාධාරක භාවිත කළේය. එමනිසා, අපට ඔවුන්ගෙන් යමක් උගත හැකිය. කතා කරන දේ සමඟ දෘශ්‍යාධාරක භාවිත කරන විට, ඉන්ද්‍රියන් දෙකක් ඔස්සේ තොරතුරු ලැබෙයි. මෙමගින් ඔබේ සබයේ අවධානය රඳවා තබාගැනීමටත්, ඉදිරිපත් කරනු ලබන කරුණු සිතට වඩාත් ගැඹුරින් කාවැද්දීමටත් පුළුවන. ශුභාරංචිය ඉදිරිපත් කරන අවස්ථාවලදී දෘශ්‍යාධාරක භාවිත කළ හැක්කේ කෙසේද? ඔබ ඒවා බලපෑමෙන් යුක්තව භාවිත කරනවාද යන්න ගැන ඔබට සහතික විය හැක්කේ කෙසේද?
ශ්‍රේෂ්ඨතම ගුරුවරුන් දෙදෙනා දෘශ්‍යාධාරක උපයෝගි කරගත් අන්දම. යෙහෝවා ඉතා අගනා පාඩම් ඉගැන්වීමට මතකයේ පහසුවෙන්ම රැඳෙන දෘශ්‍යාධාරක උපයෝගි කරගත්තේය. එක් රාත්‍රියක ආබ්‍රහම්ව එළිමහනට ගෙනැවිත් මෙසේ පැවසීය. “අහස දෙස බලා තාරකා ගණන් කළ හැකි නම් ඒවා ගණන් කරන්න. . . . නුඹේ වංශයද එසේම වන්නේය.” (උත්. 15:5) පොරොන්දු කර තිබුණු දෙය මිනිස් දෘෂ්ටියකින් සිදු විය නොහැක්කක් සේ පෙනුණද, මෙය ආබ්‍රහම්ට ගැඹුරින් කාවැදුණු අතර ප්‍රතිඵලයක් ලෙස ඔහු යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තැබීය. තවත් අවස්ථාවකදී, යෙහෝවා යෙරෙමියාව කුඹල්කරුවෙකුගේ නිවසට යවා කුඹල්කරුවා සක පෝරුව භාවිත කරමින් මැටි පිඩ අඹන අන්දම දැකගැනීමට සැලැස්වීය. එය මිනිසුන් කෙරෙහි මැවුම්කරු සතු අධිකාරය සම්බන්ධයෙන් මොනතරම් ප්‍රබල පාඩමක් වීද! (යෙරෙ. 18:1-6) තවද ලබු වැලක් ආධාරයෙන් යෙහෝවා යෝනාට දයාව ගැන ඉගැන්වූ පාඩම කාට අමතක කළ හැකිද? (යෝනා 4:6-11) උචිත වූ දේවල් උපයෝගි කරගනිමින් යම් අනාවැකිමය පණිවිඩ රඟ දැක්වීමට පවා යෙහෝවා තම අනාගතවක්තෲන්ට අණ කළේය. (1 රාජා. 11:29-32; යෙරෙ. 27:1-8; එස. 4:1-17) මණ්ඩපයේ සහ දේවමාළිගාවේ ඇතැම් අංග ස්වර්ගීය යථාර්ථයන් තේරුම්ගැනීමට ආධාරකයක් සේ උපයෝගි කරගෙන ඇති සංකේත වේ. (හෙබ්‍රෙ. 9:9, 23, 24) එමෙන්ම වැදගත් තොරතුරු දැනුම් දීම සඳහා දෙවි දර්ශන නමැති මාධ්‍යයද බහුල ලෙස භාවිත කළේය.—එස. 1:4-28; 8:2-18; ක්‍රියා 10:9-16; 16:9, 10; එළි. 1:1.
යේසුස් දෘශ්‍යාධාරක උපයෝගි කරගත්තේ කෙසේද? යේසුස් පැවසූ දෙයින් ඔහුව අසු කරගැනීමට ඵරිසිවරුන් සහ හෙරොද්ගේ අනුගාමිකයන් වෑයම් කළ අවස්ථාවකදී, යේසුස් ඩිනාරියක් ඉල්ලා එම කාසියේ කොටා තිබූ කායිසර් හෙවත් සීසර්ගේ රූපයට අවධානය යොමු කළේය. අනතුරුව, හෙතෙම පැහැදිලි කළේ සීසර්ගේ දේ සීසර්ට දිය යුතු බව හා දෙවිගේ දේ දෙවිට දිය යුතු බවය. (මතෙ. 22:19-21, NW) අප සතු සියල්ලෙන් දෙවිට ගෞරවය කිරීමේ ඇති වැදගත්කම ගැන කාවැද්දූ පාඩමක් ඉගැන්වීම පිණිස, තමා සතු සියල්ල එනම් කුඩා කාසි දෙකක් දේවමාළිගාවට සම්මාදමක් ලෙස දැමූ දිළිඳු වැන්දඹුවක් වෙතට යේසුස් අවධානය යොමු කළේය. (ලූක් 21:1-4) වෙනත් අවස්ථාවකදී, තනතුරු, කීර්තිය, බලය ආදිය පසු පස යෑමේ ආශාවෙන් තොර වූ, යටහත් පහත් කෙනෙකුගේ ආදර්ශයක් ගෙනහැර පෑම සඳහා ඔහු උපයෝගි කරගත්තේ කුඩා දරුවෙකුවයි. (මතෙ. 18:2-6) එමෙන්ම යටහත් පහත්කමේ තේරුම ඔහු පෞද්ගලිකව නිරූපණය කළේ සිය ගෝලයන්ගේ පාද සේදීමෙනි.—යොහ. 13:14.
දෘශ්‍යාධාරක උපයෝගි කරගත හැකි ආකාර. යෙහෝවා කරන්නාක් මෙන් අපට දර්ශන මාර්ගයෙන් තොරතුරු ඉදිරිපත් කළ නොහැකිය. එනමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනවල සිතුවිලි පුබුදුවන පින්තූරු රැසක් පළ වේ. උනන්දුව ඇති අයට දේවවචනයෙහි පොරොන්දු වී ඇති භූමික පාරාදීසය සිතින් මවාගැනීම සඳහා ආධාරකයක් ලෙස ඒවා භාවිත කරන්න. නිවාස බයිබල් පාඩමකදී ඔබ පාඩම් කරමින් සිටින දේට සම්බන්ධ පින්තූරයක් ශිෂ්‍යයාගේ අවධානයට ලක් කළ හැකි අතර, ඔහු දකින දේ විස්තර කිරීමට ඔහුගෙන් ඉල්ලා සිටින්නට පුළුවන. අනාගතවක්තෘ ආමොස්ට ඇතැම් දර්ශන දෙනු ලැබූ විට, “ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක්ද” යන්න යෙහෝවා විසින් අසනු ලැබීම මෙහිදී සැලකිල්ලට ගැනීම වටී. (ආමො. 7:7, 8; 8:1, 2) දෘශ්‍යමාන ඉගැන්වීමේ ආධාරක ලෙස සකස් කර ඇති පින්තූරු වෙතට ජනයාගේ අවධානය යොමු කරන විට ඔබටත් ඒ හා සමාන ප්‍රශ්න ඇසිය හැක.
ඔබ යම් ගණනය කිරීමක් ලියා දක්වනවා නම්, එසේ නැතහොත් වැදගත් සිද්ධීන් මාලාවක් අනුපිළිවෙළට දක්වන කාල ප්‍රස්තාරයක් භාවිත කරනවා නම්, දානියෙල් 4:16හි “කාලවල් සත” සහ දානියෙල් 9:24හි “සති සැත්තෑව” වැනි අනාවැකි වඩාත් පහසුවෙන් තේරුම්ගැනීමට ජනයාට එය රුකුලක් විය හැක. මෙවැනි දෘශ්‍යාධාරක අපගේ අධ්‍යයන ප්‍රකාශන කිහිපයක දැක්වේ.
පවුලේ පාඩම කරන විට, මණ්ඩපය, යෙරුසලමේ දේවමාළිගාව සහ එසකියෙල්ගේ දර්ශනයෙන් දුටු දේවමාළිගාව වැනි දේවල් සාකච්ඡා කරනවා නම්, පින්තූරයක් හෝ රූප සටහනක් භාවිත කිරීම ඒවා වඩාත් පහසුවෙන් අවබෝධ කරගැනීමට මඟ සලසයි. ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය, ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය—යොමු සටහන් සහිතව යන්නෙහි උපග්‍රන්ථය (Appendix) සහ මුරටැඹ සඟරාවේ කලාප කිහිපයක් ඇසුරෙන් මේවා සොයාගත හැක.
ඔබේ පවුල සමඟ බයිබලය කියවන විට, එහි ඇති සිතියම් හොඳින් භාවිත කරන්න. ආබ්‍රහම් ඌර් සිට හාරාන් දක්වාද, ඉන් අනතුරුව බෙතෙල් බලා ගිය ගමන පියවරෙන් පියවර සෝදිසි කර බලන්න. ඉශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවෙන් (මිසරයෙන්) පිටත් වී පොරොන්දු දේශය දක්වා ගිය ගමන් මාර්ගය පරීක්ෂා කර බලන්න. උරුමයක් ලෙස ඉශ්‍රායෙල්හි සෑම ගෝත්‍රයකටම දෙන ලද ප්‍රදේශයන්වල පිහිටීම සොයා දැනගන්න. සාලමොන්ගේ රාජ්‍යයේ සීමාවන් මොනවාදැයි බලන්න. යෙසෙබෙල්ගේ තර්ජන හමුවේ එලියා යෙස්‍රෙයෙල් සිට බෙයෙර්-ෂෙබා පසු කර පාළුකරය දක්වා ගිය දිගු ගමන පරීක්ෂා කර බලන්න. (1 රාජා. 18:46–19:4) යේසුස් දේශනා කළ නුවරවල් සහ ගම් මොනවාදැයි හඳුනාගන්න. ක්‍රියා පොතෙහි විස්තර කර ඇති පරිදි පාවුල් සංචාරය කළ ස්ථාන සෝදිසි කර බලන්න.
සභාවේ ක්‍රියාකාරිත්වයන් ගැන බයිබල් ශිෂ්‍යයන්ට අවබෝධයක් ලබා දීම සඳහා දෘශ්‍යාධාරකවලින් ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු වේ. ඔබේ ශිෂ්‍යයාට සමුළුවක හෝ එක්රැස්වීමක මුද්‍රිත වැඩසටහනක් පෙන්වා එවැනි රැස්වීම්වලදී සාකච්ඡා කරනු ලබන තොරතුරු පැහැදිලි කරන්නට පුළුවන. රාජ්‍ය ශාලාව බැලීමට ගෙන යෑමෙන් හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය බැලීමට ගෙන යෑමෙන් බොහෝදෙනෙකු තුළ අපගේ ක්‍රියාකාරකම් ගැන හොඳ හැඟීමක් ඇති කරලීමට හැකි වී තිබේ. අපගේ ක්‍රියාකාරකම් සහ එහි අරමුණ සම්බන්ධයෙන් පවතින දුර්මත දුරු කිරීමට මෙය ඉතා ඵලදායී ක්‍රමයක් විය හැක. කෙනෙකුව රාජ්‍ය ශාලාව බැලීමට ගෙනයන විට, එය වෙනත් නමස්කාර ස්ථානවලට වඩා වෙනස් වන අන්දම පැහැදිලි කර දෙන්න. එය, ඉගෙනගැනීම සඳහා යෝග්‍ය වූ ආටෝපයකින් තොර වූ ස්ථානයක් වන බව අවධාරණය කරන්න. අපගේ ප්‍රසිද්ධ දේවසේවය සඳහා විශේෂයෙන්ම සැලසුම් කර තිබෙන පොත් පත් බෙදාහරින ස්ථාන, බලප්‍රදේශයේ සිතියම් සහ සම්මාදම් පෙට්ටි (පල්ලිවල කාණික්කම් තැටි හෝ පෙට්ටිවලට වඩා වෙනස් බව) පෙන්වන්න.
පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ පිළියෙළ කර ඇති වීඩියෝ පටි ලබාගත හැකි විට බයිබලය කෙරෙහි විශ්වාසය ගොඩනැංවීමට, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන ශිෂ්‍යයන්ව දැනුවත් කිරීමට සහ නරඹන අයට බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමට දිරිගැන්වීම සඳහා ඒවා භාවිත කරන්න.
වඩාත් විශාල පිරිසක් වෙනුවෙන් දෘශ්‍යාධාරක භාවිත කිරීම. වඩාත් විශාල පිරිසක් සඳහා වුවද බලපෑමෙන් යුත් ඉගැන්වීම් ආධාරක සේ දෘශ්‍යාධාරක යොදාගත හැකිය. එනමුත්, මේවා හොඳ සූදානමකින් සහ දක්ෂ ලෙස ඉදිරිපත් කිරීමට වගබලා ගත යුතුය. මෙවැනි දෘශ්‍යාධාරක විශ්වාස වූ නුවණ ඇති දාස පංතිය මාර්ගයෙන් නොයෙකුත් ආකාරවලින් සපයනු ලැබේ.
මුරටැඹ සඟරාවෙහි ඇති පාඩම් ලිපිවල දක්නට ලැබෙන නොයෙකුත් පින්තූරු දෘශ්‍යාධාරක ලෙස යොදාගත හැක. පාඩම මෙහෙයවන සහෝදරයාට වැදගත් කරුණු අවධාරණය කිරීම සඳහා මේවා උපයෝගි කරගන්නට පුළුවන. සභා පොත් පාඩමේදී භාවිත කරන ප්‍රකාශන සම්බන්ධයෙන්ද මෙය සැබෑවකි.
සමහරක් ප්‍රසිද්ධ කථා දළ සටහන්වල තිබෙන යම් කරුණු නිදර්ශනය කිරීමට දෘශ්‍යාධාරක යෝග්‍ය විය හැක. කෙසේවෙතත්, වැඩි යහපතක් සාමාන්‍යයෙන් ඉටු වන්නේ බයිබලයෙහි තිබෙන දෙයට අවධානය යොමු කිරීමෙනි. මන්ද සබයේ සිටින අයගෙන් වැඩිදෙනෙකු බයිබලයක් අතැතිව සිටින හෙයිනි. කතාවක එක ප්‍රධාන කරුණක් හෝ කිහිපයක් ඉදිරිපත් කිරීම සඳහා චිත්‍රයක් හෝ මූලික කරුණුවල කෙටි ලැයිස්තුවක් අවශ්‍ය වන විට, රැස්වීමේ ශාලාවේ පිටු පස සිට එම දෘශ්‍යාධාරකය දැකගත (නැතහොත් කියවිය) හැකිද යන්න පරීක්ෂා කර බලන්න. මෙවැනි දෘශ්‍යාධාරක නිතරම භාවිත නොකළ යුතුය.
කතා කරද්දී සහ උගන්වද්දී දෘශ්‍යාධාරක භාවිත කිරීමේ අපගේ පරමාර්ථය වන්නේ යම් විනෝදයක් ලබා දීම නොවේ. යම් ගෞරවාන්විත දෘශ්‍යාධාරකයක් භාවිත කරන විට, එම දෘශ්‍ය මාධ්‍යය යොදාගන්නේ විශේෂයෙන් අවධාරණය කළ යුතු අදහස් තවත් තහවුරු කිරීම සඳහාය. එවැනි දෘශ්‍යාධාරක භාවිතයෙන් පවසන දේ තවත් පැහැදිලි කර දිය යුතුය. තවද යමක් පහසුවෙන් තේරුම්ගැනීමට ආධාරකයක් විය යුතුය. එසේ නැතහොත් පවසනු ලබන දෙයක වලංගුතාව තහවුරු කිරීමට ප්‍රබල සාක්ෂි සපයන මාධ්‍යයක් ලෙස භාවිත කළ යුතුය. දෘශ්‍යාධාරකවලින් එවන් කාර්යයක් ඉටු වන විට, ප්‍රතිඵලය සාර්ථකයයි පැවසිය හැක. යෝග්‍ය වූ දෘශ්‍යාධාරකයක් උචිත ලෙස භාවිත කරනවා නම් එය කොතරම් ගැඹුරින් කාවදිනවාද කිවහොත්, දෘශ්‍යාධාරකය මෙන්ම ඉගැන්වීමට අදහස් කළ කාරණය වසර ගණනාවක් පුරා මතකයේ නොමැකෙන සේ රැඳෙනු ඇත.
ඉගෙනගැනීමට ශ්‍රව්‍ය දෘශ්‍ය යන මාධ්‍ය දෙකින්ම වැදගත් කාර්යයක් ඉටු කෙරේ. ශ්‍රේෂ්ඨතම ගුරුවරුන් දෙදෙනා විසින් මෙම මාධ්‍යයන් දෙක භාවිත කරනු ලැබූ ආකාරය මතක තබාගනිමින්, ඔබේ ඉගැන්වීමෙන් අන් අය වෙතට ළඟාවීමට ඔබ දරන ප්‍රයත්නයේදී ඔවුන්ව අනුකරණය කිරීමට උත්සාහ දරන්න.