පාඩම 31
අන් අයට ගෞරවය දැක්වීම
“සියල්ලන්ටම ගෞරව කරන්න” සහ “කිසිවෙකු ගැන අගුණ නොකියන්ටද” ශුද්ධ ලියවිල්ල අපට පවසයි. (1 පේතෘ. 2:16; තීත. 3:2) ඇත්තෙන්ම අප හමු වන සෑම පුද්ගලයෙකුම ‘දෙවිගේ සමානත්වය ලෙස මවනු ලැබූ’ අයයි. (යාකො. 3:9) ක්‍රිස්තුස් මිය ගියේ සියලුදෙනා වෙනුවෙනි. (යොහ. 3:16) තවද, ශුභාරංචිය පිළිබඳ දැනුම පදනම් කරගෙන ක්‍රියා කිරීමටත්, එමගින් ගැළවීම ලබාගැනීමටත් ඊට සවන්දීමේ ප්‍රස්තාව ලැබීමට සියලුදෙනාම වටින්නෝය. (2 පේතෘ. 3:9) මේ අනුව, ඇතැම් අය සතු අධිකාරය හේතුවෙන් හෝ ඔවුන්ට තිබෙන සුවිශේෂ ගුණාංග නිසාවෙන්, යම් විශේෂ ගෞරවයක් ලැබීමට ඔවුහු සුදුස්සෝ වෙති.
බයිබලය මෙසේ දිරිගන්වන ආකාරයේ ගෞරවය නොපෙන්වීමට ඇතැම් පුද්ගලයන් උත්සාහ කළ හැක්කේ මන්ද? පන්තිය, කුලය, වර්ණය, ස්ත්‍රී පුරුෂ බව, සෞඛ්‍යය, වයස, ධනය හෝ සමාජයේ තත්වය අනුව ගෞරවය ලැබිය යුත්තේ කවුද යන්න දේශීය සංස්කෘතිය මගින් තීරණය විය හැක. රාජ්‍ය නිලධාරීන් අතින් පුළුල්ව සිදු වන දූෂණය හේතුවෙන් අධිකාරය සඳහා ගෞරවයක් නොමැති තරම්ය. ඇතැම් රටවල ජනයාට ජීවිතය එපා වී තිබේ. ඔවුන් සිය මූලික අවශ්‍යතා පමණක් පිරිමසාගන්නේ දහ දුක් විඳිමින්ය. අනික් අතට, කිසිදු ගෞරවයක් නොපෙන්වන අයගෙන් ඔවුහු වට වී සිටිති. යෞවනයෝ තම වයසේ මිතුරු මිතුරියන්ගෙන් බලපෑම්වලට නිතරම ලක් වෙති. ඔවුන්ගේ මිතුරන් බල කර සිටින්නේ ජනප්‍රිය නොවන ගුරුවරුන් සහ අධිකාරයක් හොබවන වෙන අයට එරෙහිව කැරලි ගැසීමට කියාය. දරුවන් තම දෙමාපියන්ව උපායෙන් පරදවන ආකාරය හා පාලනය කරන අන්දම බොහෝ රූපවාහිනී වැඩසටහන්වලද දැකගත හැක. මෙයද බොහෝදෙනෙකුට බලපායි. එමනිසා එම මාංසික සංකල්පවලින් අන් අය කෙරෙහි අප දක්වන ගෞරවය පලුදු නොකිරීමට සෑහෙන වෑයමක් අවශ්‍යය. එහෙත්, අප පුද්ගලයන්ට යම් ගෞරවයක් පෙන්වන විට අදහස් හුවමාරුවට වඩාත් හිතකර වාතාවරණයක් ඇති කිරීමට එය දායක වනු ඇත.
ගෞරවාන්විත එළඹීමක්. ආගමික සේවයක නිරත වී සිටින පුද්ගලයෙකුගෙන් ගෞරවාන්විතභාවයක් අපේක්ෂා කෙරේ. එය පෙන්විය හැක්කේ යෝග්‍ය ඇඳුම් පැළඳුම්වලින් සැරසීමෙන් සහ උචිත ලෙස හැසිරීමෙනි. සභ්‍යත්වය සම්බන්ධයෙන් තිබෙන ප්‍රමිති ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. තොප්පියක් පැළඳ හෝ අතක් සාක්කුවේ දමාගෙන වෙනත් පුද්ගලයෙකු වෙත එළඹීම අගෞරවනීය දෙයක් ලෙස සමහරු සලකති. තවත් සමහර ප්‍රදේශවල එවැන්නක් අශිෂ්ට දෙයක් ලෙස නොසලකනවා වන්නට පුළුවන. එමනිසා, අන් අයගේ සිත් පාරන අන්දමකින් කටයුතු කිරීමෙන් වැළකීම සඳහා දේශීය සිරිත් විරිත් සැලකිල්ලට ගන්න. එසේ කිරීමෙන් ශුභාරංචිය බලපෑමකින් යුතුව දැනුම් දීමට ඔබ දරන වෑයමට විරුද්ධව ඉස්මතු වන බාධක මඟහරවා ගත හැකි වේ.
අප අන් අයව අමතන ආකාරයට, විශේෂයෙන්ම මහලු අයව අමතන ආකාරය සම්බන්ධයෙන්ද මෙම ප්‍රතිපත්තිය අදාළ වේ. සාමාන්‍යයෙන් යෞවනයන් විසින් වැඩිහිටියන් අමතන විට, ඔවුන්ගේ මුල් නම භාවිත කිරීම අවිනීත දෙයක් ලෙස සැලකේ. එසේ භාවිත කරනවා නම්, භාවිත කළ යුත්තේ වැඩිහිටියන්ගේ අවසරය ඇතුව පමණි. ඇතැම් ප්‍රදේශවල වැඩිහිටියන්ගෙන් පවා අපේක්ෂා කරන දෙයක් වන්නේ අමුත්තන්ගේ මුල් නම භාවිත නොකොට ඇමතීමයි. සමහරක් භාෂාවල වැඩිහිටි අය හෝ යම් අධිකාරයක් හොබවන කෙනෙකු අමතන විට, “ඔබ” යන වචනය බහුවචනයෙන් භාවිත කරන්නේ එවන් ගෞරවයක් දැක්වීමටය. තවත් භාෂාවල ඒ හා සමාන වෙනත් ක්‍රමද තිබේ.
ගෞරවාන්විත පිළිගැනීමක්. කුඩා ප්‍රජාවල පාරේ ගමන් කරන විට හෝ කාමරයකට ඇතුල් වන විට කෙනෙකුව මුණගැසුණොත් එම පුද්ගලයාට ආචාර කිරීම සිරිතකි. ඒ සඳහා කෙටි ආමන්ත්‍රණයක් කිරීම, සිනහවක් පෑම, හිස සෙලවීම හෝ ඇසි බැමි ඉහළ දැමීමට පුළුවන. කෙනෙකුව නොසලකා හැරීම අගෞරවනීය දෙයක් ලෙස සැලකේ.
කෙනෙකුට යම් අන්දමකින් ආචාර කළත්, ඔවුන්ව එතරම් තකන්නේ නැති බව සමහරෙකුට හැඟිය හැක. ඒ කෙසේද? ඇතැම්විට ඊට හේතුව ඔබ පුද්ගලයන් ලෙස ඔවුන්ට ගෞරවය නොදක්වන බව දැනෙන්නට සලස්වා තිබෙන නිසාය. යම් ශාරීරික ගතිලක්ෂණයක් අනුව පුද්ගලයන්ව වර්ග කිරීම සාමාන්‍යයෙන් සිදු වන දෙයකි. යම් දුබලතාවකින් හෝ අසනීපයකින් පෙළෙන උදවිය සමඟ බොහෝදෙනා ගැවසීමට එතරම් කැමැත්තක් නොදක්වති. එනමුත් එවන් පුද්ගලයන්ව ප්‍රේමයෙන් සහ ගෞරවයෙන් සැලකීමට හැකි අන්දම අපට දේවවචනයෙහි පෙන්වා තිබේ. (මතෙ. 8:2, 3) අප සැමට ආදම්ගේ පව්කාර ස්වභාවය උරුම වී ඇති නිසා, එය යම් හෙයකින් අපහට බලපා ඇත. එනමුත්, ඔබව හඳුනාගැනීමට අන් අය ඔබේ දුර්වලකම් යොදාගත්තා නම්, ඔබට ගෞරවය කරන බවක් ඔබට හැඟේද? ඔබට තිබෙන යහපත් ගුණාංගවලින් ඔබව අගයනවාට ඔබ වැඩි කැමැත්තක් දක්වන්නේ නැද්ද?
ගෞරවය යන්නට මූලිකත්වය පිළිගැනීමද අයත් වේ. පවුලක සාමාජිකයන්ට සාක්ෂි දරන්නට පෙර ගෘහ මූලිකයාට කතා කිරීම ඇතැම් ප්‍රදේශවල අවශ්‍යතාවකි. දේශනා කිරීමට සහ ඉගැන්වීමට වූ අපගේ පැවරුම යෙහෝවාගෙන් ලැබුණද, දරුවන්ට පුහුණුව, හික්මවීම සහ මඟ පෙන්වීම ලබා දීම සඳහා දෙවි විසින් බලතල පවරා ඇත්තේ දෙමාපියන්ට යන කාරණය අපි තේරුම්ගනිමු. (එපී. 6:1-4) එමනිසා, අප නිවසකට යන විට දරුවන් සමඟ යම් දීර්ඝ සාකච්ඡාවක් කිරීමට පෙර මුලින්ම දෙමාපියන්ට කතා කිරීම සාමාන්‍යයෙන් උචිත බව නොකිව මනාය.
වයසට යෑමත් සමඟම ගෞරවය ලැබිය යුතු අද්දැකීම් සම්භාරයක්ද ලැබේ. (යෝබ් 32:6, 7) මෙම කාරණය පිළිගත් නිසා, ශ්‍රී ලංකාවේ වෙසෙන තරුණ පුරෝගාමී සහෝදරියක් මහලු මනුෂ්‍යයෙකු සමඟ සාර්ථක සාකච්ඡාවක් කළාය. ඇය පැමිණි අවස්ථාවේදී ඔහු මුලින්ම විරෝධය දක්වමින් “ඔයා වගේ පොඩි ළමයෙකුට කොහොමද පුළුවන් මට බයිබලය උගන්වන්න” යයි පැවසීය. එනමුත් ඇය පිළිතුරු දුන්නේ මෙසේය. “ඇත්තෙන්ම මහත්මයා, මම ආවේ උගන්වන්න නම් නොවෙයි. නමුත් ඔබ සමඟ මා ඉගෙනගත් දෙයක් බෙදාගන්නයි. ඒ දෙය මා තුළ කොතරම් සතුටක් ඇති කර ඇද්ද කියනවා නම්, මට ආශාවක් තිබෙනවා හැකි සෑම කෙනෙකු සමඟම එය බෙදාගන්න.” මෙම පුරෝගාමී සහෝදරියගේ ගෞරවාන්විත ප්‍රතිචාරය එම පුරුෂයාගේ උනන්දුව පුබුදුවාලීය. ඔහු මෙසේ විමසුවේය. “එහෙම නම්, ඔයා ඉගෙනගත්ත දේ මට කියන්න.” “සදාකල් ජීවත් වන්නේ කොහොමද කියලා මම ඉගෙනගෙන තිබෙනවා” කියා ඇය පිළිතුරු දුන්නාය. ප්‍රතිඵලයක් ලෙස මෙම මහලු පුරුෂයා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්නට පටන්ගත්තේය. සියලුම මහලු අය තමන්ට ගෞරවයෙන් සැලකිය යුතුයි කියා නොපැවසුවත්, ඔවුන්ට ගෞරවය පෙන්වන විට එය අගය කරනවාට සැකයක් නොමැත.
කෙසේවෙතත්, ගෞරවය පෙන්වීමට යම් සීමාවක් තිබේ. එමනිසා, එය ඉක්මවා යෑම අවදානම් සහිත විය හැක. පැසිෆික් දූපත්වල හා වෙනත් පළාත්වල සාක්ෂිකරුවන් ගමේ හෝ ගෝත්‍රයේ මුලාදෑනියාව ආමන්ත්‍රණය කරද්දී, චාරිත්‍රානුකූල ඇමතුම ගෞරවනීය ආකාරයකින් භාවිත කරන විට එවන් තැනැත්තෙක් සවන් දීමට කැමැත්තක් දක්වයි. තවද මුලාදෑනියාට සහ ඔහුගේ පාලනය යටතේ සිටින ජනතාවට කතා කිරීමටද අවස්ථාවක් ලැබේ. එහෙත් ඉච්චා බස් දෙඩීම අනවශ්‍යය. එමෙන්ම එය උචිත වන්නේද නැත. (හිතෝ. 29:5) ඒ හා සමානව, ඇතැම් භාෂාවල ව්‍යාකරණවල අංගයක් ලෙස යම් ගෞරවාර්ථ අඟවන පද භාවිත කෙරේ. එනමුත්, මෙවැනි යෙදුම් සීමාව ඉක්මවූ අන්දමකින් භාවිත කිරීම ක්‍රිස්තියානි ගෞරවයේ අංගයක් නොවේ.
ගෞරවාන්විත ඉදිරිපත් කිරීමක්. අපගේ බලාපොරොත්තුවට හේතුව “මෘදුකමින්ද යටහත්කමින්ද [ගැඹුරු ගෞරවයකින්ද, NW]” පැහැදිලි කිරීමට බයිබලය අපගෙන් උදක්ම ඉල්ලා සිටියි. (1 පේතෘ. 3:15) එමනිසා, වෙනත් කෙනෙකු දරන ආකල්පවල යම් අඩු පාඩු ඉක්මනින් පෙන්වා දීමට හැකියාවක් තිබුණද, ඔහුගේ ආත්ම-ගරුත්වයට පහර දෙන අයුරින් එසේ කිරීම ඥානවන්ත දෙයක්ද? ඉවසිලිවන්තව සවන් දෙන්න. ඔහුට එවන් අදහස් දරන්නේ මන්දැයි අසන්න. ඊළඟට ශුද්ධ ලියවිලි පද ඇසුරෙන් ඔහුට කාරණා තර්කානුකූලව පෙන්වද්දී ඔහුගේ හැඟීම් සැලකිල්ලට ගන්න. මෙය වඩාත් හොඳ එළඹීමක් නොවේද?
එක පුද්ගලයෙකුට මෙලෙස දක්වන ගෞරවය වේදිකාවෙන් සබයක් අමතන විටදීත් විදහාපෙන්විය යුතුය. තම සබයට ගරු කරන කථිකයෙකු ඔවුන්ව දැඩි විවේචනයට ලක් කරන්නේ නැත. එසේ නැතහොත් “වුවමනාවක් තිබෙනවා නම්, ඔබට මෙම උපදෙස අදාළ කරගන්න පුළුවන්” වැනි අදහසක් අඟවන ආකල්පයක් විදහාපෙන්වන්නේ නැත. මෙලෙස කතා කිරීම අන් අයව අධෛර්යයට පත් කරනවා පමණි. සබය යෙහෝවාට ප්‍රේම කරන, ඔහුට සේවය කිරීමට ආශාවෙන් සිටින පිරිසක් ලෙස සැලකීම ඊටත් වඩා කොතරම් යහපත්ද! එමනිසා, යේසුස්ව අනුකරණය කරමින් ආත්මික ලෙස දුර්වල අය, අද්දැකීම් අඩු අය නැතහොත් බයිබල් උපදෙස් අදාළ කරගැනීමට එතරම් ඉක්මන් නොවන අය සමඟ අවබෝධයෙන් කටයුතු කළ යුතුය.
දේවවචනයෙහි උපදෙස් වඩාත් පූර්ණ අන්දමකින් අදාළ කරගත යුතු අය අතරට කථිකයා තමාවත් ඇතුළත් කරගන්නවා නම්, කථිකයා ඔවුන්ට ගෞරව කරන බව සබයට දැනේ. එමනිසා, ශුද්ධ ලියවිලි පද අදාළ කරන විට, නිතරම “ඔබ” “ඔබ” කියමින් අදාළ කිරීමෙන් වැළකී සිටීම ඥානවන්තය. නිදසුනක් ලෙස, මෙම ප්‍රශ්න දෙක අතර වෙනස සැලකිල්ලට ගන්න. “ඔබට කරන්න පුළුවන් සෑම දෙයක්ම ඔබ කරමින් සිටිනවාද?” සහ “අප සැමදෙනාම අපගෙන් මෙසේ ඇසීම සුදුසුයි: ‘මට කරන්න පුළුවන් සෑම දෙයක්ම මම කරමින් සිටිනවාද?’” ප්‍රශ්න දෙකෙන්ම කියා පෑමට උත්සාහ කරන්නේ එකම අදහසයි. එනමුත් මුල් ප්‍රශ්නයෙන් ඇඟවෙන්නේ කථිකයා තමාව සහ සබය එකම තලයක තබා නැති බවයි. දෙවන ප්‍රශ්නයෙන් කථිකයා තමා ඇතුළුව සෑම කෙනෙකුවම දිරිගන්වන්නේ තමාගේ තත්වය හා තම පෞද්ගලික චේතනා විග්‍රහ කර බැලීමටයි.
සබය හිනා ගැස්වීමට තිබෙන ආශාවෙන් විකට දේවල් පැවසීමේ පරීක්ෂාවට හසු වන්න එපා. මෙසේ කිරීම බයිබලයේ පණිවිඩයේ ගෞරවාන්විත භාවය අඩ පණ කිරීමට හේතුවක් වේ. දෙවිට අප කරන සේවයේදී අප ප්‍රීතියක් ලැබිය යුතු බව ඇත්තය. අපට පවරා ඇති තොරතුරුවල යම් හාස්‍යයක් උපදවන පැතිද තිබිය හැක. එනමුත්, බැරෑරුම් කාරණා හාස්‍යයට ලක් වන අයුරින් ඉදිරිපත් කිරීමෙන් දෙවිට සහ සබයට දක්වන ගෞරවයේ ඌනතාවක් පිළිබිඹු කරයි.
එසේ නම්, අපගේ එළඹීම, අප කටයුතු කරන ආකාරය සහ අප කතා කරන ආකාරය තුළින් නිතරම යෙහෝවා අපට උගන්වා ඇති අන්දමට එකඟව අපි අන් අයව සලකන බව විදහාපෙන්වමු.