දහසයවන පරිච්ඡේදය
“එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න”
1. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට මුල් වතාවට පැමිණෙන බොහෝ නවකයන්ගේ සිත් ඇදගන්නේ කුමක්ද?
මිනිසුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පැමිණෙන මුල්ම දිනයේදී, ඔවුන්ගේ සිත් ඇදී යන්නේ එහි දැකීමට තිබෙන ප්‍රේමය වෙතටයි. තමන්ව පිළිගන්නා ආකාරයෙනුත්, උණුසුම් ආශ්‍රය තුළිනුත් ඔවුහු එය අද්දකිති. සමුළුවලට පැමිණෙන අපේ අමුත්තෝද මේ ප්‍රේමය නිරීක්ෂණය කරති. සමුළුවක් සම්බන්ධයෙන් එක් පුවත්පත් ලේඛකයෙක් මෙසේ ලීවේය. ‘කිසි කෙනෙකු මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පාවිච්චි කර තිබුණේ නැත. යටිගිරියෙන් කෑගසන්නේ නැත. තල්ලු කරන්නේ හෝ පෝලිම් පනින්නේද නැත. කිසිවෙක් දිවුරන්නේ, අසභ්‍ය විහිළු හෝ කියන්නේද නැත. වාතය සිගරට් දුමෙන් පිරී නැත. සොරකම් කරන්නේ නැත. පිට්ටනියට බීම බෝතල් හෝ ටින් විසි කරන්නේද නැත. එය හරිම අසාමාන්‍ය දර්ශනයකි.’ මේ සෑම දෙයක්ම සාක්ෂි දරන්නේ ප්‍රේමයටයි. ඒ ‘අවිනීතව හැසිරෙන්නේ නැති, තමාගේම කාරණා පමණක් සොයන්නේ නැති’ ප්‍රේමයට සාක්ෂියකි.—1 කොරින්ති 13:4-8, NW.
2. (අ) කාලයාගේ ඇවෑමෙන්, අප විදහාපාන ප්‍රේමයෙන් පෙන්නුම් කළ යුත්තේ කුමක්ද? (ආ) ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමක් හැටියට, අප වගා කරගත යුත්තේ කිනම් ආකාරයේ ප්‍රේමයක්ද?
2 සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමේ ලකුණ සහෝදර ප්‍රේමයයි. (යොහන් 13:35) අපි ආත්මිකව කෙමෙන් කෙමෙන් වර්ධනය වන විට, ප්‍රේමය වඩා වැඩියෙන් පෙන්වීමට ඉගෙනගන්නෙමු. සෙසු ක්‍රිස්තියානීන්ගේ ප්‍රේමය “වඩ වඩා බොහෝ වන පිණිස” ප්‍රේරිත පාවුල් යාච්ඤා කළේය. (පිලිප්පි 1:11) අපේ ප්‍රේමය ආත්ම පරිත්‍යාගශීලී විය යුතු බව ප්‍රේරිත යොහන් පෙන්වීය. ඔහු මෙසේ ලීවේය. “අප ප්‍රේමය දැනගන සිටින්නේ [දෙවිගේ පුත්‍රයා] තමන් ප්‍රාණය අප උදෙසා දුන් හෙයින්ය. අප විසින් සහෝදරයන් උදෙසා අපේ ජීවිත දෙන්ට යුතුය.” (1 යොහන් 3:16; යොහන් 15:12, 13) අප ඇත්තටම අපේ ජීවිත අපේ සහෝදරයන් වෙනුවෙන් දෙන්ට කැමති වෙනවාද? බොහෝ අවස්ථාවලදී එසේ කිරීමට අවශ්‍ය වන්නේ නැත. එහෙත්, අපට අපහසු වූවත් ඔවුන්ට උපකාර කිරීම සඳහා අප කොතරම් දුරට ඉදිරිපත් වෙනවාද?
3. (අ) අපේ ප්‍රේමය වඩා වැඩියෙන් ප්‍රකාශ කළ හැක්කේ කිනම් ආකාරයෙන්ද? (ආ) අදදින එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?
3 ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් පෙන්වන අපේ ක්‍රියාවලට, අපේ සහෝදරයන් කෙරෙහි දක්වන අව්‍යාජ උණුසුම් හැඟීමද ඇතුළත් විය යුතුය. දෙවිගේ වචනය අපෙන් උදක්ම ඉල්ලා සිටින්නේ මෙසේය. “සහෝදර ප්‍රේමයෙන්, එකිනෙකා කෙරෙහි මෘදු ස්නේහයක් ඇතිව සිටින්න.” (රෝම 12:10, NW) අප සියලුදෙනාටම සමහර අය ගැන එසේ හැඟුණත්, එවන් ස්නේහයක් අනිත් අයටත් දක්වන්ට අපට ඉගෙනගත හැකිද? දැන් පවතින මේ පරණ ලෝක ක්‍රමය එහි අවසානයට ළං වෙද්දී, අපේ සෙසු ක්‍රිස්තියානීන් වෙත වඩා සමීප වීම අත්‍යවශ්‍යය. බයිබලය මෙසේ කියයි. “සියලු දේවල අන්තිමය ළං වී තිබේ. . . . ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.”—1 පේතෘස් 4:7, 8.
ගැටලු පැනනඟින විට
4. (අ) සභාවක සිටින අය අතර පවා ගැටලු පැනනැඟිය හැක්කේ මන්ද? (ආ) අපේ සාමාන්‍ය නැඹුරුවාව බයිබල් උපදෙස් අදාළ කරගැනීම නොවුවත්, එසේ කිරීමෙන් අත් කරගත හැකි යහපත් ප්‍රතිඵල මොනවාද?
4 අසම්පූර්ණව සිටින තාක්කල්, අප එක් එක්කෙනාගේ සිත් රිදවනු ඇති බව ඇත්තයි. අපේ සහෝදරයන්ද අපට විරුද්ධව විවිධාකාරයෙන් වැරදි කරනු ඇත. (1 යොහන් 1:8) ඔබ සිටින්නේ එවැනි තත්වයක නම්, ඔබ කුමක් කළ යුතුද? අවශ්‍ය මඟ පෙන්වීම ශුද්ධ ලියවිල්ලේ ඇත. එහෙත්, අසම්පූර්ණ මනුෂ්‍යයන් හැටියට ශුද්ධ ලියවිල්ලෙහි කියන දේ කිරීමට අප නිතරම නැඹුරු වන්නේ නැත. (රෝම 7:21-23) කෙසේවෙතත්, බයිබලයේ අඩංගු උපදෙස් අප අවංකවම අදාළ කරගැනීම යෙහෝවාව සතුටු කිරීමට තිබෙන අපේ අවංක ආශාවට සාක්ෂියකි. එසේ කිරීමෙන් අන්‍යයන් කෙරෙහි අප තුළ ඇති ප්‍රේමයේ ගුණයද වැඩිවර්ධනය වනු ඇත.
5. යමෙකු අපව රිදවා ඇත්නම්, අප පළි නොගත යුත්තේ මන්ද?
5 මිනිසුන්ගේ සිත් රිදුණු විට, එසේ කළ තැනැත්තාගෙන් පළිගැනීමට ඔවුහු මාන බලති. එහෙත්, එයින් සිදු වන්නේ ගැටලුව උග්රවීම පමණි. අයුක්තියකට ගොදුරු වූ කෙනෙකුට යම් යුක්තිසහගත වන්දියක් ලැබීමට අවශ්‍යයි නම්, අප එය යෙහෝවාට බාර කළ යුතුය. (හිතෝපදේශ 24:29; රෝම 12:17-21) තවත් සමහර අය වරද කළ තැනැත්තාව මුණගැසීමෙන් පවා වැළකී සිටීමට උත්සාහ දරති. එහෙත්, අප අපේ සෙසු නමස්කාරකයින් සම්බන්ධයෙන් එසේ නොකළ යුතුය. මන්ද, අපේ නමස්කාරය යෙහෝවා විසින් පිළිගැනීම සෑහෙන දුරට රඳා පවතින්නේ අප අපේ සහෝදරයන්ට ප්‍රේම කිරීම මතය. (1 යොහන් 4:20) පාවුල් මෙසේ ලීවේය. “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමා වෙන්න. යෙහෝවා නුඹලාට කමා වුණාක් මෙන් නුඹලාත් කරන්න.” (කොලොස්සි 3:13) ඔබට එසේ කළ හැකිද?
6. (අ) අප අපේ සහෝදරයාට කී වතාවක් සමාව දිය යුතුද? (ආ) අපට විරුද්ධව කෙරෙන පාපයක් හා බැඳි ගැටලුව විසඳාගැනීමට උපකාරවත් වන්නේ කුමක් තේරුම්ගැනීමද?
6 යමෙකු නැවත නැවතත් අපට විරුද්ධව පව් කළද, සභා ඇසුරෙන් ඉවත් කිරීමට තරම් බරපතළ වරදක් නොකරන්නේ නම් අප කුමක් කළ යුතුද? එවැනි සුළු සුළු පාප සම්බන්ධයෙන් “හත් වරක්” සමාව දීමට ප්‍රේරිත පේතෘස් යෝජනා කළ විට, “හත් වරක් දක්වා නොව, නමුත් හැත්තෑහත් වරක්” යයි යේසුස් පැවසුවේය. අප දෙවිට ඇති ණයගැතිභාවය හා සලකා බලද්දී, මිනිසුන් අපට විරුද්ධව කර ඇති වැරදි කිසිත් නැති තරම්ය. (මතෙව් 18:21-35, NW) ඇතැම්විට, ආත්මාර්ථකාමී ක්‍රියාවක් නිසා, අප කියන හෝ සිතන නැතහොත් කරන්ට අසමත් වන යමක් නිසා සෑමදාම දෙවිට විරුද්ධව විවිධාකාරවලින් පව් කරන්නෙමු. එසේ කරන්නේ පව් කරනවා කියා නොසිතාය, නොදැනුවත්වමය. (රෝම 3:23) එහෙත්, දෙවි දිගටම අපට දයාවන්තව සලකන්නේය. (ගීතාවලිය 103:10-14; 130:3, 4) එකිනෙකා සමඟ කටයුතු කරද්දී එසේම කිරීම ඔහු අපෙනුත් අපේක්ෂා කරයි. (මතෙව් 6:14, 15; එපීස 4:1-3) අප එසේ කරන විට, “හානිය ගැන ගණන් තබන්නේ [නැති]” වර්ගයේ ප්‍රේමය අපි ක්‍රියාවට නංවමින් සිටින්නෙමු.—1 කොරින්ති 13:4, 5, NW; 1 පේතෘස් 3:8, 9.
7. සහෝදරයෙකු තුළ අපට විරුද්ධව යම් කාරණයක් තිබේ නම් කුමක් කළ යුතුද?
7 තවත් සමහර අවස්ථාවලදී, අපේ සහෝදරයාට විරුද්ධව අප තුළ අමනාපයක් නැතත්, ඔහු තුළ අමනාපයක් ඇති බව අපට පෙනී යා හැකියි. එය 1 පේතෘස් 4:8හි කියන විදිහට, ‘ප්‍රේමයෙන් වසා දමන්ට’ තීරණය කිරීමට අපට හැකිය. එසේ නැතිනම්, මූලික පියවර ගෙන ඔහු සමඟ කතා බහ කර පිළිසකර කරගත් සාමකාමී සම්බන්ධයක් ඇති කරගැනීමට ඔබට හැකිය.—මතෙව් 5:23, 24.
8. යම් නමස්කාරකයෙකු අපව රිදවන යමක් කරන්නේ නම්, ඒ ගැන කුමක් කළ හැකිද?
8 සෙසු නමස්කාරකයෙකු ඔබව පමණක් නොව අනිත් අයවත් රිදවන ආකාරයෙන් හැසිරෙනවා විය හැකිය. ඔහුට ඒ ගැන කතා කරන එක හොඳ නැද්ද? සමහරවිට හොඳ විය හැකිය. ඔබ පෞද්ගලිකව ඔහු සමඟ වාඩිවී කාරුණිකව කාරණය පැහැදිලි කරන්නේ නම්, යහපත් ප්‍රතිඵල ගෙනෙන්ට පුළුවන. එහෙත්, මුලින්ම ඔබ ඔබෙන්ම මෙසේ අසාගත යුතුය. ‘ඔහු ඇත්තටම කරන්නේ බයිබලයට පටහැනි දෙයක්ද? එසේ නැත්නම්, ගැටලුව මූලිකවම මගේත් ඔහුගේත් පසුබිම හා පුහුණුව වෙනස් වීමද?’ ඔබේම ප්‍රමිතිවලට අනුව කාරණය විනිශ්චය කිරීම ගැන පරෙස්සම් වන්න. (යාකොබ් 4:11, 12) යෙහෝවා විවිධ පසුබිම්වලට අයත් ජනයාව තරාතිරම් බැලීමකින් තොරව පිළිගන්නා අතර, ඔවුන් ආත්මිකව වැඩෙන ආකාරය ඉවසිලිවන්තව බලා සිටින්නේය.
9. (අ) සභාවේ බරපතළ වැරදි කෙරෙහි අවධානය දිය යුත්තේ කවුරුන්ද? (ආ) පාපය නිසා පීඩා විඳින විසින් මුල් පියවර ගැනීමේ වගකීම තිබෙන්නේ කවර අවස්ථාවලදීද? කිනම් කාරණයක් මනසේ තබාගෙනද?
9 සභාවේ කෙනෙක් ලිංගික දුරාචාරය වැනි බරපතළ වරදක යෙදී සිටී නම්, ඒ වෙත වහා අවධානය යොමු කළ යුතුය. කවුරුන් විසින්ද? වැඩිමහල්ලන් විසින්ය. (යාකොබ් 5:14, 15) උදාහරණයකට කෙනෙකු ව්‍යාපාරික කටයුත්තකදී හෝ දිව හානිකර ලෙස පාවිච්චි කිරීමෙන් හෝ පුද්ගලයෙකුට විරුද්ධව පාපයක් කර තිබෙන විට, මුලින්ම පාපය නිසා පීඩා විඳින තැනැත්තා විසින් වරදකරුවාව පෞද්ගලිකව හමුවීමට උත්සාහ කළ යුතුය. (මතෙව් 18:15) ඒ ආකාරයට කාරණය විසඳාගැනීමට නොහැකි නම්, මතෙව් 18:16, 17 පෙන්වා දෙන අන්දමට වැඩිමනත් පියවර ගැනීමට සිදු වෙයි. මෙය වරද කළ සහෝදරයාගේ හදවතට ළඟා වන ආකාරයෙන් කිරීම සඳහා, ඔහුට තිබෙන ප්‍රේමය හා ඔහුව ‘දිනාගැනීමට’ තිබෙන ආශාව උපකාරවත් වේ.—හිතෝපදේශ 16:32.
10. ගැටලුවක් පැනනඟින විට එය නිසි ලෙස දැකීමට කුමක් උපකාරවත් වේද?
10 ගැටලුවක් පැනනඟින විට, එය විශාල ගැටලුවක් වුවත් නැතත්, ඒ ගැන යෙහෝවා දරන දෘෂ්ටිය තේරුම්ගැනීමට උත්සාහ කිරීම අපට උපකාරවත් වනු ඇත. යෙහෝවා කිසිම ආකාරයක පාපයක් අනුමත කරන්නේ නැත. එමෙන්ම, ඔහු නියම කළ කාලයේදී, පසුතැවිලි නොවී බරපතළ පාපවල යෙදෙන්නන්ව ඔහුගේ සංවිධානයෙන් ඉවත් කරනු ඇත. කෙසේවෙතත්, අප සියලුදෙනාම සුළු ආකාරයකින් හෝ පව් කරන බව අමතක නොකළ යුතුය. එමනිසා, ඔහුගේ බොහෝ ඉවසිලිවන්තකම හා දයාව අපටත් අත්‍යවශ්‍ය බවද මතක නැති නොකළ යුතුය. මෙසේ අනිත් අයගේ පාප සමඟ කටයුතු කිරීමේදී අප අනුකරණය කළ යුතු ආදර්ශය යෙහෝවා විසින් තබා තිබේ. අප දයාවන්ත වන විට, අපි ඔහුගේ ප්‍රේමය පරාවර්තනය කරන්නෙමු.—එපීස 5:1, 2.
‘විශාල වීමට’ ක්‍රම සොයන්න
11. පාවුල් කොරින්තිවරුන්ට ‘විශාල වීමට’ දිරිගැන්වූයේ මන්ද?
11 ග්‍රීසියේ පිහිටි කොරින්ති සභාව ගොඩනැඟීමට පාවුල් මාස ගණනාවක් ගත කළේය. එහි සිටින සහෝදරයන්ට උපකාර කිරීම සඳහා ඔහු මහන්සි වී වැඩ කළ අතර, ඔහු ඔවුන්ට ප්‍රේම කළේය. එහෙත්, සමහරුන් ඔහුට එතරම් උණුසුම් හැඟීමෙන් යුතුව සැලකුවේ නැත. ඔවුහු ඉතාම විවේචනාත්මක වූහ. ඒ නිසා, සෙනෙහස ප්‍රකාශ කිරීමේදී ‘විශාල වීමට’ ඔහු ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. (2 කොරින්ති 6:11-13; 12:15) අපද එකිනෙකාට දක්වන ප්‍රේමයේ ප්‍රමාණය ගැන සිතා බලා “විශාල වීමට” ක්‍රම සොයා බැලිය යුතුය.—1 යොහන් 3:14.
12. සභාවේ සිටින සියලුදෙනා කෙරෙහි අපේ ප්‍රේමය වර්ධනය කරගත හැක්කේ කෙසේද?
12 සභාවේ අපට සමීප වීමට අමාරු කවුරුන් හෝ සිටිනවාද? අනිත් අය අපගේ පෞද්ගලික දුර්වලකම් නොසලකා හරිනවාට අප කැමති වන්නාක් මෙන්, අපත් අනිත් අය අතින් සිදු වන වැරදි නොසලකා හැරීමට දැඩි ප්රයත්නයක් දරනවා නම්, එය එකිනෙකා අතර බිඳී ගිය සබඳතා උණුසුම් තත්වයට යළි ගෙන ඒමට මහෝපකාරි වනු ඇත. අප ඔවුන්ගේ යහපත් ගුණාංග සොයා බලා ඒවා කෙරෙහි අවධානය යොමු කරනවා නම්, ඔවුන් කෙරෙහි අප තුළ ඇති හැඟීම්ද වැඩිවර්ධනය වනු ඇත. මෙමගින් නිසැකවම ඔවුන් කෙරෙහි ඇති අපගේ ප්‍රේමය වැඩිවර්ධනය වී අතු පතර විහිදී යනු ඇත.—ලූක් 6:32, 33, 36.
13. අපේ සභාවේ සිටින අයට ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් විශාල වීමට අපට හැක්කේ කෙසේද?
13 අනිත් අය වෙනුවෙන් අපට කළ හැකි දේවල් සීමිත බව පිළිගත යුතුය. සෑම රැස්වීමකදීම හැමෝටම ශුභ පතන්ට අපට නුපුළුවන. මිතුරන්ට කෑමකට ආරාධනා කරන විට හැමෝවම ඊට කැඳවීමට අපට නුපුළුවන. එහෙත්, අපේ සභාවේ සිටින කෙනෙකුව හොඳින් දැනහඳුනා ගැනීම සඳහා විනාඩි කිහිපයක් ගත කරමින් හදවතින් විශාල වීමට අපට හැකිද? අප එතරම් නොදන්නාවූ කෙනෙකුට ඉඳ හිට හෝ ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට ආරාධනා කළ හැකිද?
14. කිසිදා හමු වී නැති ක්‍රිස්තියානීන් අතර සිටින විට අපට බලවත් ප්‍රේමයක් පෙන්විය හැක්කේ කෙසේද?
14 අපේ ප්‍රේමය විශාල හෙවත් පුළුල් කරගැනීමට මහඟු අවස්ථාවකි ක්‍රිස්තියානි සමුළු. ඊට දහස් ගණනක් පැමිණ සිටිය හැකිය. ඒ සෑම කෙනෙකුවම හමුවීම කළ නොහැක්කකි. එහෙත්, අපේ පහසුකම් පැත්තකට දමා ඔවුන්ගේ ශුභසාධනය වෙනුවෙන් ක්‍රියා කරන බව පෙන්වන ආකාරයෙන් හැසිරීමට අපට පුළුවන. අප අවට සිටින අයව හමුවීමට සැසිවාර අතරතුර විවේක කාලයේදී මූලික පියවර ගැනීමෙන් අපේ පෞද්ගලික උනන්දුව ඔවුන්ට පෙන්විය හැකිය. යම් දවසක මේ පොළොව මත ජීවත් වන සියලුදෙනාම සහෝදර සහෝදරියන් ලෙස වෙසෙනු ඇත. එදිනේදී සැබෑ දෙවි හා සියලුදෙනාගේම පියා වන යෙහෝවාට නමස්කාර කිරීමෙහි ඔවුන් එක්සත් වනු ඇත. ඒ කාලයේදී එකිනෙකාව දැනහඳුනා ගැනීම මොනතරම් ප්රීතිජනක දෙයක් වනු ඇද්ද! බලවත් ප්‍රේමය එසේ කිරීමට අපව පොලඹවනු ඇත. එසේ කිරීමට දැන්ම පටන් නොගන්නේ මන්ද?
පුනරීක්ෂණ සාකච්ඡාව
• ක්‍රිස්තියානීන් අතර ගැටලු පැනනඟින විට ඒවා විසඳාගත යුත්තේ කෙසේද? ඒ මන්ද?
• අප ආත්මිකව වර්ධනය වන විට අපේ ප්‍රේමයද වර්ධනය විය යුත්තේ කිනම් ආකාරවලින්ද?
• යම් තෝරාගත් මිතුරන් කණ්ඩායමකට වඩා වැඩි පිරිසකට බලවත් ප්‍රේමයක් පෙන්විය හැක්කේ කෙසේද?
[148වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානි රැස්වීම්වලදී දකින්නාක් මෙන් ක්‍රිස්තියානි ප්‍රේමය විවිධාකාරවලින් ප්‍රකාශ වේ